විඳින්න තියන ලස්සන ජීවිතේ විඳවන මිනිස්සු.

හංසි කේක් පෙට්ටියත් අරන් කාර්‍යාලය ඇතුලට ආවේ සතුටෙන් ඉපිලෙන ගමන්.හදිස්සියේම තමන් වෙනුවෙන් ඩිලිවරි සේවාවක් මාර්ගයෙන් ඇවිල්ලා තිබුන කේක් එක මොන වගේද බලන්න ඇය හිටියේ නොඉවසිල්ලෙන්.

” ඔය මොනාද ? “

හැමදේම හොයන අනෝජා හංසි දිහාත් ඇගේ ඇතේ තියන කේක් පෙට්ටිය දිහාත් විමසිල්ලෙන් බැලුවා

” කේක් එකක් “

” ආ.. අරූද එව්වේ ?”

” අරූ ? කවුද අරූ ? “

” ඔයාගෙ කොල්ලා ? “

හංසි පිළිතුරක් නොදීම කේක් පෙට්ටිය ඇරියේ හිතේ තිබ්බ සතුට නොරිස්සුමකට පෙරලෙනකොට. උපන්දිනය දවසේ තමන්ගේ පෙම්වතා උන අවිශ්ක තමන්ව පුදුම කරවන්න එව්ව මේ තෑග්ග කාර්‍යාලයේ තමන්ට හිතවත් කීප දෙනා අතරේ බෙදාගන්න හංසිට ඕනෙ උනා.

” හරි රහයි හංසි මේක. ඔයා නම් මාර වාසනාවන්තයි අනේ .බලන්නකො අවිශ්කගෙ ආදරේ “

ශශී කේක් කෑල්ලෙ ගුණ කිව්වෙ එහෙම.

” කවුද අනේ මෙච්චර අයිසිං කන්න කැමති “

අනෝජා අකමැත්තෙන් වගේ එහෙම කිව්වට කේක් කෑලි දෙකක්ම අරගෙන කෑවා.

” කේක් එක රසද ?ඔයා චොකලට් කේක් වලට ආස නිසා මම ඒකක් එව්වේ “

ටික වෙලාවකට පස්සෙ ඇමතුමක් ගත්ත අවිශ්ක හංසිගෙන් එහෙම ඇහුවා.

” ඔව් අනේ. මම කට්ටියටම බෙදුවා “

අනෝජා වැඩ කරන ගමන් තමන් දිහා හොරැහින් වගේ බලනවා දැක්ක නිසා හංසි ඉක්මනින්ම අවිශ්කගේ ඇමතුමට සමුදුන්නා.

අනෝජා කියන්නේ කාර්‍යාලයේ පරණම සේවිකාවක්.අනිත් හැමෝම ගැන දැඩි අවධානෙන් ඉන්න එකත් ඇගේ රැකියාවෙම කොටසක් උනා. කාර්‍යාලයේ වැඩ කරන අනිත් අයගේ අතීත කතා , දුර්වලකම් , පෞද්ගලික ජීවිතේ ගැන අනෝජා ඕනවට වඩා හාරවුස්සන එක සමහර අයගේ පිළිකුලට ලක් වුනේ ඇය නැති තැන.

” හරි කාලෙට කසාද බැන්දේ නැතිවුනාම ගෑනුන්‍ට ඔහොම වෙනවා බං “

නාලක සමච්චලයට හිනාවෙමින් එහෙම කිව්වේ අනෝජා කාර්‍යාලයට ආවේ නැති දවසක

” අනෝජා බැඳලනේ ? ” ශශී නාලකගෙන් අහද්දි නාලකට ආයෙම හිනා ගියා

” බැඳලා බැඳලා. බඳින්නම ඕනවට මනුස්සයෙක් අල්ලගෙන බැඳගත්තා. හරි හමන් රස්සාවක්වත් නෑලු ඌට “

” ඒ උනාට මගෙන් නම් හාර හාර ඇහුවා කොල්ලා වැඩ කරන්නෙ කොහෙද , පඩිය හොඳයිද , වාහනයක් තියනවද කියලා “

නාලකගෙයි ශශීගෙයි සංවාදය අහගෙන හිටපු හංසිත් කතාවට එකතු උනේ ඊට පස්සේ

” මගෙනුත් එයා ඔය ටිකම ඇහුවනේ “

අනෝජා මොන වගේ ගැහැණියක්ද කියලා හරියට මැනගන්න හංසිට ඒ වෙලාවෙත් බැරිවුනා. ඒත් ඒ වගේ ගැහැණු මේ සමාජේ ඕන තරම් ඉන්නවා කියලා නම් හංසි තේරුම් ගත්තා

” හප්පේ බස් වල සෙනඟ. එපා වෙනවා උදේ පාන්දර මේ කට්ට කන එක .ඒ මදිවට අටහමාර පනිනවා හැමදාම “

පහුවදා අනෝජා හති දාගෙන කාර්‍යාලයට ඇවිත් වාඩිවුනේ එහෙම කියාගෙන

” ඉතින් ටිකක් කලින් ආවා නම් එන්න පුලුවන් නේ වෙලාවට ඔෆිස් එකට “

හංසි එහෙම කිව්වේ උත්තරයක් නොදී බැරිකමට

” ආ… ඕක අලුත් බ්ලවුස් එකක්ද ? කොහෙන්ද ගත්තේ ?”

” මේක මේ බර්ත්ඩේ එකට ගත්ත එකක් , ෆැශන් හවුස් එකෙන් “

” කීයක් උනාද ?” අනෝජාගේ ඇස් වල තිබ්බේ පුදුමාකාර උනන්දුවක්

” එක්දාස් අටසීය ගානක් වගේ “

” මොකක් ? එක්දාස් අටසිය ගානක්. බ්ලවුස් එකකට එච්චර වියදම් කරන්නෙ පිස්සුද හංසි? මගෙ අප්පේ මම බ්ලවුස් දෙකක් තුනක් ගන්න සල්ලි ඔය “

අනෝජා හැසිරුණේ හංසි මහා ලොකු වරදක් කලා වගේ.බෑග් එකෙන් මූණ බලන කණ්නාඩියක් ගත්ත අනෝජා පොඩි ක්‍රීම් කුප්පියක් අරගෙන මූණේ ගාන්න ගත්තා

” දැන් මං මේ ගාන ක්‍රීම් එක උනත් එච්චර ගානක් නෑ.ඒ උනාට හොඳයි. මම ඉතින් ඕගොල්ලො වගේ ඔය ෆවුන්ඩේශන් ,ලිප්ස්ටික් ගාන්න ආස නෑනේ අනේ. අනිත් එක ඒවයේ ගනන්.අම්මෝ “

අනෝජාට තිබුනේ මේකප් කරන්න අකමැති බවක්ද ,එහෙමත් නැත්තම් මේකප් කරන්න දේවල් ගන්න නොහැකියාවක්ද කියලා හංසිට හිතාගන්න බැරිවුනා

” අර අනිත් ඩිවිශන් එකේ රංගිගේ කොන්ඩේ දැක්කද ? “

දවල් කෑම වෙලාවෙන් පස්සේ අනෝජා හැරුනේ ශශී දිහාවට

” ඇයි ? මොකද වෙලා තියෙන්නේ ? “

” රතු පාටක් වගේ පාටක් දාලා අනේ කැතේ බෑ . එයාගෙ පඩියම යනවා ඇති නේද ඔය මෝස්තර වලට ?”

” පඩියම ගියත් නොගියත් මොකද අනෙ අපිට ? අනික ඒක එයාගේ කොන්ඩේ නේ ? “

” නෑ ඉතින් මම කිව්වේ ඕවා මහ විකාර නේ “

” අනෝජා මේ.. ඒ මනුස්සයාට සල්ලි තියනවා නම් , එයා ඒවට ආස නම් එයා ඒවා කරගත්තාවේ. ඔයා ඒවාට අකමැති උනාට එයා කැමතියිනේ “

ශශීගේ වචන සැර වැඩිද කියලා කාර්‍යාල කාමරය ඇතුලේ ඒ වෙලාවෙ හිටපු කීප දෙනාට හිතුනත් අනෝජාගේ කට වහන්න ඒ වචන ප්‍රමාණවත් උනා.

හවස් වරුවේ අනෝජා කීප විටක්ම දුරකථනය අරගෙන කලබලෙන් එළියට යන හැටිත් , කල්පනාවක ඉඳගෙන වැඩ කරන හැටිත් හැමෝටම දකින්න ලැබුනා.අනෝජා වගේ හැමදේම හාරවුස්සන්න අකමැති හැමෝම නිහඬව හිටියත් අනෝජාම අන්තිමට ඒ නිහඬතාවය බින්දා

” බලන්න අනේ අපේ මනුස්සයා මා එක්ක වලිනේ “

” ඇයි ? ඌට ඔයාගේ කංකරච්චලේ අහන් ඉඳලා එපා වෙලාද ? නාලක හිනාවුනේ අනෝජාව එතරම් ගනන් නොගෙන

” මම අර යාලුවෙක්ට දාපු කමෙන්ට් එකකට බනිනවා දැන් පැය ගානක් තිස්සේ “

” කමෙන්ට් එකකට ? ඔය දෙන්නා ඕවටත් රන්ඩු වෙනවද ?”

ශශී අනෝජා දිහාවට හැරුනා

” රන්ඩු නෙමෙයි මාව මරාගෙන කන්න හදනවා .ෆේස්බුක් ඩීඇක්ටිවේට් කරනවා මං “

එදා හවස ඉඳන් අනෝජාව ෆේස්බුක් එකේ දකින්න ලැබුනේ නෑ. සෙනසුරාදා ඉරිදා දවස් දෙක ගෙවිලා ගිහින් සඳුදා උදේ අනෝජා ඔෆිස් එකට ආවේ මූණ එල්ලගෙන.

” ඉතිං හංසි. මොකද කලේ වීකෙන්ඩ් එකේ ?”

” මායි අවිශ්කයි ඉඩමක් බලන්න ගියා.ඊට පස්සෙ ශොපින් ගියා අනෝජා. ඔයා මොකද කලේ ?”

” මොනා කරන්නද අනේ.අර මිනිහා එක්ක වලි තමයි.මට නම් එපා වෙලා තියෙන්නේ ගුටි ඇනගෙන “

” ඔය දෙන්න ගහගන්නවද ?”

” හ්ම්ම්.. මේ ඒක නෙමෙයි ,දැන් ඔයා ඔය ඉඩම් එහෙම බලන්න යන්නෙ ඔය කොල්ලව ඔයාට ඔය ශුවර්ද හංසි ? “

” නැතුව .අපි මේ බැලුවෙ හෙමින් සැරේ ගෙයක් හදන්න අනෝජා. බඳින්න කලින් ගෙයක් දොරක් හදාගෙන ඉන්න එක ලේසිනේ “

” අපි නම් තාම ඉන්නෙ කුලියට . පස්සෙ ගෙයක් හදනවා “

” මායි අවිශ්කයි ඉතුරු කරපු සල්ලි වගයක් තියනවා.ඒකයි ඉඩමක් බැලුවේ “

” ඒ උනාට මම නම් කියන්නේ හදිස්සි වෙන්නෙපා.කවුද දන්නෙ ඔය කොල්ලා ඔයාව අත අරියිද කියලා . අනික ඔයිට වඩා හොඳ කොල්ලො ඕන තරම් ඉන්නේ ?”

පැත්තක හිටපු ශශී එතනට ආවේ යකෙක් වැහිලා වගේ

” මොලේ නරක් වීගෙන එනවද අනෝජා. මොනවද ඔය කියන මූසල කතා ? “

” නෑ අනේ මම කිව්වේ ඉතින් ඔය කොල්ලො විශ්වාස නෑනේ නේද ? “

” ඔයා හිතන්නෙපා හැම මනුස්සයම ඔයාගේ මනුස්සයා වගේ කියලා ! යං හංසි කන්න “

ශශීගෙ හඬට අවනත උන හංසි නැගිටලා යද්දි අනෝජා වටපිට බැලුවේ ලැජ්ජාවෙන් වගේ.

කෑමට ගිහින් ආව හංසිත් ශශිත් අනෝජා ගැන තැකීමක් නොකර වැඩ කරගෙන ගියා.ඒ අතරේ අනෝජා දුරකථනය අරගෙන එළියට යන හැටිත් ,කඳුළු පිහින ගමන් ආපහු වාඩි වෙන හැටිත් දැක්කම ශශීට වගේම හංසිටත් අනුකම්පා හිතුනා

” අනෝජා.. මොකක් හරි අවුලක්ද ?”

” නෑ හංසි මේ. අපේ සමන්ත.. “

” ඔව් ඉතින් “

” ඩිවෝස් වෙන්න ඕනෙලු අනේ .මොකක් හරි උන ගමන් ඕක තමා කියන්නේ ” අනෝජා ආයේම අඬන්න ගත්තා. අනෝජාට එහා පැත්තෙ හිටපු නාලකත් කතාවට එකතු උනා..

” ශුවර් එකටම උඹ කට කැඩිච්ච කතාවක් කියන්ඩ ඇති. උඹෙ කට හොඳ නෑනේ “

ශශී නාලක දිහා බලලා ඇස් වලින් ඉඟි කලා. වචන කීපයකින් අනෝජාව සැනසුවත් කාටවත් ඇත්තටම ඇයට ඇහුම්කන් දෙන්න ඕන උනේ නැත්තේ ඇගේ සෘණාත්මක සිතුවිලි සහ අකාරුණික බව නිසාමයි.

තමන්ගේ ජීවිතය ගැන තෘප්තිමත් නැති , ජීවිතය හරි හැටි විඳින්නට අවස්ථාව නොලබන අනෝජා අනුන් රිදවමින් , අනුන්ගේ ජිවීත වලට එබෙමින් ජීවත් වෙන හැටි තේරුම් ගන්නට කාර්‍යාලයේ කාටත් හැකිවුනා. ඇය ඉන්නේ අනුකම්පාව ලැබිය යුතු මානසිකත්වයක කියලා නාලක , ශශී සහ හංසි ඇතුලු අනෙක් අයත් කතා උනේ අනෝජා සැමියා එක්ක ආරවුලක් ඇති කරගෙන ආයෙමත් නිවාඩුවක් දාපු දවසක

ඉදිමිලා ගිය ඇස් වලින් සහ මලානික මුහුණෙන් දිගින් දිගටම කාර්‍යාලයට එන අනෝජා මොන වැඩේ නැතත් හංසිගේ හිත පාරන එක නම් නතර කලේ නෑ.

” ඔයා කිව්වට ඔය කොල්ලා ඔයාව තේරුම් ගත්ත කෙනෙක් කියලා , එයා ඔයාගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එකවත් ඉල්ල ගන්නෙ නැත්තෙ එයාගෙත් හොර තියන නිසා වෙන්නැති හංසි “

අනෝජා එහෙම කියනකොටම හංසි පුටුවෙන් නැගිට්ටා. බෑග් එකෙන් ලස්සන ලියුම් කවරයක් ගත්ත හංසි ඒක අනෝජා දිහාවට දික් කලේ පුරුදු හිනාවෙන්මයි

” මේක ඔයාට දෙන්න හිටියේ.ඔයා ඊයෙ ආවේ නෑනේ.අනිත් අයට නම් දුන්නා “

” මොකද්ද හංසි මේ ?”

” මගේ wedding invitation එක ! “

More Stories

Don't Miss


Latest Articles