ඇතැම් දිනෙක ආකාශ් සඳයුරු ගුරුගේ මඳක් වේලාසන ගෙදර ආවේ ය. උපකාරක පන්ති නො පැවැත්වෙන සෑම හැන්දෑවක ම මම ඔවුන් ගේ නිවසට පාඩම් කරන්නට ගියෙමි. මා ව අල්ලා ගන්නට ලැබුණොත් ආකාශ් පාඩමක ගැටළු සහගත තැනක් කියා දුන්නේ ය. ප්‍රශ්න පත්තර වල ට පිළිතුරු ලිවීමේදී ඔහු ගෙන් විශාල සහයෝගයක් ලැබිණි. නමුත් මා සිටියේ කාමරයේ වැඩ කොයි මොහොතේ නිම වේවි ද කියා ඇඟිලි ගණිමිනි.
එතකොට මට නෙරංජලා ගුරුගේ ගේ සිත නො රිදවා ගෙදර සිට ම පාඩම් කළ හැක!
“මෙයා පාඩං කරන්න කිය කිය අර ගෙදරට යන්නෙ කොල්ලව බලන්නද කොහෙද…”
නංගී ආඩපාලි කීවා ය. තට්ටු ගෙදරට යන උවමනාව ඇය ට තිබුණේ ය. ආකාශ් ගැන ඇය අනවශ්‍ය උනන්දුවක් දක්වන බව ද මට පැහැදිලිව ම පෙනිණ. නමුත් ඇය ව එහි කැඳවා ගෙන යාමේ අවදානම ගන්නට මම පසුබෑවෙමි. නංගී ගැන ඇගේ පැහැදීමක් නො වන බව ගුරුගේ මැතිණිය මගේ මූණට ම කීවා ය. ඊටත් වඩා ඇය ආකාශ් කෙරේ කවරාකාරයෙන් හැසිරේවිද කියා කවුරු නම් දනිත් ද?
මෙහි දී මා ආත්මාර්ථකාමී ලෙස හැසිරෙනවා දැයි මම මගෙන් ම ප්‍රශ්න කළෙමි. නංගී ආකාශ් ට ලං වෙන එක වැළැක්වීමේ උවමනාවක් මට නොවන බව ස්ථිර වශයෙන් කිව හැකි ද? ඇය තවමත් කුඩා යයි සිතන්නට මට ඕන වුණේ ය. අනිත් අතට ඇගේ හිතේ කවරක් වූවත් ආකාශ් එසේ නො සිතනවා යි සිතන්නට මට ඕන විය. ඔහු කැමති වුව ද ගුරුගේ මැතිණිය කොහෙත් ම එවැන්නකට ඉඩ නො දෙන්නේ ය. ඒ නිසා වඩාත් හොඳ නංගී ව ඒ සිතිවිල්ලෙන් මුදවා ගනු වස් ඇය ට අනුබල නොදී ඉන්නා එකයි. එසේ වනු මිස ඈ කෙරේ මසිත්හි ඊර්ෂ්‍යාවක් නොවන බව මම හදවතින් පිළිගතිමි.
“දොඩවන්නෙපා නංගි. මට ඕන ඇති කොල්ලෙක් නෑ. කොහොම හරි එග්සෑම් ගොඩ දාගෙන මේ අපායෙං එතෙර වෙන්නයි මට ඕනෙ. ඔයත් ඔය විකාර හිතන්නෙ නැතුව පාඩං කරන්න. තව අවුරුද්දකිං ඕලෙවල් නේද…”
නංගී නො රිස්සුම හැඟවූවා ය. ඇය කොහොමටත් අධ්‍යාපනය කෙරේ උනන්දුවක් දක්වන්නියක නොවේ. කුඩා කල පටන් ම මට වඩා ලස්සනින් ඉහළ ඇය, හැඩ වැඩ කෙරේ වැඩි සැලකිල්ලක් දැක්වූවා ය. ඒ අම්මා ගෙන් උරුම වූ ගති ලක්ෂණයක් කියා කියමි. අපේ අම්මා ලස්සන ගැහැනියකි. තාත්තා වාගේ පෙනුමෙන් කඩවසම් නැති පුරුෂයෙකු සමග ඇය දීග ආවේ ඇයි කියා මට සිතී ඇති වාර ගණන අපමණ ය. ඔවුන් ගේ විවාහය පෙම් සබඳකමක් මත සිදු වූවකි.
අම්මා ඇය ට සොබා දහමෙන් උරුම වූ රූපය ගැන පමණක් සෑහීමකට පත් වූ කෙනෙකු නොවේ. රුව වැඩි කර පෙන්වනු වස් කාන්තාවන් කරනා සුකුරුත්තම් වැඩ වලට ඇය බෙහෙවින් ප්‍රිය කළා ය. නමුත් එවැනි දේ කිරීම සඳහා තරම් වන ආර්ථික පසුබිමක් අපේ ගෙදර වූයේ නැත.
“ඒ ගෑනි යමක් කමක් තිබිච්ච තැනක හැදිච්චි එකියක්නෙ. ඒ ගෑනිගෙ දෙමව්පියො දීපුවත් අපේ එකානෙ කම්බස් කළේ”
මා නො දැන සිටි එවැනි දේවල් අහුලා ගෙන ඔවුන් ගැන කතාව එහෙන් මෙහෙන් ගැට ගසා ගන්නේ ආච්චම්මා කී කතා සිහිපත් කර ගෙන ය. මට යමක් කමක් තේරෙන වයසට එන විට අම්මා ගේ මව් පිය දෙදෙන ම මිය ගොස් සිටියෙන් ඔවුන් ගැන ලොකු මතකයක් මට නැත.
අම්මා සිය අසල්වැසි මිතුරියන්ගෙන්, හෝ ගමන් යන විට ඇඳ ගෙන යන්නට ඇඳුම් ආයිත්තම් ඉල්ලා ගත්තා ය. තාත්තා ගෙන් මුදලක් යටි මඩි ගසා ගන්නට ලැබුණ හොත් ඈ කළේ ඉන් ඉමිටේෂන් මාල වළළු අරුංගල් ගැනීම ය. ගමන් යත්දී අම්මා ගියේ ඒවා පටලවා ගෙන ය. මම නම් අම්මා ව එසේ දකින්නට හෝ රිසි නොවීමි. ඒ ඈ ලස්සන ගැහැනියක ලෙස දකින්නට වන අකමැත්තක් නොවේ. අපේ වන් ගෙදරක සිට එවන් විච්චූර්ණ කර ගෙන මගට බැසීම, දකිනා කෙනෙකුට හෝ සිතනා කෙනෙකුට විකාරයක් වන බව ඉඳුරා දැන සිටි නිසා ය.
කෙනෙකු සැරසිය යුත්තේ සිය ආර්ථික හා සමාජයීය පසුබිමට ගැලපෙන ආකාරයෙනි. අසීරුවෙන් වේල පිරිමසා ගන්නා අප වන් ගෙදරක බිරිඳ, අම්මා, එවන් සංකර ආයිත්තම් වලින් සැරසීම නො ගැලපුණේ ය.
නංගීත් අම්මා ගේ පාරේ යමින්, වැඩි විය පැමිණි පසු අරුමෝසම් කරන්නට පටන් ගත්තා ය. අම්මා ට ඇය වෙත අවවාදයක් දෙන්නට හැකියාවක් නො තිබුණා විය හැක.
“ඔයාට ජෙලස් නේ…මං ඒ කොල්ලත් එක්ක යාළු වෙයි කියල…”
මා උඩ ගොස් බිම වැටෙන්නට ඇත. නංගී ඒ විදිහට මා ගැන සිතන එක වලකා ගන්නට මට නො හැකි වූයේ ය.
“මොනාද නංගි මේ කියන්නෙ…පළවෙනි එක ඔයා කාත් එක්ක යාළු වුණත් මට ජෙලස් වෙන්නනං හේතුවක් නෑ. මොකද ඔයා මගෙ නංගිනෙ. ඔයාට හොඳක් වෙනවනං අම්මයි තාත්තයි ආච්චම්මයි තරම්ම මාත් සතුටුයි. දෙවෙනි එක. හැබැයි තාම ඔයා ඉන්නෙ එහෙම දෙයක් කරන වයසක නෙවෙයි. විකාර නොහිතා ඕලෙවල් පාස් වෙලා ඉන්න බලන්න”
“අනේ මේ….ඔයා වගේ පොතක් බදං ඉන්න මට බෑ”
මට ගස්සා ගෙන ඇය මවෙතින් නික්ම ගියා ය. මහත් හිස් කමක් මසිත් හි ඇති වෙනවා මට දැනුණේ ය.
පාඩම් කරන්නට ගුරුගේ මැදුරට නොයා ඉන්නට මට වූ තවත් ප්‍රබල හේතුවකි මා එහි යන එක ගැන නංගී තුළ වූ වැරදි වැටහීම.
කෙසේ වෙතත් ගෙයි වැඩ නිම වන්නට ඒ තරම් දිනක් ගියේ නැත. කාමරයේ බිමට ටයිල් අල්ලා බිත්ති වලට සුදු පාට තීන්ත ආලේප කෙරිණ. ඒ කාමරය තුළ මට නැවුම් සුවඳක් දැනුණේ ය.
අම්මා ගේත් තාත්තා ගේත් ඥාති නිවෙස් වල වන ආකාරයේ නාන කාමරයක් අපටත් ලැබීමේ උද්දාමය, මගේ සිතේත් නොවූවා කිව නො හැකි ය. ඒ දෙස බලා හිඳිත්දී මට සිහි වූයේ ම වැසිකිලියේ දොර හරිත්දී වූ සිදුවීම ය. දැන් ඒ සිතිවිල්ල මගේ මුවග සිනහවක් නංවයි!
කාමරයේ තීන්ත ආලේප කොට නිම වූ සැඳෑවේ නෙරංජලා ගුරුගේ පැමිණි රිය අපේ දොරකඩ නතර වූයේ ද,ඒ පසු පසින් පැමිණි ලොරියක් නතර වූයේ ත් එකට ම ය. මම තරමක මවිතයකින්, රියෙන් බසින නෙරංජලා දෙස බලා සිටියෙමි.
“බාන්න”
ඇය මඳහසනින් මදෙස බලා ලොරියේ පැමිණි අයට කීවා ය. දොර දෙකේ අල්මාරියක් ද, යුගල ඇඳක් හා හුරුබුහුටි කුඩා කණ්ණාඩි මේසයක් ද කාමරයේ සවි කෙරිණි.
“තව මොකක් හරි අඩුපාඩුවක් තිබුණොත් මට කියන්න පූජා”
කියමින් නෙරංජලා ගුරුගේ නික්ම ගියේ මා ගොළු කොට තබා ය.
“ගෑනුංගෙ පිණ කුණු මුල්ලෙයි කියන්නෙ ඕකනෙ…නේ ලොක්කි…”
තාත්තා කකුල් දෙක පුටුවක් උඩ තියා ගෙන සිනහ වූයේ ය. හුඟ කාලෙකට පස්සේ මම ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටියෙමි. තාත්තා කෙරේ ඉසිහින් අනුකම්පාවක් මා තුළ ලියලන්නට වූයේ ය. ඔහු කවදාවත් නිවැරදි ව සිතා පවුල වෙනුවෙන් කිසිත් සැලසුම් නො කළේ ය. ත්‍රීරෝද රිය කරකවා කීයක් හෝ හොයා ගෙන එදා වේල පමණක් සපුරා ගැනීම ඔහු ගේ ජීවන දර්ශනය වනනේ ය. එද යමක් ගෙදර ට ගෙනෙන්නේ ඔහු හා සිය සගයන් වෙනුවෙන් හැන්දෑව ගත කිරීම සඳහා අවශ්‍ය අඩු වැඩිය සපුරා ගෙන, පරවියන්ට විළඳ පොරි ගන්නට මුදල් වැය කොට ඉතිරි වූවොත් ය.
“ඇයි ඊයෙත් බඩු ටිකක් ගෙනාවෙ…”
අම්මා උයන්නට යමක් නැති බව සිහිපත් කළොත් තාත්තා ඇඟට ගොඩ වන්නේ එහෙම ය.
“ඊයෙ නෙවෙයි පෙරේද ඒ. ඒව ඉතිං ඉවරයි”
අම්මා සිනහ වෙවී කියයි. ඇයට තාත්තා එක්ක කේන්ති නො එන්නේ ත්, මේ වගේ දැවෙන ජීවන ප්‍රශ්නයක් සිනහ වෙවී කියන්නට හැකි වන්නේ ත් කෙසේද යන්න මට නො විසඳුන ප්‍රශ්නයකි.
තාත්තා දැන් හිටියාටත් වඩා ඇදී ගොස් යයි මට සිතේ. හැන්දෑවට මිදුල දෙසින් හමන සැර දුර්ගන්ධයේ හැටියට ඔවුන් නො බොන දෙයක් නැතිවා විය යුතු ය. පුදුම විය යුත්තේ එසේ වීත් ඔහු ඔය විදිහට ඇට සැකිල්ලක් සේ හෝ පවතින එක ගැන ය.
“හොඳ ගෑනියෙක් අප්ප. මොනා වුණක් මගෙ ඔළුවෙ තිබ්බ ලොකූ බරකින් දැන් මං නිදහස්”
මගේ ඇස් ලොකු වන්නට ඇත. තාත්තා ඒ වගේ කතාවක් කීවේ මොන වගේ පදනමකින් විය යුතු ද? ඔහු නෙතු පියා ගෙන ඒ සිතිවිල්ලෙහි මිහිර විඳ ගන්නවා ද මම දුටිමි. තාත්තා අප ගැන සැබවින් ම හිස මත පැටවුණ බරකින් පසු වී ද? මට කිසි දිනෙක ඔහු වෙතින් එවැන්නක් දැක ගත හැකි වූයේ නැත. සමහර විට අපට නොපෙන්වූවාට ඔහු අප ගැන සිතමින් පසු වූවා වන්නේ ද? නමුත් එසේ නම් අපට පොතක් පෑනක් ගෙන දීම ගැන නො සිතා ඔහු සිය මත් ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් වැය කළේ කෙසේ ද? කෙතෙක් සිතූවත් ඇතැම් කාරණා වටහා ගැනීම පහසු නැත.
එදා රැය පහන් වන තුරාවට මට නින්ද නො ගියේ ය. මා පසෙකින් යහනේ බිත්තිය අයිනට වන්නට වැතිර උන් නංගී නම් සනීපයට නිදා උන්නා ය. අපේ කබල් ඇඳ මත වූ, තාත්තා කාගෙන්දෝ ඉල්ලා ගෙන ආ ඒ පාවිච්චි කළ මෙට්ටය සේ නොව මේ මෙට්ටය මත වන්නේ පුළුන් ගුලියක සුවයකි. නංගී සැපට කැමති ළමයෙකි.
මෙතෙක් අප නිදා ගත් කබල් ඇඳ, අද සිට අම්මා හා තාත්තා වෙනුවෙන් වෙන් වන්නේ ය. ඔවුන් දෙදෙනා ගැන ම මහත් සන්තාපයක් මා හදවත වෙලා ගනු ලැබිණ. මටත් නංගීටත් යහන දී මෙතෙක් කාලයක් ඔවුන් දෙදෙන නිදා ගත්තේ බිම එලූ පැදුරු කඩමාල්ලක ය. ඔවුන් කිසි දා ක ඒ ගැන කන්කෙඳිරිගානු මට ඇසී නැත. පුළුවන් කමක් තිබුණා නම් තාත්තා අප ට සියලු සැප සම්පත් නොදී හිඳීවිද?
මම අපේ පරණ කාමර කෑල්ලට කර පෙවීමි. තාත්තා සිය ජංගම දුරකතනය ඔබමින් පුටුවක් මත වූයේ ය. අම්මා යහනෙහි වැතිර සිටියා ය.
“තාත්තෙ”
තාත්තා තිගැස්සී මදෙස බැලුවේ ය.
“මායි නංගියි ඔය ඇඳේම නිදියන්නං. අම්මයි තාත්තයි මේ ඇඳේ නිදියන්න”
මට කියවිණ. තාත්තා ලස්සන ට සිනහ වුණේ ය.
“අපිට මෙතන හොඳයි ලොක්කි. ශා…දැං අපිත් ඇඳක නිදියනවනෙ. මේ මදිද අප්පේ…ලොක්කි ගිහිං නිදියන්න. යන්න යන්න”
තාත්තා පුටුවෙන් නැගිට ඇඳ වෙත ගියේ ය. මම හෙමිහිට මගේ යහන වෙත ආවෙමි. මඳ වෙලාවක් එහි හිඳ උන් මම නාන කාමරයේ දොර ළඟට ගොස්, උළුවස්සක් අල්ලා ගෙන ඒ දෙස බලා සිටින්නට වීමි. බරැති සුසුමක් මගෙන් ගිලිහී ගියේ ය. මොන හේතුවකට ද මන්දා මට ආකාශ් සිහි විය.
එදා දවල් පාසල් ගොස් ඇවිත් මම නෙරංජලා ගුරුගේ සොයා ගියෙමි. මට වූයේ පාඩම් කරන උවමනාවක් ම නොවේ. ඇය ට කතා කරන උවමනාවකි.
“තෑන්ක් යූ ආන්ටි. ඇත්තටම කියන්න ඕනෙ පිං කියල…”
එසේ කියත්දී මගේ හඬ මඳ වශයෙන් බිඳී ගියේ ය.
“තෑන්ක් කරන්නවත් පින් දෙන්නවත් දෙයක් එතන නෑ. ඔයා ආරක්ෂිතව ඉන්නවනං එච්චරයි”
ඇය ඒ විදිහට කතා කිරීම මට පහසුවක් විය. ඉන් පසු මා පාඩම් කරන්නට වැඩිපුර එහි ගියේ නැත. ඒ ගැන නෙරංජලා ගුරුගේ විමසන කල මා කීවේ වෙනම කාමරයක් ඇති නිසා මට පාඩම් කරන්නට හොඳට ම නිදහස වන බවයි. සැබවින් ම එය එසේ වූයේ ය. සද්ද බද්ද තුළ පාඩම් කිරීමට මම කාලයක සිට ම පුරුදු වී සිටිමි. නමුත් ගුරුගේ මැතිණිය ට ඒ තරම් ඉක්මනින් ඒ විදිහට පිටු පෑ නො හැක. එය මිනිස් ගති වලට ගැලපෙන්නක් නොවේ යි සිත මට කීවේ ය. ඒ නිසා ආකාශ් ගෙදර නොවන දවල් කාලයේ දී මම ඔවුන් ගේ පුස්තකාලයට ගොස් විෂයානුබද්ධ පොතක් සොයා කියවමි. ටික වෙලාවක් කියවා ඒ පොත ගෙදර රැගෙන එමි. එහි යන හැම වතාවක ම නෙරංජලා ගුරුගේ මට ඉතා හොඳින් සැලකුවා ය. ඇය විශේෂ කෑමක් පිසුවොත් ‘පූජා’ කියා කතා කොට මටත් කන්නට දුන්නා ය. නංගීව මතක් වී මා ඉන් කොටසක් ගෙන එනු දුටුවාට පස්සේ ගෙදර ගෙන යන්නට ය කියා මුලින් ම වෙනම කොටසක් මා ඉදිරියේ තැබුවා ය.
“අයිය ඒත් කිව්ව පාඩමක් අහ ගන්නවත් ඔයා ආවෙ නෑ කියල”
දවසක් ඇය කීවා ය. මම වෙනසක් නැති සිනහවක් නගා ගතිමි. නමුත් කිසිත් කියන්නට නො ගියෙමි.
පොත් රාක්ක අතරේ මා පොතක් හොයමින් සිටි හවසක, බලාපොරොත්තු නොවූ ලෙස ආකාශ් මා ළඟට ම පැමිණ තිබුණේ කාලය එසේ ගෙවී ගිය අතර තුරක ය. කිසිවෙකු සමීපයට පැමිණ ඇති බව දැනී මා හැරී බැලුවේ ගැස්මකිනි.
“අම්මෝ…මං ගැස්සුණා”
ක්ෂණික සිනහවකින් මම කීවෙමි. නමුත් ඔහු ගේ මුහුණේ සිනහවක් වූයේ නැත.
“ගෑනු ළමයි ටිකක් ආඩම්බර වෙන්න ඕන තමයි. ඒත්…මෙච්චර ආඩම්බර වෙන්න ඕනෙ කියල මං හිතන්නෑ”
ඔහු කතා කළේ මදෙස බලා නොවේ. පොත් අතරේ නෙතු රඳවා තබා ගෙන ය.
“අනේ…මං මොකට ආඩම්බර වෙන්නද අයියෙ…අනික…මට මෙච්චර දේවල් කරල තියන ඔයාලට…”
“දැං පාඩං කරන්නවත් එන්නෑ කියල අම්ම කිව්ව”
“අනේ ඉතිං…මට නිදහසේ පාඩං කරන්න කාමරයක් දැං තියනවනෙ”
“පාඩමක් අහ ගන්න එන්න ඕන කමක් නෑ…”
“අයියත් ඉතිං හවස ගෙදර එන්නෙ මහන්සි වෙලානෙ…මං කොහොමද කරදර කරන්න එන්නෙ…”
“ඒක තමයි මං කිව්වෙ තියන ආඩම්බරකම කියල”
මම නෙතු ඔසවා බැලීමි. මගේ බැල්ම දුර්වල එකක් වූයේ ය. නමුත් ආකාශ් සඳයුරු ගුරුගේ ඉතා තියුණු හා මුවහත් බැල්මකින් මගේ ඇස් ග්‍රහණය කර ගත්තේ ය.