මල් වැනි කුඩා දරුවන් විනිශ්චය කර තලා පෙලා දමන්නට පෙර දෙවරක් සිතන්න.

“ඔයාගේ දරුවා මානසික රෝගියෙක්.මෙයාව නම් මේ ඉස්කෝලෙ තියාගන්න බැහැ.”

“මෙයා වගේ ළමයෙක් නම් මම ජීවිතේට දැකල නැහැ.”

“හැම ලමයටම මේ ලමය කරදරයක් , මගේ පංතියේ මේ දරුව තියාගෙන අනෙක් ලමයින්ට උගන්වන්න මට බෑ”

ඔයා අම්ම කෙනෙක් කියලා හිතන්න.ඉතින් ඔයාගෙ දරුවට ගුරුවරුන්ගෙන් හැමදාම ඔය වගේ ප්‍රතිචාර එනවනම් ඔයා කොතරම් මානසික පීඩාවකට වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද?

අද අපි කියන්නෙ මේ වගේ ප්‍රතික්ෂේප වීම් රැසකට මුහුණ දීමෙන පසුවත් ලෝක ප්‍රසිද්ධ වූ දැරියකගේ කතාවක්.මේ අවුරුදු හතක මේ පුංචි දැරිවියට ලැබුණ ප්‍රතිචාර බොහොම දරුණු ඒවා.

ඇය නමින් ගිලියන්.පසුකලෙක ලෝකප්‍රසිද්ධ බැලේ රංගන ශිල්පිනියක් වන ඇය කුඩා කාලයේ ඉතාමත් කටුක අත්දැකීම් රැසකට මුහුණ දුන් දැරියක්.මේ ඇයගේ කතාව.

ගිලියන්ගෙ අම්මා පාසලට පැමිණියේ දෙලොවක් අතර අතරමං වීගෙන.ගිලියන්ගේ අනාගතය ගැන ඇයට තිබුණේ අවිනිශ්චිතතාවයක්.කිසිම ගුරුවරියක් ඇයව භාර ගැනීමට සූදානම් වූයේ නැහැ.

“මෙයා අධික්‍රියාකාරී ළමයෙක්.
අම්මෝ මෙයාව පන්තියේ තියාගන්න නම් අපිට බැහැ.
අපි හිතන්නෙ ගිලියන් ට මානසික රෝගයක් තියෙනවා කියලා.
මේක හරිම සංකීර්ණ තත්ත්වයක්.මෙයාට ප්‍රතිකාර කළ හැකි කෙනෙක් ඉන්නවාද කියලා අපිට නම් සැකයි”

මේ ගිලියන්ගේ අම්මා ගිලියන්ගේ පාසලෙන් ලද ප්‍රතිචාර.අසරණ බැල්මෙන් බලා සිටින ගිලිියන්ගේ අම්මා කිවයුත්තක් නොදැන දැරියගේ අනාගතය ගැන කම්පා වෙනවා.ඇගේ දෑස කඳුළින් පිරී තිබෙනවා.පිළිසරණට දෙවියන් මිස මිනිසුන් නොමැති බව ඇයට දැනෙනවා.දැරිය ගේ අතින් අල්ලා ගත් ඇය මහත් කම්පාවකින් පාසලෙන් පිට වීමට සූදානම් වෙනවා.

ඔව් ,ඇයගේ පිහිටට දැන් සිටින්නේ දෙවියන් පමණයි.
ගිලියන් සහ අම්මා ඉදිරියට හදිසියේම පැමිණෙන්නේ වියපත් ගුරුවරියක්. මවගේ දෑසේ කඳුළු දකින ඇය එයට හේතුව විමසනවා.
ගිලියන්ගේ මව ඇය ඉදිරියේ සියල්ලන්ගේම ප්‍රතික්ෂේපයට බඳුන් වූ සිය දැරියගේ දැරිය ගේ අවාසනාවන්ත ජීවිත කතාව එම වියපත් වූ ගුරුවරිය හමුවේ දිගහරිනවා.

ඔබ විශ්වාස කරනවාද? සමහරවිට දෙවියන් මිනිස් වෙසින් පෙනී සිටින බව.එවන් විශ්වාසයක් ඔබට නැත්නම් එය විශ්වාස කිරීමට මේ හොඳම වෙලාව බවට කිසිදු සැකයක් නැහැ.

“අපි තව සැරයක් උත්සහ කරල බලමු “.

වියපත් ගුරුතුමිය විදුහල්පති හමුවට ඔවුන් රැගෙන යනවා.එකම එක අවස්ථාවකට අවසර ඉල්ලා ගන්නවා.ඇය කුඩා දැරිවියගේ අතින් අල්ලාගෙන රැගෙන යන්නේ එක්තරා කාමරයකට.එය දැරිවියට ආගන්තුක තැනක්.විවිධ සංගීත භාණ්ඩ,සංගීත වාදන උපකරණයක් ආදී උපාංග එහි තිබෙනවා.
ගිලියන්ව එහි තනි කරන ඇය මව සමඟ පිටවී යනවා.අපි විනාඩි දහයකින් එනකන් ඔයා පොඩ්ඩක් ඔතන ඉන්න.ඇය කරුණාවෙන් එසේ පවසනවා.
පුදුමයට පත්වී සිටින විදුහල්පති ද ඔවුන් සමග දැනටමත් එකතු වී අවසන්.දැරිවිය කාමරයේ තනි කරන ඔවුන් කාමරයෙන් පිටත වීදුරුවකින් ඇයට නොදැනෙන්නට ඇය දෙස බලා සිටිනවා.

ප්‍රාතිහාර්‍යය ඇරඹෙනවා.

ඔබට මොකද හිතෙන්නේ? පුංචි කිරිල්ලිය කුමක් කරන්නට ඇද්ද? ඇය නැගිටිනවා.රෙකෝඩරය මහ හඬින් වාදනය කරවනවා.ඔව් ,පුංචි ගිලියන් නර්තනයේ යෙදෙනවා.
කවුද කියන්නෙ ඇයට මානසික ලෙඩක් කියලා?ගුරුතුමිය ප්‍රශ්න කරනවා.ඇය උපතින්ම නර්තන ශිල්පිනියක්.ඉතින් ඇය දන්නේ එයයි.
පසුදා සිට නැටුම් කාමරයේදී ගිලියන් ගේ ජීවිතය නැවත ඇරඹෙනවා.ඇයගේ මුව සිනහවෙන් පිරී ඉතිරෙනවා.අම්මා තමන් වෙනුවෙන් හඬනු කිසිදා ඇය නැවත දකින්නේ නැහැ.

පුංචි ගිලියන් පසු කලෙක එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ඨතම බැලේ රංගන ශිල්පිණිය බවට පත්වෙනවා.ඊට අමතරව රූපවාහිනි නැටුම් අධ්‍යක්ෂකවරියක්,නිළියක් ලෙස ඇය දිදුලනවා.

ඉතින්,ඔබට, සුපුරුදු එකම අච්චුවෙන් මිදුණු පුංචි දරුවෙකු දුටුවහොත්, ඔහුව හෝ ඇයව විනිශ්චය කිරීමට පෙර,මේ කතාව සිහියට නැගෙනු ඇතැයි අප හිතනවා.

More Stories

Don't Miss


Latest Articles