හේමන්ත සන්ධ්‍යා -39

සිය හද ගැස්ම ඒ තරමින් තීව්‍ර වූ වෙනත් දිනක් තිබිණි දැයි නිකිනි ට සිහිපත් කර ගත නො හැකි තරම ය. වසර විසි පහක් තිහක් තිස්සේ සිය හදවත අරක් ගෙන ජීවත් වූ මිනිසාත්, වසර හත අටක් තිස්සේ සිය ජීවිතය අයිති කර ගෙන සිටි මිනිසා ත් යන දෙදෙනා එක වර එක ට සම්මුඛ වෙත්දී ගැහැනු හදවතක ඇති විය හැකි ටර්නාඩෝ සුළි කුණාටු තත්වය ගැන වචන වලින් විස්තර කළ නො හැකි ය.  මංජුල ආවේ ම වැලි කුණාටුවක පීඩාව නිකිනි ගේ නෙත් වල තවරමිනි. කුමක් කියන්න ද හෝ කුමක් කරන්න ද කියා ඇය දැන සිටියේ නැත. 

“හහ්…සෑහෙන්න වැඩ නේ…”

කෑලි කැපිය හැකි ඒ මහා නිශ්ශ්බ්දතාව බිඳ හෙළන්නට මංජුල යොදා ගත්තේ කඩු කිනිසි තුඩු සේ විෂකුරු වූ වචන කිහිපයකි. ඔහු ගේ ඇස් මත ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සේ ම වෛරය නලියන හැටි නිකිනි මැනවින් දුටුවා ය. ඒ වගේ ම ඒ සිනහවේ වූයේ අසීමිත සමච්චලය ය.

නිකිනි විදත් දෙස බැලුවා ය. මහා කුණාටුවකදීත් නො සෙල්වී පවතින වනස්පතියක් සේ ඔහු නිසංසලේ පොතක පිටු පෙරලමින් සිටියේ ය.

“ඇයි දැං ඔයා මෙහෙට ආවෙ…”

පුළුවන් තරමින් හිතට හයිය එකතු කර ගෙන නිකිනි ප්‍රශ්න කළා ය. සත්තකට එහෙම අසා ගන්නට ඇයට හැකි වූවා ද කියා ඇය ට ම සැක සහිත ය.

“අපි ලෝයර් අතේ හැම දේම පැහැදිලි ව කියල එව්වනෙ මංජුල”

නිකිනි සිහිනයකිනිදු නො සිතූ ලෙස මංජුල ගේ අතක් හෙණ පහරක් සේ ඇගේ කම්මුලක් මත පතිත විය. ඇය කැරකී ගියා ය. විදත් වහා පුටුවෙන් නැගිට ගත්තේ ය. තවමත් කම්මුල් වලින් දුම් දමනවා සේ නිකිනි ට දැනේ. එකතකින් කම්මුල අල්ලා ගෙන ම ඕ විදත් දෙස බැලුවේ, මේ අනවශ්‍ය කුණු ගොඩට ඔහු පැටලේ යයි බියෙනි. 

විදත් අඩියක් පෙරට තැබුවේ ය.

“තව එක සැරයක්වත් නිකිනි ට අත උස්සන්න එපා. එහෙම කරන්න හිතන්නවත් එපා….”

ඔහු විදත් වෙතට දබරැඟිල්ල දිගු කරමින් සිටියේ ය.

“ඕහෝ…එහෙනං තමුසෙද අර නාකි මනමාලය…ලැජ්ජ නැද්ද ඕයි…මේ තමුසෙගෙ දුවෙක්ගෙ වයසෙ කෙල්ලෙක් නේද…එහෙම එකේ කවුරුවත් නැති අතරෙ මේක අස්සට රිංගගෙන මගුල් නටන්න ලැජ්ජ නැද්ද ඕයි…”

“මංජුල…ජරා කතා කියන්නෙපා”

නිකිනි උගුර යටින් කෑ ගැසුවා ය. කොයි තරම් ඈ ආවේගයට පත් ව සිටියේ ද යත් ඇගේ වතට ලේ පුරා රතු වී තිබිණි. මුළු මුහුණ ම ඇසිල්ලකින් දහදියෙන් තෙතබරිත වෙමින් තිබිණ.

නමුත් විදත් නිසංසලේ සිනහ වූයේ ය.

“තමුසෙ ඔය හිනා වෙන්නෙ මටද…තමුසෙ දන්නවද මේ කවුද කියල…අයිසෙ මේ මගෙ කසාද ගෑනි…කසාද ගෑනි”

මහත් අප්‍රසන්න හැඟීමකින් නිකිනි ගේ හදවත පීඩා විඳිමින් තිබිණි. ඇය සිය සුරතින් ඇගේ ම ගෙල පෙදෙස තද කොට අල්ලා ගත්තා ය. ඔක්කාරය කරන්න ට හිතෙන තරම් ඒ පිළිකුල ජුගුබ්සාජනක වූයේ ය.

විදත් තවත් ලස්සනට  සිනහ වූයේ ය. 

“ඔයා දන්නවද නිකිනි මට ආදරේ කළේ කවද ඉඳන්ද කියල…ම්…”

බටහිර චිත්‍රපටයක පෞරුෂයෙන් අනූන නළුවෙකු ගේ රුවක් ද එවැනි දර්ශනයක් ද, විදත් ගේ හැසිරීම නිකිනි ගේ සිත් හි මවන්නට සමත් විය.

“එයා ලොකු ළමයෙක් වෙන්නත් කලින් ඉඳන්…එච්චරට චූටි කෙල්ලක් කාලෙ ඉඳන්”

මංජුල ගේ වත අඳුරු වී හැකිළී යන යුරු නිකිනි දුටුවා ය. නමුත් විදත් ගේ ඒ ප්‍රකාශය නිකිනි තුළ මඳ ලැජ්ජාවක් ඇති කරන්න ට සමත් විය. සහස් ඒ සියල්ල ඔහු ට කියා ඇති බව ඇය ට වහා සිහි විය.

“ඒත් අවාසනාවකට මං ඒ බවක් දැන ගෙන හිටියෙ නෑ. හරි ඒක එහෙමයි කියමුකො. ඒත් ඔයාටනෙ එයාව අයිති වුණේ. ඔයාවනෙ එයා මැරි කළේ. ඒත් ඒ කෙල්ලව සතුටෙන් තියන්න ඔයාට බැරි වුණ එක මගෙ ප්‍රශ්නයක්ද….ආ…මං ලංකාවට ආවෙ අවුරුදු විස්සකට පස්සෙ. නිකිනි ව ඇහැට දැක්කෙ නෙවෙයි මට එයාව මතක් වුණේ වුණත් අවුරුදු විස්සකට පස්සෙ එදා එහෙ ගෙදරදි දැක්ක වෙලාවෙ වෙන්න ඇති. ඒත් මේ කෙල්ල මාව හැමදාම හිතේ තියං ඉඳල. ඒක කාගෙ ප්‍රශ්නයක් ද…ඔයාගෙ ප්‍රශ්නයක්. ඒ කෙල්ලට දැනෙන්න ආදරේ කරන්න ඔයාට බැරි වෙච්ච එකේ ප්‍රශ්නයක්. ඉතිං මිස්ටර්…ඔයා මෙතනට ඇවිත් බොරුවට සද්ද දැම්ම කියල වැඩක් නෑ නේද…නිකිනි ව අයිති වෙලා තිබුණෙ ඔයාට….ඉතිං මේ කොහෙවත් ඉන්න මට චෝදනා කරන්න කලිං එයාව පරිස්සං කර ගන්න එකනෙ ඔයා කරන්න තිබුණ දේ”

ඔහු කතා කළේ කෙතරම් නම් සංයමයකින් ද? නිවීමකින් ද? මංජුල ගේ විදාරණයන් සමග සසඳත්දී ඒ නිවුණු බව අහසට පොළොව සේ ය. මංජුල දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ නැවතත් නිකිනි වෙතට තර්ජනාංගුලිය දිගු කළේ ය.

“තමුසෙ දැනගන්නව ඔය හිතේ තියෙන කිසි දෙයක් වෙන්නෙ නෑ කියල. කොටිංම තමුසෙට මං ඩිවෝස් එක දෙන්නෙම නෑ”

මුවැත්තක සේ ගැස්සුණු නිකිනි බිම බැලුවා ය. විදත් තවත් අඩියකින් මංජුල ට ලං විය.

“මං මේ බොහෝම හොඳින්නෙ ඔයත් එක්ක කතා කළේ…නේද…හැබැයි මීට වඩා ඕන තරං වෙනස් විලාශයනුත් මගෙ තියෙනව. ඕන කෙනෙක් එක්ක ඕන විදිහකට ගනු දෙනු කරන විදිහ මං දන්නව. ඒක නිසා නිකිනි එක්ක ගනු දෙනු කරද්දි මීට වඩා සෙන්සිටිව් විදිහට ඒක කරන්න කියල මං ඔයාගෙං ඉල්ලනව. ප්ලීස්”

නිකිනි ට දැනුණේ ළය පැලෙන්නට එන තරම් ස්නේහයකි. මේ වාගේ පුරුෂයෙකු ගේ සෙවනෙහි එක දිනක් රැඳී මිය ගියත්, ගැහැනියක ට සසරකට ඒ ප්‍රමාණවත් ය. විදත් ඒ බවක් දන්නවාද කියා නිකිනි දන්නේ නැත. නමුත් මංජුල නම් එහෙම දෙයක් අසා හෝ නොමැති බව ඇය ට විශ්වාස ය.

“අනේ මේ යනව අයිසෙ යන්න. මොන හිකනලෙක්ද මූ…”

ඒ වගේ සමච්චලයකටත් සිනහ වෙන්නට පුළුවන් කියන්නේ විදත් ට තිබෙන්නේ මොන තරම් ශක්තිමත් පෞරුෂයක් දැයි නිකිනි ට සිතිණි. නමුත් ඕ බිය වූයේ එසේ ඉවසන පුද්ගලයන් කෝපත් වුව හොත් එහි සීමාව කොතැනක දැයි සිතා ගත නො හැකි බව ද දැන සිටි නිසා ය.

“ඔයා දැං යන්න මංජුල. කතා කරන්න තියන දෙයක් අපි ලෝයර් හරහා කතා කරමු”

නිකිනි සිත දැඩි කර ගෙන කීවා ය. 

“එහෙමද නෝනා…හරි එහෙනං අපි එහෙම කරල බලමුකො ආ”

කියමින්, විදත් දවාලන බැල්මක් හෙළා ගෙන ම මංජුල නික්ම ගියේ ය. නිකිනි එහෙමම පුටුවක් මතට වැටුණා ය. ඊළඟට මේසය දිගේ අතක් දිගු කරමින් ඒ මත හිස තියා ගත්තා ය. 

හිනා වෙන්නට හදන හැම තැනක ම කඳුළු ඉහිරෙන්නට බලා ඉන්නේ ඇයි ද කියා ඇය නෙතු පියා ගෙන සිතුවා ය.

“මැණික”

ඒ හඬ ඇසුණේ ඈ අභියස අසුන්ගත ව හිඳින මහා ප්‍රේමයක් රැඳි මිනිසා ගෙන් නොව, ඇගේ ආත්මය තුළ ආත්ම ගණනාවක් තිස්සේ ජීවත් වෙන හුස්ම හා බැඳුණ මිනිසා ගෙන් කියා ය නිකිනි ට සිතුණේ.

“මං ඉන්නවනෙ…ම්…මුකුත් හිතන්නැතුව ඉන්න”

එහෙම කියනකොට තවත් වාවා ගන්නේ කෙසේ ද? නිකිනි ට ඉකි බිඳී හැඬිණි. පිටි අත්ල දෙක මත නිකට රඳවා ගත් ඕ ඉකි ගසමින් ද කෑ ගසමින් ද හූල්ලමින් ද හැඬුවා ය. විදත් ඈ අභියසට වී ඇහිස පිරිමදිමින් බලා සිටියේ ය. කොයි තරම් වෙලාවක් ද මන්දා හැඬු ඕ, අන්තිමට කඳුළු ඇස් ඔසවා ඔහු දෙස බැලුවා ය.

“බලං ඉන්න එපා මං දිහා”

හඬමින් ම ඇය කියා ගත්තා ය.

“මං අඬනකොට කැතයි”

විදත් ට සිනා ගියේ ය. ඔහු එහෙම ම පහත් වී ඇගේ හිස සිප ගත්තේ ය.

“උඹ කොහොමත් කැතයි”

හඬමින් ම නිකිනි ට සිනහ නැගිණ. 

“නිකිනි”

ප්‍රේමයේ ගැඹුරු ම හද පත්ලෙන් දොඩමින් විදත් ඇදෙස බැලුවේ මීට පෙර කිසි දා ක ඔහු ස්ත්‍රියක දෙස බලා ඇතැයි සිතිය නො හැකි ඇස් දෙකකිනි. ආදරය හමු වෙත්දී හෝ හඳුනා ගනිත්දී එය මුලින් ම දැනෙන්නේ දෑසට ය. ඊට මුලින් ම ප්‍රතිචාර දක්වන්නේ ත් දෑස ය. ඔහු ජීවිතයේ ප්‍රථම වතාවට ආදරය කරන්නට පටන් ගත්තා ද කියා විදත් ට සිතිණ.

“මට සමා වෙන්න”

“ඇ…යි…”

ඇගේ හඬ අලුතෙන් ම බිඳී ගියේ ය.

“මං පරක්කු වුණාට…මට ඔයාව තේරුං ගන්න කල් ගියාට. ඒත් මං එක පොරොන්දුවක් වෙනව”

“මොකද්ද…”

“ඒ ගෙවිල ගිය අවුරුදු ගාණට පොලියත් එක්ක ආත්ම ගාණකට ඇති වෙන්න මේ ඉතුරු වෙලා තියෙන කාලෙදි මං ඔයාට ආදරේ දෙනව. මටවත් හිතා ගන්න බෑ ඒක කොහොම ආදරයක්ද කියල”

“මං දන්නව”

ඇය ඉතා ම පෙම්වත් මුදු භාෂිතයකින් කොඳුළා ය.

“මට දැනෙනව මං ආයෙ ජීවත් වෙනව කියල. මං මෙච්චර කල් ජීවත් වෙලා තියෙන්නෙ මේ අවසානය දකින බලාපොරොත්තුවෙන් වෙන්න ඇති කියලත් මට හිතෙනව. ආයෙත්නං මාව දාල යන්න එපා දෙයියනේ…”

ඇස් දෙක තද කොට පියා නිකිනි දෙතොල් තර ව පියා ගත්තා ය. වක්කඩ කැඩුවා සේ කඳුළු ඉහිර ගියේ ය. ඔහු සිය සුරතින් ඒ වම් කොපුල මුදු ව අල්ලා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles