වියෝ ගී ගැයෙනා හදේ – 4

0
4425

“පුදුම මිනිහෙක්නෙ. ඔහොම තමන්ගෙ වයිෆ් එක්ක රණ්ඩු උනා කියල රෑට ගෑණිවයි ළමයවයි ගෙදර දාලා හරිහමං මිනිහෙක් රෑ තිස්සේ ඔහොම ගමං බිමං තියාගන්නවද මං අහන්නෙ? ඕක මම කවුද කියල දැනගන්නෙ මගෙ දරුවට කරදරයක් උනා නම් තමයි” කියා ගෙදර සාලේ එහා මෙහා ඇවිදිමින් කෝපයෙන් වචන පිට කලේ මේධාවිණීගේ තාත්තා වෙච්ච මනුර සුමතිපාලය. අම්මා වුණ කමලිනී උන්නේ සෙටියේ වාඩි වී කම්මුලට අත තියාගෙන කල්පනා කරන ගමන් ය.

හොඳට උණ හැදිච්ච මේධාවිණිත්, අඬ අඬ උන්නු පුංචි පෙත්මලීවත් තමන්ගේ ගෙදරට අරගෙන යන්න කමලිනී ගෙදරට එද්දිත් මේධාවිණී උන්නේ දෙතුන් පාරක් වමනේ දා, දරාගන්න බැරි හිස කැක්කුම තුරන් වේ යැයි බලාපොරොත්තුවෙන් පැනඩීන් පෙති දෙකක් ද බී හිස කැක්කුමත්, පැනඩීන් නිසා මතුවන නිදිමත ගතියත් නිසාවෙන් රැයක් පුරා මදුවිතෙන් මත් වූවෙකු සේය. අම්මා පැමිණ දොර සීනුව නාද කරද්දී දොර අරිනු පිණිස මේධාවිණී ඇඳෙන් නැගිට්ටේ බැරිමරගාතේය. රාත්‍රියේත් අඬ අඬ උන්නා මිසක හරිහමං දෙයක් බඩට දාගත්තෙ නැති එකත්, උදේ ඉඳන් දෙතුන් පාරක් වමනෙ ගිය හන්දාත්, ඒ අස්සේම ගත්ත පැනඩීන් වඩියත් හන්දා මේධාවිණීගේ ඇඟේ පණක් කියා පණ කලඳක්වත් ඉතුරු ව තිබුණේ නැත. 

“අනේ මට බෑ අම්මි. මට මාර අමාරුයි, මාව ගෙදර එක්කරගෙන යන්නකො” කියා කෙඳිරි ගාගෙන අම්මාගේ උරහිසට කඩන් වැටුණේ විවාහ වී ඉස්කෝලෙ යන වයසේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකු නොව ආදරේ නිසා, කුලගෙය නිසා හිත රිද්දගත්ත කෙල්ලෙක් බව මේධාවිණීට නොතේරුනා නොවේ. මේ වෙලාවේ හිත සනසගන්න උවමනා උනේ ඒ කෙල්ලට මිස මේධාවිණී සංසාර්‍යා සුමතිපාල කියන අම්මාටවත් බිරිඳටවත් නොවන බවත් මේධාවිණී ඒ වෙලාවේ හිතට කිව්වාය. අම්මගේ උරහිස මත හිස තබාගෙන වරු ගාණක් හෝ අඬා හිත නිදහස් කරගන්න පුලුවන් නම් කොච්චර හොඳද කියා පමණකි මේධාවිණීට එවෙලේ හිතුනේ.

අම්මාගේ උරහිස මත හිස තියාගෙන කාරෙකේ පිටිපස්සෙ වාඩි වී මේධාවිණී යද්දි පුංචි පෙත්මලී අත්තම්මාගේ උකුල උඩ වාඩි වී කාරෙකේ වීදුරුවෙන් එලියෙ පෙනෙන තමන්ට පසුවෙන ගස් කොලං ද යාන වාහනද මිනිස්සුන්ද දිහා බලාගෙන මොන මොනවදෝ කල්පනා කර කර උන්නාය. ගෙදර ආ ගමන් තමන්ගේ සුපුරුදු කාමරයට ගිය මේධාවිණී ඇඳට වැටී දිගු නින්දකට වැටෙද්දී පෙත්මලීට බත් කැවූ කමලිනී පෙත්මලීවත් අම්මා ලඟින්ම උණුසුමට නිදි කෙරෙව්වාය. සැමියා වෙච්ච මනුර ගෙදර පල්ලෙහ තට්ටුවේ සාලයේ එහා මෙහා ඇවිදමින් කල්පනා කරන්නේ කෝපයෙන් නිසා බව දන්න නිසාම කමලිනී පඩිපෙල දිගේ පල්ලෙහට බැස්සේ මනුර ඉන්නවා ඇත්තේ කෝපයේ මොන පරිමාවේද කියා කල්පනා කර කරය.

“මං අහන්නෙ ඔය යකාට අපි කිව්වනෙ මෙතන මේ එක එකාගෙ ඔෆිස් අස්සෙ අඩු පඩි වලට ලෙවකන්න යන්නෙ නැතුව අපේ මේ බිස්නස් වලට ජොයින් වෙලා හැමදේම මැනේජ් කරගෙන ඉන්න කියල. කොහෙද උන්ට මෙතන මේ ලොකුකම ඔලුවට ගැහුවනෙ ගෑණිගෙ තාත්තා ඔෆර් කරන බිස්නස් ඔපචුනිටි එක භාරගන්න බෑ කියන්න තරම්.

පස්ස පැත්ත කහගන්න නියපොත්ත නැති උනාට මොකද ලොකුකම නම් තියෙනව අර මොකද්ද එකටත් වඩා උඩින්. ඔයාගෙ වරද කමලිනී. තනිකරම ඔයාගෙ වරද.මං කිව්ව හයර් ස්ටඩීස් කරද්දි මේ හැමතැනින්ම හැම එකාම රිංගන ගවන්මන්ට් කැම්පස් අස්සෙ යවන්නෙ නැතුව පිටරටක හරි යවලා උගන්නමු කියලා. කොහෙද ඔයාට මං කියන ඒවට වඩා ලොකු උනානේ මේධාගෙ හිත සනසන එක ඒ වෙලාවෙ. 

අන්තිමේ ඔය සනසගත්තෙ. දැන් අම්මටයි දූටයි දෙන්නටම තේරෙනවා ඇතිනෙ රඟේ තරම” කියාගෙන මනුර එහා මෙහා යද්දිත් කමලිනි කලේ ඇඬෙන්නෙ නැතිඋනත් බරවී ඇති නාහෙ උඩට සූර සුරා සාලෙ පුරා ඇවිදින මනුර දිහා බලාගෙන කම්මුලට අත තියාගෙන කල්පනා කරන එකය.

“කැම්පස් ගිය පලියට මේ ළමයා අපිට නොගැලපෙන කොල්ලෙක් එක්ක යාලුවෙයි කියල කවුද සුමති හිතුවෙ” කියා කියද්දිත් කමලිනීගේ ඒ වචන අස්සේ ඕනවටත් වඩා පසුතැවීමත් අනේ ආපස්සට අතීතෙට ගිහිල්ලා වෙච්ච දේවල් වෙනස් කරන්න පුලුවන් නම් කොච්චර හොඳද කියා හිතෙන හිතුවිල්ලත් තැවරී තිබුණි. 

“කවුද හිතුවෙ? මං හිතුවා. ඔයයි දෝණියැන්දයි දෙන්නම නොහිතුවට මම හිතුවා. මං හිතුව ඒව දැන් ඇත්ත උනා කියලා දෙන්නටම තේරෙනවා ඇතිනෙ. මං කිව්ව දේ ඇහුවෙ නෑ එකෙක්වත්. අන්තිමේ දැන් අපේ ඇස් නිදහසේ පියවිලා යන්න ඕන කාලෙ අපිට බලන්න වෙලා තියෙන්නෙ මේ අපේ දරුවො දුක් විඳින ඒව තමයි” කියා මනුර කියද්දී ඇත්තටම කියන්න දෙයක් කමලිනීට තිබුනේ නැත. අනෙක් අතට දැන් ඉතින් මොනවා කිව්වත් නැතත් තේරුමක් නැති බව දන්න හන්දා මනුරව තවත් කලබල කරනවට වඩා හොඳ සද්ද නැතුව ඉන්න එක බව අවුරුදු තිස් ගාණක විවාහ ජීවිතයෙන් ඉගෙන ගෙන තියෙන හන්දාම කමලිනී කටෙන් වචනයක් පිට කලේ නැත. 

මේධාවිණී තමන්ගේ නිවස අත හැර දමා තමන්ගේ මහගෙදරට ගිහින් තියෙන බව චිරත් දැනගත්තේ හවස් වරුවේ ගෙදර ආවයින් පස්සේය. වෙනදට තමන් ගෙදර එන්න මීට බොහෝ රෑ වෙනවා උනත් චිරත් අද හිතාමතාව වැඩපල ටික ඔක්කොම කරගෙන හවස් වරුවේ යන්නට තිබුන තමන්ගේ බිස්නස් එකට අදාල මීටින්ස් කීපයක්ම කැන්සල් කරගත්තේ ඊයේ රැයේත් අද උදේත් තමන් හැසිරිච්ච විදිය වැරදි බව දන්න හන්දාමය. ඉස්සරත් කැම්පස් කාලේ මේධාවිණී එක්ක තරහ උනාම ඇගෙන් එන ඇමතුම්ද කෙටි පණිවිඩද වලට පිලිතුරු නොදි නිහඬව හිඳ වාර ඇති නමුත් මෙපමණ වෙලාවක් එහෙම කරපු එකම දවස අද හන්දා චිරත් ඇත්තටම උන්නේ හෘද සාක්ශිය කියන දේවල් හන්දා ලැජ්ජා වෙමිනි.

“ඔයා ඔය අපි දෙන්න අතර ප්‍රශ්න උනාම ෆෝන් එකට ආන්ස්වර් නොකර ඉන්න එකට මම ආසම නෑ චිරත්. එහෙම කරන්න එපා. මං කැමතියි ප්‍රශ්නයක් උනාම රණ්ඩුවක් වෙලා හරි ඒක ගැන කතාකරන්න ඔයා කෝල් එකකට මැසේජ් එකකට රෙස්පොන්ඩ් කරනවනම්. ඔයාම හිතන්නකො බැඳපු කාලෙක ඔයා ඔහොම රියැක්ට් කරොත් මම කොච්චර අසරණ වෙනවද කියලා.

  මං ආසම නැති දෙයක් තමයි ඔයා ඔය ෆෝන් එකට මැසේජස් වලට රෙස්පොන්ඩ් නොකර ඉන්න එක. ඔන්න ඒක හදාගත්තෙ නැත්තන් මම ඇත්තටම ඔයාව මැරි කරන්නෙ නෑ හොඳේ” කියා මේධාවිණී කියද්දි තමන් එදවස කලේ හිනාවෙවී “ බැන්දට පස්සෙ ඉතින් ෆෝන් ඕෆ් කරගෙන ඉඳලා, මැසේජ් වලට රිප්ලයි නොකර ඉඳලා තේරුමක් නෑනෙ. අපි දෙන්නා කොහොමත් එතකොට එකතැනනෙ ඉන්නෙ. මං තරහෙන් හිටියොත් ඔයාට කරන්න තියෙන්නෙ ලඟට ඇවිල්ලා මට කිස් එකක් දීලා මාව ශේප් කරගෙන යාලුකරගන්න එකනෙ” කියා කිව්වට තමන් කිව්ව දේවල් වලට වඩා මේ වර්තමානය කොච්චර වෙනස් වී ඇති ද කියා නොහොත ඉන්න පුලුවන්කමක් චිරත්ට තිබුනේ නැත. 

මේධාගේ දුරකතනයට කොච්චර ඇමතුම් අරගත්තත් මේධා ඒ ඇමතුම් හා සම්බන්ධ නොවෙද්දී චිරත් ඇත්තටම බය වුණේය. අනෙක් අතට තමන් මේධා ආවද කියා අහන්නට මේධාගේ මහගෙදරට දුරකතන ඇමතුම් දෙද්දී ඒ මිනිස්සුන් ද දුරකතනට සම්බන්ධ නොවෙද්දී තමන් නොහිතන අන්දමේ දෙයක් වෙලා තියෙන බව චිරත්ට නිකමට හිතී නොහිතී ගියේය.

ආපසු වාරයක් වාහනයට නැගුණු චිරත් මේධාවිණීගේ මහගෙදරට ගියේ මේධාත් පෙත්මලීත් එහි ඉතැයි බලාපොරොත්තුවෙනි. ස්වයංක්‍රීයව ගේට්ටුව ඇරී මේධාගේ තාත්තා විසින් ගොඩ නගන ලද විසල් නිවස ඇස් ඉදිරියේ විද්‍යාමාන වෙද්දී චිරත්ගේ හිත සැනසුවේ ගේ ඉස්සරහ මලින් බර තණකොළ පාවඩය උඩ අත්තම්මා සමග සෙල්ලම් කරමින්, හිනාවෙමින් දඟල දඟල උන්නු පෙත්මලීගේ දසුනය. පෙත්මලී මෙහි ඉන්නවා කියන එකෙ අදහස මේධාවිණීද මෙහි ඉන්නවාය කියන එක චිරත් ඒ අනුව අග මුල ගලපගත්තේය.

ඒත් ඒ අගමුල ගලපා ගැනිල්ල අවසානයේ රැඳුණ මේධාගේ තාත්තා වුණ මනුර සුමතිපාලගේ දෙනෙත්වල තිබ්බ බැල්ම චිරත්ව තිගස්සන්න හේතු වුණ එකකි. බොහෝ වෙලාවකට පස්සේ තාත්තව දැක්ක සන්තෝසයට තණකොළ පිස්ස දිගේ දුවගෙන දුවගෙන ආව පෙත්මලී “තාත්තීඊඊඊ” කියාගෙන දෑත විදහාගෙන තමන්ගේ තුරුලට පනිද්දීත්, ඇයව වඩාගෙන කම්මුලක මත සුමුදුවට හාදුවක් තියද්දීත් මනුර සුමතිපාල ගේ දෙනෙත් හා යාවි තිබුණ තමන්ගේ දෙනෙත් බැල්ම මුදවාගන්න චිරත්ට හැකියාවක් තිබුනේ නැත.

එහෙත් හිත වඩා තිගස්සන්න හේතු උනේ ඒ බැල්ම නොවේ. ඒ බැල්ම ඔස්සේ මනුර සුමතිපාලගේ කටෙන් පිටවෙච්ච වචන කිහිපයය.

“ඇයි තමුන් මෙහෙ ආවෙ?” කියා මනුර සුමතිපාලගේ කටෙන් පිටවුණේ ඇයි කියන වචන පේළිය ඇත්තටම චිරත්ව තප්පර කිහිපයකට ගොලු කර දැමුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here