සතුටු මන්තර 18

ගිම්හාන් ගේ තුන් මාසේ දානමය පිංකමෙන් පස්සේ තිලකා දින ගණනාවක් ම පුතා ගේ ගෙදරට නෑවිදින් මහ ගෙදරට වී සිටියා ය. සයුරංගනා ඇයට අවනත නොවීමේ කේන්තිය ඊට හේතුවයි. ගමකින් ගෙන ආ ළාබාල කෙල්ලක වූ ඇය මේ තරම් දැඩි වේවියි ඇය සිතුවේ ම නැත. තුන් මාසේ දානයෙන් පස්සේ ඇය ගමට පිටත් ව යනු ඇතැයි ඕ උදක් ම බලාපොරොත්තු වූවා ය. ඒ සියල් බලාපොරොත්තු අනපේක්ෂිත ලෙස බිඳී ගියේ ය.

මහ ගෙදර ගිම්හාන් ට දෙන්නට ජයරත්න හිතා ගෙන හිටියේ ය. නමුත් ගිම්හාන් වෘත්තීය වශයෙන් ස්ථාවර වෙත්දී අලුත් ගෙයක් තැනුවේ ය. මහ ගෙදර නංගී ශක්‍යා ට දෙන ලෙස කීවේ ඔහු ම ය. නමුත් ගිම්හාන් ගේ අලුත් ගෙදර සයුරංගනා හිමිකාරිය වෙන එක ගැන හිතත්දීත් තිලකා ඊර්ෂ්‍යාවෙන් දැවුණා ය. 

“ඒ වුණාට අම්ම නොගිහින්ම ඉන්නකොට එයා නිකංම ඒ ගෙදර අයිතිකාරි වෙනව”

ජයරත්න මහගෙදර ගොස් සිටින වෙලාවක ශක්‍යා තිලකා ට කීවා ය. ජයරත්න සෝපාහාස සිනහවක් හෙළුවේ ය.

“මෝඩ කතා කියල අම්මව අවුස්සන්න එපා ශක්‍යා”

“අප්පච්චියි මෝඩ වෙලා ඉන්නෙ. දැං බලන්නකො සේරම බුක්ති විඳින්නෙ එයානෙ. මොකද රංගනා එනකොට දෑවැද්දක් අරගෙන ආවද..මරු බිස්නස් එකක්නෙ එයා කරල තියෙන්නෙ. දැං ගෙවල් දොරවල් වාහන සේරම එයාට. දැං අර උඩ තට්ටුව රෙන්ට් එකට දීල ඒකෙ කුළිය ගන්නෙත් එයා. අඩු ගානෙ එයා ඒකවත් අම්මටයි අප්පච්චිටයි ගන්න කියන්න ඕනෙ. ඔය දෙන්නගෙ පුතාගෙ දේවල්නෙ ඒ”

“ශක්‍යා…නොදන්න කමටද උඹ ඔය කියවන්නෙ මෝඩ කමටද කියල මං දන්නෑ. මිනිහෙක් කසාද බැන්දට පස්සෙ ඒ මිනිහගෙ දේවල් දෙමව්පියන්ට අයිති නෑ. ගෑනිටයි දරුවන්ටයි අයිති. ගෑනිට බාගයයි දරුවො කී දෙනෙක් හිටියත් ඒ හැමෝටම ඉතුරු බාගෙ සම සමව බෙදෙනව. ඒකයි මේ රටේ නීතිය. අනිත් එක මේ පර්චස් දහයක තියන ගේකට ගමේ ගොඩේ නූගත් අම්මණ්ඩිල වගේ කුලල් කාගන්න උඹලට ලැජ්ජ නැද්ද…මහ ගේ ශක්‍යාගෙ නමින් ලියන්න කියල කිව්වෙ ගිම්හාන්. ඒකා එදා තන්හා කළානං මේකත් උගෙ නමට ලියා ගන්නවනෙ”

“අප්පච්චි සතුටු වෙන්න එහෙම වුණ එක ගැන. නැත්තං අපි හැදිච්ච මේ ගෙදරත් අර බඩ්ඩට දීල අපිට දොට්ට බහින්නයි වෙන්නෙ”

“ඒ කෙල්ල අහිංසකයි. හැබැයි මෝඩ නෑ. ඒ ළමයට අර පොඩි එකාවත් හදාගෙන පාඩුවෙ ඉන්න දීහල්ල. සැරෙන් සැරේ කොනිති ගහන්න ගිහිං ඒකි හරිහමං වචනයක් කිව්වොත් උඹලට ආයෙ එහෙ පස් පාගන්නවත් වෙන්නෙ නෑ. අමතක කරන්නෙපා…ඒ අපේ පුතාගෙ නෝනයි එයාගෙ දරුවයි”

ජයරත්න එදා තදින් කතා කළාට පස්සේ තිලකා තරමක් මෙල්ල වූවා සේ ය. ඉඳහිටවත් එහි නොයා සිටින එක තමන්ට ම අවාසියක් විය හැකි යයි ඇය සිය කපටි නුවණින් කල්පනා කළා ය. 

සයුරංගනා තිලකා ගේ කටට බය නැත. ගමේ දී ඇය ඔය වාගේ ග්‍රාම්‍ය ගැහැනුන් ඕනෑ තරම් දැක තිබේ. නමුත් ඈ සිය සැමියා ගේ මව නිසා ඒ ගෞරවය ඇයට ලබා දෙන්නට ඇය හැකි තාක් උත්සාහ කළා ය. යශෝදර සමග වැඩි පයුරුපාසානමකට නොයන්නට  උත්සාහ කළේ ද තිලකා ගේ ග්‍රාම්‍ය ගති කෙරේ වන බිය නිසා නොව ලැජ්ජාව නිසා ය. ඔහු අල්ලා ඇය කියනා කතාවක් නිසාවෙන් යශෝදරව පමණකුදු නොව ඒ පවුල ම ඇසුරු කරන්නට ඇයට ඉඩ අහිමි වී යන්නට පිළිවන. යශෝදර ගේ පමණකුදු නොව අම්මා කෙනෙකු වාගේ ළඟින් ඉන්නා මල්කාන්ති ගේ ද මූණ බලන්නට බැරි විය හැක. අනවශ්‍ය ලෙස සමීප නොවී යම් කිසි පරතරයක් පවත්වා ගෙන හිඳීම මගින් හදිසියකදී හෝ ඔවන්ගෙන් උදව්වක් ඉල්ලීමට හැකි ය. සයුරංගනා යශෝදර මගහැර හිටියේ ඒ යහපත් චේතනාවෙනි. අනිත් අතට සැමියා මිය ගිය තරුණ බිරියක ලෙස කාගෙන්වත් වචනයක් අසා ගත යුතු නැතැයි ඇය තදින් සිතා සිටින්නී ය. ගිම්හාන් ගේත් එසඳි ගේත් ගෞරවය ඇයයි. ඔවුන් වෙනුවෙන් එය රැක දීම ඇගේ වගකීමකි. යුතුකමකි.

එසඳි එන්න එන්න ම යශෝදර වෙත බැඳෙමින් සිටියා ය. එය වැළකිය හැක්කක් නොවන බව සයුරංගනා ඉඳුරා දැන සිටියා ය. ඒ බැඳීම බිඳීමේ උවමනාවක් යශෝදර ට ද වූයේ නැත. නමුත් සයුරංගනා ඔහු මහගරිමින් සිටිනා බව හැඟෙත්දී ඔහු ට යම් රිදුමක් ද දැනිණ. ඒ නිසා ඇගෙන් ඈත් වී හිඳින්නට යශෝදර හිතා මතා තීරණයක් ගත්තේ ය.

ඔහු කතා කළේ එසඳි ට ය. ඔහු එසඳි සොයා ගෙන ගොඩ වූයේ ගෙදර වැරැන්ඩාවට විතර ය. තහනම් කලාපයක් සේ සලකා ගෙට ගොඩ වීමෙන් වැලකී සිටියේ ය. 

“තේ එකක් බීල යන්න යශෝදර”

කියා සයුරංගනා කී වෙලාවක වුව ඇගේ මුහුණ මගහැර “එපා දැන් බොන්න බෑ” කීවේ ය. තේ එකක් හදා ගෙන ම ගෙන ආ අවස්ථාවකත් ඔහු එය ප්‍රතික්ෂේප කොට ගියේ ය. 

“යශෝදර පුතා මොකක්හරි කෝන්තරයක් හිතේ තියං ඉන්නවද මන්ද…”

එසේ හදා ගෙන ආ තේ එක ප්‍රතික්ෂේප කොට ඔහු නික්ම ගිය වෙලාවේ ජයරත්න කල්පනාකාරීව කීවේ ය.

“අප්පච්චි දානෙ දවසෙ අම්මල කියපු දේවල් නිසා මං කොහොමත් වැඩිය යශෝදර එක්ක කතා බහට යන්නැතුව හිටියෙ. මට වගේම…අම්මල යශෝදරටත් මොනා හරි හිත රිදෙන දෙයක් කියලද කියලනං මං දන්නෑ”

සයුරංගනා ඇත්ත ම කීවා ය.

“අම්ම කියන දේවල් කරන්න ගිහින් අපිට අහල පහළ මිනිස්සු තරහ කරගන්න ඕනකමක් නෑ දුව”

සයුරංගනා බිම බලා ගත්තා ය. නමුත් යම් කිසි සැනසිලි හැඟීමක් ඇගේ පපුවට දැනිණ.

“මොනා වුණත් ඒ කොල්ල අපේ දරුවට පණ ඇරගෙන. මේ කෙල්ල අපාච්චි කිය කියා කතා කරනව. වැඩ ඇරිල ඇවිත් ගෙදරටත් නොයා මෙහෙට ඇවිත් කෙල්ලව බලලයි යන්නෙ. එහෙම බැඳීමකින් ඉන්න කෙනෙක්ට පොඩි හිත රිදීමක් වුණත් ඒක බරට දැනෙනව”

“මං කී පැත්තක් බේරගන්න ඕනද අප්පච්චි. මටනං කතන්තරයක් හැදුවත් කමක් නෑ. අර පැත්තක ඉන්න බැඳලවත් නැති කොල්ලෙක්ට එහෙම පදයක් හැදෙන්න ඕන නෑනෙ. යශෝදර මං ගැනත් වැරදියට හිතං ඇති. ඕන වෙලාවෙ උදව් අරං දැං ලොකුකම කියල”

“ඒකනං එහෙම තමයි” 

“කාටවත් මං නිසා වරදක් නොවෙන විදිහට ඉන්නයි මට ඕනෙ අප්පච්චි. ඒත් මන්දන්නෑ…ඒත් හැම පැත්තටම මං වැරදි ඇති…”

“දුව හිත නරක් කරගන්න ඕන නෑ. අපි බලමුකො…ම්..තිලකා මොකක් නමුත් අවකැපෙන කතාවක් කියලනං මං ඒ ළමයගෙ හිත හදන්නං”

නමුත් යශෝදර පළි දැරුවේ කිසිවෙකු ගෙන් නොවේ. තමන්ගෙන් ම ය. 

ගිම්හාන්, සිය සමීපතම මිතුරා ගේ අකල් වියෝවෙන් පස්සේ ඒ හා බැඳුණු බොහෝ දෑ ඔහු ගේ කර මත පැටවිණ. අවමංගල්ලයේ කටයුතු අතරේ දී විටින් විට සයුරංගනා ව දුටු ඔහු ගේ හදවත බර වූයේ පෙර සූදානමකින් නොවේ. මීට පෙර ද ඔහු හැම දවසක ම උදේ හවස ඇය දැක තිබේ. ඒ සහෝදරාත්මක හැඟීම, මිතුරා ගේ හදිසි මරණය නිසා ඇය කම්පිත වී සිටිනවා දකින විට බරපතල අනුකම්පාවකට හැරුණේ ය. මළ ගෙදර දින වල සයුරංගනා හිටියේ බලා ගත් අතක් බලා ගෙන ය. ඇය වෙනුවෙන් කොහොම ඉදිරිය තනා දෙන්නද කියා සිතා යශෝදර කම්පා වූයේ ය. ගිම්හාන් ගේ දෙණ මිහිදන් කිරීමෙන් පස්සේ සුසාන භූමියෙහි අන්ත අසරණව බිම වැටී සිටි ඇය නිසා ඔහු දැඩි ලෙස හර්දය සංවේදී වූයේ ය. ඒ සියල්ලට පස්සේ මඳහසකින් ජීවිතයට මුහුණ දෙන්නට තැත් දරනා එඩිතර ගැහැනිය වෙත ඔහු බැඳෙමින් සිටියේ ය. අනාගතය ගැන ඇය පියවරෙන් පියවර පැහැදිලිව සිතමින් තීරණ ගනිත්දී යශෝදර ට සයුරංගනා යනු විශේෂ ගැහැනියක සේ සංවේදනය වන්නට විය.  ඔහු ඇදෙස බලා සිටියේ සොම්නසිනි. ගිම්හාන් ගෙන් හිස් වූ ගෙදරට යම් අත් උදව්වක් කර දුන්නේ ඇයට ජීවත් වීමට දිරි දීමක් වශයෙනි. මුල දී ඔහු එසඳි ට දැක්වූයේ ද දයානුකම්පාවකි. පියා එක්ක හුරතල් වෙවී හැදුණු දූ කුමරියක ඒ වාගේ ඉරණමකට ගොදුරු වීම නිසා ඔහු ඇයට දයාබරිත වූයේ ය. එසඳි වැඩි වැඩියෙන් ඔහු ට ලං වෙමින් සිටියදී, පිය සෙනෙහස ඔහු තුළින් සොයන්නට වත්දී, ඈත් වෙන්නට බැරි ලෙස ඔහු ඇයට බැඳුණේ ය. එසඳි ‘අපාචි’ කියා ඉඳහිටක හෝ ඔහු අමතත්දී සිරුර ඇතුළේ ඔහු ම නොදන්නා විපර්යාසයක් වනු යශෝදර අත්වින්දේ ය. සයුරංගනා උන් හිටි ගමන් පැහැදිලිව ම දැනෙන සේ ඔහුව මග හැර යත්දී දැනුණ රිදුම ඔය සියලු කාරණා  හා බැඳුණු එකකි.  ඇයට උවමනා ඔහු ගෙන් දුරස් වී සිටින්නට නම්, යශෝදර ඊටත් වඩා ඒ දුරස් බව ඇති කොට දුන්නේ ය. නමුත් ඒ ඔහු ට සිත් සුවයක් වූවා නොවේ.

සයුරංගනා ඒ කිසිත් ගැන ගැඹුරින් නො සිතා සිටියා ය. හැකි තාක් මතුපිටින් කාලය ගෙවීමට වග බලා ගත්තා ය. පාරමී එක්ක ඇගේ හිත මිතුරුකම් දැන් පෙරදීට වඩා වැඩි ය. ඇය හැඬුවේත් සිනහ වුණේ ත් පාරමී ළඟ ය. යෙහෙළිය ගෙදර ඉන්නා වෙලාවක යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් වීඩියෝවක් පටිගත කළා ය. තවම එය තිබුණේ ආරම්භක මට්ටමේ වී නමුත් ටික ටික එහි නැරඹුම් වැඩි වෙමින් තිබිණ. මාසික ගෙවල් කුළිය නිසා සයුරංගනා ට පිරිමසා ගත හැකි වූයේ ය. අනාගතය දෙස බියෙන් නොව දිරියෙන් බලන්නට දැන් ඇය හිත හදා ගෙන ඉවර ය. 

“ගාමන්ට් එකක හරි ජොබ් එකට යනව බැරිම වුණොත්”

පරමී එක්ක ඇය වතාවක් එසේ ද කීවා ය.

“එහෙම ඕන වෙන එකක් නෑ. සයූස් කිචන් ටික ටික අප් වෙනව”

පාරමී දැඩි විශ්වාසයක සිටියා ය.

නාඳුනන දුරකතන අංකයකින් සයුරංගනා ට ඇමතුමක් ආවේ ඔය අතර දිනෙක ය. සාමාන්‍යයෙන් ඇයට කතා කරන්නට ඉන්නේ සීමිත පිරිසකි. ඒ හැම කෙනෙකු ගේ ම දුරකතන අංකය ගබඩා කොට තිබෙන නිසා තිරය මත නම දැකිය හැකි වේ. දුරකතන සමාගමේ ප්‍රවර්ධක ඇමතුමක් වන්නට ඇතැයි සිතා ඇය දුරකතනය සවනට ගත්තේ නො සැලකිල්ලෙනි. නමුත් පටිගත කළ දැන්වීමක් ප්‍රචාරය වූයේ නැත. සයුරංගනා “හෙලෝ” කීවේ එබැවිනි.

“මිස් සයුරංගනා…මං තුලන ටීවී  එකෙන් කතා කරන්නෙ. මට මේ වෙලාවෙ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද…”

“අ..පු..ළුවන්”

සයුරංගනා පිළිතුරු බැන්දේ දෙගිඩියාවෙනි. රූපවාහිනී නාලිකාවකින් ඇයට කතා කරන්නට කෙනෙකු ඇති බව සිහිපත් කර ගත හැකිවූයේ නැත.

“අපිට මෝනිං ප්‍රෝග්‍රෑම් එකකට අලුත් ගර්ල් කෙනෙක් ඕන වෙලා තියනව. අපි ඔයාව දැක්කෙ සයූස් කිචන් යූ ටියුබ් චැනල් එකෙන්. සයුරංගනා ඒ වැඩේට හරියයි කියල අපිට හිතුණ. ඔයා මොකද ඒ ගැන කියන්නෙ….”

“අ..ම්…මං..මං..කවදාවත්…එහෙම දෙයක් කරල නෑනෙ”

කෙතෙක් කළබල වූයේ ද යත් සයුරංගනා ට කුමක් කිව යුතු ද කියා පවා නිවැරදිව කල්පනා වූයේ නැත. 

“නෑ ඒකට කමක් නෑ. සයුරංගනා පොඩ්ඩක් හිතල බලල මේ නම්බර් එකට මට කෝල් බැක් කරන්නකො. ඔයා කැමතිනං අපි ස්ක්‍රීන් ටෙස්ට් එකකට යමු. මන්නං හිතන්නෙ ඔයාට මේක බැරි වෙන්නෑ. අපිට ඕන ප්‍රසන්ටර් ඔයා කියල මං හිතනව”

දුරකතන ඇමතුම නිමා වෙත්දී සයුරංගනා හිටියේ අහසින් පොළොවට වැටුණා වාගේ සසලව ය. මේ ඇත්තක් ද? එවැන්නක් සිදු වූයේ කෙසේ ද? ඇය මිදුලට පැන ගේට්ටුව විවර කළේ ම ” පාරමී” කියා කෑ ගසාගෙන ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles