ආකාශ් සඳයුරු ගුරුගේ මන්දස්මිතයක් නගා ගත්තේ ය. මට ඔහු ව දැනුණේ තරමක් නුහුරට ය. ඩොක්ටර් ආකාශ් ! ඔහු ගේ සිනහවට පෙරලා සිනහවකින් පිළිතුරු දෙන්නට වුව මට සිහිපත් නොවූ තරමි. මේ පුදුමය මගේ පුංචි හිතට විසල් වැඩි වූ තරම ය.
“පූජා ඇයි බය වෙලා වගේ….”
ආකාශ් මඳහස තවත් පිපෙන්නට හරිමින් ඇසුවේ ය. නෙරංජලා මදෙස බලා දෙතොල් තද කර ගත් සිනහවක් පෑවා ය.
“අයිය ඩොක්ටර් කෙනෙක් කියල මං දැනං හිටියෙ නෑනෙ”
මම යන්තම් මුමුණා ගතිමි.
“ආ…මෙයා ඉතිං ඩොක්ටර් මෙහෙටනෙ පූජා. ගෙදරට එයා අපේ පුතා ආකාශ් විතරයි”
නෙරංජලා සරල ලෙස කීවා ය. ඔවුන් ගේ ජීවිත වල වන සරල සැහැල්ලුව කෙතරම් දැයි ඒ වචන කිහිපයෙන් සිතා ගත හැකි විය. මම ඇස් පුරා ආකාශ් දෙස බැලුවෙමි. ඔහු පෙම් කරන්නට මා වගේ කෙල්ලක තෝරා ගත්තේ ඇයි?
“ආකාශ් තමයි පූජා දැනට මෙතන ජීඑම් විදිහටත් වැඩ බලන්නෙ. මෙයා ඒක කරන්නත් බෑ කියල කං කෙඳිරි ගගා ඉන්නෙ. දැං ඉතිං ඔක්කොම වගකීම් පූජාගෙ කරේ ගහල නිදහස් වෙන්න බලයි. ඒකට ඉඩ දෙන්න එපා. මෙයාට මේවගෙ වගකීම් දැනෙන්න ඕන. කවදහරි මේව එයාටනෙ. තාත්තට තව හුඟක් කල් මේව මත්තෙ නැහෙන්න බෑනෙ”
නෙරංජලා ගුරුගේ කියවා ගෙන ගියා ය. නමුත් ඒවා මට ඇහුණේ යන්තමින් එහෙන් මෙහෙන් කියා සිතමි.
“හරිනෙ එහෙනං…මං පූජාව ඕගොල්ලන්ට බාර දුන්න ඔන්න. මං යන්නද පූජා…”
නෙරංජලා මගේ අත් බාහුවක් මත අතක් තබමින් ඇසුවා ය.
“මං අම්මව දාල එන්නද…”
“නෑ නෑ ඕන නෑ. මට කැබ් එකක් අරං යන්න පුළුවන්. සමහර විට තාත්තා ගෙනිහිං දායි. ඔයා පූජාට හෙමිහිට ඔය වැඩ ටික පවරන්නකො. මීටින් එකක් කෝල් කරල පූජාව ස්ටාෆ් එකට ඉන්ට්‍රඩියුස් කරන්නත් වෙයි නේද..”
“අපි ඒක හෙට කරමු. අද පූජා ශොක් වෙලා ඉන්නෙ”
ආකාශ් ගේ වත මත ඇඳුණේ නො දරුවෙකු ගේ බඳු අව්‍යාජ සිනහවකි. ඒ සියල්ල සිහිනයෙන් දකිනවා සේ තව දුරටත් මට දැනෙමින් තිබිණ. නෙරංජලා කාමරයෙන් නික්මෙත්දී ම ආකාශ් මේසය මත වූ සීනුව නාද කළේ ය. හෙදියක දිව ආවා ය.
“සර්…”
“දැන්ම පේෂන්ට්ස්ලව මට දාන්න එපා. මං කියනකල් ඩොක්ට විනූ ට දාන්න”
“ඕකේ සර්”
හෙදිය නික්ම ගිය පසු අත් දෙක මේසය දිගේ ඉදිරියට යොමු කළ ආකාශ්, මේසයට බර වෙමින් මවෙත නැඹුරු වූයේ ය. ඒ මුළු කාලය පුරා මා ඔහු දෙස බලා සිටින්නට ඇත්තේ නෙතු පිය නො සලා ය. මේ තරම් පෞරුෂයක් මින් පෙර කිසි දා ක මා ඔහු වෙතින් දැක නැතිවා කියා සිතමි.
“මොකද…ම්…”
ඒ දෙතොලතර නලියෑ සිනහවේ වූවේ ආදරය විතර ය.
“මං තරහයි”
මගේ ඇස් පියන් බිමට හැරවිණ.
“ඇයි…”
“මට කිව්වෙ නෑ ඔයා ඩොක්ට කෙනෙක් කියල”
“කිව්වනං ඔයා මේ තරංවත් මට ලං වෙයිද…ම්…”
“අයි…යෙ…”
“ඒක මගෙ ප්‍රොෆෙෂන් එක විතරයි. මං ඩොක්ටර් කෙනෙක් වෙන්නෙ ලෙඩෙක්ට විතරයි පූජා. අනිත් අයට මං සාමාන්‍ය මනුස්සයෙක්. අනිත් එක…ඔයා මට ආදරේ කළේ ඒ කිසි දෙයක් නොදැන වෙච්ච එකමයි මට වටින්නෙ”
නමුත් මට දැනුණේ ඔහු හිටියාටත් වඩා උසකින් සිටිනවා සේ ය. ඒ තරම් උස අහසකට ඉණි මං බැඳිය හැකි වනු ඇත්ද?
“ඒත්…ඔයාගෙ කා එකේ මං කොච්චර ගියාද…ඩොක්ට පාස් එකවත්…”
“ඔයා එක්ක යන හැම වතාවකම කලිංම මං ඒක කැබි හෝල් එකට දැම්මා. මං කිව්වනෙ…මට ඕනෙ ඔයාට ඩොක්ට කෙනෙක් වෙන්න නෙවෙයි. නිදහස් කොල්ලෙක් වෙන්න”
“ඒත්…”
ආකාශ් සඳයුරු ගුරුගේ ඉතාමත් සන්සුන් ලෙස මගේ ඇස් වලින් ඇතුළාන්තයට රිංගුවේ ය.මගේ ආත්මය කෙතරම් අහිංසක ද කියා ඔහු වටහා ගන්නට ඇත.
“ඔයා වගේ ඩොක්ටර් කෙනෙක්ට මැරි කරන්න ගෑනු ළමයෙක් නෑ කියල මං විශ්වාස කරන්න ඕනෙද…”
“ඇයි නැත්තෙ…ඉන්නව”
ඔහු සිනහ වී අසුනේ පිටුපස ට හරි බරි ගැහිණ. නමුත් ඒ බැල්මේ කැල්ම නො වෙනස් ව මා වෙතට එල්ල ව පැවතිණ.
“මං ඉස්සරහ මේ ඉඳගෙන ඉන්නෙ”
මට සිනහ නැගිණ. ඒ සිනහව අතරින් ම, ගැහැනු කමට ආවේණික බොරු නෝක්කාඩුව නො නගා ඉන්නට මට හැකි වූයේ නැත.
“මං ඕවට අහු වෙන්නෑ. අපේ ඉස්කෝලෙ අක්කල කියනවනෙ…මෙඩිකල් ෆැකල්ටි එකේ කොල්ලංගෙ හැටි”
“ඔව් ඉතිං….ෆැකල්ටි එකේදි මාත් ඔය වජිර පාරෙ කෙල්ලො දෙතුන් දෙනෙක්ට ට්‍රයි කරලනං තියෙනව”
“දෙතුන් දෙනෙක්ට….”
ආකාශ් හඬ නගා හිනැහුණේ ය. සිනහව අතරින් මම රවා ගෙන සිටියෙමි.
“වැඩක් වුන්නෑනෙ ඉතිං…උං එකෙක්ටවත් මාව හරි ගියෙ නෑ”
“බොරු කියන්නැතුව ඉන්න”
“ඉරණමට ඕන වෙලා තියෙන්න ඇත්තෙ ඔයාව හම්බ වෙනකල් මාව තනිකඩව තියන්න”
එවර ඔහු සිය දඟකාර බව පසෙක ලා තැන්පත් දෑසකින් මදෙස බලා ගෙන කතා කළේ ය. අතීතය කෙසේ වුණත්, අනාගතයේ දී කුමක් වෙන්නට නියමිත වුණත්, මේ මොහොතේ ඔහු මට පෙම් කරමින් හිඳිනා බව නො රහසකි. ප්‍රේමය වූ කලී දිනෙක හිමි විය යුතු ම දෙයක් නොවේ. මා වන් කෙල්ලකට එය හමු වී තිබීම ම නො සෑහේ ද?
“අම්මම ඔයාව මෙතනට ගෙනාපු එක හොඳයි. අපිට මෙතන කරන්න ගොඩක් වැඩ තියෙනව පූජා”
ඉන් පසු ආකාශ් වැඩ වෙත යොමු වූයේ ය. ඔහු වගකීම් සම්භාරයක් මා මත පැටවී ය. මා ඒ සියල්ල ගැන මනා අවධානයක් යොමු කළේ, ගුරුගේ ලා මා මත තැබූ විශ්වාසය වෙනුවෙන් මගේ උපරිමය කරන්නෙමි ය යන දැඩි අධිෂ්ඨානයෙනි.
ජීවිතය කියන්නේ ගමනකි. බලාපොරොත්තු හා සිහින ඒ ගමන් මග දිග ඇවිද යන්නට අපට දිරිය සපයන උතතේජක වන්නේ ය. මම කුඩා කල සිට ම සිහිනයක ජීවත් වූ ළමයෙකු කියා සිතමි. මගේ සිහින ලෝකය ඉදි වී තිබුණේ අපේ ගෙදරින් බෝ ඈතක බව පිළිගත යුතු ය. පවුලේ අයට මම මහත් සේ ආදරය කළෙමි. නමුත් මගේ සිහින වලට ඔවුහු බොහෝ දුර ඈත වූහ.
නංගී ගමේ ළමයින්ට කල්ලි ගැසුණා ය. මම ගමේ ළමයින් ට දුරස් වීමි. මගේ සමාජ පන්තියට අයත් ළමයි පතින් පොතින් දුරස් වෙමින් වැඩිහිටි ලෝකය සමග ගැටෙන්නට වෙර දරත්දී මම පොතක් එක්ක මගේ ලෝකයක් මවා ගෙන සිටියෙමි. අනාගතයේ දී රැකියාවක් කොට මනා සමාජ තත්වයක වැජඹෙනා මගේ ම රුව නිතර මා මනසේ ඇඳී තිබිණි. වර්ග අඩි සියයක් තරම් නොවන කාමරයක් ගෙයක් කොට ජීවත් වුණත් මා මනසින් වාසය කළේ සුව පහසු නිවෙසක ය. පාසලේ යෙහෙළියන් අතරේ දී හිස කෙළින් තබා ගෙන ජීවත් වූයේ ඒ සිහින ලෝකයේ සැරිසැරූ පූජා මිස, හැබෑ පූජා නොවේ.
අපේ ඇතැම් ඥාතීහු ඒ පූජා ව අවඥාවට ලක් කළහ. ඇය ට සිනහ වූහ.
“මොකක් හරි රස්සාවකට පැන ගන්න පුළුවන් විදිහට යන්තං පාස් වෙන්න කලා විෂයන් කළා නං ඉවරනෙ. ලොකු කමට සයන්ස් කරන්න ගිහිං ඇන ගන්න හැටි බලමුකො. පිස්සු ඒකිට”
කියා නැන්දා ආච්චම්මා ට ම කියා තිබුණා ය. ආච්චම්මා මට ඒ බව කීවේ ඔවුන් ගේ කටවල් වැහෙන්නට නම් මා හොඳින් ඉගෙන ගත යුතු බව කියන්නට ය.
ආකාශ් මා වෙනුවෙන් වෙන් කොට දෙන ලද කුඩා කාර්යාල කාමරයේ මේසය ළඟට වී වැඩ කරන අතරේ ඒ අතීතය සිතුවම් පටයක් සේ මගේ මනසේ ඇඳෙමින් තිබිණි. විභාග ප්‍රතිඵල ගැන මා සිටින්නේ අවිනිශ්චිත තත්වයක ය. නැවත වතාවක් විභාගය ලිවිය නො හැකි යයි මා සිතා ගෙන සිටියේ විභාගය ට පෙර ම ය. රැකියාව කරන අතරේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට ද ගුරුගේ ලා විසින් මට විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ. මේ සියල්ල ම, කාලයක් තිස්සේ මා දකිමින් සිටි සිහිනයේ ම කොටස් දැයි මම නො දනිමි. කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන වරම් ලැබුණත් නැතත් මේ ලැබුණ රැකියා අවස්ථාව මගේ අනාගතය කරා ඉදි වූ මා හැඟි මාවතක් බව මම පිළි ගමි.
හැන්දෑවේ ඔහු ත් සමග ම ගෙදර යන්නට ආකාශ් විසින් මට ඇරයුම් කරන ලදී.
“ඒක හොඳ නෑ නේද අයියෙ…”
මම අදි මදි කළෙමි.
