පතොක් මලක ප්‍රේමය – 25

සමහර සිදුවීම් සිදු වන්නේ කිසිසේත්ම කලින් සැලසුම් කර නොවේ.ධීරගේ දුරකථනය දවසක් තිස්සේ ක්‍රියා කළේ නැත.ඔහු කොහේ යන්නට ඇත්දැයි සිතමින් මම දවස ගෙවීමි.උදෑසන බෙහෙත් බිව්වාදැයි ඇසූ ඔහු දවල් දවස පුරා එකදු පණිවිඩයක් එවූයේ නැත.

“එකසිය තිස් අට කියන්නෙ හොර ගුහාවක් අප්ප.කොල්ලගෙ ෆෝන් එක හොරකං කරාද දන් නෑ කවුරුහරි..” චමත්කා අනාවැකි පළ කළා ය.ඔහු නුගේගොඩට යන්නේ මෝටර් සයිකලයෙන් බවත් නැතිනම් දුම්රියෙන් බවත් මට මතක ය.

“ෆෝන් එක කැඩෙන්න ඇති අනේ.මේ ෆෝන් කටුත් මහ සාප.මගෙ කෙහෙම්මලත් කැඩිලා අප්පා.අලුත් එකකට තාත්තිව සේප් කර ගන්න ඕන”

චමත්කා කියැවූවා ය.මම වරින්වර ඔහු ෆේස්බුක් ඔන්ලයින්දැයි පිරික්සන්නට ගතිමි.නැත! ඔහු එහි ද නැත.

ධීර මා කෙරෙහි සෙනෙහසකින් නම් දුරකථනය ක්‍රියා නොකිරීම ගැන කෙසේ හෝ පණිවිඩයක් තැබිය නොහැකිදැයි සිතමින් මම දිගු දවසක් ගෙවා දැම්මෙමි. ඒ දිගු දවස බොහෝ අසීරු වූයේ හවස හය ද පසු වී නවාතැනට පිවිසුණු මොහොත ය.මාලක අයියා වෙහෙස රැඳි මුහුණකින් ගේට්ටුව වෙත ආවේ අප සමඟ ම ය.

“සාරා..ඔයාට පණිවිඩයක් තියනව..” ඔහු එසේ කියද්දී ඒ ධීරගෙන් බව මම දැන ගතිමි.කේතකී පඩිපෙළ තරණය කරමින් සිටි අතර චමත්කා මා සමඟ රැදුණා ය.

“ධීරයගෙ බයික් එක හැප්පිලා නංගි.අද උදේ..” මාලක අයියා කියද්දී මම ගල් ගැසී ගියෙමි.ඔහුට අසාධ්‍යදැයි ඇසුවේ චමත්කා ය.

“නෑ නෑ නංගි.අත පොඩ්ඩක් ඩැමේජ්.මෙහෙ හොස්පිටල් ඉන්නෙත්.නංගිට කියන්න කිව්වා.ෆෝන් එකත් කැඩිලා.මං හදන්න දීගෙනමයි ආවෙ..”

කමකට නැති රියදුරෙකු ගැන මාලක අයියා බොහෝ වෙලාවක් චමත්කා සමඟ කියවූයේ ය. මම ඒ කිසිත් නෑසිමි.ධීර වේදනාවෙන් සහ තුවාල සහිතව රෝහලේ යන ආරංචිය පමණක් මා වඩා රිදවමින් තිබිණ.ඔහු මෝටර් සයිකලයේ ඉගිලෙන තරුණයෙකු නොවන බව මා දැක ඇත.අනිත් කාරණාව ඔහුට ඇත්තේ ද කොල්ලන් පදින වර්ගයේ මෝටර් සයිකලයක් නොවේ.එනිසාම මට ශෝකය තදින් දැනිණ.

“අයියා හෙට හොස්පිටල් යනවනම් මාවත් එක්ක යනවද? ” මා එසේ අසද්දී මාලක අයියා හිනැහිණ.

“නොකිව්වට අපේ මිනිහටත් නංගිව ගෙන්න ගන්න උවමනාවක් තිබ්බද මන්දා..යංකො..මං එක්ක යන්නං.උදේ හයට යං..” එසේ කී ඔහු චමත්කා දෙස බැලුවේ දඟකාර සිනාවකිනි.

“ඒ කතාව කොයි හරියෙද තියෙන්නෙ නංගි.”

චමත්කා උස් හඬින් හිනැහුණා ය.සාලයෙන් පිටතට ආ විසල් මල්ලී අප දෙස බලන්නට තරම් ඈ උස් හඬින් හිනැහිණ.

“අයියා බෙස්ට්මන් කෙනෙක් වෙලා මට බ්‍රයිඩ්ස්මේඩ්ට අඳින්න වෙන හරියෙද මන්ද අයියේ..”

මම චමත්කාට පහරක් ගැසුවෙමි.රතු කරගත් මුහුණින් නිවසට ඇතුළු වෙද්දී පවා මා සිතමින් සිටියේ එකම එක දෙයකි.සැබෑවටම අප අතර ඇත්තේ මිත්‍රත්වයක් පමණක් ද? ධීර මට ප්‍රේමයක වග කියා නැත.එහෙත් ඔහු දැන් මා ගැන බොහෝ විමසිලිමත් වේ.ඒ ඇයිදැයි සිතන්නට මගේ රාත්‍රියෙන් සැලකිය යුතු පංගුවක් වෙන් විණ.කිසිම පිළිවෙලක් නැති තරුණයා ජීවිතයට අලවා ගතහොත් මට ඔහු දරා ගත හැකිදැයි සිතන්නට රාත්‍රියේ ඊළඟ අඩ වෙන් විණි. සියල්ලටම වඩා ඔහු මා කෙරෙහි ප්‍රේමයක් නැතිනම් යැයි සිතද්දී මට පහල වූයේ ලැජ්ජාවකි.

“අප්පටසිරි…මොනවද හදන්නෙ?”

මහ පාන්දර එලාමයට අවදි වී සුප් සාදන්නට වූ මගෙන් කේතකී ඔලොක්කුවට ඇසුවා ය.මම කිසිත් නොකියා මගේ කාර්යය කරන්නට ගතිමි.

“අපි ලෙඩ උනාට කැඳ උගුරක් හදන් නැති ගෑනි..” කේතකී එසේ කියමින් තේ බඳුන් සෝදද්දී චමත්කා නිදිගැට හරිමින් මුළුතැන්ගෙයි බිම හිඳ ගත්තා ය.

“මොනව උනත් මෙයාගේ සංවේදි ඉන්ද්‍රියන් වැඩ කියල දැන ගත්තු එකට මට මාර සතුටුයි.පහුගිය කාලෙ මෙයා හිටියෙ හැඟීම් දැනීම් මරලා දාලනෙ.ඒවා ආපහු වැඩ කියල දැනගත්තු එකම මට ඇති..”

චමත්කා එසේ කියද්දී මම යන්නට සූදානම් වීමි.කේතකී “දෙන්නා සෙට් ද” අසන කසුකුසුවත් තවම නැති බව චමත්කා තහවුරු කරන අන්දමත් ඒ අතර කනේ හැපුණේ මට සිනා උපදවමිනි.

“අපේ අම්මා උදේට පාන් ටෝස්ට් වගේකුයි දවල්ට බතුයි හදලා දුන්නා නංගි..” ත්‍රීවිලයකට ගොඩ වන අතර මාලක අයියා මට පැවසුවේ ය.

“ඇයි ඇඹුල් තියල් බත්..” මා ඇසුවේ ඇත්තටම ය.

“ධීරයා ළඟින් ආස්සරේ කරාට ඔයා ඒ හරිය දන් නෑනෙ..මං හෙමින් කියන්නංකො..” මාලක අයියා එපමණක් පැවසී ය.

රෝහල් සයනය මත ධීර බලා හුන්නේ ගිලන් වූ මුහුණකිනි.වෙළුම් පටි යෙදූ අතත් කකුලකුත් රිදෙනවාදැයි අසන්නට මට ඕනෑ විණි.නමුත් ඔහු මට සිනාවක් හෙළුවා පමණි.මාලක අයියා හප්පා ගිය මිනිසුන්ගේ තතු ද තවත් දේවල් ද පවසමින් ධීර හා කතාවට වැටෙද්දී මා ඔහේ හුන්නෙමි.

“සාරා..ඊයේ බේත් ටික බිව්වද?” දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන්නට මාලක අයියා වාට්ටුවෙන් එළියට ගිය වහා ධීර මගෙන් ඇසී ය.මම හිස වනමින් ඔහුට සුප් බඳුන පිරිනැමුවෙමි.ඔහුගේ මඳහස පිපී ආවේ ඒ මොහොතේ ය.

“උඹලගෙ ගෙදර මිනිස්සු එයිද ෂුවර් නැති නිසා අපේ අම්මා උදේ දවල් කෑමත් ඔතලා දුන්නා..අන්න උඹලගෙ අම්මා එනව ඒත්..”

මාලක අයියා පැවසුවේ යළි අප වෙත එන අතර ය.ධීර හිස ඔසවා නොසැලකිලිමත් බැල්මක් හෙළුවේ ය.ඇඹුල්තියල් අධිපතිනිය දෑත වනමින් අප වෙත ආවා ය.දරුවන් බලන්නට ආ හැම අම්මා කෙනෙකුම අත විශාල මළු තිබුණ ද ඈ ආවේ දෑත් වනමිනි.

“අර වසන්ත මහත්තයට කතා කරලා හප්පපු එකාට නඩුවක් දාන්න කියන්න ආවේ..නිකං අතාරින්න එපා මෝඩයෙක් වගේ..”

ඇය එසේ පවසා සැලකිලිමත් නොවීම සම්බන්ධයෙන් ධීරට දොස් නගන්නට තව සැලකියයුතු වෙලාවක් වැය කළා ය.ධීරගේ මුහුණ අපහසුවකින් පිරී යද්දී මම මාලක අයියා දෙස බැලීමි.මාලක අයියා මා කියවා ගත්තේ ය.

“මට ඔෆිස් යන්නත් පරක්කු වෙනව.සාරටත් ලෙක්චස්නෙ..අපි යන්නං මචං..උඹට රෙදි වගේකුයි ෆෝන් එකයි අරන් කවිෂ්ක දවල්ට එයි..බත් නම් තියනවනෙ..”

මාලක අයියා එසේ කියද්දී මම ධීරට සමු ගන්නා බැල්මක් තිළිණ කළෙමි. ඔහු මඳ මුදු සිනාවක් හෙළී ය.

“මේ ළමයා කවුද මාලක..” වාට්ටුවෙන් පිටවී රෝහල් කොරිඩෝවට එද්දී කන ලඟම ඇසුණු හඬ මා තිගැස්සවී ය.

ධීරගේ අම්මා, ඇය ද අප පසුපසින්ම පැමිණ ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles