සඳක් කළ සක්මන් -08

ටික වෙලාවකට පස්සේ මම හිතා මතා ම මගේ ඇස් නිදහස් කර ගත්තෙමි. නමුත් හදවත ගැස්ම වැඩි වී තිබුණේ ය. ආකාශ් ට මේ වගේ තත්වයකින් මූණ දෙන්නට මට කිසිදු උවමනාවක් නොවේ. ඔහු වූ කලී මගේ හිතේ ගෞරවනීය චරිතයකි. ඒ ගෞරවයට එහා ගිය ගැස්මක්, ඔහු නමින් මා තුළ ඇති වන බව පිළි ගත යුතු ය. නමුත් ඒ ඔස්සේ දුර දිග යන්නට හෝ ලෙහා ගත නො හැකි ගැටළු ඇති කර ගන්නට තරම් ශක්තියක් මට නැති බව මම දන්නෙමි.

“දැං ඔක්කොම දන්නවද….අහගන්න කියල දෙයක් ඇත්තෙම නැද්ද…ඒ කියන්නෙ ශුවර් එකට ත්‍රී ඒ ස් දායි නේ…”

එවර ආකාශ් කතා කළේ තරමක් තදිනි. ඒ සැර කිරීම තුළ මට මිදී යා නො හැකි මගේ කමක් දැනුණේ ය. සත්තකට මට හීල්ලිණ.

“දැං ඇයි දන්නෑ නේද මාව ඔච්චර මගාරින්න හදන්නෙ…”

ඔහු ඒ වගේ දෙයක් ඇසුවේ බිමට හැර වී තිබූ මගේ නෙතු ඔහු වෙත යොමු කොට ගන්නට ම ද?

“අනේ දෙයියනේ…ඇයි මං ඔයාව මගාරින්නෙ…”

“මං ඇහුවෙත් ඒකම තමයි”

ආකාශ් ගේ මුහුණේ එක සිනහ බිඳනුදු වූයේ නැත. මේ විදිහට අද ඔහු කේන්තියෙන් කතා කරන්නේ ඇයි දැයි මට වැටහුණේ ද නැත.

“මං දන්නව ඔයා වේලාසන ඇවිත් පොතක් එහෙම කියවන්නෙ එන්නැතුව හිටියොත් අපේ අම්මගෙ හිත රිදෙයි කියන හේතුව නිසයි කියල. ඒ වගේම මං දන්නව මං එන්න කලිං කියවන පොතක් කියවල ඔයා මෙහෙං මාරු වෙනව කියල”

මගේ ඇස් වලින් එබී ගෙන ඔහු ඒ දේවල් කියා ගෙන ගියේ හරියට මූණ බලා ගෙන සාස්තර කියන්නට පුහුණු වූ කෙනෙකු මෙනි. නැවතත් ඇස් දෙක බිමට හරවා ගත් මම පයේ මහපට ඇඟිල්ලෙන් ටයිල් බිම හාරන්නට වූයෙමි. මෙතැන පොළොව හාරා ගෙන හැංගෙන්නට පිළිවන් කමක් වී නම් සත්තකට මම එහෙම කරමි.

“හරියට බැලුවොත් තව දවස් කීයද තියෙන්නෙ පාඩං වැඩක් කර ගන්න…විකාර නොකර එන්න දන්නැති තැනක් ඩිස්කස් කරන්න. තව ලකුණු පහක් හරි වැඩි කර ගන්න ලැබුණොත් කොච්චර දෙයක්ද….”

මම යටි තොල් පට සපා ගතිමි. මගේ උඩු තොල මත දහ බින්දු නැගී තිබෙන්නට ඇත. තාත්තා සමග රණ්ඩු කර ගත්දී වත් මේ විදිහේ බයකින් මගේ හදවත ගැස්සී නැති බව සහතික ය.

එක් වන ම ආකාශ් ට සිනා ගියේ ය. මම අලුතෙන් තිගැස්සුණෙමි.

“දැං ඔය බය වෙලා ද ඉන්නෙ…ආ…”

නාස් පුඬු වල දැවිල්ලක් ද උගුරේ රිදුමක් ද එක් වර මට දැනිණ. ඇස් කෙවෙන්නට ගත්තේ ඊළඟට ය. හඬන්නට මට ඕනෑ කර නො තිබූ බව සහතික ය. නමුත් ඇස් වලට කඳුළු උනා ගෙන ආවේ ය. ඒ කඳුළු ආකාශ් විසින් දකිනු ලබතැයි බිය වූ මම ඉක්මනට බිම බැලුවෙමි. මට වඩා එක තත්පරයකට හෝ කඳුළ ඉස්සර විය. 

“දැං ඔය අඬනවද…”

ඔහු තරමක කලබලයකින් විචාළේ ය. මම හිස වඩාත් බිමට හරවා ගෙන ම සිටියෙමි. දෙදණහිස් මත දෙඅත් ගසා ගෙන මඳක් පහත් වූ ආකාශ් මගේ මූණට එබෙන උත්සාහයක් ගත්තේ ය.

“නංගි…ඔය අඬනවද ඔයා…මං බැන්නා නෙවෙයිනෙ ඉතිං. ඔයා හොඳටම එග්සෑම් පාස් වෙනවට ආස නිසානෙ මං කියන්නෙ…ම්…”

ගැහැනු ආත්මයකට පිරිමියෙකු එවන් ආමන්ත්‍රණයක් කරත්දී ගහක් ගලක් සේ දැඩි විය නො හැකි ය. ඔහු ගේ හිරු මඬල සදිසි ඇස් දෙක ඉදරියේ, මම අයිස් කන්දක් සේ දිය වෙමින් සිටියෙමි.

“කමක් නෑ”

ඔහු සුසුමක් හෙළමින් යළි නැගී සිටියේ ය.

“ඒ ඉතිං මං කැමති විදිහනෙ. ඔයා ඔයාට කැමති විදිහකට කරන්න. සොරි”

ඔහු යන්නට හැරුණේ ය. හදවත තුළ නාය යාමක් වන්නට හදනවා සේ මට දැනිණ. සියල්ල මගේ පාලනයෙන් මිදී යන්නට ගත වූයේ නිමේෂයකි.

“අයියෙ…”

මම උගුර යටින් කතා කර ගතිමි. ආකාශ් නතර වී ආපසු හැරුණේ ය. කලින් ඔහු ට මුවහ කොට පිට මං කළ කඳුළ කොපුල් තලා දිගේ ගලා ගියේ ය.

“මං එන්නං…පාඩං අහ ගන්න…”

ඔහු ගේ දෙතොල් පෙති හසරැල්ලකට නලියෑවේ ය. මම එහෙමම හැරී ගෙදර දිව්වෙමි. 

“මොකද…සුසන්තිකා වගේ රේස් දුවන්නෙ…”

නංගී හරස් ප්‍රශ්නයක් ඇසුවා ය.  ඇය ට පිළිතුරු දෙමින් ඉන්නට පමා නො වුණ මම පොත් හා ප්‍රශ්න පත්තර කිහිපයක් එකතු කර ගෙන නැවතත් ගුරුගේ මැදුර වෙත ඉක්මන් පියවර තැබීමි.

“විකාර”

නංගී එසේ කියනු මට ඇසුණේ ය. ඇගේ හඬ, ආකාශ් ලා ගේ ගෙතුළට යන තුරු ම මා පසු පස එන සෙයක් මට දැනිණ.

ඔහු හැසිරුණේ ඊට ටික වෙලාවකට පෙර අපතර කිසිවක් ම සිදු නොවූ තරමට සාමාන්‍ය ලෙස ය. එය මට පහසුවක් වී ද නො එසේ වී නම් වඩාත් අපහසුවක් දැනවී දැයි ස්ථිර ව කිව නො හැකි ය.

ඉන් පසු ව සතියකට දින දෙකක් හෝ තුනක් මම ආකාශ් වෙත ගොස් නො දන්නා විෂය කරුණක් ගැන වූ ගැටළු සහගත තැනක් නිරාකරණය කර ගතිමි. සමහර දේවල් ඔහු ට මතක තිබුණේ ද නැත. එහෙම දෙයක් ඔහු සිය මිතුරෙකුට කතා කොට දැන ගත්තේ ය.

විභාගය ලං ලං ව එමින් තිබිණි. මගේ ඉරණම කෙසේ විසඳේවි ද කියා මට නිශ්චිත වූයේ නැත. කොහොමටත් මා වූ කලී උගත් මා පිය යුවළක ගේ ජාන සංයුතිය ලද දැරියක නො වෙමි. අම්මා සේ ම තාත්තා ද පාසල් ගොස් තිබුණේ සාමාන්‍ය පෙළ දක්වා පමණකි. එද සාමාන්‍ය පෙළ දක්වා හෝ පාසල් යා යුතු යයි සමාජයේ වූ අදහස හින්දා මිස වෙනත් හේතුවකට නොවේ. එවන් මා පිය යුවළක ගේ, දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද කිසිදු තල්ලුවක් නො කරන මා පිය යුවළක ගේ දියණියක ලෙස මා ඉහළින් ම ශිෂ්‍යත්වය සමත් වීම සැබවින් ම මගේ වාසනා ගුණය මත සිදු වූවකැයි දැන් කල්පනා කරත්දී සිතේ. සාමාන්‍ය පෙළ ද ඉහළින් ම සමත් වී විද්‍යා විෂය ධාරාව උසස් පෙළ සඳහා තෝරා ගත්ත ද, මා අතිශයින් ම දක්ෂ ළමයෙකු නො වන බව පිළිගත යුතු ය. වාර විභාග වලදී මා ලබා ගත්තේ ඉහළ ම මට්ටමේ ලකුණු ප්‍රමාණයන් නොවේ. නමුත් කිසි දා මම දුර්වල හෝ අදක්ෂ සිසුවියක ද නො වීමි. ඇතැම් ගුරුවරියක සිය සමාන්තර පන්තියකට සටහන් ලියා ගනු පිණිස මගේ සටහන් පොතක් ගෙන ගියා ය. එපමණට මගේ වැඩ පිළිවෙල වූයේ ය. නමුත් විෂය නිර්දේශයේ මට අපැහැදිලි වූ විෂය කොටස් තිබිණ. අපේ ගෙදර ආර්ථික පසුබිමත් එක්ක මට වඩාත් ප්‍රකට පෞද්ගලික ගුරුවරුන් වෙත යා හැකි වූයේ ත් නැත. 

“මේ සැරේ අවුලක් වුණොත් ජූජා සෙකන්ඩ් ශයි කරන්න. අපි හොඳ ටියුෂන් ගුරුවරු ටිකක් හොයං කර ගමු. මං ඒ වියදං ගැන බලා ගන්නං”

නෙරංජලා ගුරුගේ කල් ඇතිව ම කීවා ය.

“අම්මෝ බෑ ආන්ටි”

සිනහ වී ගෙන වුව මා එසේ කීවේ අවංකව ම ය. තවත් වතාවක් විභාග කරන්නට පාඩම් කළ නොහැකි යයි මා සිතා ගෙන සෑහෙන දවසක් වූයේ ය. මේ වතාවේ උපරිම වෙහෙසී වැඩ කොට ලැබෙන ප්‍රතිඵලයක් බාර ගන්නා බවටත් යළිත් මේ විභාගය ම නො කරන බවටත් මම නෙරංජලා ට පහදා දුනිමි.

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

“එහෙනං ඉතිං මේ සැරේම ගොඩ දා ගන්න ඕනෙ”

ඇය තරවටුවක සරින් සිනහ වී කීවා ය.

ඒ වෙත්දී ගුරුගේ මැදුර මට වඩාත් හුරු පුරුදු තැනක් වී තිබුණේ ය. ගෙදර පාඩම් කොට කම්මැළි හිතුණ විට එහි ගොස් නෙරංජලා ගුරුගේ එක්ක ටිකක් කතා කොට තේ ටිකක් බී එන තරමට මම ඔවුන් වෙත බැඳී සිටියෙමි. නමුත් මා ආකාශ් සඳයුරු ගුරුගේ වෙත සමීප වූයේ නම් යම් පරතරයක් තබා ගෙන ම ය. ඔහු අහසක් බව ද, මම පොළොව බදා හිඳින බිම් මලක් බව ද කිසි සේත් මට අමතක වූවා නොවේ.

උසස් පෙළ විභාගය ඇරඹිණි. පළමු දිනයේ හොඳින් විභාගය ලියා මා පාසල් ගොස්  ගෙදර එන විට අම්මා හඬමින් සිටියා ය. නංගී කුඩා රූපවාහිනිය දමා ගෙන හින්දි චිත්‍රපටයකට මූණ ඔබා ගෙන සිටියා ය. ආච්චම්මා ද පැමිණ සිටි අතර ඇය දොර උළුවස්ස මත හිඳ කම්මුලෙහි අතක් ගසා ගෙන පසු වූවා ය.

“ඇයි අනේ මේ…මොකද වුණේ…”

පොත් බෑග් එක කාමරයේ ඇඳ මත අත් හැර මම යළි ඔවුන් වෙත පැමිණියෙමි.

අම්මා මදෙස බැලුවේ හෝ නැත. නමුත් ඇගේ හැඬුම වැඩි වූ බවක් පෙනිණ.

“ඇයි අම්මෙ…මොකද්ද වුණේ…”

“ඔය කොර ගෙන තියෙන්නෙ…ඔච්චරනෙ උඹලට අඩු පාඩුවකට කියල තිබුණෙ”

පපුවේ දැවීමක් ඇති වූයේ ය. ඇයි දෝ මන්දා මට ආකාශ් ව සිහි විය.

“ගෑනු ළමිස්සියො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් නේද කියල හිතන්න තිබුණා. අනිත් ඔක්කෝම කොහොම වුණත් අන්න ඒක හිතන්න තිබුණා උඹලගෙ අම්මට”

“අනේ ආච්චම්මෙ…මොකද්ද වෙලා තියෙන්නෙ…කියන්නකො අම්මෙ…”

බිම හිඳ උන් අම්මා ළඟ පහත් වෙත්දී මගේ හඬ හැඬුම්බර වූයේ ය.

“මොන කරදරයක්ද මන්ද…මේක ඇහෙන්නෙත් නෑ”

කියමින් නංගී හින්දි චිත්‍රපටයේ හඬ වැඩි කළේ ඇය හින්දි භාෂා ප්‍රවීණයෙකු සේ ය. අම්මා ගේ හැඬුම වැඩි විය.

“අනේ කවුරු හරි කියන්නකො දෙයියනේ…මාව පිස්සු වට්ටන්නෙ නැතුව”

මම හිස අත් බැඳ ගෙන කෑ ගැසුවෙමි. මහත් භීතියක් මා වට කොට ගෙන මහෝඝයක් සේ කැරකෙන්නට වූයේ ය. 

“අනේ ලොක්කී”

අම්මා ත් හැඬුවා ය.

“අම්ම පැනල තියෙන්නෙ ඔය හොඳවයිං පිම්මක්. අර තාත්තත් එක්ක ගංජා ගහන්න එන රස්තියාදුකාරයෙක් එක්ක උඹලගෙ අම්මණ්ඩි හෝටලේකට ගිහිං. තාත්තගෙ අතටම අහු වෙලා”

එක් වර ම ලෝකය නතර විය. සියල්ල මහා නිශ්ශබ්දතාවයක් තුළ ගිලී යනවා මට දැනිණ. අඩු තරමින් නංගී ගේ හින්දි චිත්‍රපටයේ හඬ හෝ ඇසුණේ නැත. එහෙමම බිම හිඳ ගත් මම අත් දෙකෙහි මූණ ඔබා ගතිමි.

“මං දන්නව ලොක්කි ඒක වැරැද්දක් කියල. ඒත් දැං ඇයි හැමෝම මගෙ වැරදි ගැන විතරක් කතා කරන්නෙ…මාත් ගෑනියෙක් නේද දෙයියනේ…මගෙ පැත්තෙන් හිතන්න කාටවත් ඇයි බැරි…මං මොන දහ දුකක් විඳ ගෙන ජීවත් වෙන ගෑනියෙක්ද දෙයියනේ…”

මගේ පපුව පැළී ඒ මොහොතේ මා මිය යනු ඇතැයි යන සිතිවිල්ල මවෙත විය. ඒ තරම් දරුණු පීඩනයකි එය. රිදුමකි එය. වේදනාවකි එය. අම්මා තාත්තා ගේ මිතුරෙකු ලෙසින් ගෙදරට ආ ගිය තැනැත්තෙකු සමග ඇසුරක් ඇති කර ගෙන තිබේ. එය වරදක් බැව් සැබවි. නමුත් අම්මා කියන කතාවේ ද වරදක් ඇතුවා නොවේ. තාත්තා හැසිරුණේ ඔහු  ට බිරිඳක හා දියණියන් දෙදෙනෙකු සිටින බව සිහි තබා ගෙන ද? මේ වරද වෙන්නට හේතුව තාත්තා ය. ඔහු ගෙදරට වෙලාවක් අවේලාවක් නැති ව පිරිමින් වද්දා ගැනීම ය. ඒ පිරිමින් ට නිදහසේ මේ ගෙදර සරන්නට අවකාශ සලසා දීම ය.

ගිලෙන්නට යන මිනිහා තුත්තිරි ගහේත් එල්ලෙනවා යි කතාවක් තිබේ. පිරිමියෙකු ගේ රැකවරණය ගෙදර දී නො ලබන අම්මා, බොරුවට හෝ එවැන්නක් පෙන්වා ගෙන ආ අවස්ථාවාදියෙකුට රැවටීම ගැන කම්පා වී දැන් ඇති පලක් නැත. නමුත් ඒ කම්පනය සුළු පටු එකක් වූයේ නැත.

නරක ම දෙය වූයේ තාත්තා හැන්දෑවේ බීමත් ව ඇවිත් අම්මා ව අල්ලා ගෙන තඩි බෑම ය. මම ඔවුන් මැදට පැන තත්වය සන්සිඳුවා ගන්නට හැකි පමණ තැත් කළෙමි. නමුත් අම්මා ව එවෙලේම මරා දමන්නට තාත්තා ට ඕන කර තිබුණේ ය. අම්මා ව පමණකුදු නොවේ. අම්මා ගේ ප්‍රේමවන්තයාට ද වෙඩි තබා මරා දමන බව ඔහු හතර අතේ දිවුරමින් කීවේ ය.

“අනේ රංජියො…මේ අහපංකො මගෙ පුතේ…පොඩ්ඩක් ඉවසපං මයෙ අම්ම. මේ ළමිස්සියො දෙන්න ගැන හිතපං රත්තරනේ”

කියමින් ආච්චම්මා ඔහු සන්සුන් කිරීමේ මහත් වෙහෙසක් ගත්තේ ය. නමුත් තාත්තා ව මෙල්ල කිරීම මටත් වයසක ආච්චම්මා ටත් පහසු කාරියක් වූයේ නැත. තාත්තා විටෙක තිත්ත අසැබි වචනයෙන් බැණ වැදුණේ ය. විටෙක හැඬුවේ ය. ඔහු මේ වාගේ මත් පැන් බී මත් වී පැමිණි අවස්ථාවක් මීට පෙර මගේ මගේ මතක ඉතිහාසයෙහි සනිටුහන් ව තිබුණේ නැත.

ආරවුල යන්තම් සන්සිඳුණේ මැදියම් රැයත් ඉක්ම ගිය පසු ය. ආච්චම්මා තාත්තා ගේ හිසේත් යටි පතුල් වලත් දෙහි බෑ දෙකක් ඇතිල්ලුවා ය. මතක් වෙන ගානේ ඔහු අම්මා ටත් ඇගේ පෙම්වතාටත් බැණ වැදුණේ ය.

රැය පහන් වන තුරා නො නිදා හිඳ මා ඊළඟ ප්‍රශ්න පත්තරය වෙනුවෙන් පාසල් ගියේ හිස් සිතකිනි. සැබවින් වසර දෙකක් තිස්සේ මා මොනවා හෝ ඉගෙන ගත්තා ද පාඩම් කළා ද කියා සිහිපත් කර ගන්නට හෝ මට හැකි වූයේ නැත.

“නගින්න නංගි”

ආකාශ් ගේ රිය, මා පා වෙමින් වාගේ මග ඇවිද යමින් සිටියදී මා ළඟ නතර විය. ඔහුට පෙරැත්ත කරන්නට ඉඩක් නො තබා මම එක් ඇරයුමකින් එහි නැංගෙමි. මා මීට පෙර එක ම එක වතාවක් ඔහු ගේ රියෙහි වජිර පාර ළඟට ම ගිය බව චිත්ත රූප ද සමගින් මට සිහි වූයේ ය.

“නංගි. මුකුත් හිතන්නෙ නැතුව විභාගෙට ලියන්න ඕනෙ…හොඳද…”

ඉදිරිය බලා ගෙන රිය පදවන ගමන් ආකාශ් මහත් දයාවන්ත හඬකින් තෙපළේ ය. මට ඉකි බිඳී හැඬිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles