“අම්මව ටික දවසකට ගෙන්නා ගන්න බැරි වෙයිද දුලාජ්..”
නිකිණි දුලාජ් ගාවට ආවේ මුහුණට ලස්සන හිනාවක් අරගෙන.
“අම්මා එයිද දන් නෑ නිකී..”
දුලාජ් කිව්වේ දුක්මුසු ස්වරයෙන්.නිකිණිගේ අම්මා ජීවතුන් අතර නෑ.ඒ නිසාම කවදාහරි “නැන්දම්මා’ වෙන අම්මාව අම්මා කර ගන්න හීනයක් නිකිණිට තිබුණා.
“අක්කගෙ පොඩි අය දාලා එන්න බෑනෙ නේද?”
නිකිණි අහන්නෙ හෙමින් සැරේ.ඇත්තටම ඇත්ත හේතුව දුලාජ්ගේ අම්මා තමන්ට ආදරේ නැති වීම කියලා එයා දන්නවා.ඒත් එහෙම නොහිතා “අම්මා අක්කගෙ පොඩි අය එක්ක බිසීනෙ”කියලා හිතන්න නිකිණි කැමතියි.
“මල්ලි ඊයේ අහනව ටික දවසකට එහෙ එන්න බැරිද කියල..”
දුලානි අම්මාට කිව්වේ කට ඇද කරගෙන.නිකිණිගේ ආසාව ගැන තේරෙන නිසාම දුලාජ් අක්කාට කතා කරලා දැන් ටික වෙලාවක්.ඒත් අම්මා මල්ලිගෙ බිරිඳට ආදරේ වෙයි කියල දුලානි හිටියේ පුදුම ඉරිසියාවකින්.
“ඇයි දන්නේ නෑ..”
කුසුම් උපැස් යුවල අතට ගන්න ගමන් ඇහුවා.පුතාව දකින්නත් ආසයි.මහ ගෙදර අක්කා පදිංචියට ආවට පස්සේ පුතා ඒ තරම් මෙහෙ එන්න කැමති නෑ කියලයි කුසුම්ට හිතෙන්නේ.
“දන්නේ නෑ.දෙන්නා එක්ක ගේ හදනවනෙ.අම්මව කොළඹ රවුමක් එක්කන් ගිහින් පහළ ඉඩමවත් ලියෝ ගන්න වෙන්න ඇති.”
දුලානිට හිතෙන දේවල් ගැන කුසුම්ට හිනාවකුත් එනවා.ඒත් දුලානි වගේ දුලාජ් මේ ඉඩකඩම්වලට ආසාවක් නෑ.
“අපි කැමතියි අම්මේ වෙන රටකට පදිංචියට යන්න.අම්මා දුක් වෙයි කියලා දුලාජ් ඔය නොයන්නේ. “
නිකිණි දවසක් එහෙන කිව්ව හැටි කුසුම්ට මතක් වෙනවා.
“රට රටවල ගිහින් නිස්කාරනේ දුක් විඳින්න.ඕවා අරකි අටෝන උගුල්..”
දුලානි එදා හරියට කම්පා වුණා.දුලානි කාර්යාලයට ගිහින් එනකම් පොඩි උන් බලාගෙන හති අරින වෙලාවේ ඕවට උත්තර දෙන්න කුසුම්ට මහන්සියි.පොඩි උන් දෙන්නාගේ දඟ වැඩ එක්ක ඔට්ටු වෙන්න කුසුම්ට දවස මදි.
“අක්කේ, අම්මට බබාලා බලාගන්න අමාරුයිනෙ.අර යසෝ අක්කා අඬ ගහගන්නකො..”
දුලාජ් ගමට ආපු වෙලාවක එහෙම කිව්වා.
“මුනුබුරෝ බලාගන්න එක කොහොමද අම්මෙකුට අමාරු වෙන්නේ?විකාර කියන් නැතුව ඉන්නව..”
දුලානි මල්ලිට කඩාගෙන පැන්නා.
අවුරුදු හතරේ හයේ පොඩ්ඩෝ දෙන්නෙක් එක්ක දඟලලා රෑ වෙනකොට කුසුම්ගේ කොන්ද කැක්කුම හැදෙනවා.නාවන්න,කවන්න,පොවන්න කීයක් වැඩද?හරියට කන්න වෙලාවක්වත් නෑ.තේ කහට ටිකක් වක්කරගෙන බිස්කට් එකක් අතට ගත්තොත් පොඩි උන් දෙන්නට ඒ බිස්කට් එකම ඕන වෙනවා.කුසුම් බඩගින්නේ.
“අම්මා ඉන්නවයින් මට ලේසි.”
දුලානි එහෙම කිව්වට අවුරුදු හැට හතක අම්මෙකුට මේ දේවල් බර වැඩියි කියලා දුලාජ්ට හිතෙන්නේ.
“අම්මා අපි එක්ක ඉන්න නොඑන්නේ මාව පේන්න බැරි නිසාද දුලාජ්..”
නිකිනි ඇහුවේ ගමට යන අතර.දුලානිට අගෝස්තු නිවාඩුවේ සැමියාගේ ගමේ සතියක දෙකක නිවාඩුවක් ගෙවන්න යන්න හිතීම නිසා දුලාජ්ට අම්මා කොළඹ එක්ක එන්න සිද්ධ වෙලා.
“අම්මා කිසිම දවසක ඔයාට වචනයක්වත් කියලා නෑනෙ නිකී..ඔයාගෙ ෆොටෝ එක මුලින්ම දැක්ක දවසෙත් ලස්සන කෙලි පොඩ්ඩක් කියලා ආස වුණා.අක්කා තමයි අම්මට ඔයා ළඟටවත් එන්න ඉඩ නොදෙන්නෙ..”
දුලාජ් කිව්වේ හිතුණු දේ.නිකිණි ඒක එහෙම වෙන්න ඇති කියලා හිත හදා ගත්තා.
“අම්මව එක්ක ගියාට අම්මා ඔය කොළඹ කොහොම ඉඳීද දන් නෑ..”
දුලානි කතා කරන්නේ හරියට කුසුම්ට කොළඹ යන්න වුණේ දුලාජ්ගේ උවමනාවකට ගාණට.නිකිණි මොකුත්ම නොකියා අහගෙන හිටියා. කොහොමත් දුලානිට තරහයි.යසෝ එක්ක අම්මා ගමේ ගෙදරම හිටපුවාවේ කිව්වට මල්ලිට අම්මාව කොළඹ එක්ක යන්නම ඕන වුණා.
“ගස්කොළං ටික පාළු වෙලා යයි..”
දුලානිටත් තියෙන්නේ පුදුමාකාර තන්හාවක් කියලා හිතුණත් නිකිනි මොකුත්ම කියන්න ගියේ නෑ.
පුතාගේ ගෙදර ආවට පස්සේ කාලෙකින් කුසුම්ට හොඳ නින්දක් ලැබුණා.වෙනදට මහ රෑට පුංචි කොල්ලො දෙන්නගෙන් කෙනෙක් ඇවිල්ලා ඇඟට පනිනවා.එක්කෝ රෑ මැද්දේ කිරි හදලා ඉල්ලනවා.පාන්දර පහ වෙනකොට දුලානි අම්මාට කතා කරනවා.
“අම්මේ නැගිටින්නකො..මං පොල් ගාලා බත තිබ්බා..”
ඉතින් උදේම උයන්න ඕනෑ.
කුසුම් පුතාගේ ගෙදරදි ඇස් ඇරියේ බ්ලෙන්ඩරයේ සද්දෙට.කුස්සියට යනකොට හතට කිට්ටුයි.නිකිණි දනිපනියේ ඉවිල්ලක.
“ඇහැරුණේ නෑනෙ දුවේ මට.උයන්න උදව් වෙන්න තිබ්බා.”
නිකිණි කුසුම්ට ලස්සන හිනාවක් පා කළා.
“අනේ අපි තුන්දෙනාට එච්චර මොනව උයන්නද අම්මේ.අපි දෙන්න උයලා ඉවරයි..”
ගෙදරින් යන්න කලින් තේ බොන්න දේවල් තියන තැන්,පළතුරු තියන තැන් ඔක්කොම නිකිණි කුසුම්ට පෙන්නුවා.
“ටීවි බල බල ඉන්න අම්මේ.බණ චැනල් එක මේක.අම්මා පොත් කියවන්න කැමතියිනෙ.අර පොත් රාක්කේ අලුත් පොත් ගොඩක් තිබ්බා.”
පොතක් පතක් කියවන්න ඒ කාලේ වෙලාවක් තිබ්බත් දැන් කිසිම විවේකයක් නෑ.ගන්න පැන්ෂන් එකටත් මොනවම හරි කරන්න දුලානි වග බලා ගන්නවා. ඒ හින්දා පොතක් පතක් ගන්නවත් කුසුම්ට පුළුවන්කමක් නෑ.
පුතාගේ ගෙදර කිසිම වැඩක් නැතුව ටීවී බල බල පොත් කියව කියව ඉන්න නිසා නිකිණිට රෑ කෑම හදන්න නොතියා කුසුම් රෑට උයන්න පටන් ගත්තා.
“අම්මා මොකට මහන්සි වෙනවද?”
නිකිණි එහෙම කීවට කාලා ඉවර වෙනකම්ම කුසුම්ගේ කෑම වර්ණනා කරනවා.
“අනේ මන්දා අම්මෙ.පොළොස් එක කටේ තියන්න බෑ සැර..අම්මා පරිප්පු වලට ලුණු බැලුවෙ නැද්ද?”
දුලානිගේ ඒ ජාතියේ කතා කුසුම්‍ට මතක් වෙන්නේ ඒ වර්ණනා අහන් ඉන්නකොට.
කුසුම්ට තිබුණු පුංචි කොන්දේ කැක්කුමකට බෙහෙත් අරන් දෙන්න ඕන කියලා නිකිණිට මතක් වුණේ සති අන්තයක.ඇත්තටම කොන්දෙ අමාරුව ගැන දුලානිට කී දවසක් කිව්වද කියලා කුසුම් කල්පනා කරේ දොස්තර මහත්තයා පරිස්සම් වෙලා නෑ කියලා කෑගහනව අහන් ඉන්න ගමන්.
“අපිට ෆැෂන් වර්ල්ඩ් එකට යන්න ඕන..”
නිකිණි පුතාට කියනවා කුසුම් අහගෙන හිටියා.නිකිණි ඇඳුම්වලට පුදුම නාස්තියක් කරන්නේ කියලා දුලානි නිතරම කියන හැටි මතක් වුණත් නිකිණි ලස්සනට අඳින බව කුසුම් හිතන්න ගත්තා.
“අම්මේ අපි යං ඇඳුම් බලන්න..”
ලේලි පොඩ්ඩ නැන්දම්මා ඉස්සර කරගෙන නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයට ගියා.තෝරන හැම ඇඳුමක්ම තමන්ට වීම ගැන කුසුම්ට දැනුණේ ආදරයක්, ඒ එක්කම වේදනාවක්.තමන්ගේ දූ තමන්ට ඇඳුමක් ගෙනත් දුන්නේ පහුගිය සිංහල අවුරුද්දට කියලා ඇයට මතක් වුණා.
“අම්මාගෙ යට ඇඳුම් පරණ වෙලා.මං ඊයේ රෙදි වනනකොට දැක්කේ..”
හැම දෙයක්ම හොයා බලන දුවෙක් ලේලියක් නෙවෙයි දියණියක් කියලා කුසුම්ට හිතෙන්න පටන් ගත්තා.උදේ ඉඳන් හවස් වෙනතුරු තමන්ගේ දූගේ වැටුප් රහිත දාසිය වුණු තමන් හුස්මක් කටක් ගන්නේ ලේලි ළඟට ආවම වීම ගැන කුසුම්ට දැනුණේ විස්සෝපයක්.
“අම්මට මේ පෝයට සිල් ගන්න පුලුවං.එක්කො ගෙදර ඉඳන් ගන්න.අපි සලකන්නම්.නැත්තං මේ එහා ගෙදර ආන්ටි එක්ක මෙහෙ පන්සල් ගියෑකි..”
නිකිණි එහෙම යෝජනාවක් කරනකොට දුලාජ් එතනට ආවේ දුරකථන ඇමතුම අවසන් කරලා.
“අක්කා කෝල් කරා අම්මේ..හෙට එක්කන් එනවද ඇහුවා..”
රසම රස අයිස් ක්‍රීම් එකක් කමින් හිටිය පොඩි දරුවෙක්ගෙන් ඒක උදුරා ගත්තා වගේ හැඟීමක් අම්මාගේ මූණට එන හැටි දැක්කේ නිකිණි.
“දුලාජ්,අම්මගෙ කොන්දෙ අමාරුව හොඳටම හොඳ වෙනකන් සතියට දෙපාරක් ඩොක්ට විසිට් තියනව කියල අක්කට කියන්නකො.එතකලට යසෝ අක්කා අඬ ගහගන්න කියන්න..අම්මා තව මාස දෙක තුනක් අපි ගාව හිටියාවේ..”
නිකිණි අන්තිම තීන්දුව දීලා නැගිට්ටේ කුසුම්ගේ මුහුණට ආපු සැනසිලිදායක හිනාව රස විඳින ගමන්.