fbpx

හේමන්ත සන්ධ්‍යා -17

නිකිනි ගේ මුළුතැන්ගෙයි මේස මත ලීක්ස් හා ලූනු ගස් වැවුණේ ය. විසිතුරු වතුර බෝතලයක් මත ලූනු ගෙඩි තබා ඕ ලූනු පැළ හැදුවා ය. උයන ගමන් ලීක්ස් ගහේ මුල කොටස කපා යෝගට් බඳුනක දමා තැබීමෙන් ලීක්ස් ගස් කොළ නගා වැඩිණි. කැරට් අල වැලි බඳුනක සිටුවා ඕ ලස්සනට කැරට් ගස් වැව්වා ය. ඒ හැම දේකින් ම ඈ උපයා ගත්තේ සතුට ය. වෙනදා ට වඩා වෙහෙසී කුඩා ගෙඋයන මල් වලට සාත්තු කිරීම හැන්දෑවට ඇගේ දෛනික ජීවිතයේ අංගයක් විය. රෑ වන තුරු ඕ පොත් කියවූවා ය. හැම තැනක ම තිබෙන්නේ සතුට බවත් ඒ සතුට සොයා ගැනීම තම තමන් ගේ කාරියක් බවත් ස්වයං අධ්‍යයනයෙන් ඈ ඉගෙන ගත්තා ය.

මේ හැම දෙයක් ගැන ම ඇස ගසා ගෙන උන් අයෙක් සිටියහ. ඒ වූ කලී නැන්දම්මා ය. 

“මෙහෙම එළවළු වවල කන්නද…විකාර…”

ඇය නො රිස්සුම සඟවා ගන්නට දැන සිටියේ නැත.

“ඔය තරං මිදුල් ලස්සන කරන්න දඟලන්නෙ කවුද ලස්සන බලන්න එනව කිව්වෙ…”

විටෙක ඇය ලේලිය ගේ මූණට දමා ගැසු වචන වල වූයේ ඊර්ෂ්‍යාව ය. නමුත් නිකිනි ට දැන් ඒ වචන කෙරේ කේන්ති නැගෙනුයේ නැත. ඇය නිරතුරු මඳහසක් නගා ගෙන සිටියා ය. මඳහසකට යටින් ඕනෑ ම මොහොතක හිත කීරි ගසන රිදුමක් තියෙන්නට පුළුවන. නමුත් ඒ රිදුම නො පෙන්වා මඳහස පෙන්වා ගෙන සිටීම තුළ දකිනා මිනිසුන් ප්‍රතිචාර දක්වන ආකාරයේ වෙනසක් සිදු වේ. 

අප හඬනවා දකින්නට අපි ත් එක්ක තරඟ වදින අය කැමති ය. අපේ සිනහව ඔවුන් ගේ ඇස් වල අනින කටු තුඩු බවට පත් වේ.

නැන්දම්මා ට තරහා නිකිනි සතුටෙන් සිටින්නේ සිය පුත්‍රයා නිසා නො වන බව සක් සුදක් සේ දන්නා නිසා ය. ඇය ඉව කරමින් සිටිනුයේ ඇය වෙනත් පුරුෂයෙකු හා බැඳී ඇත්ද කියා ය. 

දැන් නිකිනි දිනපතා ම වගේ මහ ගෙදර යනවා කියා යයි. එහෙම කියා කොහේ යනවා ද කවුරු දනිත් දැයි ඇය නිතර සිතුවා ය. අනිත් අතට දැන් ෆෝන් නිසා ගෙදර සිට ම වුව ගැහැනුන් ට අනියම් සම්බන්ධතා වල පැටලිය හැකි යයි කවුරුන් හෝ කියනවා ඇය ට මතක ය.

මංජුල හා නිකිනි දැන් නිදන්නේ එක ම කාමරයක නොවන බව දැන ගෙන නැන්දම්මා වඩාත් කම්පිත වූවා ය.

එය මුලින් ම සිදු වූයේ නිකිනි පොත් සාප්පුවක් පටන් ගන්නට සිහින දකින බව දැන ගත් දා විරෝධය පානු වස් මංජුල සිය කොට්ට පැදුරු හකුලා ගෙන වෙනත් කාමරයක නිදන්නට ගිය දා ය. ඒ මංජුල ගේ සුව පහසු කාමරය වන නිසාවෙන්, ඇය නිසා ඔහු එය අහිමි කර ගත යුතු නැති බව නිකිනි සිතුවා ය. පසු දා ඇය නිවසේ වෙනත් කුඩා කාමරයක් ඈ වෙනුවෙන් සකස් කළා ය. 

“ඔයා රූම් එකේ නිදියන්න. මං වෙන රූම් එකක් අරේන්ජ් කර ගත්තා මට”

එදාත් මංජුල කොට්ටය ගෙන නික්මෙන්නට හදත්දී නිකිනි කාමරයෙන් පිටත සිට කීවා ය. මේ සෙල්ලම දිගට ම කර ගෙන යන්නට තරම් ඇය දඩබ්බර වෙතැයි මංජුල වුව සිතුවේ නැත. බිරියට දෙවැනි වන්නට ඇති නො කැමැත්ත නිසා මංජුල නිකිනි ගේ මේ හිතුවක්කාර ක්‍රියාව ගැන වූ කෝපය යටපත් කර ගෙන සිටියේ ය.

“ඇයි මේ කාමරේ…”

නුදුරු දිනෙක නැන්දම්මා එත්දී නිකිනි සිය අලුත් කාමරයේ බිත්තියක සේයා රුවක් එල්ලමින් සිටිනු දැක පිළිවිසියා ය. නිකිනි අඩ සිනහවක් හෙළුවා ය.

“ඇයි මංජුල රූම් එකෙං ගියානෙ. ඉතිං එයාට වෙන එකකට යන්න දෙන්න ඕන නෑනෙ…මං මේක ලෑස්ති කර ගත්තා මට නිදියන්න”

නිකිනි කතා කරන්නේ කිසිදු වගකට නැති ව ය. නැන්දම්මා ඈ දැවී යන සේ රැව්වේ ඒක ය. 

“දෙන්න දෙමහල්ලො අතරෙ පොඩි පොඩි අමනාප සිද්ද වෙන්නෙ නැද්ද…එහෙමයි කියල ඕක දුරට දිගට අරං යන්න ඕනද…ආ…”

“නෑ අම්මෙ…එහෙම අමනාපයක් නෑ මගෙ හිතේනං”

“ඒක නිසා වෙන්නැති මිනිහව දාල වෙන කාමරේකට ගිහිං තියෙන්නෙ. ඕක ඉතිං මිනිහව දාල වෙන ගේකට ගියා හා සමානයි. ද්වේශ සහගත හැර යාම කියල ඕන්නං ඕකට නඩු දාන්න පුළුවන්”

නිකිනි හඬ නගා හිනැහුණා ය. නැන්දම්මා ඈ දෙස බලා සිටියේ දැවෙන කෝපයෙනි.

“අම්ම හිතන්නෙ කොයි එකද හොඳද…ද්වේශ සහගත හැර යාමද නැත්තං වය්ෆ් ඉද්දි තවත් සම්බන්දකං තියා ගන්න එකද…”

“මට පේන්නේ ඔය ළමයත් සෑහෙන්න වෙනස් වෙලා වගේ. ඔයත් හැසිරෙන්නෙ මිනිහෙක් ඕන නෑ වගේනෙ. ගෑනු ඔහොමද…පිරිමිත් එක්ක කැත්තට පොල්ල වගේ ඉඳල හරියන්නෙ නෑ. පිරිමින්ට මොනාද කරන්න බැරි…ගෑනු අපි දැන ගන්න ඕනෙ චාටුවෙං බාටුවෙං මිනිහව අපි ළඟ තියා ගන්න”

නිකිනි ඒ පිළිබඳව ඊට වඩා කතා කරන්නට නො සිතුවා ය. නැන්දම්මා  වගේ සිතන ගැහැනියක සමගින් පිරිමින් ගේ අමන ගති ගැන කතා කිරීමේ අරුතක් නැත. පිරිමි කම යනු අමන කම යයි සිතනා ගැහැනුන් සිටින ලෝකයක එසේ නොවනා පිරිමියෙකු ගැන කතා කිරීමත් විහිළුවකි.

නිකිනි තනිව ගීයක් මුමුණමින් රාත්‍රී ආහාර පිසීම සඳහා සූදානම් වෙමින් උන් හැන්දෑවක සහස් පැමිණියේ ය. ඈ ගයනයුරු, ඇයට නො දැනී ඔහු පසු පසට වී බලා උන්නේ ය.

“සිහිල් සුළං රැල්ලේ…ඔබේ සුවඳ මුහු වේ….ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දලු සෙලැවේ…”

“මං හිතන්නෙ ඊළඟ වටේට යවන්න බැරි කමක් නෑ”

නිකිනි තිගැස්සී හැරී බැලුවා ය. සහස් දෑත් පපුවේ බැඳ ගෙන, උළුවස්සට හේත්තු වී සිනා සිසී බලා සිටියේ ය.

“මල්…ලා…මං ඒත් හිත හිත හිටියෙ…ගෙදර ගියත් ඔයාව දැක්කෙ නෑ හුඟ දවසකින්”

“ඒකනෙ මේ බලන්න ආවෙ. හැබැයි අද ආව එක මට සතුටු වෙන්න හේතුවක්”

“සතුටු වෙන්න…ඇයි…”

“ඔයා ඉන්නෙ සතුටෙං කියල දැක ගන්න පුළුවන් වුණානෙ”

“හ්ම්…මං සතුටෙන්”

“ඒක මට සතුටක්. මොකද…මාත් ඔයාට ආයෙ ගෙදර යන්න කියල බල කරපු කෙනෙක්නෙ”

“මල්ලා…ආයෙ මංජුලගෙ ගෙදර ආපු නිසා මං සතුටෙං කියලද ඔයා හිතන්නෙ…”

“ඇයි එහෙම නෙවෙයිද…”

“මගෙ සතුට හොයා ගන්නව කියල තීරණේ කරපු නිසා මං සතුටෙන්. ඒක මට අයිති සතුටක්. මං හොයා ගත්ත සතුටක්. මංජුලත් එක්ක ඒ සතුටෙ කිසි සම්බන්ධයක් නෑ”

“මොකද්ද හලෝ කියන්නෙ…මටනං මුකුත් තේරුන්නෑ”

නිකිනි හඬ නගා හිනැහුණා ය. සහස් ඇදෙස බලා උන්නේ නෙතු කුඩා කොට තේරුම් ගැනීමේ උත්සාහයක් දරමිනි.

“තේරුං ගන්න බැරි දේවල් බලෙං තේරුං ගන්න උත්සාහ කරන්න එපා මල්ලා. අපි එහෙම උත්සාහ කරනකොට තමයි සතුට අපෙං තව තවත් ඈතට යන්නෙ”

“මේ…මේ දවස් වල කාපු මොනා හරි විස වුණාවත්ද…”

සහස් නිකිනි ට වඩා ත් ලං ව ඇගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කරමින් ඇසුවේ ය. නිකිනි ඔහු ට නො රිදෙන පහරක් ගැසුවේ ය.

“පිස්සා. ඉන්න මං තේ හදන්නං”

මේ සතුට සඟවා ලිය නො හැක්කේ මන්දැයි නිකිනි නො දැන සිටියා ය. තමන් ගේ ම සිතිවිලි වල වහල් භාවයෙන් මිදුණ විට හිතක් නිදහසේ තටු සලන්නට පටන් ගනී. වදනකුදු නො දොඩා සිටියත් ඒ සතුට තටු සලන හැටි ලෝකයා ට දැනේ.

“ඕක තමයි කියන්නෙ ගෑනුංගෙ මිනිස්සුන්ගෙ පවුල් ප්‍රශ්න වලටනං අත දාන්න හොඳ නෑ කියල”

සහස් නැවතත් සතුටට ම කියවූයේ ය.

“මොකක්..”

“නෑ ඉතිං…අන්තිමට අත දාන එකා තමයි වැරදි කාරය වෙන්නෙ. මේ පේන්නැද්ද…ගෑනිගෙයි මිනිහගෙයි රණ්ඩු බත් හැලිය ඉදෙනකල් විතරයිලු”

“පණ්ඩිතය”

නිකිනි ආදරයෙන් සිය සොයුරා ගේ හිස් මුදුණේ කෙස් රොදක් ඇද්දේ ය. ඒ සමග ම ඇගෙන් සුසුමක් ගිලිහී ගියේ ය. 

“අපි සතුටෙන් ඉන්නව කියල හිතන හුඟක් අයගෙ පවුල් ජීවිත වල ඇත්ත තත්වෙ මෙහෙමද කියල දැන් මට හිතෙනව මල්ලා. හැබැයි බීනුයි අකලංකයි නං ඇත්තටම සතුටෙං ඉන්නව මං දන්න විදිහට”

“ඒ කියන්නෙ ඔයා සතුටෙං නෙවෙයිද…”

එවර සහස් විශ්මයට පත් බවක් පෙනිණ. තවමත් අවිවාහක යෞවනයෙකු වන ඔහු ට පවුල් ජීවිතයක වන අප්‍රසන්න ගැටළු පිළිබඳව කුමට පවසන්නදැයි නිකිනි සිතුවා ය.

“නෑ මල්ලා මං සතුටෙං. ඒත් මගෙ සතුටට හේතුව මංජුල නෙවෙයි කියල මං හොඳටම දන්නව. හැබැයි මංජුල තියා වෙන කවුරු නිසා වත් මං මගෙ හිත දුකට පත් කර ගන්න එකකුත් නෑ ආයෙ”

“කොහෙ හරි ඔළුව හැප්පුණාද…නැත්තං වැරදිලා වගේ මොකක් හරි පොතක් කියෙව්වද..”

“හොඳ පොතක් කියන්නෙ ඇත්තටම මනුස්සයෙක්ගෙ ජීවිතේට ලොකු බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි මල්ලා. සමහර මිනිස්සුත් පොත් වගේ. කියවන්න කියවන්න තමයි ගැඹුර දැනෙන්නෙ”

“ආ…කවුරු ගැනද ඒ කිව්වෙ…කවුද ඒ සමහර මිනිස්සු…”

වචනයක් වැරදුණ බව නිකිනි ට දැනුණේ ඒ වෙලාවේ ය. ඇය සිනහවකින් සිය මෝඩ කම සඟවා ගැනීමේ උත්සාහයක් ගත්තා ය.

“නෑ මං කිව්වෙ එහෙම එක්කෙනෙක් ගැන හිතල නෙවෙයි”

දේව රූපයක් සේ විදත් ගේ රුව ඈ හිත අස ඇඳී මැකී ගියේ ය. නිකිනි ගේ වත මඳක් රතුවට හැරිණි. කාටවත් පැවසිය නො හැකි, තනියම හිතේ හංගා ගෙන රස විඳින්නට පමණක් හැකි කෙනෙක් ගැන කවුරුවත් නො දන්නා රහසක්, හැම කෙනෙකු ගේ ම ජීවිත වල තිබෙන්නට පුළුවන. කටුක කටෝර වූ ජීවිත වලට අමා මිහිරක් වන එක ම මී විත එයයි. සිහිනෙන් ගෑ සුවඳක් සේ ආත්මය පත්ලෙන් නැගී එන බලාපොරොත්තුවේ සහන් එළිය එයයි. ඒ මිහිර මේ හැටි ම රසවත් ව දැනෙන්නේ එය රහසිගත වූ පමණට යයි නිකිනි සිතුවා ය.

“තාරකාවක් වගේ අපි අපිට ම පාර පෙන්නන තාක් කල් අපේ ජීවිතේ සතුට වෙන කෙනෙක් මත තීරණේ වෙන්නෑ මල්ලා. එන්නකො..”

තේ එකත් සමග ම නිකිනි සහස් ව ඇද ගෙන ගියේ ඇගේ අලුත් කාමරය පෙන්වීමට ය. ඒ තනි යහන දුටු යෞවනයා ඇස් කුඩා කොට ගත්තේ ය.

“අක්කා…”

“මගෙ අලුත් රූම් එක”

ඇගේ ඇස් සතුටෙන් ප්‍රභාමත් ව තිබේ. එය වූ කලී ව්‍යාජ සතුටක් නො වන බවත් සහස් ට තේරුම් ගන්නට පුළුවන. නමුත් ඔහු ට තේරුම් ගන්නට බැරි ඇගේ ලෝකය තුළ කුමක් සිදු වෙමින් පවතිනවා ද කියා ය. 

“අපේ ගෙදර අයට ඕන වුණේ මං මෙහෙ එනව දකින්නනෙ. එහෙමයි කියල මං මගෙ ජීවිතේ කණාමැදිරි එළියක් තරං සතුටක්වත් නැති ගෑනියෙක් වෙන්න ඕන නෑනෙ මල්ලා”

පපුවේ රිදීමක් සහස් ට දැනිණ. නිකිනි වූ කලී තරුණ ගැහැනියකි. ජීවිතය පිළිබඳ කුදු මහත් අපේක්ෂාවන් සැමියා මත්තේ පාවා දුන් ලෝකයේ සෑම භූ විෂමතා කලාපයක ම ගැහැනුන් වෙනුවෙන් මෙතෙක් දැනී නැති විදිහේ කම්පාවකින් සහස් ගේ තුරුණු හද ගැහිණි.  ඔහු ඇය ව වැළඳ ගත්තේ හිතා මතා නොවේ. 

“අක්ක”

“මල්ලා…”

නිකිනි ඇස් දෙක තද කොට ගත්තා ය. ඇස් කෙවෙනි පිච්චෙනවා ඇය ට දැනිණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x