නිකිනි ගේ දුරකථන අංකය සිය ගබඩාවෙන් සොයා ගත් විදත්, ඇමතුම සක්‍රිය කිරීම සඳහා කොළ පාට රිසීවරය සහිත බොත්තම ට තබන්න ගිය ඇඟීල්ල වහා ඉවතට ගත්තේ ය. මේ ඔවුන් ගේ පෞද්ගලික ප්රශ්නයකි. එදා මිත්‍ර හමු වීමට ගිය වෙලාවේ සුමනා කී කතා වලට ඔහු යම් අදහස් දැක්වීමක් කළ බව ඇත්ත ය. නමුත් ඊට මේ විදිහට මැදිහත් වන සිතිවිල්ලක් ඔහු වෙත නො විණි. ඇරත් නිකිනි කීවේ සුමනා ට කතා කරන්න ට කියා ය. පවුල් ප්‍රශ්නයක් ගැන නිකිනි වාගේ තරුණියක එක්ක දුරකතනයෙන් කතා කරන එක, ඇය මිත්‍ර ගේ ඥාති දියණියක නිසාවෙන් නරක නමක් ගෑවිය හැකි ක්‍රියාවක් වනු ඇතැයි හදිසියේ ම විදත් ට සිතිණි.
ඔහු ඒ දුරකථන ඇමතුම ගැනීමෙන් වැළකී සිටියේ ය.
නිකිනි දින දෙකක් ම බලා සිටියා ය. ජංගම දුරකථනය පමණකුදු නොව ගෙදර ස්ථාවර දුරකථනය හෝ වේවා හැඬවෙන වාරයක් පවා ඇය හදවතින් වෙව්ලා ගියා ය. නමුත් බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම පැමිණියේ නැත. බල්ලෙකු ගේ බිරුමටත් ඇය කන යොමා බැලුවා ය. නමුත් විදත් එහි පැමිණියේ නැත. අන්තිමට ඕ අපේක්ෂා භංගත්වයට පත් වූවා ය.
කිසිදු මිනිසෙකු විශ්වාස කළ නො හැකි යයි ද, කිසිදු මිනිසෙකුට අනුන් ගේ හැඟිම් නො තේරෙන්නේ යයි ද ඇය වේදනාවෙන් යුතු ව සිතුවා ය. ඒ කාලේ, ඔහු තරුණයෙකු සන්දියේ දී නිකිනි ට සිය හැඟීම් ඔහු වෙත දැනෙන්නට හැරිය හැකි වූයේ නැත. ඇයවත් ඒ හැඟීම් හරියට වටහා ගෙන නො සිටි බැවිනි. අදත් ඔහු ඇය ව වටහා ගන්නේ නැත. ඒ හැඟීම නිකිනි තුළ ඇති කළේ දිවි නසා ගන්නට තරම් හැඟීමකි. යමෙක් මෙලොව වැඩිපුර ම විශ්වාස කරන්නට කැමති පුද්ගලයා ඇය ව විශ්වාස නො කිරීම බරපතල අවාසනාවකි.
අවුරුදු ගණනක් තිස්සේ යටි හිතේත් ඈත මුල්ලකට කොට තිබූ ළමා වියේ මතක වලට අයත් තෘෂ්ණාවක්, හදවතේ සොහොන් ගැබෙන් ගොඩ ට විත් ඇය උන්මාදයට පත් කරමින් තිබිණි. තමන්ට පිස්සු හැදීමට එනවා ද කියා පැහැදිලි කර ගන්නට ඇත්නම් හොඳ ය කියා ත් නිකිනි සිතුවා ය. එක අතකට පිස්සු හැදෙනවා නම් හොඳ ය. මනා සිහිය ඇති ව කළ නො හැකි බොහෝ දේ එතකොට කළ හැකි බැවිනි. විදත් කෙරේ ළමා වියේ සිට ම පැවති උමතුව එතකොට ඔහු ඉදිරියේ හෙළි දරව් කළ හැකි බැවිනි. හොඳ සිහිය යටතේ අසීරුවෙන් යටපත් කර ගෙන ඉන්නා හැඟීම්, උන්මාද අවදියේ දී කාගේ හෝ විරෝධයකින් තොර ව නිදහස් කළ හැකි වන්නේ ය.
නිකිනි හඬ නගා හිනැහුණා ය. කාමරයේ දොර වසා තිබුණෙන්, ඒ උමතු සිනහ හඬ ගෙදර කාට හෝ ඇසුණේ නැත.
ඒ දින දෙක ගෙවී යත්දී සැබවින් ඇය අමුතු වෙමින් සිටියා ය. කෑම මේසයට ආවාට නිකිනි බත් පත අත පත ගෑවා පමණි. වෙනදා ට දින පතා දිය නාන ඕ එසේ කළ බවක් පෙනෙන්නට තිබුණේ නැත. අඩු තරමින් පිළිවෙලට පීරා හෝ නැති හිස කේ අවුල් වී තිබිණි. වැඩි පුර කතා නො කළ ඕ වෙනදාට වඩා කල්පනා කරන බවක් පෙනිණ.
සුමනා හිතුවේ ඇය ගන්නට නියමිත තීරණය ට අනුවර්තනය වෙමින් හිඳින බව ය. ඒ නිසා ඕ මිනිපිරිය ගෙන් කිසිත් නො අසා ඇය ට මුළුමනින් නිදහස දී සිටියා ය.
“ඔයා අවුලෙන් කියල තේරෙනව. ඒත් ටික දවසක් යනකොට හරියයි අක්ක”
නිකිනි හුස්ම ගන්නවා වෙනස් වුණත් පොඩි කාලේ සිට ම එය වටහා ගන්නා සහස් සිතුවේ ද සුමනා සිතු ලෙසට ම ය. රාත්‍රී කෑමෙන් පස්සේ මිදුලේ බංකුව මතට වී ඔහේ බලා ගත් අත බලා හිඳින ඈ වෙත ගොස් ඔහු අනිත් පසින් හිඳ ගත්තේ ය.
“හ්ම්”
හරස් ප්‍රශ්න මතු නො වනු වස් දිය හැකි හොඳ ම පිළිතුර එය බව නිකිනි දැන සිටියා ය.
“මංජුල ගෙදරිං එළියෙදි ගත කරන ජීවිතේ මොන වගේද කියල කූරු ගගහ හොයන්න යන්නෙ නැතුව ඉන්න. මිනිහ ගෙදරට යුතුකං ඉටු කරනවනං එච්චරයිනෙ”
නිකිනි කට කොනකට සිනහවක් නගා ගත්තා ය. මේ පොඩි එකාත් මේ විදිහට හිතන්න ට පුරුදු වුණේ කොහොම දැයි ඇය ට සිතුණි. සමාජය ඔහු මතත් ඒ සිතිවිලි සමුදාය පටවා ඇති සැටියෙකි. පිරිමියා ගෙදරින් පිටත දී ඕනෑ දෙයක් කර ආවාවේ! ගෙදර බිරිඳට කන්න අඳින්න දෙනවා නම් එපමණකි!
“අක්ක මට ද හිනා වෙන්නෙ…”
ඒ සිනහවෙන් මඳ රිදුමක් ලද සහස් අඩමාන ප්‍රශ්නයක් ඇසුවේ ය.
“නෑ මල්ලා. එහෙම හිතන්න ඔයාටත් බල කරපු…එහෙම හිතන තැනට ඔයාව පොළඹවපු සමාජෙට”
සහස් තවත් හුඟක් දේ කීවේ ය. නමුත් ඒවා අනිත් කනින් පිට කරන්නට හෝ නිකිනි මේ කනට ගත්තේ නැත. ඇය හිටියේ ඇගේ ම වූ ලෝකයක ය.
තුන් වන දවස වන විට බලාපොරොත්තු මුළුමනින් ම ගිලිහී ගොස් තිබිණි. නිකිනි සිටියේ ගිලන් එකියක වාගේ ය. පුරුද්දට මෙන් ඇය ඩෙස්මන් ඔබේසේකර ගේ බෙහෙත් සාත්තුව කළා ය. දිවා ආහාර පිළියෙල කළා ය. එපමණකි. දවසේ ඉතිරි කාලය යහන බදා ගෙන ඉන්නට තරම් ඇය සෝමාරි වී ගියා ය. සුදුමැළි වී ගියා ය.
“නිකී මෙහෙට වෙලා ඉන්න. මගෙ අත පය හයිය තිබුණනං මං ඔය බල්ලට කරන හරිය බලා ගන්න තිබුණා”
නිකිනි ගේ මැලවුණු වත දකින ඩෙස්මන් බෙහෙත් සාත්තුව අතරේ දී පවසයි. නමුත් මේ මොහොතේ පප්පා ගේ වදන් බල රහිත වන බව නිකිනි නො දන්නවා නොවේ.
විදත් ගෙන් දුරකථන ඇමතුමක් පැමිණේවි යයි නිකිනි බලාපොරොත්තු පොදි බැඳ ගෙන සිටියා ය. නමුත් ඒ බලාපොරොත්තු කිසි සේත් ඉටු නො වන බව වටහා ගත් මොහොතේ ඇය ජීවිතය කෙරේ වූ සියල් ආශාවන් අත්හැර දැමුවා ය. තුන් වන දින, එනම් ශනිදා සැඳෑවේ දුරකථනය නාද වන විට ඇය යහනේ සිට ම අත දිගු කර මේසය මතින් එය ගත්තේ උදාසීන ව ය. ඒ බිනුරි බව ඇය දැන උන්නා ය.
නිකිනි සසැලී ගියේ දුරකථනය සවනට ගත් පසු ය.
“නිකිනි”
විදත්!
අඩු තරමින් තිරය මත සනිටුහන් වී තිබූ අංකය ගැන කිසිදු උනන්දුවක් ඇති නොවුණ එක ගැන නිකිනි තමන් ගැන ම පුදුම වූවා ය.
යමක් බලාපොරොත්තුවෙන් හිඳ එය සැබෑ නො වුණ විට දැනෙන ඉච්ඡා භංගත්වයට වඩා, කොහෙත්ම බලාපොරොත්තු නොවන වෙලාවක යමක් සිදු වෙත්දී දැනෙන තිගැස්ම ප්‍රබල බව නිකිනි මුල් වතාවට තේරුම් ගත්තේ මේ මොහොතේ ය.
“නිකිනි මං විදත්”
ඔහු ‘මං විදත් අංකල්’ කියා නො කීම ගැන ඇය දෙවියන් ට ස්තූති වන්ත වූවා ය.
“මං…දන්නව”
හැඟීම් මිනුම් කළ හැකි උපකරණයක් නිපදවන්නට මිනිසා තවමත් සමත් නැත්තේ ඇයි දැයි මේ අවු අස්සේ ම ඇය ට සිතිණි. එවැන්නක් විනි නම් ඇගේ සතුට කොයි තරම් ද කියා අදහසක් ලබා ගන්නට හැකියාව තිබිණි.
“අනේ සොරි නිකිනි. මං චුට්ටක් බිසී වුණා. ඒකයි මට ඔයාට කතා කරන්න බැරි වුණේ”
“අ..ඒකට කමක් නෑ”
මේ වතාවේත් ඈ සිය හැබෑ හැඟීම වසංගා කතා කිරීම ගැන නිකිනි ඇයට ම සමාව නො දුන්නා ය.
විදත් කතා කළේ ත් ඇත්ත නොවේ. ඇයට කතා කිරීම ඔහු මග හරිමින් සිටියේ ය. නමුත් එසේ කළ නො හැකි ම වූ අවස්ථාවක් අවසානයේ එළඹියේ ය. ඔහු තමන් ගේ ම හිතේ එක් පැත්තක් පරාජය ට පත් කරමින් ඇය ඇමතුවේ ඒ අවසථාවේ ය.
“දැං මොකද්ද නිකිනි වෙන්නෙ…ඇයි ඔයා ඔය තරමටම හස්බන් ව රිජෙක්ට් කරන්නෙ…ම්…”
නිකිනි දිග සුසුමක් අත් හැරියා ය. සමහර හැඟීම්, තව කා සමග හෝ බෙදා හදා ගැනීම පහසු නැත.
“මට තවත් එයත් එක්ක ජීවත් වෙන්න ඕන කමක් නෑ”
ඈ කතා කළේ උගුර යටිනි. ඒ වේදනාව මැනවින් ඔහු ඒ ස්වරයෙන් හැඳින්නේ ය.
“ඔයානෙ එයාගෙ වයිෆ් …ම්…”
“එයාගෙ හිතේ ඉන්නෙ වෙන කෙනෙක්නං…එයා ආදරේ කරන්නෙ වෙන කෙනෙක්ට නං…වයිෆ් කියන නමේ තේරුම මොකද්ද කියල මට කියල දෙන්න ප්ලීස්”
“දරුවො”
විදත් ගේ ත් හදවත පත්ලේ කීරි ගැසීමක් ඇති විය.විවාහ ජීවිතයක් යනු කුමක් දැයි සැබවින් ඔහු ත් තවම දන්නේ නැත. දෙවරක් ම එය අත පත ගෑවා පමණකි. නමුත් ගැහැනුන් දෙදෙනෙකු නිසා ඔහු ට වූ දෙය තවත් පිරිමියෙකුට සිදු විය යුතු නැත ය කියා පමණක් මේ මොහොතේ විදත් සිතයි. අනිත් අතට සිය හොඳ ම මිතුරෙකු ගේ ඥාති දියණියට විවාහය බිඳ වට්ටා ගන්නට උපදෙස් දීම සිය වයසට නො ගැලපෙන ක්‍රියාවක් සේ විදත් ට දැනෙයි.
“මන්නං කියන්නෙ ඔයා ගෙදර යන්න”
සිය හිසට පොලු පහරක් එල්ල වූවා සේ ය නිකිනි ට දැනුණේ. මීට ස්වල්ප මොහොතකට පෙර සිය ආත්මය වසා පැතිර ගියා වූ ප්‍රීතියේ තද සුළඟ කොහේ ට හමා ගියා ද කියා හෝ ඇය ට සිතා ගත නො හැකි විය. බලාපොරොත්තු නොවූ මොහොතක ප්‍රහර්ෂයක වෙස් වලා ගෙන ඔහු ඇවිත් ඉන්නේ ඇය ව යළි අඳුර වෙතට ම ඇරලවන්න ද? නිකිනි අමාරුවෙන් හුස්මක් ගත්තා ය.
“එයා වැරදියි කියලමනං ඔයා හිතන්නෙ…එයාට තව චාන්ස් එකක් දීල බලන්න. නේද…සමහර විට හැදෙන්න ඕන කම එයාට තියෙනව ඇති. අවස්ථාවක් නොදී ඉන්න එක ඔයා එයාට කරන අසාධාරණයක් වෙන්න පුළුවන්නෙ…නේද…”
නිකිනි සිය වත තද කොට කොට්ටයක ඔබා ගත්තා ය. ඈ කේන්ද්‍ර කොට ගෙන මුළු ලෝකය ම භ්‍රමණය වන්නා සේ ඇය ට දැනිණි. ඉතා තද සුළං පීඩනයක් කන් දෙක හිර කරන්නා මෙන් ඇය ට දැනිණි. තමන් පෙම් කරනා බවක් මේ මිනිසා ට දැනෙන්නේ නැති වීම මොන තරම් අවාසනාවක් දැයි ඇය සිතින් සිතුවා ය.
“අනික…දවසක ඔයත් හිතයි ඔයා අද මෙහෙම කරපු එක කොච්චර හොඳද කියල. ඒක නිසා ඔයා යන්න නිකිනි. යනව නේද….”
පපුව පැලී මියෙන්නට එනවා වන් රිදුමකි එය. ඔහු යන්න කියනවා නම් ඇය අපායට වුව යන්නට සූදානම් සේ නිකිනි ට දැනිණි.
“ම්…යනව නේද…”
හැඬුම පාලනය කර ගන්නට ඇය අපොහොසත් වූවා ය.ටික වෙලාවක් ඕ ඉකි බිඳිමින් හැඬුවා ය. විදත් ගේ පිරිමි පපුව ඉරිතලා ගොස් තිබිණි. ගැහැනු කඳුළකට ඇති ලොකු ම බල පුළුවන්කාර කම පිරිමි හිතක් දිය කිරීම බව ඔහු අත්දැකීමෙන් දනී. ගැහැනුන් දෙදෙනෙකු ම සිය කඳුළු වලින් ඔහු ව පාලනය කළ යුග දෙකක් විදත් ගේ ජීවිත කතාව තුළ අන්තර්ගත ය. එය එසේ වුණත් ඔහු නිකිනි ගේ කඳුළු අසල ද හෙළවුණේ ය.
“නිකිනි…ඔයාට ඔච්චර අඬන්න දෙයක්ද දරුවො මං කිව්වෙ…”
“ම්හු”
ඇය කඳුළු හා ඉකි බිඳුම් අතරින් ම කියා ගත්තා ය.
“මං යන්නං. මං…හෙට යන්නං…”
ඊට වඩා යමක් කියා ගන්නට ඇය සමත් වූයේ නැත. මහත් තෘෂ්ණාවකින් දින ගණනක් තිස්සේ අපේක්ෂාවෙන් උන් දුර ඇමතුම, ඇගේ ම අතින් බිඳ දැමුවා ය.
යළිත් මී දෙනක සේ හඬන්නට පටන් ගත්තා ය.
කොයි තරම් වෙලාවක් හැඬුවා ද කියා නිකිනි නො දනී. ඇය හූල්ලමින්, හඬමින් නින්දකට ද වැටුණා ය. ඈ යළි පිබිදියේ සුමනා ඔබේසේකර විසින් අත සොලවා කතා කරත්දී ය.
“නිකී…මං සැරේකුත් ඇවිත් බැලුව. නින්දෙං හූල්ල හූල්ල අඬනව. ඇයි මැණික…හීනයක්වත් දැක්කද…”
ඇය නැගිට යහනෙහි හිඳ ගත්තා ය. හිස හත් කඩකට පුපුරන්නට එන දරුණු වේදනාව ගැන ඇය කිසිත් මිත්තණියට නො කීවා ය. එවැන්නක් දැන ගත හොත් සුමනා අනිවාරතේ කලබල වනු ඇත.
“ඒක නරක හීනයක් ග්‍රැනී”
සුමනා නිකිනි ගේ හිස් මුදුන පිරිමැද්දා ය.
“ග්‍රැනී”
“ම්…”
“අපි හෙට යං. වෙන දෙයක් වුණාවෙ. ඒකනං මට උරුම ජීවිතේ…මං යන්න ම ඕනනෙ ග්‍රැනී”
එහෙම කියත්දී යළි කඳුළක් නො වැටෙන පිණිස නිකිනි හිත ගලක් කර ගත්තා ය.