“අද ස්ටාර් එකේ ඉඳුවර ඉන්නවා..”
සඳුනි කියන්නේ ප්‍රීතියෙනි.අවිශ්කට හොඳ පොල් තෝරන්නට සහය වෙමින් සිටි අමන්දී හැරී බලා හිනැහුණා ය.
“ආයේ තරඟ කරනවලුද?”
නෑනාගේ කතාවට සඳුනිට කෝපයක් පහළ විණි.ඉඳුවර ඇගේ ලොකුම ක්‍රෂ් එක ය.ඔහුට කිසිම මොහොතක හොඳක් නොකියන නෑනා ගැන සඳුනිට කේන්ති ය.
“මං ඔයාව ලී මඩුවට එක්ක යන්න හිටියේ.යන්නේ නෑ…”
ඇය ගස්සාගෙන ගොස් බිම හිඳ ගත්තා ය.අමන්දී හිනැහුණා ය.වෙහෙස දැනෙන වියළි සුළඟ හිනැහෙන්නට හේතු රැගෙන එන්නේ නැත.කළ යුත්තේ හේතුවක් මවාගෙන හෝ හිනැහෙන්නට ඇය තීරණය කර තිබුණා ය.මේ මුදා හැරෙන්නේ ඒ සිතුවිලි ය.
“නංගි, ඔයාට මතකද මගෙ හොඳම යාලුවා..සනුරි..”
අමන්දී සඳුනිගේ ඇඟේ ගෑවෙන ලෙස හිඳ ගත්තා ය.සඳුනි හිස සලන්නේ ද අරෝවට ය.
“එයා ඉඳුවරගෙ හොඳ යාළුවෙක්..මාව බලන්න මෙහෙ ආව වෙලාවක ඉඳුවරට කෝල් එකක් අරන් දෙන්නංකො..”
සඳුනිගේ මුහුණ සඳක් සේ පායා ආවේ ය.නමුත් අමන්දී සැමියා දෙස බැලුවේ සැකෙනි.නගරයේ කෙල්ලන්ගේ ක්‍රෂ් මුළු පවුලටම විහිළුවක් වන තැන් අපමණ ය.නමුත් සඳුනි ගැමි කෙල්ලකි.ඇගේ ආසාවන් සම්බන්ධයෙන් පවුලේ උදවියට ඇත්තේ කොහොම හැඟීම් දැයි අමන්දී දන්නේ නැත.
“අක්කා ඉතිං සනුරි අක්කගෙන් අංකෙ ඉල්ලගන්නකො.සනුරි කියන්නෙ අර ඔයාගෙ දෙවෙනි මනමාලි නේද?”
සඳුනි අසන්නේ උද්දාමයෙනි.අත ඇති ජංගම දුරකථනයේ ඉඳුවරගේ අංකය ඇතැයි කියන්නට නොහැකිකමින් අමන්දී නිහඬ වූවා ය.ඇය ඒ වෙනුවට නැගී සිට ඇඹිල්ල ගසේ ඇඹිල්ල කඩන්නට පටන් ගත්තා ය.පැණි රස ද ඇඹුල් රස ද මිශ්‍ර වූ ඒ රසයට ඈ මනාප ය.ඉඳුවර ගැන සිතේ ඇති හැඟීම් මෙන් ඇඹිල්ලවලට ද ඇත්තේ මිශ්‍ර රසයකි.
“නොදන්න අංකවලින් කතා කරාට ඔය තරු ආන්සර් කරන්නෙ නෑනේ සඳූ. අපි සනුරි ආව වෙලාවක ගමුකෝ..”
සනුරි ඒ පිළිතුරෙන් සෑහීමකට පත් වූවා ය.ඒ අහිංසක ආශාව ගැන අමන්දීට මුදු
සිනාවක් ඉපැදිණ.ඇය ඒ සිනාවෙන්ම අවිශ්ක වෙත ගියා ය.
“ඇයි ඔයා ඇඹිල්ල කැඩුවේ..”
ඔහුට ඇත්තේ පුදුමාකාර ප්‍රශ්න බව අමන්දී සිතුවා ය.නමුත් එහි අර්ථය වටහා ගන්නට ද ඇයට අසීරු වූයේ නැත.ඇය ඔහුට පුළුල් සිනාවක් පා කළා ය.
“මේ වත්තේ බලන බලන තැන පළතුරුනෙ.කඩන්න අවසර ගන්න ඕනද අනේ..මං හිතුවා ඔයාගෙ ගෙදර මගෙත් ගෙදර කියලා..”
අවිශ්ක මඳක් නිහඬව හුන්නේ ය.ඉක්මනින් පියෙකු වන සිහිනයක ඔහු නිමග්නව හුන්නේ ය.නමුත් ඒ ගැන අමන්දීට සෘජුව පවසන්නට ද ඔහුට කෝල හැඟීමක් තිබිණ.අමන්දීගේ උණුසුමේ ගිලෙන ඉඳහිට දවසක ඔහුගේ සිහිනය තිබුණේ කුඩා කිරි සිනාවක ගිලී යන්නට ය.අලුත ගෙනා මනාලිය ප්‍රේමයෙන් විඳ ගන්නවා වෙනුවට පියෙකු වීමේ සිහිනයම ඔහු දරා සිටියේ ය.
“ආසාවක් ඇවිල්ලා කියල මට හිතුණේ..” අමන්දී දෙස නොබලා එසේ කියන්නට අවිශ්ක ප්‍රවේසම් විණි.මේ තරුණයාගේ ලැජ්ජාශීලි බව ගැන අමන්දීට අනුකම්පා නොසිතෙනවා ද නොවේ.නමුත් අහම්බයකින් වහින වැස්සකට ගඟක් සේ ගලා යා නොහැකි බව ඔහුට කියන්නට අමන්දිට සිතේ.ඇය හාත්පස බැලුවේ ඒ වග කියන්නට ය.
“ඔයා තාත්තා කෙනෙක් වෙන්න ආසද?”
අවිශ්ක හොඳින් පැසුණු පොල් තෝරමින් වෙන් කළේ ය.අනතුරුව අමන්දී දෙස බලා හිස කැසුවේ ය.
“මේ..අපි කසාද බැන්දේ ඒකටනෙ ඉතිං..”
ඔහු විවාහ වන්නට ඇත්තේ පවුලක උවමනාව නිසා මිස ප්‍රේමයක හැඟීමෙන් නොවේ යැයි අමන්දී වටහා ගත්තා ය.නමුත් ඉරණම බාර ගත යුතු ය.
“මං හිතුව එදා මාව බලන්න ආවම මට ආදරේ හිතිලා කියලා..”
අමන්දී කියන්නේ යටැසින් බලමිනි.අව්ශ්ක නොසන්සුන් විණි.මේ රූමත් කෙල්ල අයිති කර ගන්නට ආ ආශාව ආදරය වෙන්නට ඇතැයි ඔහු අනතුරුව සිතුවා ය.
“ඉඳල හිටල පෝර වැටුණට ගස්වල ගෙඩි හැදෙයි කියල විශ්වාස කරන්නත් එපා ඉතිං..කොයිවෙලේ බැලුවත් ඔයා ගෙදර නෑනෙ..එක්කො කුඹුරක,එක්කො එළවළු පළතුරු පටෝගෙන ආර්ථික මධ්‍යස්ථානෙක,එක්කො ගඩොල් කපනවා..නැත්තං ගොරෝ ගොරෝ නිදා ගන්නවා..”
උගත් ගැහැනියකට උපමා සහිතව බොහෝ දෑ කියන්නට හැකි බව අවිශ්ක වටහා ගත්තේ ය.ඔහු සෑහෙන වෙලාවක් නිහඬව හුන්නේ බිරිඳගෙන් ලැබුණු වචන වලට පිළිතුරු නැති තැනක ය.
“ඔයා තාම ආව විතරනෙ..එක්කො බබෙක් ඉපදෙන්න තව කලක් ගියාවේ..”
අනතුරුව එසේ කියා ගන්නට ඔහු සමත් විණි.අමන්දී නිවසට යන්නට හැරුණේ ඒ කතාව ගැන සිතමිනි.අම්මා කෙනෙකු වීම ගැන සිතීම ද ඇයට පීඩාවකි.අවිශ්කට ආදරයක් නැති බව දැන දැනම ඔහුගේ ලෙයින් දරුවෙක් ඉපැද්දවීම සාධාරණදැයි සිතන්නට ඇයට ඕනෑ විණි.
“නංගි…”
නිවස තුළට යන්නට ගිය අමන්දී හැරී බැලුවා ය.මේ ගැමි තරුණයා ආදරය කරන්නට දැන හුන්නා නම් ඉඳුවරගේ විදුලිය බඳු දෑස අමතක කර දමන්නට ද තිබිණ.
“අර ඔයාගේ සින්දුව..මං ඒක බැලුවා.හරි ලස්සනයිනෙ.සශිකා නිසංසලා වගේ.”
මනාලියක වූ දා තමන් සුන්දර බව නොකී සැමියා මේ කෙටි විවාහ ජීවිතය තුළ කළ පළමු අගය කිරීම අමන්දීට තදින් දැනිණ.ඇය ඔහු වෙත සමීප විණි.
“තව තියනවා..පෙන්නන්නම්කෝ..නංගි දැක්කොත් ඉඳුවර ගැන කියල වද දෙනවනෙ…”
ඇය එසේ කීවේ අවිශ්කගේ නළල මත ඇති දහදිය අතින් පිසින අතර ය.ඔහු පුළුල් සිනාවක් ඇයට දුන්නා ය.ප්‍රේමය අදිසියේ ඉපදෙන නමුත් ඉඳුවර අරක් ගත් සිතේ අවිශ්කට ඉඩක් නැති බව අමන්දී සිතුවා ය.