fbpx

මනුස්සකම

” නෝනා මම මේ වත්ත සුද්ධ කරලා දෙන්න ද “

සුබා මිදුලේ ඉන්නවා දැකලා රත්නපාල ඒ තරම් උස් නොවුණු තාප්පෙ ගාවට ඇවිල්ලා ඇහුවා.

” නෑ නෑ ඕනෙ නෑ රත්නපාල. මහත්තයා කාව හරි ගෙන්නලා මේ ටික අස් කරලා දායි “

සුබා ඇයට පුරුදු උද්දච්ච කමෙන් එහෙම කිව්වා

” නෑ නෝනා මේ දවස් වල ඩෙංගු හැමතැනම . ඒ මදිවට වෙන වසංගතයකුත් තියනවා නේ “

” රත්නපාල ගිහින් රත්නපාලගෙ වත්ත ගැන බලාගන්නකෝ .අපි මේ පැත්ත බලා ගන්නම් “

සුබා ගෙට ආවෙ රත්නපාලට හිතින් බැන බැන. මාන්නයෙන් ඔලුව උදුම්මා ගෙන හිටපු සුබා අහල පහල කිසි කෙනෙක් එක්ක හිතවත්කම් පවත්වන්න කැමති වුණේ නැහැ

” කවුද සුබා ? “

ගේ ඇතුලේ පත්තරය බල බල හිටපු සුබාගේ සැමියාවුන දිනේෂ් ඇහුවා

” අර රත්නපාල . වත්ත සුද්ද කරන්න අහනවා .කීයක් හරි කඩාගන්නනෙ ඔය හදන්නේ “

” අපරාදේ රත්නපාල ආපු වෙලාවේ වත්ත සුද්ධ කරගන්න තිබුණා .මට ඔය වැඩේට මනුස්සයෙක් හොයාගන්න බැරිවුනා නේ සුබා “

” අර company එකට කතා කරල මනුස්සයෙක් ගෙන්නගමු දිනේශ්.මේ ආතක් පාතක් නැති මිනිස්සු ගේ අස්සෙ දාගන්න ඔයාට පිස්සුද ? “

සුබා ගස්සගෙන ගෙට ගියා. උපතින්ම යමක් කමක් තිබුණ පවුලක සුබා විවාහ වුණෙත් පෝසත් පවුලක තරුණයෙක් වුන දිනේෂ් එක්ක. තිබුණ ආඩම්බරකම් තවත් වැඩි උනේ සුබා විවාහ වුණාට පස්සේ .අහල පහළ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වපු නැති සුබා වත්පොහොසත්කම් වලට අනුව තමයි මිනිස්සුන්ව ආශ්‍රය කරේ .

” මේ පාර අපේ ඇනිවසරි එක ඉහළින්ම සෙලිබ්‍රේට් කරන්න ඕනේ දිනේශ් “

” මේ දවස්වල කොහොමද සුබා පාටි දාන්නෙ ? මේ වෛරස් එක කොහෙන් කොහොම හැදෙයිද කියන්න දන්නේ නැහැ නේ “

” අපිට හැදෙන්නේ නැහැ අනේ ඕවා .අපි එච්චර පව් කරලා නැහැනේ “

” පව් පින් ගැන ප්‍රශ්නයක් නෙමේ සුබා මේක .පස්සේ බැරියැ අපිට හොඳට සෙලිබ්‍රේට් කරන්න “

” මොකක්ද දිනේෂ් ? මං කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටිය ද මේක ගැන ? මං අම්මලාටත් කිව්වා “

” ඒ උනාට හැම දේටම වඩා අපි හිතන්න ඕනේ මේ වෙලාවේ අපේ ආරක්ෂාව ගැන .දවසකට කොච්චර මිනිස්සු මැරෙනවා ද මේ වයිරස් එකෙන් ? “

දිනේෂ් එහෙම කිව්වත් ඔහුගේ අවවාදය පිළිගන්න සුභාට ඕන වුණේ නැහැ . විවාහ සංවත්සරය මහ ඉහළින් සමරන්නයි සුබාට ඕන උනේ. ඒ විතරක් නෙමෙයි ඇය ඒ සඳහා අවශ්‍ය හැමදේමත් සූදානම් කළා

” මම නෑදෑයො ඔක්කොටම කිව්වා .එයාලට අපේ ගේ පෙන්වන්නත් බැරිවුනා නේ . ඔයාගේ යාළුවො කීදෙනෙක් එනවද දිනේෂ් ? “

” මම නං ඔය වැඩේට එච්චර කැමති නැහැ .ඔයාගේ වදෙන් බේරෙන්න බැරි තැන ඔෆිස් එකේ කීපදෙනෙකුට විතරක් මම කිව්වා “

” මයුමි කේක් එකට හත්දාහක් ඉල්ලුවා. එයාගේ වැඩ මාරම නීට් “

” කේක් එකට හත්දාහක් ? “

” ඔව් අනේ ඒක තට්ටු දෙකක කේක් එකක් “

සුබා විවාහ සංවත්සරය වෙනුවෙන් ලෑස්ති වුණේ හරිම නොයිවසිල්ලකින්. දිනේෂ් ඉල්ලන ඉල්ලන දේවල් වලට සල්ලි දෙන නිසා සුබා කිසිම ලෝබ කමක් නැතුව කෑම බීම වලට ,සැරසිලි වලට මුදල් වියදම් කළා. යාලුවන්ට නෑදෑයන්ට උත්සවයට ආරාධනා කළත් අහල පහළ කිසිම කෙනෙකුට සුබා ආරාධනා කළේ නැහැ . හැබැයි ඒ අයට පේන්න මල් වැල් සහ ලයිට් වැල් වලින් මුලු ගෙදරම සරසන්න කියලා සුබා සැරසිලි කටයුතු කරන අයට කිව්වා .

” ඔයාලගේ ගෙදර හරිම ලස්සනයි සුබා”

උත්සවයට ආපු ගොඩක් දෙනාගේ කටින් එහෙම පිටවෙනකොට සුබා ප්‍රීතියෙන් ඉපිලුනා.

” ඔයා මාර වාසනාවන්තයි “

තවත් අය එහෙම කිව්වා . ඇත්තටම සුබාට ඕන වුණේ තමන්ට තියෙන දේවල් අනිත් අයට පෙන්වන්නයි. තමන් හිතපු දේ ඒ විදිහටම සිද්ධවෙනකොට සුබා හිත යටින් පුදුමාකාර සතුටක් වින්දා.

” අද ඔයා එළියෙන් කනවද දිනේෂ්, මගේ ඔලුව පැලෙන්න රිදෙනවා අනේ “

“අමාරුනම් බෙහෙත් ටිකක් ගමුද සුබා ?”

” නෑ නෑ මේක හවස් වෙද්දී ඇරිලා යයි “

හොඳ වෙයි කියලා හිතපු හිස කැක්කුම දවසක් දෙකක් යද්දි වැඩි උනේ සුභාට තවත් රෝග ලක්ෂණ කිහිපයක්ම පහළ කරමින්. ඈතින් දැකපු රතු එළියක් නිසා සුබාව ඉක්මනින් රෝහලට අරගෙන යන්න දිනේෂ් කටයුතු කලා .

” PCR එකක් කරමු “

වෛද්‍යවරයා එහෙම කිව්වට පස්සේ දිනේෂ් එයට අවනත වුනා .

” මේ මනුස්සයට පිස්සුද දිනේශ්? “

තමන්ට කිසිම අසනීපයක් වැළඳෙන්නේ නෑ කියලා හිතාගෙන හිටපු සුබාට කරපු පරීක්ෂණයේ ප්‍රතිඵල ආවේ සුභාට කොරෝනා වෛරසය වැළඳිලා කියලා සටහනකුත් එක්ක

” පාටි දාන්න හදනකොටම මම ඔයාට කිව්වා මේ ටික වෙයි කියලා .ඔයා මම කියන දේ ඇහුවේ නැහැනේ සුබා “

” මේ රිපෝට් එක බොරු ද කොහෙද දිනේෂ් “

” තාමත් ඔයා පිළිගන්නෙ නැහැනෙ තියෙන උද්දච්ච කමට “

දිනේෂ් හිටියේ තරමක කේන්තියෙන්. අවශ්‍ය තැන් වලට දැනුම් දුන්නට පස්සේ දිනේෂ්ටත් සුබාටත් ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න සිදු වුණා. දිනේෂ් අහල පහල හැමෝමත් එක්ක හිතවත් නිසා අහල පහල හැමෝම දිනේෂ් සහ සුබා වෙනුවෙන් උදේ හවස ආහාර පිළියෙල කරලා ගේට්ටුව ගාවින් ගෙනත් තිබ්බා . ඒ විතරක් නෙමෙයි නිතරම දිනේෂ්ට කතා කරලා අවශ්‍ය දේවල් මොනවද කියලා හොයලා බලන්නත් අසල්වැසියන් අමතක කළේ නැහැ .

දින කිහිපයක් පුරාවටම සුබා හිටියේ ඉතාම අපහසුවෙන් .නොනවතින කැස්සත් එක්ක අධික හිසරදය සහ උණ නිසා සුභාට ඇඳෙන් බහින්න වත් බැරි වුනා. ඊට පස්සේ රෝගය වැළඳුණේ දිනේෂ්ට. කලින්ම බෙහෙත් අරගත්ත නිසා දෙන්නම ඒ දවස් කීපය ගේ ඇතුලටම වෙලා ගත කළා . ඒ දින කිහිපය ඇතුලත අසල්වැසියන් ගෙන් ලැබුන උදව් වල වටිනාකම කියල නිම කරන්න බැරි තරම් කියලා දිනේෂ්ට හිතුනා.

” මම වත් ඒ මිනිස්සු එක්ක කතා බහ කරල හිටියේ නැත්නම් අද අපි දෙන්නා බඩගින්නේ සුබා “

දිනේෂ් එහෙම කියනකොට සුබා පුරුදු උද්දච්චකමෙන් අහක බලාගෙන හිටියා.

” මේ වගේ දවස් වලට තමයි අපිට මිනිසුන්ගේ උදව් වැඩිපුර ඕන වෙන්නේ .ඒ මිනිස්සු හොඳ නිසා හොඳයි.නැත්තම් මේ වගේ වෛරස් එකක් හැදුනහම සමහර මිනිස්සු ලගට එන්න වත් කැමති නැහැ “

” ඔය මිනිස්සු ඔය උදව් කරන්නේ ඔයාගෙන් පස්සේ උදව් ගන්න බලාගෙන වෙන්න ඇති දිනේෂ් “

” පිස්සුද ඔයාට ? මම සත පහක් වත් නොදී තමයි ඔය මිනිස්සු උදේ හවස කෑම ගෙනත් දුන්නේ . ඔයත් එක්ක පාටි දාපු එක මනුස්සයෙක් වත් ,එක බත් ඇටයක් හරි අපිට ගෙනත් දුන්නද මේ දවස් ටිකට ? “

දිනේෂ් එහෙම කියද්දී සුබා නිහඬ වුණා. තමන් ආශ්‍රය නොකර පිලිකුල් කරල ඈත් කරල දාපු මිනිස්සු ,තමන් අසීරුවෙන් ගෙවපු මේ දවස් ටිකට තමන්ගේ බඩගින්න නිවන්න මොනතරම් උදව් වුනාද කියලාත්, තමන්ගේ උද්දච්චකම අමතක කරලා හිතේ කිසිම කහටක් නැතුව ඒ අය උදව් කළා නේද කියලා සුභාට හිතුනා.

” මනුස්සකම ” කියන්නේ ඒකට . අන්තිමට සුභාට හිතුණේ එහෙම .

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x