“කාටද…ඔයාටද…”
“මට නෙවෙයි ඔයාට”
“පණ්ඩිතය නොවී එනව”
මගේ කාර්යාල කුටියට ම විත් ආකාශ් මා කැටිව යත්දී රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගේ ඇස් අප වෙතට ම දැල්වී තිබෙන අයුරු මට දැනිණ. මා ඒ ගැන මඳ ගැස්මක සිටිය ද ආකාශ් නම් ඒ ගැන වද වූයේ ම නැත.
“අනුං හිතන විදිහ ගැන කිසිම වෙලාවක වද වෙන්න එපා පූජා. අපි හිතන විදිහ ගැන අපිට අවුලක් නැත්තං…අපි ඒ විදිහට ජීවත් වෙන එකයි තියෙන්නෙ”
රියට නැග ගත් ඉක්බිති ආකාශ් කීවේ ය. වෙනදා මා දකින සැහැල්ලු පෙම්වතා ට වඩා මේ වෙලාවේ ඔහු වෙතින් දැකිය හැකි වූයේ වගකීම් සහගත පරිනත පිරිමියෙකි.
මම සතුටෙන් සිටියෙමි. ඒ වගේ සතුටක් මා ඒ භුක්ති වින්දේ ප්‍රථම වතාවට ය කීවාට වරදක් නැත. එය පිරිපුන් තෘප්තිමත් බවකි. ඇතැම් විට මා සිහිනයේ ජීවත් වූ තැනට හැබැහින් පිය තැබුවා වන් මායාමය හැඟීමකි එය.
“මටත් දැං සැහැල්ලුවක් වගේ දෙයක් දැනෙනව පූජා. මගෙ ජීවිතේ පැත්තකිං ඔයා ඉන්නව කියන්නෙ…ඇත්තටම ඒක සැහැල්ලුවක් තමයි. ලොකූ වගකීමක් තිබුණත්…ඔයත් එක්ක ඒක සැහැල්ලුවෙන් දරන්න පුළුවන් වෙයි”
ආකාශ් තව දුරටත් බලාපොරොත්තු වලින් මසිත පුරවා තැබී ය. ගේ ළඟ දී මා රියෙන් බැස ගත්තේ රටක් රාජ්ජයක් දිනා ගත් රැජිණක සේ ය. අම්මා ආඩම්බරයෙන් මදෙස බලා සිනහ වූවා ය.
“ඒක ප්‍රයිවට් ඉස්පිරිතාලයක්ලු නේද ලොක්කි…”
“ඔව් අම්මෙ. ඒ හොස්පිට්ල් එක ආනන්ද අංකල්ගෙ. ආකාශ් අයිය ඩොක්ට කෙනෙක්”
“ඩොක්ට කෙනෙක්…”
නංගී ඇඳෙහි වැතිරී හිඳ ඉක්මනට නැගිට ගත්තා ය.
“හ්ම්”
“කියන්නවත් බෑනෙ. පාංකිරිත්තා වගේනෙ ඉන්නෙ”
එතකොට අජිත් මොන වගේ දැයි අසන්නට මගේ දිව නලියෑවේ ය. නමුත් ඈ මගේ නංගී ය. ඇගේ සිත රිදවූවා කියා මට ලද හැකි සතුට කුමක්ද?
“ලොකු මිනිස්සු කියන්නෙ එහෙම මිනිස්සුන්ට…දැක්ක නේද…ඒ ලොකු කං කිසි දෙයක් අහල පහල මිනිස්සුන්ට නිකමට ඇඟෙව්වෙවත් නෑනෙ”
තාත්තා කකුල් දෙක පුටුවක් මතට ගනිමින් කීවේ ය. නංගී යමක් කියන්නට කට ඇද කළා ය.
“ඔයා මෙච්චර කල් හිතං හිටියනං නෙරංජලා ඔයාට ඔච්චර ආදරේ පුතාව දෙන්නයි කියල…ඒ හිතිවිල්ල අයිං කර ගන්න වෙයි හොඳේ”
“පිස්සුද අප්පා….”
මම නො රිස්සුමට පත් වීමි. අම්මා කෙසේ වෙතත් තාත්තා ඉදිරියේ ඒ වගේ කතා තවමත් මට ආගන්තුක ය. පුටුවෙන් නැගිට ගත් තාත්තා නංගී දෙසට අත දිගු කරමින් ද ඇය කෙරේ අප්‍රසාදය හඟවමින් ද මිදුලට බැස්සේ ය.
“මං ලොක්කිට තේ එකක් හදන්නං”
අම්මා කියනු ඇසිණ. මේ ගෙදර මීට පෙර මට නො තිබූ තත්වයක් හදිසියේ ම පහළ වී ඇති බවක් මට දැනෙන්නට ගති.