මා හද මට නැති විට -26

ලාවන්‍යා වැඩසටහනෙහි ගීත කිහිපයක් තෝරමින් අඩ හෝරාවක් පමණ ගෙවා දැම්මා ය. තේජ රැකියාව නිම කර නිවසට යන්නට සූදානම් මේ වෙලාවට ය. ඇයට එය හොඳින් විශ්වාස ය. ඈ කසුන් කල්හාරගේ “මටත් කවියක් ලියන්න” ගීතය තෝරන්නට සිතුවා ය. ගීතය වාදනය වෙන්නට පෙර තෝරා ගත් විශේෂ යමක් තිබේ. ඇගේ ප්‍රේමණීය හඬ අවදි විණ. 

ඔබ ඉන්න ඔතන ඔහොම

වැහි වනාන්තරයක දලුලන ගුප්ත කැලෑ සුවඳත්,

කඳුකර කේතුදර වනයක සන්සුන් දේවදාර පුසුඹත්,

එකවර මහදවත දනවමින

ඔබ ඉන්න ඔතන ඔහොම…

මට ඉන්න දෙන්න මෙහෙම

අසෙණි වැස්සක් වඩා ගත් අළු පාට මේකුළක සීතල

හදවතින් දරා ගෙන අඬන්න ද හිනැහෙන්න ද නො දැන

කන්දක් වගේ ඔහේ බලාගෙන

මට ඉන්න දෙන්න මෙහෙම

ඒ කවියේ හිමිකාරිය ඇගේ ප්‍රියතම ප්‍රේම කතා රචිකාවිය වූ ගංගා ෂයිනි ගමගේ ය. ෂයිනිගේ ප්‍රේමය ඉසියුම්ව මුදා හැරෙන වචන වැඩසටහන වෙනුවෙන් තෝරා ගන්නට ලාවන්‍යා වැය කරන්නේ එකම එක මැසේන්ජර් පණිවිඩයකි. ෆේස්බුක් කතාවක දෙකක ඌෂ්ණය හිස ගැසූ සමහර කෙල්ලන් සමඟ සසඳද්දී ඇගෙන් ලැබෙන අවසරය ලාවන්‍යාට පුදුමයකි.ඒ හන්දා ඈ වැඩසටහනක් හැඩ කරන්නට ඒ අකුරු නිරතුරුවම යොදා ගන්නී ය. ප්‍රේමයේ අභිමන් නම් නවකතාවේ අපරාජිතාගේත් සංසකගේත් ආදරය ගැන කියන්නට ඇය තවත් වචන කිහිපයක් වැය කළා ය.

ඔබ ඉන්න ඔතන ඔහොම…

මට ඉන්න දෙන්න මෙහෙම

ලාවන්‍යාව ඇසෙන්නට ඉඩ හරිමින් රිය ධාවනය කරමින් සිටි තේජ ඒ වචන නැවත පුනුරුච්ඡාරණය කළේ ය. ඇය ඔහුට ආදරයෙනි. එහෙත් ඒ ආදරය පිළි ගැනීම අසීරු වග ඔහු දනියි. ඒ හන්දා ඇයට එහෙමම ඉන්නට ඉඩ හැර නොදැනුණු නොහැඟුණු පරිද්දෙන් සිටීමට ඔහු තීරණය කර තිබේ.ඇය ගැන ඔහුට දුකක් නොදැනෙනවා නොවේ. නමුත් ප්‍රේමය පහළ විය යුතු දෙයකි. එය පහළ කරවන්නට යාමේ තේරුමක් නැත.

නුඹේ මග දිග තුරුලතා වල මල් පිපීදැයි බලන්න

අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න”

ඒ අතර කසුන් ගයයි. පරිච්ඡේද දෙක තුනකින් අවසන් වී ගිය ප්‍රේම කතාව මිස කිසිවක්ම තේජට සිහි නොවේ. ප්‍රේමයෙන් බැඳී විවාහයට පෙර එක වහලක් යටට ආ කෞෂි ඔහු නිසා ලැබූ මාතෘත්වය පවා පිළි ගත්තා ය.නමුත් ඇයට යන්නට ඕනෑ විය. ඇය යන්නට ගියා ය

“ඔයාට මාව එපානම් මෙච්චර කල් නොගෙන ඒක කියන්න තිබ්බා.”

එදා කෞෂි තේජගේ ඒ වචන අසා සිටියේ ඉවසිලිවන්ත ලෙස ය. තේජ සිටින්නේ තරහින් ද ශෝකයෙන් ද යන්න  කෞෂිට තෝරා ගන්නට හැකි වූයේ නැත. නමුත් මේ කතාව මෙතැනින් නැවතිය යුතු බවට ඇය සිටියේ තදබල තීරණයකිනි. ඇයට නිදහස ඕනෑ වී තිබිණ. තේජ ද ලියෝන් ද ඒ නිදහසට බාධාවක් වී අවසන් වග ඇය සිතුවා ය.

“ඕනෑම සම්බන්ධයක් තව ඉස්සරහට ගෙනියනවද නැද්ද කියන එක තීරණය කරන්නේ  කාලයත් එක්ක නේද තේජ.මම හිතන්නේ අපිට දැන් ඒක තේරෙනවා.අපි නොගැළපීම් තියාගෙන දුක් විඳින්න ඕන නෑ නේද?”

තේජ එක් දෙයක් දැන සිටියේ ය.කෞෂි තවදුරටත් මේ කතාව ඉදිරියට ගෙන යන්නේ නැත. තනිව මේ ප්‍රේමය උසුලා සිටීම ම ගැටලුවක් වීමේ ඛේදාන්තය ගැන එදා තරමටම ඔහු තවම සිතයි. නමුත් කරන්නට කිසිවක්ම නැත.

“මට එක දෙයක් දැන ගන්න පුලුවන්ද?”

කසුන්ගේ කල්හාරමය කටහඬ මැදින් තේජට සමු ගැනීමක අවසන් තත්පර කිහිපය සිහිව ආයේ ය

“මාව එපා වෙන්න තරම් ඔයාට ළං වුණු කොල්ලා කවුද?”

කෞෂි හිනැහිණ. ප්‍රේමවන්තයා සිතෙහි ඇඳී මැකී යද්දී පවා ඔහු මෙතැනට පාවා දිය යුතු නොවන බව කෞෂි ඉටා ගත්තා ය. ඒ හන්දා ඇය තේජට පැවසුවේ වෙනත් කතාවකි.

“මට ඔයාගේ ඇටිටියුඩ්ස් විතරයි ප්‍රශ්නෙ වුණේ.මම හිර වුණු ආදරේකට කැමති නෑ. හිරවෙලා ජීවත් වෙන්න මම කැමතිත් නෑ.ඒක මිසක් මම වෙන කෙනෙක් නිසා ඔයාව ඈත් කරේ නෑ.”

අදට ද ඒ කතාව සම්පූර්ණ සත්‍යයක්දැයි තේජ නොදනියි. නමුත් ලාවන්‍යා මේ රාත්‍රියේ හදවත තදින්ම පෑරූ බව පමණක් තේජට විශ්වාස ය. ඇය ගැඹුරු රිදවුම් ස්වරයකින් පැවසූ කවිය ද අනතුරුව වාදනය කළ කසුන්ගේ ගීතය ද ඔහුව දවාලමින් තිබිණ. දැන් මේ දුක නිවෙන්නට “ඉරිදාට පල්ලියේ දී” වැනි ගීයක් ඇසුවද පලක් නැත.ඔහු කෞෂි අතින් ප්‍රතික්ෂේප විය. ඒ ප්‍රේමයකින් ඉනික්බිතිව ය. දරුවෙකුට දෙමාපියන් ද වීමෙන් පසුව ය. ඒ ඔහුගේ ජීවිතයේ පළමු ප්‍රතික්ෂේප වීම ය.

දැන් ඔහුට ප්‍රතික්ෂේප කිරීමකට කාලය පැමිණ තිබේ. ලාවන්‍යා ඔහුට ආදරයෙන් වග අනුත්තරා පවසා දින කිහිපයකි. ඇයට ආදරය නොකරන්නට තේජට සිතේ. එහෙත් ඇය ඇස්මානයේ ගැවසීම ද කතා කිරීම ද කතා නොකරන්නේනම් ඇගේ හඬ වැඩසටහනෙන් හෝ ඇසීම ද ඔහුට අමුතුම ආනන්දයක් ගෙන දේ. ලාවන්‍යා එක් වතාවක් දරුණු ප්‍රතික්ෂේප කිරීමක් අත් විඳි ගැහැනියකි. ඒ හන්දා මේ ප්‍රතික්ෂේප කිරීම ගැන ඇයට කියන්නට කාලය ගන්නට තේජ තීරණය කළේ ය.

(මොකද කරන්නේ? ලාවන්‍යා නිර්වාන්ට දීලා දාමුද?)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles