බිම්මල් – 10

ගැහැනු දරුවකු ගත කරන සුන්දර ජීවිතය බොහෝ විට විවාහයෙන් කෙළවර වන බවට සුදු නංගී පවසන වදන් වල සත්‍යයක් නැතැයි කිව නොහැකිය. ආච්චි අම්මාත්, සීයාත්, මාමා සහ පුංචි අම්මාත් සමග ගෙවූ සුන්දර ජීවිතයම විවාහයෙන් පසු අවසන් වූ බව ඇතැම් අවස්ථා වල අම්මා අප හා පවසා තිබිණ. කිසිදිනෙක විවාහ නොවී සිටින්නට අවශ්‍ය වන්නේ ශක්තිමත් සිතක් පමණක් බව සුදු නංගී පැවසුවද, මට එය පිළිගත නොහැකිය. උසස් පෙළ හදාරන සමයේ කිසිදිනෙක විවාහ නොවී සිටින්නෙමැයි මා මිතුරියන් සමග පවසා සිටියේ අම්මා ගත කරන ජීවිතය දකිද්දී ඇති වූ කළකිරීම නිසාමය. එය ඇසු යෙහෙළියන් සිනාසුනේ මට සරදම් කරමිනි.

“මං නම් කවදාවත් මැරි කරන්නෙ නෑ. ගෑනු ළමයෙක් මැරි කරන්නම ඕන කියලා නීතියක් නෑනෙ.”

උද්භිද විද්‍යා පන්තියේ අප ඉගෙන ගත් ශාලාවට පිටතින් වූ ජෑම් ගස යට එවේලෙහි අප සිටි ආකාරයත්, අරුණෝදි රැගෙන පැමිණි අයිස් චොක්ස් රස බලමින් සිටි ආකාරයත් මගේ මනසෙහි මැවී පෙනිණ. 

“නීති පොතේ නීති නෑ තමයි. ඒ වුනාට ගෑනු ළමයෙක් කසාද බැන්දෙ නැති වුනාම හැමෝම ඒ ගැන කතා කරන්නෙ හරියට ඒ ගෑනු ළමයා නීතියක් කඩ කළා වගෙයි. අපේ ලොකු අක්කා මැරි කරන්න බෑ කියලා ඉන්නකොට අම්මෝ… අහල පහල ගෑනු උදවියයි, නෑදෑ ආන්ටිලයි කියන කතා අහලම මං හිතුවා ඒ ලෙවල් ඉවර වෙච්චි ගමන් බඳිනවා කියලා.” 

උද්භිද විද්‍යා පන්තියේදී අප මිතුරු සමාගමයට අයත් වු ජාන්වී පැවසූ බව මට මතකය. පැවසූ ලෙසම උසස් පෙළ ප්‍රතිඵල පැමිණෙන්නටත් පෙරම ඇය විවාහ වූයේ ප්‍රේම සම්බන්ධයකිනි. එදින මනාළියගේ යෙහෙළියන් වන්නට මට ද අරුණෝදිට ද අවස්ථාව ලැබිණ.

“මොකද කතා නැත්තෙ?”

සුදු නංගී මගේ උරහිසින් අල්ලා සෙලවූයෙන් මම අතීතයෙන් මිදුනෙමි.

“මං කියන්නෙ කසාද බැන්දාම ගෑනු ළමයෙකුගෙ නිදහස් ජීවිතේ එතනින් ඉවරයි කියලා. ඊට පස්සෙ ඉතින් ප්‍රශ්න ප්‍රශ්නම තමයි. එකඟද?”

“ඔයාට ඕන නම් මැරි නොකර ඉන්න. අනිත් අයව කළකිරවන්නෙ නැතිව.”

අම්මා සිනාව අතරින් පැවසුවාය. 

“අර… ඇහෙනවද?”

“මොකක්ද?” යි මා විමසුවද, සුදු නංගීගෙන් පිළිතුරක් නොලැබිණ. 

රාත්‍රියේ නිහඬත්වය බිඳිමින් පහළ වනරොද දෙසින් බකමූණකුගේ හ්ම්… හ්ම්… හඬ ඇසිණ. ඇතැම් නිදි නොමැති රාත්‍රී කාලයන්හිදී එම හඬ ඇසෙද්දී මට බියක් දැනුනද, අම්මාත්, සුදු නංගීත්  ළඟ සිටි නිසා එවේලෙහි මට බියක් නොදැනිණ.

“බකමූණෙක් හ්ම් කියනවා. ඒකා හැමතිස්සෙම හ්ම් හ්ම් කියන්නෙ ඇයි කියලා අම්මා දන්නවද?”

සුදු නංගී ඇසුවාය. 

“මම නම් දන්නෙ නෑ. කියන්නකො බලන්න.”

අම්මා පැවසුවාය. වජිරා ද අඳුර මැදින් සඳළු තලයට පැමිණියාය. සඳලුතලයේ වැටට හේත්තු වූ  ඇය අප දෙසට හැරුණාය.

“බකමූණා හ්ම් හ්ම් කියන්නෙ නිකම් නෙමෙයි. පවුල් සංස්ථාව රැක ගන්න. හැමදේටම හ්ම් කියනකොට අනික් කෙනා රණ්ඩු කරන්නෙ නෑ. අපේ මේජර් වංශනාථයි, සකුන්තලායි වගේ. සකුන්තලා  මේජර් කියන කියන දේට හ්ම් හ්ම් කිව්වෙ නෑනෙ.””

වජිරා පමණක් නොව අම්මා ද හඬ නගා සිනාසුනාය. මට ද සිනා පහළ වූයේ නිතැතිනි. 

“ඔන්න ලොකු… ඔයා මැරි කළාට පස්සෙ බකමූණු න්‍යාය පිළිපැද්දොත් හැමදාමත් සතුටින් ඉන්න පුළුවන්. නැත්නම් ඉතින් සකුන්තලා සහ මේජර් වංශනාථ හෙවත් නයා සහ මුගටියා වගේ ඉන්න වේවි.”

“සුදු…”

අම්මා පැවසුවේ දුක් හඬිනි.

“විහිලු කරලා හිනැස්සුවට කමක් නෑ. ඒත් එහෙම හිනාවෙන්න පුලුවන් වෙලාවක් නෙමෙයි මේ.”

“ඇයි? දැන් රෑ එකොළහයි.”

සිය ජංගම දුරකතනයෙන් වේලාව බැලූ සුදු නංගී පැවසුවාය.

“අම්මා කියන්නෙ රෑ එකොළහට හිනා වෙන්න හොඳ නෑ කියලද?”

“මේ ළමයා විකාර කතා කියලා මං ලොකුට කියන්න හදපු දේත් මට අමතක කරනවා.”

අම්මා එවර පැවසුවේ හැඬුම් ස්වරයෙනි.

“මං හැදුවෙ අම්මා කියන්න හදන දේට ප්‍රවිෂ්ඨයක් ගන්න.”

සුදු නංගී පැවසුවේ පසුතැවිලි ස්වරූපයෙනි. අම්මාත්, සුදු නංගීත් මා මෙම ස්ථානයට කැඳවාගෙන පැමිණියේ කිසියම් වැදගත් කරුණක් කතා කිරීමේ අදහසින් බව මට වැටහිණ. බියක් වැනි හැඟීමක් විදුලියක් මෙන් මගේ හදවත ඔස්සේ දිව ගියේ මා ද නොදැනුවත්වය.

“ආන් තරුවක් කඩා වැටුනා.”

වජිරා හිටිහැටියේම පැවසුවාය. කඩා වැටෙන තරු ලෙසින් දිස් වන්නේ උල්කාපාත බව පාසල් සමයේ විද්‍යා විෂයය ඉගෙන ගනිද්දී මා අසා තිබිණ. එකල කඩා වැටෙන තරු දැක ගැනීමේ උවමනාවෙන් මෙම ස්ථානයට වී පැය ගණනාවක් බලාගෙන සිටි අතීතය මට සිහියට නැගිණ.

“ඩිනාලි…”

අම්මා මගේ අතැඟිලි දැඩිව මිරිකා ගත්තාය.

“මං මේ දේ කියන්න හදන්නෙ හිත කඩන්න නෙමෙයි. හිත හදන්න. අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වලට උදා වෙනවා. ඒවා නිසා කඩා වැටෙන්න නෙමෙයි. හිතේ ධෛර්යයෙන් ජීවිතය ජය ගන්නයි ඕන.”

අම්මා සෙමෙන් පැවසුවාය. සුදු නංගී කුමක් හෝ පවසනු ඇතැයි මා සිතුවද, කිසිවක් නොපැවසූ ඇය මගේ වම් අත තදින් අල්ලා ගත්තාය. අම්මා පවසන්නට යන දේ ඇය මෙන්ම වජිරා ද දැන සිටිනු ඇතැයි මට සිතිණ.

“අම්මා මොකක්ද මේ කියන්න හදන්නෙ?”

මම ඇසුවෙමි. 

“මේකයි ඩිනාලි. ඔයාට කළ සර්ජරි එක මොකක්ද කියලා ඔයාගෙන් හංගන්න මට ඕනකම තිබුනා. මං ඩොක්ටගෙනුයි, නර්සස්ලගෙනුයි වැඳලා ඉල්ලා හිටියා මේ ගැන ඔයාට දැන ගන්න ඉඩ තියන්න එපා කියලා. ඒත් ඔයා දැන් පුංචි ළමයෙක් නෙමෙයි. ඇත්ත දැනගෙන හිටියාම ඔයාට ජීවිතේට මූණ දෙන්න පුලුවන් කියලා හිතුන නිසයි මං මේ දෙන්නා එක්කත් කතා කරලා ඔයාට ඇත්ත කියන්න තීරණය කළේ.”

මගේ දෙනෙත් වලට අහේතුකව කඳුලක් නැගිණ. සැබවින්ම මට කරන ලද ශල්‍ය කර්මය කුමක්ද යන්න මා නොදැන සිටි අතර, එය දැන ගැනීමට පවා මා තුළ උනන්දුවක් නොමැති වූයේ එය එතරම් බරපතල එකක් නොවනු ඇතැයි මා සිතූ බැවිනි.

“කියන්න අම්මා. ඕනම දෙයක් කියන්න. මට ඕන දෙයක් දරා ගන්න පුලුවන්.”

මම පැවසුවෙමි. අම්මාගේ අතැඟිලි වලට මගේ අතැඟිලි තදින් තෙරපිණ. ඇගේ සිත තුළ ඇති කැළඹීම මොන තරම්දැයි සිතන්නට මම උත්සාහ කළෙමි.

“ඔයාට අමාරු වෙච්චි දවසෙ නොකරම බැරි නිසා ඔයාගෙ වූම්බ් එක අයින් කරන්න සිද්ද වුනා.”

ඈත ලොවක සිට කතා කරන්නාක් මෙන් මට අම්මාගේ කටහඬ ඇසිණ. මගේ ගත හිරිගඩු පිපිණ. ඈත අහසේ තරු අතරින් ගමන් කරන තරුවක් මම අහම්බෙන් දුටුවෙමි.

“වූම්බ් එක විතරක්ම නෙමෙයි. ෆැලෝපියන් ටියුබ්ස්, ඕවරීස් අයින් කරන්නත් සිද්ද වුනා.”

“හේතුව?”

මම වෙව්ලන හඬින් ප්‍රශ්න කළෙමි.

“හේතුව ගෙඩියක්. ෆයිබ්‍රොයිඩ් කියලා තමයි ඩොක්ටර්ස්ලා හිතන්නෙ. ඒ වුනාට ටියුබ්ස් වල වුනත් මොකක් හරි වෙනසක් තිබුනලු.”

“වෙනසක් කිව්වෙ?”

“හරියටම කියන්න මම දන්නෙ නෑ. ඔයාගෙ බඩ රිදෙන්න ගත්තෙ, වොමිට් වුනේ ෆේන්ට් වුනේ ටියුබ් එකක තිබුන මොකක්දෝ… මොකක්දෝ… එකක් කියලා ඩොක්ටර් කිව්වෙ. හොස්පිටල් එකට අරන් ගිහින් තියෙන්නෙ හරිම වෙලාවට. ඒ යද්දි ඔයාට සිහිය තිබුනෙ නෑ. එවේලෙම ස්කෑන් කරලා තමයි හොයාගෙන තියෙන්නෙ.”

රෝහලට ගෙන යද්දී මා සිහිසුන්ව සිටි බව අම්මා පැවසුවද, සිහිනයකින් මෙන් වෛද්‍යවරුන් කතා කරන හඬවල් මට ඇසුණු බව මගේ මතකයෙහි තිබේ. එහෙත් කතා කිරීමට වදනක් මුවට නගා ගැනීමට තබා අතපය චලනය කිරිමට පවා නොහැකි ලෙසින් මා දැඩි වේදනාවෙන් සිටි බව මට මතකය.

මා සුදුමැලි වී ඇති බවත්, ලේ දීම අවශ්‍ය බවත් කිසිවකු ඉංග්‍රීසි බසින් පවසන හඬ, ඈත ලොවකින් මෙන් ඇසුණ බව මට මතකය. මගේ ලේ වර්ගය ඒ පොසිටිව් බව පවසන්නට එවේලෙහි මට උවමනා වන්නට ඇතත් දරා ගත නොහැකි වේදනාව එවේලෙහි මා ගොලු කර තබන්නට ඇතැයි මට සිතෙන්නේ දැන් ය. 

“මට එවේලෙ නර්ස් කෙනෙක් කිව්වා එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් වගේ කියලා. මට ඒ නර්ස්ට බනින්න හිතුනා. මං කිව්වා මගේ දුව තවම මැරි කරලා නෑ කියලා. නර්ස් කට කොනකින් හිනා වුනා. කවුරු මොනවා කිව්වත් මං දන්නවා ඒක කවදාවත්ම වෙන්න බෑ කියලා.”

“කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ඒ වගේ දේවල් කියන්න නරකයි.”

වජිරා ද පැවසුවාය. 

“ඩිනාලිට තිබුණ රෝග ලක්ෂණ නිසා ඒ නර්ස් එහෙම හිතන්න ඇති. පස්සෙ එයා මගෙන් සමාව ඉල්ලුවා. එක එක හේතු නිසා තරුණ ගෑනු ළමයින්ගෙත් ගර්භාෂය ඉවත් කරන්න වෙනවලු. ජීවිතේ බේරිලා එක අතකට එහෙම වුන එකත් හොඳයි.”

අම්මා මා සනසන්නට එසේ පැවසුවද, ඇගේ කටහඬ බිඳී තිබිණ. 

“ඒ කියන්නෙ අම්මා? මට… මට කවදාවත්ම අම්මා කෙනෙක් වෙන්න බැරිද?”

සිතට ක්ෂණයකින් නැගුනු සිතිවිල්ල වදන් බවට පත් වී මගේ මුවගින් පිට වූයේ මට ද රහසිනි. අම්මා තදින් මගේ අතැඟිලි මිරිකුවාය. 

“කුසින් දරුවෙක් නොවැදුවට ගෑනු කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න බැරි නෑ ඩිනාලි. එහෙම පිටින් දරුවො අරගෙන හදාගෙන ලස්සනට ජීවත් වෙන කපල්ස් ඕනතරම් ඉන්නවා. මං ඇත්ත කියන්න තීරණය කළේ ඔයාගෙ හිත හදන්න. අපි ජීවිතේට මුහුණ දෙමු. එක දෙයක් අහිමි වෙන්නෙ තව ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියලා මම අහලා තියෙනවා.”

මම අම්මාගේ උරහිස මත හිස තබා ගතිමි. මගේ දෙනෙතින් කඳුලු ගලා ගියේය. හේෂාන් සහ මා දරුවන් පිළිබඳව මැවූ සිහින සියල්ලම බොඳ වී යාදැයි මට සිතිණ.

“හේෂාන් මේ බව දන්නවද අම්මා?”

අප අතර වූ නිශ්ශබ්දතාවය බිඳිමින් මා ඇසුවේ සෑහෙන වේලාවක් ගත වූ පසුය.

“දන්නවා. එයාගෙන් කිසිම දෙයක් හංගන්න මට ඕන වුනේ නෑ. ඔය දෙන්නා මැරි කරන්න ඉන්න නිසා එයා ඇත්ත දැනගන්න ඕනනේ.”

“එයා මොකක්ද කිව්වෙ?”

“ඒ කිසිම දෙයක් මට ප්‍රශ්න නෙමෙයි ආන්ටි. මොන දේ සිද්ද වුනත් මං ඩිනාලිව මැරි කරන්න ගත්ත තීරණය වෙනස් වෙන්නෙ නෑ කියලා හේෂාන් කිව්වා.”

“ඇත්තටම?”

“ඔව්. ඇත්තටම. මං ජීවිතේ කවදාවත් පිරිමි කෙනෙක් අඬනවා දැකලා නෑ. ඔයාව තියටර් අරගෙන ගියාට පස්සෙයි හේෂාන් හොස්පිටල් එකට ආවෙ. එයා පුංචි ළමයෙක් වගේ අඬනවා දැක්කම ඩිනාලි මට පුදුම හිතුනා. ඒ අතින් හේෂාන් හරිම සංවේදී කෙනෙක්.”

“පව්.”

මට කියවිණ.

“හැමදේම දැනගෙන හේෂාන් වුනත් මට කිසිම දෙයක් කියන්න නැතිව ඇත්තෙ මට දුක හිතේවි කියලා වෙන්න ඇති.”

“ඔව්. ඔයාට වුනේ මොකක්ද කියලා චාන්දනී ඇහුවට හේෂාන් කිසිම දෙයක් කියලා නෑ. ඊටපස්සෙ තමයි හොස්පිටල් එකේ කවුරුහරි කියපු දෙයක් අහගෙන එයා පිස්සු නටන්න ගත්තෙ.”

“එයා හිතන්නෙ මට මොනවා වෙලා කියලද?”

අම්මා මොහොතක් නිහඬව සිටියාය. එවේලෙහි සුළඟ හමා යන හඬ තදින් ඇසිණ. තද සුළඟ නිසා අවුල් වන හිසකෙස් අතින් සකස් කර ගනිමින් මම අහස දෙස බැලුවෙමි. ‘ගෝනුස්සා’ තාරකා මණ්ඩලය අහස මධ්‍යයේ අපූරු ලෙසින් දිස් වෙමින් තිබිණ.

“එයා හිතන්නෙ ඔයා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා අපි කවුරුත් එකතු වෙලා ඒකට මොකක් හරි කරලා කියලා.”

“පිස්සුනෙ.”

සුදු නංගී කෑගැසුවාය.

“හරි. දැන් හැමදේම හරි. මොනවා නැති වුනත් ඔයාට හේෂාන් නැති වෙන්නෙ නෑ පුතේ. ඒ නිසා සතුටෙන් ඉන්න. අපි යමු නිදාගන්න.”

අම්මා නැගිට මට නැගී සිටින්නට අත දුන්නාය. මා ඇය සමග ගමන් කළේ යාන්ත්‍රිකව මෙනි.සියල්ල එසේ සිදුවී නම් හඬා වැලපීමෙන් ඇති ඵලය කුමක්දැයි යහන මත වැතිරුණු මම කල්පනා කළෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles