පතොක් මලක ප්‍රේමය -09

“කම්මැලි නැද්ද?”

ඔහු එසේ අසද්දී නම් මට ඔහු රියෙන් බස්සවා යාමට තරම් කෝපයක් හට ගත්තේ ය.පොත් කියවීම මේ ගිනි ගන්නා කාලයේත් මට නිවෙන්නට ඇති එකම එක හේතුව ය.ධීර පොත් පිස්සෙකු වූවානම් මට ඔහුට කියන්නට කිසිවෙකුට නොකී සිහිනයක් පවා විය.එහෙත් ඔහු ඒ ගැන ප්‍රියතාවයක් නැති වීම මට ඇති වූයේ කෝපයකි.

“ඔයා ආස නැත්තේ ඇයි?”

මම කෝපය සඟවා ප්‍රශ්නයක් ඇසුවෙමි.ධීර උරහිස් ගස්සා හිනැහුණේ ය.

“පොඩි කාලෙ ෂර්ලොක් හෝම්ස් පොත් නම් කියෙව්ව.දැන් කම්මැලි..”

පොත් කියවීමට කම්මැලි බව කී තරුණයා දුරකථනයට නාසය ඔබා ගත්තේ ය.ඔහු නරඹන්නේ ක්‍රිකට් තරගයකි.මට ලෝකයේ ඇති අප්‍රියජනකම දේ අතරට ක්‍රිකට් එකතු කරන්නට හැකි ය.

“ඔය ලයිව් මැච් එකක්ද? මා අසද්දී ඔහු හිස පමණක් සෙලවූයේ ය. එපමණකි. ධීරට යළිත් මදෙස බලන්නටවත් උනන්දුවක් නැති විය.

මම වැසි දිය අතරින් පෙනෙන විදුලි පහන්වලට ඇස අලවාගෙන පසන්ව සිහි කළෙමි.හොඳ පොත් ගැන අපට පැය ගණනක් සංවාද කළ හැකි වූ අතීතයේ මිහිර මට දැනුණේ ලුණු රස වන උගුරෙනි.සමහර පොතක අවසානය ගැන කිසිදා එකඟ වන්නට මටත් පඩන්ටත් නොහැකි විණ.ඉතින් අප බොහෝ වාද විවාද කරමින් සිටි අතීතයේ මට ඔහේ ඇවිද යා හැකි ය.අන්තිමේදී අපේ කතාව ගැන ද එකඟ විය හැකි එක් අවසානයක් අපට ලැබුණේ නැත.ජීවිතය මොන තරම් අකාරුණික දැයි මා සිතුවේ වැස්සේ ප්‍රචණ්ඩත්වය දෙස ඔහේ බලන අතරේ ය.මා මෙන්ම සිතන මා කැමති දේටම ප්‍රිය කරන මගේ අදහස්ම දරන පසන් ආත්මීය සහකරුවෙකු බවට මට සැකයක් නොවිණ.

නමුත් ඔහු මා අතැර දැමී ය.ආත්මයෙන් කොටසක් අහිමිව ගිය වේදනාව මගේ හදවත පාරන්නේ එනිසා ය.

“මං ටවුන් එකෙන් බහින්නං..” ධීර හෝමාගම නගරයට කිට්ටු වෙද්දී පැවසී ය.
ඔහු මගේ ගමනට සමාන්තර පාරක නොපැමිණීම නිසා ද පසන් ගැන මතකය ගිනි ඇවිලෙමින් තිබීම නිසා ද මම ධීරට හිස වැනීමකින් පමණක් සමු දුන්නෙමි. ඔහු අර නිවී යන සිනාවෙන් මගෙන් සමු ගත්තේ ය.

“මිස්ඩ් කෝල් කීයක්ද බලහං ෆෝන් එකේ..”

කේතකී මා දුටුවනම කඩා පැන්නා ය.මම රෝගී මුහුණකින් වැනෙමින් නිවස තුළට රිංගා ගතිමි.

“උඹේ ඔය පොත් සංචාරෙට අපි එනවට ආස නෑනෙ..ඉතින් ඒකයි අපි නේන්නෙ..ඒත් පරක්කු වෙනකොටයි වහිනකොටයි අපි කෝල්ස් කීයක් ගත්තද..එකකට උත්තර නෑ..”

කේතකී මට බැන වදිද්දී චමත්කා මගේ දෑස් කියවූවා ය.”මොකද අවුලින් සාරා..”
ඈ අසද්දී මට හැඬෙන්නට ආවා ය.මම දෑතින් මුහුණ වසාගෙන ඔහේ හැඬුවෙමි.මා සිට්න්නේ තෙත බේරමින් බව සිහි වූයේ අනතුරුව ය.

“මං නාන්න ඕන..” එසේ කියා නාන කාමරයට වැදෙන්නට පෙර මම දෙමිතුරියන් දෙස බැලීමි.

“මට පසන්ව හම්බුණා..”

වෙනත් කිසිත් කියන්නට මට සිත් නොදුන් නිසාම මම නාන කාමරයට වැදී වතුර මල යට සිට ගතිමි.කඳුළු උල්පතකින් වාගේ උනා එන්නට විය.ඒ පසන්ගේ අතේ එල්ලී සිටි සරනි නිසාදැයි මගේ හැම.සිහිනයක්ම අසන්නට සූදානම් නොවූ ධීර නිසාදැයි මට අපහැදිලි ය.නමුත් මා එහි බොහෝ වෙලාවක් ගෙවා දමන්නට ඇත.

“සාරා..ඕක අස්සෙ මොනව කරනවද..එළියට එනව..”

කේතකී දොරට ගසමින් කෑගසන තුරු මම වතුර මල යටට වී හැඬීමි.පිටතට එද්දීම ඈ මා අල්ලා ගත්තා ය.

“එක එක මූසලයන්ටත් ඉන්න බෑ..මේ කෙල්ලට පේන්න එන්න ඕන.මේවයින් විඳවන්නෙ උන් නෙවෙයි ඉතිං..අපියි අර වත්සලා ආන්ටිලයි..”

ඇය තෙත බේරෙමින් තිබූ මගේ කෙස් වැටිය පිස දැම්මේ බනිමිනි.මම හඬන්නට පටන් ගතිමි.බොහෝ කාලයක් හැඬීම වෙනුවට කෝපත් වීම තෝරාගෙන තිබූ මට කඳුළු එන්නට ගත්තේ නවතා ගන්නටත් අපහසුකමිනි.චමත්කා කිසිත් නොපැවසී ය.ඇය මට උණු කෝපි සෑදුවා ය.මම කෝපි කෝප්පය ද රැගෙන සඳළු තලයේ තනි වූයෙමි.වර්ෂාව සම්පූර්ණයෙන් ම නතරව තිබුණද වරින් වර හිරි පොද ඉහෙමින් තිබිණ.මා ඒ හිරි පොදට අත අල්ලමින් බොහෝ වේලා ගෙවන්නට ඇත.

“මං මේ නරකකට කියනව නෙවේ..” චමත්කාගේ හීන් හඬ ඇසුණේ සදළු තලයේ අඳුර අතරිනි.කේතකී බොහෝ දෑ ඉක්මනින් විසඳන්නට සිතන්නියකි.ඈ ආවේගශීලිව කෑගසා හෝ අපගේ ප්‍රශ්න ඇගේ කරගනිමින් ඒවා විසඳන්නී ය. චමත්කා චරිතගේ ගැටලුවට පසු බොහෝ වෙනස් ය.ඇය දැන් ප්‍රශ්න දෙස බලන්නේ පුළුල් ව ය; නිස්කලංකව ය.

“ඔයා ටික කාලෙකට වෙන රටකට ගියොත් මොකෝ…”

මම ඇයට පිළිවදන් දෙන්නට නොගියෙමි.කුඩා කල නැරඹූ විදෙස් ළමා ටෙලි නාට්‍යයක මෙන් සමාන්තර ලෝකයකට විසිව ගිය ද මගේ හිත පසන්ගෙන් මිදෙන්නේ නැති බව මම දනිමි.ඉතින් වෙනත් රටකට යෑමේ පල කිමෙක්දැයි මම සිතීමි.

“මටත් මේ චරිත නිසා සේරම එපා උනා සාරා.මේ ටික කාලෙත් ඉවර කරල මං අපේ අක්ක ගාවට යන්න ට්‍රයි කරනව..මං කියන්නෙ ඔයත් යං..”

ඇය අනතුරුව මගේ අත පිරිමදිමින් බොහෝ වෙලාවක් ගෙවා දැමුවා ය.

“නැත්‍තං කවුරුහරි කෙනෙක් ඔයාට ළං වෙන්නෝනෙ සාරා..චරිත මට නැති වුණා වගේ එකක් නෙවෙයි මේක.මං නම් ඉන්නෙ කලකිරීමෙන්.අනික කේතා කියනව වගේ ඒවානං මේ සබන් බෝල අෆෙයාස්.ඒත් පසනුයි ඔයයි අතරේ තිබ්බ ගැඹුරු සම්බන්දෙ ගැන හිත හිතා ඔයා තිස්සෙම පෑරෙනව..ඔයා ඕකෙන් සනීප වෙන්න ඕන..”

ඒ වේදනාව සුව කරන්නට කිසිවෙකුට පහසුවෙන් හැකි නොවන බව මම දැන සිටියෙමි.එනිසා මම චමත්කාට කියවන්නට ඉඩ දී නිහඬ වූයෙමි.ඇය තවත් මොනවාදෝ කියවමින් හිඳ යන්නට ගියා ය.ගේට්ටුව විවර වූයේ ඒ මොහොතේ ය.

ධීර! ඔහු උඩු මහල දෙස බැල්මකුදු නොහෙළා මාලක අයියාගේ නිවස තුළට යන්නට ගියේ ය.

.මා මෙහි සිටින බව ඔහු නුදුටුවාදැයි නැතහොත් නොදැක්කා සේ ගියාදැයි මම නොදනිමි.නමුත් මගේ සිත යළිත් කොටස් කිහිපයකට බිඳී ගියේ ය.

“මං අද අනිත් කාමරේ ඉන්නං..”

රාත්‍රියේ මට තනි වෙන්නට ඕනෑ විය.කාමර දෙකකින් කුඩා සාලයකින් නාන කාමරයකින් සහ මුළුතැන්ගෙයකින් යුතු අප තිදෙනාගේ නිවහන බෝඩිමේ ඇන්ටී අපට දුන්නේ ගෘහ භාණ්ඩ කිහිපයක් ද සමඟ ය.එක් කාමරයක ඇති ඇඳන් දෙක අපි තිදෙනා සහයෝගයෙන් බෙදා ගතිමු.අනිත් කාමරයට ද ඇඳක් තිබිණ.නමුත් එහි නැවතුණේ ඉඳහිට අප බලන්නට එන අම්මලා ය.

“තනියම..ඒ අඬන්නනෙ ඉතිං.”

කේතකී වහා විරුද්ධ වූවා ය.කළුවර බොහෝ බියපත් මා මෙවැනි තෝරා ගැනීම් කරන්නට තරම් සංවේදනා රහිත තැනැත්තියක වීම ගැන මටම බියක් නොදැනුණාම නොවේ.නමුත් මට ඕනෑම තනි වෙන්නට ය.පාඩම් කරන්නට කියා මහ දෙයක් නොතිබූ දවසක ද කේතකීත් චමත්කාත් සාලයට වී පාඩම් කරන්නට ගත්හ.ඒ මා වෙනුවෙන් බව මම දනිමි.මම කාමරයේ විදුලි පහන නිවා යහනේ වැතිරුණෙමි.

“වැස්සෙ තෙමිලා හෙම්බිරිස්සාවක් හැදිල නැද්ද?”

මැසේන්ජර් පණිවිඩයක් පැමිණියේ ය.ඉහළ මාලය දෙස බලන්නට නොහැකි වූ ධීරට පිළිතුරු නොයවන්නට මම සිතුවෙමි.වහා අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කරන්නට මට සිතුණේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles