ඉඳුදුන්න -26

නොසන්සුන් හදැති අමන්දීට යළිත් තමන්ගේ ඇතුළාන්ත සාමය පලා යන බව දැනිණ.ඇයට අහේතුකව හැඬිණ.අහේතුවක කෝපය ඉපදිණ.ඇය සෑම මොහොතක්ම ගෙවන්නේ නොසන්සුන්ව බව ඇය සිතන්නට ගත්තා ය.

“නංගිගෙ මඟුල් හින්දා මේ ගෙදර විකාර වෙලා ගියා..”

අවිශ්ක කෝපයෙන් පැවසී ය.ඔහු සිතා හුන්නේ එහෙම ය.සෑම කටයුත්තකට උදව් දුන් මිතුරාට ගෙදරට එන්නට තහංචි දමන්නට වීම ගැන ද ඔහුට තිබුණේ දුකකි.

“කිසිම වැඩකට උදව්වට ගන්නවත් එකෙක් නෑ.මඟුල් විසේ හින්දා ඔක්කොම අවුල් උනා..”

අවිශ්ක එසේ කියමින් විස්සෝප විණ.සුරංග කය වෙහෙසා වැඩ කරන්නට කැමැත්තක් නැති ය.නමුත් ඔහු අවිශ්ක සමඟම රැඳුණේ ය.ඒ සහයෝගය නැති වී යාම අවිශ්කට තදින් දැනිණ.ඔහු සිටියේ ඒ ගැන සොවිනි.

“ආවයි කියල අතපය වෙහෙසල වැඩක් කරනවයැ.ඔය ආවෙම කෙල්ල එක්ක භජනෙට.ඔහොම උන් නැති වුණු එකමයි හොඳ..”

ශාන්තී ඇගේ කෝපය පිට කළා ය.ඇය හිඳින්නේ ආවේගයෙනි.අවිශ්කත් වැඩිමහල් දියණියත් ඇයට ඕනෑ අන්දමට විවාහ කර දීමට හැකි වීම ගැන ඇය මෙතෙක් කලක් සතුටින් පසු වූවා ය.නමුත් සඳුනි එසේ පාලනය කරන්නට අපහසු බව දන්නා නිසාම ශාන්තිට තිබුණේ බියකි.සඳුනි සුරංග සමඟ පලා ගියහොත් යැයි සිතද්දී පවා හීගඩු පිපෙන්නට වූ නිසා ශාන්තිගේ වැදගත්ම රාජකාරිය වූයේ දියණිය වෙත ඇස ගසාගෙන හිඳීම ය.

සඳුනිට දුරකථනය අහිමි විය.කඩයට හෝ අඩිය තබන්නට ඉඩ නොලැබිණ.ඇය මිදුල අතු ගාන්නට යැයි කියා ඉදලක් ගෙන මිදුලට බට වහා ශාන්තී තවත් ඉදලක් ගෙන අනිත් කොනට ගියා ය.සඳුනි පළතුරු ගෙඩියක් සොයන්නට යැයි කියා වත්තේ සක්මනක යෙදුණොත් මහ දවාලක හෝ දර කඩන්නට ශාන්ති තීරණය කළා ය.

“මොන කෙහෙම්මලකටද පස්සෙන් එන්නේ?”

සඳුනි එසේ කඩා පැන්නා ය.

“උඹේ තරම විශ්වාස නැති නිසා..”

මව දියණියට කිසිම තෙතමනයක් නැතුව පැවසුවා ය.ඉතින් රණ්ඩු ඇවිලී ගියේ ය.

මේවාට මැදිහත් වන්නට හෝ ඒවා සමථයකට පත් කරන්නට අමන්දීට නොසිතිණ.සඳුනි දැන් දැරියක නොව යෞවනියක නිසා ඇගේ අදහසට ද ඉඩ දිය යුතු බව අමන්දීගේ හැඟීම විය.සුරංග යම් යම් සෙල්ලක්කාරකම් කළ ද සුරංගට පරිණත වන්නට ඉඩ හැරියොත් ඔහු හොඳ මිනිසෙකු වන්නට ඉඩ ඇති බව ඇය සිතුවා ය.

“සුරංග ඉස්සර මේ ගෙදර කෙනෙක් වගේ.බත් බෙදා ගන්නෙ කිචන් එකට ගිහින්.කවුරුත් නැත්තං කඩේ වැඩත් බලනව.අපිට කොහෙහරි යන්න ඕන කිව්වම ත්‍රීවිල් එක අරන් එනව.අරක මේකට පිටත් කරන්න හිටියෙත් එයා.එයා එච්චරම මෙහෙට බැඳිලා ඉන්නකොට ඔහොම වෙනව කියල ඔයාලටත් හිතන්න තිබ්බනෙ ඉතින්..”

අමන්දී අවිශ්කට පහදා දෙන්නට තැත් දැරුවා ය.නමුත් ඒ මිතුරා මස්සිනා කරගන්නට තරම් අවිශ්කට හිත හදා ගන්නට හැකි වී තිබුණේ නැත.

කරදර කාලය නිමා වූයේ නැත.දිනක් පැමිණි දුරකථන ඇමතුමක් නිසා නිවසේ සාමය යළිත් බිඳී ගියේ ය.එයට පිළිතුරු දුන් ශාන්තී හඬන්නට පටන් ගත්තා ය.

“ලොකු කෙල්ලට ආයෙ කරදරයිලු..”

ඇය හඬද්දී අවිශ්කලාගේ අප්පච්චි වහා බිරිඳ වෙත පැමිණියේ ය.

“ඇයි ආයේ කන්න බොන්න දෙන්නෙ නැල්ලුද?”

ඔහු අසද්දී හිරි වැටී ගියේ අමන්දී ය.ලොකු නෑනා කිරි දෙන මවකි.ඇයට කන්නට බොන්නට නොහැකිව සිටිය හැකිදැයි ඇය සිතුවේ ගිනිගත් හදකිනි.

“මේ ගමනත් කෙල්ලක් කියල අර මිනිස්සු වද දෙනවලු.අද රණ්ඩුවක් ගිහින් අර මිනිහා හොඳටම ගහල.ඊටත් වඩා අර මහ ගෑනිත් දස වද දෙනවනෙ.”

පියපුතු අතර එකඟතා බැල්මක් හුවමාරු විය.ඔවුන් මඟට බැස්සේ මිනිත්තු කිහිපයක් ඇතුළත ය.ඉතා කලාතුරකින් පණ නැංවෙන නිවසේ මෝටර් රථයෙන් ඔවුන් නික්මී යන අයුරු අමන්දී දොර උළුවස්සට බර වී බලා හුන්නා ය.ශාන්තී තවමත් වැලපෙමින් හුන්නා ය.

“අක්කව එක්කන් එයිද?”

සඳුනි ඇසුවේ අම්මාගෙනි.

“එක්කං නෑවිත්.එහෙම ගුටි කකා ඉන්න දෙන්න පුලුවංද මගෙ එකීට..”

අම්මා දුවට කඩා පැන්නා ය.

“ඊට පස්සෙ..දික්කසාද කරනවද?”

සඳුනිට අවශ්‍ය අම්මාට රිදවීම බව අමන්දීට වැටහිණ.ඇය වචනයක් හෝ කියන්නට සිතුවේ එනිසා ය.

“නංගි..අක්කා ගුටි කකා ඉන්නවනම් අපිට අර පොඩි බබාලා එක්ක එයාව එහෙ තියන්න බෑනෙ.ආවට පස්සෙ බලමු.වසන්ත අයියා සමාදාන වෙයිද නැද්ද කියල..”

අමන්දී එසේ කියද්දී සඳුනි මේ අසීරු මොහොතේ පවා සිනාවක් නැඟුවා ය.

“මෙහෙමනෙ, ඔය අම්මලා හොයාගෙන ජෝඩු කරපු මඟුල්නෙ.ඉතින් අම්මලම ඒව කඩල දාන එක එච්චර හොඳ වැඩක් නෙවෙයිනෙ..”

අසීරු අවස්ථාවක පවා සඳුනි අම්මාට ඇනුම්පද කියමින් හිඳින බව අමන්දීට වැටහිණ.ඇය නිහඬ වත පිරුවා ය.නමුත් සඳුනි ඊළඟ බෝම්බය නෑනාගේ හිසට අතාරින්නට සිතුවා ය.

“අපේ අක්ක කටු අත්ත.කාත් එක්ක හරි පැටලෙන්නම තමයි ආස.ඔන්න දැන් අපිට නෑනා නෑනා කෙහෙවලු බලාගන්න පුලුවං..”

අමන්දී ගැස්සී ගියා ය.සහෝදරිය රැගෙන එන්නට අවිශ්ක පවනට බඳු වේගයෙන් ඉගිල ගිය අන්දම ඇය සිහි කළා ය.නමුත් ඇයට ගැටළුවක් පැමිණියහොත් ඇගේ මල්ලී නම් එවැනි වේගයකින් නොපැමිණෙන බව අමන්දී දැන සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles