හදවතෙන් උපන් දූ.

“පුතා කොහෙහරි යන්නද?”

කොහෙහරි යන්න ඇඳපැළඳගෙන පෝටිකෝවට ආව දේවකගෙන් නිමල් ඇහුවේ පුරුද්දට වගේ.අවුරුදු විසි හතක ඉලන්දාරියෙක්ගෙන් එහෙම අහන්න අවශ්‍ය නැහැ.ඒත් මේ තාත්තා පුතා බැඳීම නිසා අහන ප්‍රශ්න බව දේවකත් දන්නවා.

“ඔලුව හැරුණු අතේ ගිහින් දවල්ට කන්නත් කොහෙන්හරි හොයන් එනව තාත්තේ.අද අම්මා අපිව ගණන් ගන් නෑනේ..”

දේවක කියන්නේ මහා හයියෙන්.නිමල් පත්තරයෙන් ඇස් අයින් කරලා හිනා වෙන්නේ සාලයේ වාඩිවෙලා ටීවී බලන බෑනා,ලහිරු එක්ක.දේවකගේ කතාවට ලහිරුත් හිනා වෙන්නේ දේවක කියන්නේ බොරු නෙවෙයි කියලා හිතෙන හින්දා.ධනුකිත් අම්මාත් අතර බැඳීම බලන් ඉන්න ආස හිතෙන මව් දියණි බැඳීමක්.ධනුකිගේ දෙවෙනි දරු ප්‍රසූතියට ඇය සූදානම් වෙන හින්දාම අම්මා මේ දවස්වල ධනුකි ආස කෑම හදන්න මඟ බලන බව දේවක දන්නවා.

“අනේ පුතේ, මේ වීක් එන්ඩ් එකේ ගමේ එන්න.හරියට කන්නෙවත් නැතුව ඇති අපේ නෝන මහත්තයා..”

පළමුවැනි ගර්භනී කාලයේ වගේම මේ වතාවෙත් ධනුකිගේ අම්මා ලහිරුට ඇමතුම් දෙන්නේ එහෙම කියමින්.ලහිරුගේ අම්මා සාම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක් නොවී ධනුකිව ආදරෙන් බලා ගත්තත් ලහිරු පුලුවන් හැමවෙලාවකම ධනුකිව ගමේ එක්ක යන්නේ තාත්තාත් මල්ලිත් බලන්නම නෙවේ.අම්මා බලන්න!

“කිචන් එක පැත්තේ හොඳ සුවඳක් නම් එනවා..”

නිමල් හිනා වෙමින් පුතාලට කියද්දී දේවක ලහිරු අතේ හිටිය පුංචි අහස්ව වඩා ගත්තා.

“ඒවා දොළදුක් කෑම.මමයි අපේ චූටි පුතයි හන්දියට ගිහින් අයිස්ක්‍රීම් එකක් අරන් එන්නම්කෝ..”

දේවක පිට වෙලා යද්දී නිමල් ඒ දිහා බලන් හිටියේ ආදරෙන්.ආදරේ පිරුණු පවුලක් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හීනයක්.කිසිම ආදරයක් නැතිව ඔහේ පරවෙලා යන්න තිබුණු තමන්ගෙත් ධනුකිගෙත් ජීවිත ආදරෙන් උතුරලා ගිහින් තියෙන්නේ සුරංගනා කතාවකට සමානව කියලා නිමල්ට නොහිතෙනවා නෙවෙයි.

අවුරුදු විසි නවයකට විතර කලින් දවසක තමන් මුහුණ දුන්නු අප්‍රසන්න සිදුවීම නිමල් දැන් සිහි කරන්නේ උපේක්ෂාවෙන්.

“මං සාලිය එක්ක යනව.ඔහේගෙ ළමයා ඔහේ තියා ගන්නවා..”

එක දවසක් නිමල් ගෙදර ආවේ ගෙවල් පැත්තෙන් ධනුකි අඬන හඬ ඇහෙන බවත් සුනීතාගේ සද්දයක් නැති බවත් අසල්වැසි කාන්තාවක් දීපු ඇමතුමෙන් කියවුණාට පස්සේ.ධනුකි හිටියේ අඬන ගමන්.ලියුම දැකලා අඬනවා ඇරෙන්න විකල්පයක් නිමල්ටත් තිබුණේ නෑ.

අවුරුද්දක්වත් නැති දියණිය ගේ අස්සේ තට්ට තනියම දාලා සුනීතා යන්න ගිහින්.අම්මා කෙනෙක්ට එහෙම කරන්න පුලුවන් ද කියන එක ගැන මොනතරම් හිතුවත් නිමල්ට උත්තර තිබුණේ නෑ.

සුනීතා ගිහින් ඉවරයි!

ඊටපස්සේ ජීවිතේ වාලුකා බිමක් වෙන්න පටන් ගත්තු හැටි නිමල්ට අමතක නෑ.ධනුකි බලාගන්න නිමල්ගේ අම්මා ආවත් පුංචි ධනුකි බලා ගන්න එක පහසු වුණේ නෑ.ධනුකිට ඕන අම්මා කෙනෙක්.අත්තම්මා ගාව අම්මාගේ සුවඳ තිබුණත් ධනුකිට ඕන වුණේ අම්මා කෙනෙක්.

ලෝකයට සුනීතාගේ නික්ම යාම ගැන හංගන්න නිමල් උත්සාහ කළේ නෑ.

“කසාදයක් ඇරුණු ගෑනියෙක් බලලා ආයේ බැන්දනම් හරි පුතේ.ළමයි හම්බෙන්නේ නැති හින්ද දික්කසාද වෙන්න වුණු ගෑනු ඉන්නව.එහෙම කෙනෙක් හොයා ගමු.කුඩම්මෙක් අම්මා වෙන්නේ නෑ..”

අම්මා තිස්සෙම නිමල්ට කිව්වා.නිමල් ඒ කතාව නෑහුණු ගාණට හිටියා.
තමන්ට නැති දෙයකට ආදරේ කරන ගෑනියක් ගැන නිමල්ට විශ්වාසයක් තිබුණේ නෑ.හැමදෙයක්ම ලැබුණු සුනීතාට පවා සතුට පෙනුණේ වෙන තැනක.

“මොන කසාදද අම්මේ..”

නිමල් තිස්සෙම ඒ කතාව මිමිණුවා.ඒ එක්තරා දවසක් එනකම්.කාර්යාලයේ උත්සවයට පුංචි ධනුකිවත් අරන් යන්න තීරණය කරපු දවස එනකම්.

“දෙන්න සර්, දූ මං ගාව හිටියාවේ..”

නිර්මලා කියන්නේ කාර්යාලයට ආපු අලුත්ම සේවිකාව.ගිණුම් අංශයේ කාර්යබහුල කෙට්ටු ගෑනු දැරිවි හොඳ අම්මා කෙනෙක් වෙන්න ඇති කියලා නිමල්ට හිතුණේ නිර්මලාට ධනුකිව හිතවත් කරගන්න ගත වුණු පුංචි වෙලාව හින්දා.උත්සවය ඉවර වෙනකන්ම ධනුකි හිටියේ නිර්මලා එක්ක.කවලා පොවලා පිරිසිදු කරලා දරුවා බලා ගන්න තරම් නිර්මලාට හිත් දුන්නේ ඇයි කියලා නිමල් හිතන්න ගත්තා.

“දූගේ අම්මා සර් එක්ක නෑ කියලා මට කමනි කිව්වා.අපේ අම්මා නැති වුණෙත් මට ඔය වයසෙන් වගේ සර්.අම්මා කෙනෙක්ගෙ ආදරේ කියන්නේ දරුවෙක්ට දවසකට හරි ලැබෙන්න ඕන දෙයක්..”

ඊට දවස් කීපෙකට පස්සේ නිර්මලා නිමල්ට එහෙම කිව්වා.

දූට සෙල්ලම් බඩු, දූට ගවුම්, දුවට හදපු කිරි රහ කෑම නිර්මලා ගෙනත් දෙනකොට නිර්මලාගෙන් අහන්න තවත් ප්‍රශ්නයක් ඉතුරු බව නිමල්ට හිතෙන්න ගත්තා.ඒත් ඒ ප්‍රශ්නය ගැන නිමල්ගේ අම්මා බොහොම කලබල වුණා.

“ඔය උඹව දැපනෙ දාගන්න ළමයට කිට්ටු වුණු අම්මන්ඩියක්.අවුරුදු තිහක්වත් නැති එකියකට පුලුවන්ද වෙන ගෑනියෙක්ගෙ ළමයට අම්මා වෙන්න.ඇවිල්ලා මාසයක් යනකොට දොළදුක හදා ගනී.කෙල්ල මේ ගෙදරිනුත් එළියට විසි වෙයි..”

අම්මාට එකඟ නොවී ඉන්න තරමට බැරූරුම් තීරණයක් ගන්න හැකිවීම ගැන නිමල් අදටත් සන්තෝස වෙනවා.නිර්මලාව විවාහ කරගන්න ඔහු හිතුවේ ධනුකිට ආදරේ කරයි කියන විශ්වාසයෙන් තමයි.ඒත් ඒ ආදරේ වෙනස් වෙන්න පුලුවන් බවත් ඔහු නොදැන හිටියා නෙවෙයි.

“මං දූ එක්ක ගෙදර නවතින්නම්..”

නිර්මලා විවාහයෙන් පස්සේ තීරණය කළා.කසාදය කසායක් කරගෙන හිටිය සුනීතා අතින් පාට නොවුණු ගෙදර නිර්මලා අතින් පාට වෙන්න ගත්තේ ඉන්පස්සේ. ධනුකි හිනාමලක් වගේ පිපෙමින් හිටියා.අම්මා අතටම හුරු පුංචි කෙල්ල රෑටවත් ටිකක් තුරුලට ගන්න නිමල්ට ලොකු යුද්ධයක් කරන්න සිද්ධ වුණා.

“මේ ආත්ම ගාණකදි මගෙ දුව වෙන්න ඇති නිමල්.මේ ආත්මෙත් එයාව මට දීලා සුනීතා යන්න ඇත්තේ ඒකයි..”

නිර්මලා නිතරම කිව්වේ එහෙම.ඒත් නිර්මලා ගැබිණියක් වුණාම ඒ කතාව වෙනස් වෙයි කියල නිමල්ගේ අම්මා නිතරම කියන්න පටන් ගත්තා.

“තමන්ගෙ ලෙයින් දරුවෙක් බිහි කරාම පිට ගෑනු වදපු ළමයි වටින් නෑ ගෑනුන්ට..”

නැන්දම්මාගේ කතාව බොරු කරමින් නිර්මලා තමන්ගෙ ගර්භනී කාලය පුරාවත් ධනුකි දරාගෙන හිටියා.

“අම්මට කරදර කරන්න එපා පුතේ..”

නිමල් එහෙම කියනකොට නිර්මලා කරන්නෙ නිමල්ට රවන එක.

“මගෙ දරුවා මට වැඩි නෑ..එයා මට කරදර කරන් නෑ..”

කුළුදුල් ගර්භනී මව තමන්ගේ හදවතෙන් උපන් දරුවා දරාගත්තේ එහෙම.පුතෙක් උපන්නාට පස්සේ නිමල්ගේ දූ අහකට විසි වෙයි කියලා ආයේම නිමල්ගේ අම්මා හිතන්න ගත්තා.

“මගෙ රත්තරං දූ අම්මා නැතුව පාලුවෙන්ද හිටියෙ.ඔන්න මම ඔයාට මල්ලියෙක් ගෙනාවා..”

රෝහලෙන් ගෙදර ආපු ගමන් නිර්මලා එහෙම කියාගෙන ධනුකිව වැලඳ ගනිද්දී තමන් වැරදී කියලා නිමල්ගේ අම්මාටත් හිතෙන්න ඇති.

නිර්මලා දේවකට කිරි පොවලා තොටිල්ලෙන් තියලා ධනුකිව තුරුළු කරගෙන නිදා ගත්තා.ඒ ආදරේ අවුරුදු විසි හතක් පුරා තාමත් එහෙම වීම සොබාදහම දුන්නු සුන්දරම තෑග්ගක් කියලයි නිමල්ට හිතෙන්නෙ.

“මං ඉතිං අරන් හදාගත්තු කොල්ලනෙ..”

දේවක නෝක්කාඩු කියනවා.

“ඔයා ඉතින් තාත්තගෙ කපාපු පලුවනෙ..අක්කා තමයි මං වගේ ඉන්නෙ.”

නිර්මලා එහෙම කියලා හිනාවෙනවා.සුනීතාගේ රූපය සහමුලින්ම අයිති කරගෙන ඉන්න ධනුකි නිර්මලාගේ හොඳ ගතිගුණ දරාගෙන ඉන්න එක ගැනයි නිමල් සතුටු වෙන්නේ.ඒත් නිර්මලා කැමති “දුව නිර්මලා වගේ”කියලා අහගන්න.

“ධනූගේ ඩිලිවරි එක කිට්ටු කරලා මං අම්මව එක්කන් ගියාට කමක් නැද්ද තාත්තේ?”

ලහිරුගේ ප්‍රශ්නය නිමල්ව ආයේ වර්තමානයට අරන් ආවා.

“අපේ අම්මා හිටියට ධනූගෙ හිතට හොඳ මෙහෙ අම්මා ඉන්නකොට.එයා කොහොමත් තාම පෙකණිවැල කපලා නැති දූ පොඩ්ඩනෙ..”

ලහිරු හිනාවෙමින් කියන කතාව නිමල් අහගෙන හිටියේ හිනාවෙමින්.සුනීතාගේ නම් ගම් පවා අහකට විසි කරලා නිර්මලාගේ නම තියන උප්පැන්නයක් ධනුකිට හදලා දෙන්න නිමල් ක්‍රියා කරලා සෑහෙන කාලයක්.මේ තමන්ගේ අම්මා නොවන බව ධනුකි දන්නේ නෑ.ඒ රහස එළි විය යුත්තක් කියලා නිමල් හිතන්නෙත් නෑ.ඉතින් පෙකණිවැලේ බැම්ම ගැන කවදාවත් නොකියන්න නිමල් පරිස්සම්.

දරුවන් අත් හැර දමන සුනීතා වගේ ගැහැනු ගැන ඕනෑවටත් වඩා උත්කර්ෂයට නගන ලෝකයේ නිර්මලා වගේ අම්මලා ආදරේ කරන්නේ රහසින් බව නිමල් දන්නවා.තමන්ගේ ආදරේ ඇත්තටම ඇත්ත කතාව කියලා තමන්ගේ දරුවා රිද්දන්න එහෙම අම්මලා කැමති නෑ.

“අම්මට මල්ලියි මායි දෙන්නම නෝමල් ලැබුණට කමක් නෑ.මං නම් මේ පාරත් සිසේරියන්..”

ධනුකි එහෙම කියද්දී නිර්මලා ඇස් උස්සලා නිමල් එක්ක හිනා වෙනවා.

“කොහොම ලැබුණත් දරුවන්ව පපුවට අලවා ගන්න පුතේ.අම්මා වගේම..”

නිමල් එහෙම කිව්වේ නිර්මලා දිහා ආදරයෙන් බලන ගමන්.හදවතෙන් වැදූ, ස්වභාවිකව වැදූ,සැත්කමකින් වැදූ හැම දරුවෙක්ටම ඕනෑ තමන්ව පපුවේ අලවා ගන්න අම්මා කෙනෙක්.

ලෝකයේ ඉන්න හැම දරුවෙකුටම ධනුකිට වගේ ඒ වාසනාව ලැබෙන්න ඕනෑ.නිමල් හිතුවේ සැනසීමෙන්.

More Stories

Don't Miss


Latest Articles