අනුන්ගේ බර බිමින් තියමු

“ඔයා දේවිකා ගෙනාපු කෑම කෑවද නංගි?”

අල්ලපු ගෙදර මනෝජා අක්කා වැටෙන් එබිලා අහන්නේ ඕපාදූප මූණක් මවාගෙන.මම ආයේම සැරයක් අත ඉඹලා බැලුවා.අඹ ව්‍යාංජනයේ සුවඳ තාමත් අතේ තැවරිලා.

“අනේ ඔව් අක්කේ..කාලෙකට පස්සෙ කෑවේ.අම්මත් අයියලගෙ ගෙදර ගිහින් නිසා මම බාගෙට මැරිලා හිටියේ.සහන් උයන කිසිම කෑමක් කන්නත් බැරි වුණා..”

ගර්භනී මුල් මාස තුන අසීරු බව කියවලා තිබුණට මං දැන් ඒක අත් විඳිනවා.කෑම අප්පිරියාව එක්ක මම හිටියේ බාගෙට මැරිලා.අයියාගේ ලොකු පුතා අසනීප වුණු නිසා ජානු අක්කා එයා එක්ක හොස්පිටල් එකේ.අම්මාට චූටි දුව බලා ගන්න යන්නම වුණා.මට මේ ගත වෙන්නේ අසීරුම දවස් ටිකක්.

“මටත් ඔයාට සම්බෝලයක්වත් හදලා දෙන්න බැරි වුණානෙ.ඉවරයක් නෑ අනේ වැඩ වැඩ..”

මනෝජා අක්කා එහෙම කියද්දී මම යන්තමට හිනා වුණා.එයා බබාලා තුන්දෙනාට කෑගහන බනින සද්දේ දවස පුරාම මට ඇහෙනවා.ඇත්තටම වෙලාවක් නැතුව ඇති.මම එහෙම හිතුවා

“දේවිකා දෙන ඒවා කන්න එපා නංගි..”

මනෝජා අක්කා ආයෙත් කියනවා.මම දන්න විදියට දේවිකා බොහොම පිරිසිදු කෙනෙක්.කෑමත් රසයි.අනිත් එක මාත් එක්ක අමනාපයකුත් නෑ.

“දේවිකාට ළමයි නෑනේ නංගි.වඳ ගෑනු උයන ඒවා ඔය කාලෙට කන්න එපා.හිතේ කොස්ස තියාගෙනනෙ වෑංජන වුණත් ඒදන්නේ.ඔයා ගැන බයටයි මං මේ කියන්නේ..”

මනෝජා අක්කා කියන්නේ මොනතරම් නරක කතාවක් ද කියලා මං කල්පනා කළා.දේවිකා වඳ බවක් මම නම් දන්නේ නෑ.එයා හරිම කාර්යබහුල බව නම් මම දන්නවා.

“මගෙත් මාස්ටර්ස් ඉවර වුණා විතරයි චතූ..දැන් ඉතින් අපිත් බබෙක් ගැන හිතන්න ඕන..”

එයා එහෙම කියලා ගිය හැටි මට මතක් වුණා.දේවිකාගේ පිරිසිදු හිනාවත් රස කෑමත් මතක් වෙනකොට මනෝජා අක්කා නිවැරදි කරන්න මට හිතෙනවා.ඒත් සමහර මිනිස්සු කවදාවත් හදන්න බෑ.

“කවුද අර දුවන්නේ..”

මනෝජා අක්කා පාර දිහා ඉස්සිලා බැලුවා.ලේන් එක කෙළවර ක්‍රිස්ටීන් ජොගින් යනවා.හවස් වෙලා.සහන් එන්නත් කිට්ටු බව මට මතක් වුණා.

“ක්‍රිස් නේද අක්කේ..ජොගින් යනවා..”

මනෝජා අක්කා මගේ උත්තරේට තොල පෙරලලා හිනා වුණා.ඒ කතාවේ හිනා වෙන්න තියන දේ ගැන මම හිතන්න පටන් ගත්තා.

“ඒ කුලප්පුව බලන්නකො.ළමයට තාම අවුරුද්දක්වත් නෑ.ළමයා දාලා දුවන්න යන්නේ මොකද?”

ගර්භනී සමයත් කිරි දෙන කාලයත් අවසන් වෙනකොට අනවශ්‍ය මේද තට්ටු ඇඟේ ඇති වෙන්න පුලුවන්.ලෙඩ හදා නොගෙන, වයස පෙනුම ඇති නොකරගෙන ආයේ ව්‍යායාම කරලා හැඩ ඇඟක් හදා ගන්න එක හැම ගැහැනියක්ම කරන්න ඕනෑ දෙයක්.අපේ ඇඟ අයිති අපට.උහුලාගෙන ඉන්න බැරිතරමේ බරක් ඇති ඇඟක් නඩත්තු කරන්න මොනතරම් අමාරුද? එක්සයිස් කරන එකේ කෑම පාලනය කරන එකේ වාසිය ගැන මනෝජා අක්කා මොකුත්ම නොදන්න පාටයි.

“ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා ගාණක්වත් නෑනෙ නංගි.නැටිල්ලේ තරම බලන්නකො.ඉනයි පස්සයි හදා ගන්නවට වඩා කොච්චරනම් වැඩ ගෑනුන්ට තියනවද?”

සහන් ගෙදර නැත්තේ වෙලාවට.හැම වෙලාවෙම සෘණාත්මක කතා කියන මනෝජා අක්කා එක්ක කතා කරන එක අපේ බටිති පැටියාට හොඳ නෑ කියලා සහන් මට හැමතිස්සෙම කියනවා.

මම මනෝජා අක්කා දිහා බලාගෙන හිටියා.දැන් වෙලාව හවස පහටත් ළඟයි.මනෝජා අක්කා තාම ඉන්නේ උදේ ඇඳ ගත්ත නයිටිය පිටින්.ඔලුව පීරන්නවත් වෙලාවක් තිබිලා නැති පාටයි.

“අද බබාලගේ වැඩ වැඩි වුණාද අක්කේ..ඔයා තාම නාලාත් නෑනෙ..”

මම ඇහුවේ අනුකම්පාවෙන්.ගෑනු අය හොඳ සුවඳට ලස්සනට ඉන්න ඕන කියලා ෆේස්බුක් නෝට්ස් ලියන පුංචි මල්ලිලා නොදන්න කාරණාවක් තියනවා.ඒ සමහර දවස්වලට අම්මලාට මුහුණ සෝදලා ලස්සන ඇඳුමක් අඳින්න තියා වැසිකිළියට යන්නවත් වෙලාවක් නැහැ.පොඩ්ඩන්ගෙන් ඒ තරම් හිරිහැර එනවා.
අපේ ජානු අක්කා සමහර රාත්‍රීන්වල මට කතා කරන්නේ ඇඬුම්බර හඬින්.

“අනේ චූටි,අම්මව ටිකක් එවනවද? මට උයාගන්නවත් වෙලාවක් නැති තරම්.බබාලා එක්ක හරිම කරදරයි..”

මනෝජා අක්කටත් අද එහෙම දවසක් වෙන්න ඇති.ඒත් එයා හිනා වෙලා මං දිහා බැලුවේ රහසක් කියන්න වගේ.

“නෑ අනේ.මට ඉන්නවනෙ ෆේස්බුක් ගැංසියක්.අද උදේ ඉඳන් අපි මේ ඕපාදූපයක් හොයාගෙන ඒක ගැන හොයනවා.මාර ගෑනු අනේ ඉන්නෙ.හිටිගමන් මිනිහව ඩිවෝස් කරනව.ඒ ඇයි කියලා හොයාගන්නකං අපේ කෙල්ලො සෙට් එකට නින්ද යන්නෙ නෑ ඉතිං..”

ගෙදර දොර වැඩක් නොකර, මුහුණ කටවත් නොසෝදා ඕපාදූප කියවපු මනෝජා අක්කා දැන් වැට ගාවට ඇවිල්ලා ලේන් එකේම ඕපාදූප මට කියන්න ලෑස්ති වෙනවා.මට ආවේ මං ගැනම ලැජ්ජාවක්.

“මං යන්නං අක්කේ.ඇඟ සෝදලා පහන තියන්න ඕන..”

මං කියද්දී මනෝජා අක්කා මට අත වනලා ළඟට කතා කළා.මුහුණ ශෝකාකූල වෙන එයා දිහා මම බැලුවේ විමසිල්ලෙන්.

“මට නංගිට කියන්න දේකුත් තියනව.මට අසේල ගැන සැකයි නංගි.වෙන සම්බන්දයක් තියනව වගේ..”

නොදන්නා නොදැක්ක කාන්තාවෝ රොත්තක් එක්ක තමන්ගේ නොවන අනුන්ගේ ප්‍රශ්න ගැන හොයමින් හිටිය මනෝජා අක්කාව ගිලෙන්න පටන් අරන්.නහය ළඟටම වතුර ආවත් ඔළුවට උඩින් වතුර යනකම් එයාට දැනෙන එකක් නෑ.

“අක්කා ඇයි එහෙම කියන්නේ?”

අනියම් සම්බන්ධයක් ගැන ඉව වැටෙන කාරණා තියෙන නිසා මම එහෙම ඇහුවා.

“මම හැමතිස්සෙම කාගෙහරි ඇදයක් කියපු ගමන්මයි.කතා කරනවටවත් ආස නෑ කියලා ඒ මනුස්සයා මට බනිනවා නංගි.මාත් එක්ක කතා කරන්නෙවත් නැතුව ටීවි බලලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා නිදාගන්නවා.රටේ ගෑනුන්ට ඇද කියනකොට පුදුම අමාරුවක් තියෙන්නේ..”

මනෝජා අක්කා මේ විනාඩි කිහිපයට මාත් එක්ක කී දෙනෙකුට අභූත චෝදනා කළාද? මහන්සි වෙලා ගෙදර එන අසේල අයියා එක්ක රටේ මිනිස්සුන්ට බනින්න යාම නිසා එයා පවුල් ජීවිතේ පවා බිල්ලට තියන්න යන බව මට තේරුම් ගියා.

ඒත් ඒ වගේ කතා තේරුම් ගන්න මානසිකත්වයක මනෝජා අක්කා නැහැ.අනුන්ගේ කුණු ගොඩවල් ඔලුවේ තියාගෙන තමන්ව ගඳ ගස්සා ගන්න එයා ගැන මට දුකයි.

ඒත් සමහරුන්ව ගොඩ ගැනීම පහසුත් නැහැ.

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content