තුරුලි නැගණිය දෙස බලා සිටියේ තිගැස්මෙනි.සියල්ල යහපත් ව සිදු වන කාලයක ඈ ප්‍රවේසමෙන් පවසන්නට යත්න දරන්නේ කුමක්දැයි තුරුලි සිතුවේ බියෙනි.
“අපේ ෆයිනල්ස් ඉවරනෙ අක්කා.හයිස්ටඩීස්වලට අපිට වෙන රටකට ඇප්ලයි කරන්න පුලුවං.මගෙයි රනුකගෙයි අදහසක් තියනව මැරි කරන්න..”
තුරුලි ඉතා ප්‍රීතිමත් දෑසකින් නැගණිය දෙස බලා සිටියා ය.එහි කිසිම වැරදි අවබෝධයක් ගන්නට දෙයක් නැත.උතුරා යන සතුටක් පමණක් තුරුලිට දැනිණ.
“ඔයානෙ අක්කා.මියුරුගෙ ස්ටඩීස් ඉවර වෙන්න තව අවුරුද්දක්වත් යයිනෙ.ඔයාලට කලින් අපි මැරි කරන එක අක්කට ප්‍රශ්නයක් ද කියලයි මට අහන්න ඕන..”
සඳලි එසේ අසද්දී තුරුලි හිනැහී ඇයව වැළඳ ගත්තා ය.
“ඔයා මියුරුව මැරි කරානම් නෙ මට ප්‍රශ්නෙ.දැන් මට මොකුත් ප්‍රශ්නයක් නෑ.”
අක්කා නගෝ උස් හඬින් හිනැහෙද්දී තාත්තා ද ඒ හිනාවට එක් වූවේ ය.කසාද බඳින්නට තරම් තමන්ගේ ඇඹිටිලි කෙල්ලන් උස්මහත් වූ බව ඔහුට විශ්වාසයට ගන්නට පවා අපහසු ය.
“වැඩිමල් සහෝදර සහෝදරියො ගෙදර ඉන්නකොට බාලයන්ට බඳින්න බෑ කියල කතාවක් තියනවනෙ පුතේ..ඒ නිසා රනුකට ඕක ඔයාගෙන් අහන්න හිතිලා.”
අම්මා එසේ කීවේ කෑම මේසයෙන් පුටුවක් ඇද හිඳ ගන්නා අතර ය.
“මගෙ අක්කාකම ඉතින් විනාඩි දෙකකටනෙ අම්මා.අපි දෙන්නම එක වයසනෙ.නංගිගෙ ලයිෆ් ටාගට් වලට යන්න එයා බැන්දම මොකෝ වෙන්නෙ..”
තුරුලි එසේ පැවසුවේ ආදරයෙනි.කොහොමටත් අක්කා ලෙස හැසිරෙන්නේ ද සඳලි ය.ඇය තමාව මෙහෙයවන තැන් නොතිබුණා නම් තවමත් තමන් ආදිත්‍යගේ දඬු අඬුවට හසු වී හිඳින්නියක වන්නට ද තිබිණ.
“ජූනි මාසෙට නැකැත් තියද බලමු අම්මා.මියුරුත් වැකේෂන් එනවනෙ.රනුකට මියුරුව බෙස්ට්මන් කරගන්නම ඕන කියන්නෙ.මටත් ඕන..”
සඳලි එසේ පවසද්දී තුරුලි නංගී ඉදිරිපිට සිට ගත්තේ දෑත් ඉඟටියේ ගසා ගනිමිනි.
“මාර වැඩක්නෙ..මට ඔයාගෙ දෙවෙනි මනමාලි වෙමුද ඇහුවෙත් නෑනෙ..මියුරු අරගෙනත් ඉවරයි.අනික එයා වැකේෂන් එන කාලෙම වෙඩින් එක ගන්නත්..”
සඳලි කිකිණි සිනාවෙන් හිනැහෙන්නට ගත්තා ය.සිනා යන්නට ආවද තුරුලි නැගණිය දෙස බලා සිටියේ මවා ගත් රැවීමකිනි.
“ඔයාව බලෙන් හරි ගන්නවනෙ.අනික මං වෙඩින් එකක් ගන්නෙ මගෙ එකම අයියා රටේ ඉන්නවනං විතරයි.කොහොමත් මං ඔයාට වඩා චුට්ටක් වැඩිපුර මියුරුට ආදරෙයි.”
“මාත් ඔයාට නම් වඩා රනුකට ආදරෙයි.මං ගැන හොයන්න බලන්න හරි ඉන්නෙ එච්චරයි..”
අක්කා ද නංගී ද වාද පවත්වද්දී තාත්තා දියණියන් දෙදෙනා තුරුලට ගත්තේ අම්මාට දෑසින් හිනැහෙමිනි.
“එහෙනං මාත් රහසක් කියන්නං.මං මැරෙන්න බයක් නැත්තෙත් ඒ කොල්ලො දෙන්න හින්දා.මට වඩා හොඳට මගෙ කෙල්ලො තුන් දෙනා බලා ගන්නව කියල දන්න හින්දා.”
තාත්තා එසේ පවසන විට දියණියන් දෙදෙනා ඔහුට තුරුළු වූයේ වැරෙනි.හොඳ පුතෙකු තාත්තාට සොයා දෙන ඕනෑම දුවකට දැනෙන සතුට ඔවුන්ගේ හදවත්වල ද විණි.
“චාරිත්‍ර වලට වඩා වැදගත් සතුටනෙ නංගා.අනික ඉතිං පවුලෙ වැඩිමලා බඳින්න අකමැති කෙනෙක් නම් බාලයා නොබැඳ ඉන්නද..මං දන්න සමහරු ඉන්නව එක ප්‍රපෝසල් එකකටවත් කැමති වෙන් නෑ.ඉතිං පවුලෙ බාලයන්ගෙත් වයස යනව.සහෝදරකම් නැති වෙන්නෙ අන්න එතකොට.අපේ මල්ලි එනකම් රනුකටයි සඳලිටයි බලන් ඉන්න වෙන එකම අසාදාරණයක්නෙ..”
අලුත්ම ආරංචිය අරුණි සමඟ බෙදා ගත් විට ඇය තුරුලිට පැවසුවේ එබන්දකි. තුරුලිට තවත් කාරණාවක් හදවත රිදවන්නට ගත් අතර අරුණි ඒ මාතෘකාවට පිවිසියේ නෑනන්ඩියගේ හදවත හැඳින ගත් ලෙස ය.
“දැං මං ආයේ කවදාවත් මැරි කරන් නෑ කියල හිතන් ඉන්නෙ.ඉතිං මං ආයේ ප්‍රපෝසල් හොයල මැරි කරනකම් ඔයාලට බලන් ඉන්න උනොත් අසාධාරණයක් නෙ..”
“අක්කි, ඔයා ආයෙ මැරි කරන්න.අර මනුස්සයා අගේට ෆැමිලි ලයිෆ් එකක් අරන් යනකොට අක්කි ඇයි තනියම ඉන්න හදන්නෙ”
අරුණිගේ දික්කසාද සැමියා ගැන උපන් කෝපයෙන් තුරුලි පැවසුවා ය.දුරකථනය දිග සන්සුන් සිනාවක් ගලා ආවේ ය.
“මට පවුලක් නැත්තේ නෑනෙ නංගි.මගෙ පුතයි මායි කියන්නෙ පවුලකට..මට මැරෙනකම්ම බලාපොරොත්තුවක් තියනව.අපි දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නව.ගෑනියෙක්ට ජීවිතේ දිගේ ඉස්සරහට යන්න මිනිහෙක් ඕනම නෑ නංගා.හිතේ හයිය තමා වැදගත්ම.මට ඒ හයිය තියනව..”
අරුණිගේ වචන වල ඇති බර සහ ගැඹුර තුරුලි අසා සිටියේ අප්‍රමාණ ආදරයකිනි.