පතොක් මලක ප්‍රේමය – 14

දවස් ගලා ගියේ ය.කාලය එකතැනක නතරව අප එනතුරු රැඳෙන්නේ නැත. කාලය තමන්ගේ තාලයට ගෙවී යයි.පසන් ගැන හිතමින් බොහෝ දේ අතපසු කරගන්නට වූ මා හිටිහැටියේ මා ගැන සිතන්නට ගැනීම ගැන මට පුදුමයක් නොදැනුණාම නොවේ.

“හිත හදා ගත්තම ඔයාටම ලේසි නේද?”

චමත්කා මගෙන් විමසූයේ අපේ අධ්‍යන වර්ෂයක් අවසන් වී නිවාඩු ලැබෙන්නට පළමු රාත්‍රියේ ය.මා ඈ වෙත හෙළන්නට ඇත්තේ සන්සුන් සිනාවකි.

“අපි අවුරුදු තුනක් තිස්සෙ ඔයා විඳෝනව බලන් හිටිය..හැබැයි දැන් මාස කීපෙක ඉඳන් ඇත්තටම ඔයා හරි සන්සුන් සාරා..”

ඇය කියයි.මම අසා හුන්නෙමි.

“පසන්ව හෙමින් අමතක වෙන්න අරින්න..ඒක ඔයාට සැනසීමක්..දැන් ඔයා ඉන්නේ ඒ සැනසීමට ඇවිල්ලා..”

මම චමත්කාගේ අතකින් අල්ලා ගතිමි.සැබෑවටම මට ඇයට කියන්නට දිගු කතාවක් තිබිණ.

“නෑ චමා..මං පසන්ව අමතක කළේ නෑ.එයා ආයේ කවදාවත් එන්නේ නෑ කියලා මං දන්නවා.ඉතින් මං බලාගෙන ඉන්න එක අතෑරියා.එයා එයි කියලා බලන් හිටියට ඒ ගැන හිතලා දුක් වුණාට තේරුමක් නෑ..මං හැමදාම එයාට ආදරෙයි.මගේ නොවුණට මං එයාට ආදරෙයි…”

චමත්කා මදෙස බලා සිටියේ වේදනාබරව ය.ඇය සඳැල්ලේ එහෙ මෙහෙ ඇවිද්දා ය.කියන්නට දෙයක් ඇති මුහුණකින් අනතුරුව බලා සිටියා ය.

“අනුරාධ ඉන්නේ..දන්නව නේද..”

මම සිනාවතකින් චමත්කාට ඇහුම්කන් දුනිමි.සුන්දර දේ සිදුවීම සතුටකි.මා කාන්තාරයක් වී ජීවිතය ගෙවන්නට සිතුව ද චමත්කාගේ ලෝකයේ මල් පිබිදීම අසා හිඳීම පවා සුන්දර ය.

“චරිත කියන්නෙ හොර තක්කඩිය කියල මං ඇරෙන්න කැම්පස් එකම දැනන් ඉඳලනෙ බං..අනුරාධට ඉස්සර ඉඳන්ම මං ගැන අදහසක් තිබුණලු.ටිකක් කතාබහ කරලා අපිට එකට ගමනක් තියෙයිද බලමු කියලා අහනවා..මාත් ඒ ගැන හිතන්න හිතුවෙ..”

අනුරාධ යහපත් තරුණයෙකි.අගනුවර පාසලක උගත් ඔහු තරමක ආඩම්බරකාරයෙකු වුව ද අවංක කොල්ලෙකු බව මම කල්පනා කළෙමි.චමත්කා ඒ දැහැන බිඳ දැමුවා ය.

“චරිත වගේ ගස් ගෝතයෙක්ට ආදරේ කරපු මටත් හිත හදන් වෙන සම්බන්දෙකට යන්න පුලුවං..සාරා ඇයි ඔයාට බැරි..”

මම අනන්තාවකාශයට නෙත් දල්වා ගතිමි.දැන් මට විසි හතරවැනි වියට ද ආසන්න ය.තව වසර දෙකතුනකින් මේ ප්‍රශ්නය ගැන අම්මලා මීට වඩා වද වන බව මට සහතික ය.

“චරිත නරකයි කියල ඔයා දන්නව.චරිතගෙ විකාර වැඩ කීපයක්ම අපට අහු උනා..චරිත වගේ මිනිහෙක්ට කාලෙ දීලා ජීවිතේ එක තැන නවත්තා ගන්න ඔයා ආස නෑ…ඒත් මට තාමත් පසන්ව හොරු අරන් ගියා වගේ චමා.අපි දෙන්නා ඇත්තටම හරිම ආදරේකින් හිටියෙ.අපිට හැමදෙයක් ගැනම තිබුණෙ එකම වගේ අදහස්..අපි කවදාවත් රණ්ඩු කරේ නෑ.අපිට කතා කරන්න ඕන තරම් දේවල් තිබ්බා.අපි අනාගතේ සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරා..මට ඒ වගේ පර්ෆෙක්ට් මනුස්සයෙක් ආයේ හොයන්න බෑ..හම්බෙන ඕනම කොල්ලෙක්ගෙන් පසන්ව හොයනවට වඩා මං තනියම ඉන්න එක වටිනවා චමා..”

මෙතැන කේතකී හුන්නා නම් මට නොසෑහෙන ලෙස බැන වදිනවාට සැක නැත.නමුත් ඇය හෙට ගෙදර යන්නට ගමන් මළු සකසමින් බොහෝ කාර්යබහුලව සිටියා ය.මුදලට ඉගෙන ගන්නා අපට දිග නිවාඩු කාල උරුම නැත.නමුත් දෙසතියකට ගෙදර යාම ද මට ඇති කළේ ප්‍රීතියකි.

“අර නිර්වාන්.. එයාගේ අම්මා කතා කළානෙ පුතේ මට මේ ඊයේ පෙරේදා..”

අම්මා අතින් පළමු වෙඩි මුරය නිකුත් වූයේ නිවාඩුව ඇරඹී දෙදිනක් ගෙවෙද්දී ය.මම මිදුලට වී ඇගේ මල් වගාව අතර සැරිසරද්දී අම්මා ඇගේ ඕකිඩ් මල් සමඟ කාර්යබහුල වෙමින් සිටියා ය.ඇය මෙතෙක් වෙලාවක් කතාබහ කළේ මල් ගැන ය.නමුත් ඈ ඇගේ එකම මල් සම්පත ගැන වද වෙන බව මට ඒ හඬ අනතුරු ඇඟවී ය.

“අම්මත් එක්ක යාලු චන්දි ඇන්ටියි නිලූ ඇන්ටියිනෙ..නිර්වාන්ගෙ අම්මව මං අඳුනන්නෙත් නෑ..”

මම චමත්කාගේ සහ කේතකීගේ මව්වරුන් සිහි කරමින් පැවසූයෙමි.අම්මා පාඩුවේ මල් පැලයක පස් බුරුල් කළා ය.

“නිර්වාන්ල ෆ්ලවර් කම්පැනි එකක් කරනවලු නේද..”

අම්මා හිනා වූයේ මදෙස හැරී බලා ය.මම ඇගේ රෝස මලක් සෙලවූයෙමි.එහි පෙති විසිර ගියේ ය.අම්මා එය දුටු නමුදු කිසිත් නොකීවා ය.

“අම්මට මල් ගෙනත් දෙන්නං කීවද ඉතිං..නුවරඑළියෙ අම්මෙ එයාලගෙ ෆාම් තියෙන්නෙ.පොඩ්ඩක් සීතල තිබ්බට මේ රත්නපුරේ ඔය මල් හරියන් නෑ.”

මම එසේ කියා කොහුබත් සකසන අම්මා අසලින් ඇණ තබා ගතිමි.පාසල නිම වී නිවසට විත් ඇය මේ මල් වගාවට සාත්තු කරන්නට සැලකිය යුතු කාලයක් ගත කරන්නී ය

“එයාලාගෙ යාලුවෙක් ඉන්නවලු ඔය කුරුවිට පැත්තේ ටී එස්ටේට් එකක් තියන..එහෙ ආවොත් එන්නං කීවේ..”

අම්මා හෙමින් සීරුවේ කියන්නී ය.”නිවාඩුවට උඹල මේ පැත්තෙ එනව කියලා මං දැනගන්නෙ අපේ අම්මගෙන්..මොනවද බං මේ යාලුකං…”මම නිර්වාන්ට එසේ වට්ස් ඇප් පණිවිඩයක් ලියුවෙමි.එය යවන්නට සැරසෙන අතරම අම්මා අලුත් මල් පෝච්චියකට පස් සහ පොහොර දමමින් මවෙත ආදරබර සිනාවක් හෙළුවා ය.

“මට මල් පැළ අරන් නෙවේ පුතේ නිර්වාන්ගෙ අම්මලා එන්න අහන්නෙ..”

අසන්නට නුවුමනා කතාවක් නෑසෙන්නට පතමින් මම අම්මා දෙස බලා සිටියෙමි.

“මගෙ මල් ගස අරගෙන ගිහිං එයාලගෙ ගෙදර හිටව ගන්න නිර්වාන්ගෙ අම්මගෙ අදහස..”

බොහෝ කාලයක් යටපත් කරගත් කෝපය වර්ධනය වෙන්නට ගත් බවක් මට හැඟිණ.මගේ නුරුස්නා නෙත් දෙස විමසිලිමත් වූ අම්මා ඉතා සෙමින් කටහඬ අවදි කළා ය.

“නිර්වානුයි ඔයයි ගැන එයාලගෙ හිතේ අදහසක් තියනව…”

අම්මාට තව මොනවා හෝ කියන්නට උවමනා වෙන්නට ඇත.අප තිදෙනා අතර ඕනෑම රහසක් බෙදා ගන්නා ආදරයක් තිබේ.මා පසන් ගැන රිදවා ගන්නා තරමට වෙන අම්මා කෙනෙකු නම් නිර්වාන්ලා අපේ ගේ දොරකඩ පාදුර්භූත වන තුරුම මෙය සඟවා ගන්නට තිබිණ.නමුත් මගේ අම්මා මට සත්‍යය හෙළි කළා ය.

එහෙත් මට නිර්වාන්ට ආදරය කරන්නට ඕනෑ වූයේ නැත.හඬමින් ම නිවස තුළට දුවන්නට මට සිතුණේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles