ඈත දුර ආකාසේ – 36

තුරුලි එදෙස බලා හුන්නේ වේදනාවෙනි.දුකකිනි. ඇගේ දෑසේ බැල්ම නිවුන් සොයුරිය කියවා ගත්තා ය.

“අක්ක..ඔයාට දුකයිද?”

ඇය ඇසුවේ එනිසා ය.තුරුලි හිස සැලුවා ය.

“මට දුකයි නංගි..මේ මනුස්සයට මෙච්චර ඉක්මනින් තව කෙල්ලක් අහු උනාට දුකයි.මේ මනුස්සයා තමන්ගේ පරණ ගති අතෑරලා නැතුවට දුකයි.අපි මේ මනුස්සයට දීපු සමාව මේ මනුස්සයා පාවිච්චි කරන විදිය ගැන දුකයි..”

තුරුලි කියවාගෙන ගියේ වේදනාවෙනි.ඇගේ හඬ කෝපය සහ ශෝකය මැද අතරමංව තිබුණා ය.

“ඔයා ඔය ළමයට කියනවද අක්කා,ආදිත්‍ය මොන මිනිහෙක්ද කියල..”

සඳලි ඇසුවා ය.අලුත් රැකියාවට කොළඹ ආ යුවතියක නිසා එරංගා ඔහුට හසු වන්නට ඇතැයි ඇයට සිතිණ.

“කියන්න බැරිකමක් නම් නෑ නංගි..එයා ඒක බාර ගන්න හැටි අපි දන්නෙ නෑනෙ..”

තුරුලි කාටත් වඩා හොඳින් එරංගා ගිලී හිඳින මුලාව දැන සිටියා ය.ඇයට ද එකල ආදිත්‍යගේ අගුණ කී අය බොහෝ ය.නමුත් ඇය සිතුවේ ම ඒ හැමකෙනෙක්ම ඈ ගැන දැඩි ඉරිසියාවකින් පෙළෙන බව ය.

“මගේ පුතාගෙ තාත්තා අර එෆෙයා එක තිබ්බ ගෑනු කෙනාවත් අතෑරලා වෙන ගර්ල් කෙනෙක් බඳින්න යනව.ඔය මනුස්සය මොනතරම් අසහනයක් තියන කෙනෙක්ද කියල මම කියනව කියමු.ඒ ගර්ල් පිළිගනීද නංගා..”

ආදිත්‍ය ගැන අලුත්ම පුවතට සවන් දුන් අරුණි එසේ කියා පණිවිඩයක් එවා තිබුණා ය.

“ඒ ගර්ල් හිතන්නේ මං අලුත ඉපදුණු දරුවවත් තාත්තට නොපෙන්වන නරුම ගෑනියක් කියල.ඉතින් හිතන්නකො.සමහරවිට කසාදෙන් පස්සේ සතා එළියට එයි..නැත්තං ඒ කෙල්ල මට ජීවිතේම වෛර කරයි..”

මිනිසුන්ගේ ජීවිතය ගැන පාඩමක් අරුණි එසේ උගන්වද්දී ආදිත්‍ය ගැන කිසිවක්ම එරංගාට නොපවසන්නට තුරුලි තීරණයක් ගත්තා ය.නමුත් ආදිත්‍ය ඇයට පෙර ක්‍රියාත්මක වී තිබිණ.

“යමක් කමක් නැති කොල්ලො අතෑරල සල්ලි තියන මිනිස්සු පස්සෙ යන ගෑනු නම් අප්පිරියයි අප්ප..”

නිළියකගේ ඕපදූපයක් රස කරමින් හුන් කාර්ය මණ්ඩලයේ කතා බහක් අතර එරංගා පැවසුවේ තුරුලි දෙස යටැසින් බලමිනි.නේත්‍රා වහා අපහාසාත්මක සිනාවක් මවා ගත්තා ය.

“අපෝ ඇක්ට්‍රස්ලා විතරක් නෙවේ එරා..අපි අතරත් එහෙම ගෑනු ඉන්නව.පීආර් ගැන ඩොක්ට පට්ටං ගැන හිතාගෙන මිනිස්සු තෝරා ගන්න ගෑනු…”

තුරුලි දුරකථන මුහුණතේ හිනැහෙමින් සිටි මියුරුගේ මියුරු සිනාව දෙස බලා කෝපය වාවා ගත්තා ය.මේ පහර වදින කිසිවෙකුත් දික්කසාද නඩුවකට පසු හෝ නිදහස සොයා එන කිරිල්ලක දෑත විදා පිළිගන්නට මඟ බැලූ විශාල හදවතක් හිමි තරුණයා ගැන දන්නේ නැත.ඔවුන්ට ඕනෑ පරිදි කතාවක් ගොතා ගත්ත ද දුකක් නැත්තේ ද එනිසා ය.

“මං නේත්‍රා අක්කා හිටිය නිසා වැඩිය මොකුත් කීවෙ නෑ.මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආදිත්‍ය හේවාපතිරණ.”

එරංගා සවස් යාමයේ තුරුලි වෙත පැමිණ කීවේ හරහට ය.තුරුලි සිනාවක් සැලුවා ය

“මට අක්කගෙ අහන්න වැඩි ප්‍රශ්න නෑ.ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් යාළු වෙලා හිටිය කොල්ලව ඔහොම අතෑරියෙ කොහොමද අක්කි..ඒ කොල්ලා පිස්සෙක් වෙයි කියලවත් හිතුණෙ නැද්ද?එයා හැදෙනකම් උදව් නොකර ඩොක්ට කෙනෙක්ව අල්ලා ගන්නකොට අක්කට ලැජ්ජා හිතුන් නැද්ද”

පැහැර ගැනීමේ නඩුවක් ද අවසානයේ සමාව දී නිදහස් කළ ආදිත්‍ය එරංගාට මොනවා පවසා තිබුණ ද තුරුලිට දැන් වගක් නැත.මියුරු ද ඔහුගේ ආදරය පිරුණු පවුලේ උදවිය ද අම්මාටත් සඳලිටත් ඉරිසියාව ඇති වන තරමේ ආදරයකින් ඇය නහවයි.

“අම්මේ, මං තාත්තා එක්ක එන්නං අද..අද මං රෑ වෙනව.ලෙක්චර්ස් තියනව හවස..”

අද උදෑසන සිදු වූ ඒ කතාව තුරුලි සිහි කළේ එරංගාට කියවන්නට ඉඩ දී ය. අම්මා කලබල වූවා ය.

“අර ගම්පහ වත්තේ වැඩේට ගිහිං තාත්තට එන්න බැරි වෙයි ලොකු පුතේ..රනුකට කෝල් එකක් දෙන්න.”

“මං මියුරුලගෙ තාත්තා ගැන කීවෙ අම්මා.අපේ තාත්තට කියන්නෙ අපේ තාත්තානෙ..”

අම්මා නෝක්කාඩු සිනාවක් මවා ගනිමින් හිනැහුණේ “අපටත් වඩා එයාලා ඉතිං ඔයාව අයිති කරගෙනනෙ”කියමිනි; එහෙත් සතුටිනි.

තුරුලි එරංගා දෙස බැලුවේ ඒ සතුටු මතකය සහිතව ය.නොදන්නා ගොහොරුවක එරී එහි නෙළුම් මානෙල් සුවඳ ගැන දොඩවන එරංගාට අනුකම්පා කරන්නට ඈ තීරණයක් ගත්තා ය.ඇයට ඒ ගොහොරුව සැපතක් නම් කළ හැක්කක් නැත.ඉතා විසල් නිල් අහසක ප්‍රවේසමෙන් ඉගිල යන අන්දම උගනමින් හිඳිනා තමන්ට මෙවැනි දෑ අසන්නටවත් නුවුමනා වග තුරුලි සිතුවා ය.

“නොහැදෙන මිනිස්සු හැදෙනකම් බලන් ඉන්නවට වඩා ගෑනු ළමයෙක්ට අප්‍රමාණ වැඩ තියනව නංගි.ඒත් ආදිත්‍යට ඔයා එක්කවත් හැදෙන්න පුලුවං වෙන්න කියල මම සුබ පතනව.කාලයක් මගේ ජීවිතේ හිටපු මනුස්සයෙක් නිසා එයා එහෙම හරි ගොඩ ගියොත් සතුටක්..”

තුරුලි කාර්යාලයෙන් එළියට බැස්සේ එසේ කියන අතර ය.ආදිත්‍ය මෝටර් සයිකලය නවතාගෙන බලා සිටින අන්දම ඈ දුටුවා ය.ඒ ඈ වෙනුවෙන් නොවීමේ සතුට තුරුලි හදවත පුරා විඳින්නට ගත්තා ය.

නිදහස වඩා සුන්දර වග දන්නේ සිරගත ව හුන් අය ය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
1 month ago

👍