fbpx

සුළි සුළඟක සුසුමක් – 02 වන කොටස

හැන්දෑ වරුව ම හොඳට නිදා ගත් නිසා රාත්‍රියේ මට නිදි මතක් වූයේ ම නැත. මම ටික වෙලාවක් කාමරයේ ගුවන් විදුලි යන්ත්‍රය හෙමිහිට ක්‍රියාත්මක කර ගෙන අපේ නාලිකාවේ විකාශය වෙමින් තිබූ ගීත කිහිපයක් ශ්‍රවණය කළෙමි. එය ඇති වූ තැන පාවුලෝ කොයියෝ ගේ ‘ඉලෙවන් මිනිට්ස්’ ගෙන පිටු කිහිපයක් කියවා ගෙන ගියෙමි. ඒ අතර තුර, එහා ඉමෙන් ඇසුන බජව්ව නතර වූ එක ගැන සිහිපත් ව මට තනි ව සිනහ ගියේ ය.

“පව් අප්ප කොල්ලො ටික. නේද ලූනා…”

තවමත් දිව එළියට දා ගෙන කල්පනා කරන ලූනා දෙස බලා මම කීවෙමි. ඇය වහා නැගිට විත් හිස මගේ උකුලෙහි හොවා ගත්තා ය. ඒ වෙලාවට මා ඇගේ හිස පිරිමැදිය යුතු ය. පිට සම්බාහනය කළ යුතු ය. බෙල්ල කැසිය යුතු ය. නතර කරන්නට ඉඩ නොදී ලූනා මගේ අත සිය දත් වලින් හෙමිහිට අල්ලයි. නමුත් මට නො රිදවන්නට ඇය වග බලා ගන්නා බව මම අත්දැකීමෙන් දනිමි.

“අනේ ලූනා මෙහෙම දැවටි දැවටි හුරතල් වෙන්න හදන්න එපා. බල්ලෙක් වුණත් බැඳීමක් ඇති වෙනව කියන්නෙ බැඳීමක් ම තමයි. මෙහෙම ළඟින් ඉඳල අපි දෙන්නගෙං එක්කෙනෙක්ට එක්කෙනෙක් නැති වෙලා ගියොත් එහෙම…ඒක දරා ගන්න හරි අමාරුයි ලූනා”

මම ඇගේ හිස පිරිමදිමින් ම මුමුණන්නට වූයෙමි. ඇය තව තවත් හරි බරි ගැහෙමින් මගේ උකුලට බර වූවා ය.

පාන්දර යාමයේ නිදි මතක් එන තුරු ම මම එක එක දේවල් කරමින් කාලය ගත කළෙමි. ලූනා ද නො නිදා සිටියා ය. අප යළි අවදි වූයේ හොඳට ම දවල් වූ පසු ය.

“දවල් වෙලා ලූනා”

මම බරාඳයට පිවිසියෙමි. පෙර දා දවසේ ම පැවති වැස්ස තුරල් වී තිබිණි. ලා හිරු එළියක් ද තණ පලස මත ට වැටී ගෙන ය. ඊයේ දවසේ ම තෙත බරිත වී තිබූ මල් පෙති යන්තම් දිග හැරෙමින් ද සිනහ වෙමින් ද තිබිණි.

“මිදුලට බහින්න කලියෙං කාල ඉන්න සුදු බබා”

මා මිදුලට බට හොත් දවල් කෑමටවත් ගෙට නො එන බව දන්නා නීලා කල් ඇතිව ම කීවා ය. මම ලූනා සමගින් ම කෑම මේසයට ගොස් මුලින් ලූනා ගේ පංගුව බෙදා දුන්නෙමි.

“අපිනං බල්ලන්ට පූසන්ට කන්න දෙන්නෙ අන්තිමට. ඉතුරු බිතුරු එහෙම එකතු කරල…”

නීලා කියවූවා ය. මම කිසිත් නො කියා සිටියෙමි.

“සුදු බබා ආවට පස්සෙ වත්තට කුරුල්ලොයි ලේනොයි එනවත් වැඩියි. ඇයි ඉතිං හැම තිස්සෙම කෑම දානවනෙ”

“සත්තුන්ට කෑම ටිකක් දුන්නට පව් සිද්ද වෙන්නෙ නෑ නීලා”

“ඒ වුණාට එතකොට ඔය කුරුල්ලො ලේනො එහෙම යමක් හොයා ගෙන ඇහිඳ ගෙන කන්න පුරුදු නැති වෙනව. මේකම බලං ඉන්නවනෙ. සුදු බබා ටික දවසක් මෙහෙ ඉඳල ගියාට පස්සෙ…උං බඩගින්නෙ”

“මං ගියත් ඉතිං නීලා ඉන්නෙ”

“අනේ මේ.. මට මේ බංගලාවෙ වැඩත් එක්ක ඔය විකාර මතක් වෙන්නෙ නෑ සුදු බබා. ලොකු මහත්තය අපි දෙන්නට මේ බංගලාවෙ යතුරු බාර දීල ගියේ තමුංගෙ ගේ වගේ බලාගෙන ඉන්න කියලයි. ඔය කැලෑ සත්තුන්ගෙ රාජකාරී කරනවට වඩා රාජකාරියක් මගෙ ඔළුව උඩ තියෙනව”

නීලා ගේ දොර බලා ගන්නේ දේව කාරියක් සේ සලකා ගෙන බව මම දැන් හොඳට ම දනිමි. අප්පච්චි ඇය හා ඇගේ සැමියා වන වර්ණදාස ව මෙහි නවතා, ගේ දොර බලා ගෙන හිඳීම වෙනුවෙන් වැටුපක් ද මාසිකව ඔවුන් ගේ ගිනුමට බැර කරන්නට සලස්වා තිබේ. අප්පච්චි මිය ගිය ද ඒ සියල්ල තවමත් අකුරට ම සිදු වන්නේ ය. ඉන්න හිටින්නට තැනක් නැති ව සිටි වර්ණදාස ලා හිතේ සතුටෙන් හා වගකීම් ඉටු කරමින් වසර ගණනාවක් තිස්සේ මෙහි වසති.

දවල් වී උදේ කෑම ගැනීමෙන් පස්සේ මමත් ලූනා ත් මිදුලට බැස්සෙමු. ස්වභාවික කළු ගල් පතුරු අල්ලා සකස් කළ, ගෙදර සිට පිවිසුම් දොරටුව තෙක් වන මාර්ගය දෙපස ඩේසි, වින්කා, ග්‍රවුන්ඩ් ඕකීඩ්, පීස් ලිලී හා ඩැෆඩිල් වැනි වර්ණවත් මල් පිපෙන නො උස් පඳුරු වලින් ගැවසී ගෙන ය. හිරු එළියත් එක්ක නැලවෙන්නට රිසි එමල්, පහුගිය දින වල වට වැහි නිසා තෙත් බර ව බිමට බර වී ගෙන තිබිණි. ඊට මඳක් ඔබ්බෙන් ගඟ වැරැල්ල හා දුරන්ත පඳුරු පෙළට සිටුවා තාප්පාකාරයෙන් කැපූ වැටියකි. ඉඩම වටේට වන්නේ සුදු පාට ආලේප කොට ඇති, ලී පටි ආකාරයෙන් පෙනෙනා කොංක්‍රීට් වැටකි. පාර පැත්තෙන් ඒ වැට දිගට පරතරයක් ඇති ව සිටවූ ක්‍රිස්ටිනා පෙළකි. කේතු ආකාරයෙන් කපා වර්ණදාස විසින් මැනවින් නඩත්තු කරනු ලබන ක්‍රිස්ටිනා කේතු, රතු පාට දලු නගා ගෙන දීප්තිමත් ව බැබලේ.

තණ පලස මැද්දෙන් වන සිල්පර කොට ඇල්ලූ අඩි පාර දිගේ ගොස් තුරු ගොමුවට වදින්නට මට ඕනා විය. එහි සුදු හඳුන්, රත් හඳුන්, කළුවර වැනි දුර්ලභ හා වටිනා වෘක්ෂ වර්ග ද විවිධාකාර ඖෂධීය හා ආර්ථික වටිනාකමකින් යුත් ශාක වර්ග ද දකිත හැක. අප්පච්චි සිය පරම්පරාවේ උරුමය වූ මේ ඉඩම විකුණා දමන්නට කිසි දා සිතුවේ නැත. අයියා සේ ම අක්කා ද මේ ගෙය හා ඉඩම ප්‍රතික්ෂේප කරමින් කොළඹින් ගෙවල් ඉල්ලූ නිසා අප්පච්චි ඒ ඉල්ලීම් ඉටු කළේ ය.

“ඔය කැලෑ ඉඩම දවසක අයිති වෙන්නෙ උත්තරාට තමයි”

අප්පච්චි ඉන්නා දවස් වල එහෙම කියමින් සිනාසුණේ මා අවුස්සා තබන්නට ය. මා වන් කෙල්ලක කිසි දා රත්නපුරය වාස භවනය කර ගෙන කොළඹ අතැර නො එන බව ඔහු ඉඳුරා විශ්වාස කළේ ය.

“මටනං ඔය මොනාත් ඕන නෑ අප්පච්චි. ඇඳුන් ටිකයි පොත් ටිකයි තියා ගන්න කොහෙං හරි පොඩි කාමරයක් තිබුණහම ඇති”

මම අනන්තවත් එසේ කියා ඇත්තෙමි. අයියා සේ ම අක්කා ද අප්පච්චි ගේ ව්‍යාපාර ගැන ඇස ගසා ගෙන සිටියහ. ඔහු මිය යාමෙන් අනතුරුව ඒවායේ පාලනය අතට ගන්නට ඔවුන් උත්සාහ කළ ද අම්මා ඊට ඉඩ දුන්නේ නැත.

“ඔය දෙන්නටම දෙන්න ඕන දේවල් දීලයි තියෙන්නෙ. නංගිට තාම මොනවත්ම දීල නෑ. බිස්නස් ටික දැනට මං හැන්ඩ්ල් කරන්නං”

අම්මා මැදිහත් වූයේ එසේ ය. නමුත් අපේ ගෙදර ම පදිංචි වී සිටින අයියා සියුම් ලෙස අම්මා අතින් සියල්ල ඔහු අතට ගන්නා බව මම දනිමි. ඒ ගැන මසිත් හි කිසිදු තෘෂ්ණාවක් නැත්තේ ය. වසර ගණනාවක් රැකියාව කළ එෆ් එම් නාලිකාවෙන් පවා කිසිදු ලෝභී හැඟීමකින් තොර ව ඉවත් වූ එකේ, අප්පච්චි ගේ ව්‍යාපාර ගැන මට කවර උනන්දුවක් ද?

මා තුරු ගොමුව දෙසට යන්නට උත්සාහ කළ ද ලූනා ගේට්ටුව දෙසට යමින් සිටියේ ය. මඳක් ගොස් නතර වී, මා නො එන බව දැන ඕ බුරන්නට වූවා ය.

“අනේ..ඔයා පාරෙ යන්නද හදන්නෙ…”

මඳක් මවෙත ට ආ ඕ නැවතත් පාර දෙසට ගියේ මට එන්නයි බල කරමින් සේ ය. ඒ අනුව පාර දෙසට ඇවිද යන්නට මට සිදු විය.

‘හයිලන්ඩ් ගෙස්ට්’ හි පිවිසුම් දොරටුව අසන බැම්මක් මත වාඩි වී කොලු රෑනක් සල්ලාපයේ සිටියහ. මා තුළ දෙගිඩියාවක් ඇති නොවූවා ම නොවේ. පෙර දා රාත්‍රියේ වූ සිදුවීම මත ඔවුන් ගේ ප්‍රතිචාරය කෙබඳු වේවි දැයි කෙසේ සිතන්න ද?

“ඒයි අන්න සුදු බබා”

එක් කොල්ලෙක් කෑ ගසනු ඇසුණේ ය. මම පාරේ අනිත් පැත්ත බලා ගතිමි. නමුත් මා පසු කොට ලූනා දිව ගියේ ඔවුන් වෙතට ය. කොල්ලන් සමීපයේ සිටි බල්ලෙක් පාරට පැන ලූනා සමගින් පෙම්වත් වන්නට වූයේ ය.

“ලූනා…එන්න…”

මම ඔවුන් දෙස නො බලා ම කොඳුළෙමි. නමුත් ඇය මගේ වචනය තඹයකට මායිම් නො කොට ඒ ජර්මන් ශෙපර්ඩ් බලු තඩියා සමගින් පෙම් කෙළින්නට වූයේ ය.

“ලූනා යමු. කමෝන්…ලෙට්ස් ගෝ”

ලූනා ට මේ මොහොතේ මට වඩා වැදගත් වූයේ අර නාඳුනන සුනඛයාව ය. ඊයේ රාත්‍රියේ මගෙන් බැනුම් ඇසූ කොල්ලන් දෙස මා බැලුවා නොවේ. නමුත් ඔවුන් ගේ ඇස් සමච්චලයෙන් දැල්වී ඇති සැටි මැවි මැවී පෙනෙන්නට විය.

“අපිට සද්ද දැම්මට එයාගෙ බල්ලවත් එයා කියන දේ අහන්නෑ වගේ”

කොල්ලෙක් කීවේ ය. මට හිතුණේ එතැන පොළොව පළා ගෙන හැංගෙන්නට ය.  දම්වැල හෝ දමන්නේ නැති ව ලූනා ව පාරට ගෙනා මෝඩ කමකැයි මම පසු තැවුණෙමි. ඇය බලයෙන් ම වගේ පාරට එන්නට ඇත්තේ මේ බල්ලා ගැන ඉව වැටී යයි මට කල්පනා වූයේ ත් ඒ වෙලාවේ ය.

“පව් පව් එහෙම කියන්න එපා. අර..සුදු බබාට ඇඬෙන්න වගේ”

ඊයේ රාත්‍රියේ ආවේශ වූ යක්ෂයා නැවතත් මගේ ඔළුවට අරක් ගන්නට හැදුවා සේ ය. මම මාව පාලනය කර ගනිමින් ම නැවතත් ලූනා කැඳවීමි.

“ලූනා. යමු. නැත්තං මං යනව හොඳේ. කෝ එන්න”

ඇගේ ලෙදර් කර පටියෙන් අල්ලා මම ඇයව මා වෙතට ඇද්දෙමි. නමුත් ලූනා මා නොතකා කළු සුදු වර්ණ සංකලනයක් වූ සුනඛ අමුත්තා වෙතට ම ඇදුණේ ය.

“අද ඔයාට මෙයාව ගෙනියන්න වෙන්නෑ”

කියාගෙන එක තරුණයෙක් කණ්ඩිය මතින් පැන්නේ ය. ඔහු කතා කරන්නේ හරියට මාව දන්නා කියන කෙනෙක් වාගේ ය කියා මට සිතිණ.

“බුලී. එයාට යන්න දෙමු නේ දැන්..අපි හවසට ලූනා එක්ක සෙල්ලං කරමු හොඳේ”

ඔහු බුලී ලෙස හැඳින්වුණ ඔවුන් ගේ සුරතලා ගේ කර පටියෙන් අල්ලා ගනිමින් ඔහු ව පිරිමැද සුරතල් කළේ ය.

“කෝ ඉතිං ලූනාට බායි කියන්න. බායි ලූනා”

ඔහු බුලී ගේ අතක් ගෙන ලූනා දෙසට වනමින් බායි කීවේ ය. මගේ මුවග සිනහවක් නලියෑවත් මම එය පෙන්වන්නට නො ගියෙමි.

“සුදු බබාට බැරිනං ලූනා ඔයාවත් බායි කියල යන්න අනේ”

ඔහු ගේ කටකාර සගයෙකු කට දැම්මේ ය. මම ලූනා ගේ කර පටිය අල්ලා ගෙන, දෙකට නැවී ගෙන වාගේ ඇය ඇද ගෙන අපේ වත්තට ගියෙමි.

“හම්මෝ ලූනා ඔයත් කරන වැඩ”

ඈ මදෙස බැලුවේ අමනාපයෙන් මෙනි. ඇගේ අලුත් මිතුරා සමගින් ටිකක් සෙල්ලම් කරන්නට නො දුන් නෝක්කාඩුව ඇය කෙරේ වන්නට ඇත.

“හරි හරි. ලීශ් එක දාගෙන යමුකො හවසට. ඔච්චර සෙල්ලං කරන්න ඕනනං. මෙයාට එයාව දැක්කත් හරි මාව මතකත් නෑනෙ”

වදයෙන් පොරයෙන් ලූනා ව ගෙදර ගෙන විත්, තුරු ගොමුව අතරේ මගේ දිවා කල ගෙවිණ. කෙතරම් තදින් හිරු පෑයූවත් එතැන හරි හෙවන ය. සිහිලැල් ය. තෙතමනය ගැවසෙන නිසා දීප්තිමත් පාසි වර්ග බැඳී තිබෙන්නේ ය. තුරු මුදුන් වල සිට පහතට එල්ලා හැලෙන ගොල්ඩන් පොතෝස් වැල් ද  රසකිඳ වැල් වල මුල් ද නිසා ඒ තුරු ගොමුවට කිසියම් ගුප්ත බවක් ආරූඩ වී ඇතැයි මට සිතේ.

දිවා ආහාරයෙන් පස්සේ නැවතත් අහස අඳුරු වී ගෙන ආවේ ය. මම වැරැන්ඩා පුටුවේ ගුලි වී තණ පලස දෙස බලා ගෙන බලා ගෙන සිටියෙමි. පරවි රෑනක් විත් බිම වසා ඇවිදිමින් ද ඇහිඳ කමින් ද සිටියේ ය.

මා අස බිම වැතිර උන් ලූනා එක්වන නැගිට හැල්මේ දිව යන්නට පටන් ගත්තා ය. මම පුටුව මත තබා ගෙන උන් දෙපා බිම තබමින් නැගිට්ටෙමි. බුලී අපේ ගෙදරට එන පාර දිගේ දිව එමින් සිටියේ ය. ලූනා ඒ පැත්තට දිව යන්නට වූවා ය. අතර මග දී උනුන් හමු වූ යුවළ, උන් ගේ පිටවල් මත නගිමින් ද පසු පස ගාත් වලින් සිට ගෙන දෙඅත් වලින් ඔවුන් වැළඳ ගනිමින් ද ජයග්‍රහණය භුක්ති විඳින්නට වූහ. සිය හාම්පුතුන් විසින් වෙන් කරන්නට යෙදුවේ වී ද කෙසේ හෝ නැවත ඔවුන් හමු වුණා යන සතුට, ඒ කෙඳිරිලි වල තිබී මට හැඳින ගත හැකි විය. මම හෙමි හෙමිහිට ඒ දෙසට ඇවිද යන්නට වූයෙමි. ගේට්ටුව පැත්තේ සිට පාර දිගේ දිව එන තරුණයෙකු මගේ නෙත ගැටුණේ එසේ මා ඇවිද යන්නට පටන් ගත්තා ට පසු ය. කලින් දුටුවේ වී නම් මා එදෙසට යන්න හිතන්නේ නැත.

ඒ උදේ, මට සරදම් කළ තරුණයන් අතරේ සිට තරමක් හෝ හොඳින් කතා කළ තැනැත්තා බව මට හැඳින ගත හැකි විය.

“එළියට ගිහිං එන්න කේජ් එකෙං එළියට දාපු ගමං දුවං ආවනෙ”

ඔහු නැවතී හති දමමින් කීවේ ය.

“ලූනා එහෙනං ටිකක් සෙල්ලං කරල එන්න ඕනේ…”

කියා ගෙන මම ගේ දෙසට එන්නට හැරුණෙමි.

“උත්තරා”

ඒ හඬ මගේ පිටුපසින් නැගෙත්දී මට දැනුණේ කිසිවෙකු මා හොඳට ම දන්නා හඳුනන තැනක සිට මා අමතන්නා සේ ය. මම හැරී බැලුවෙමි. එතැන සිටියේ ඔහු විතර ය. නමුත් ඔහු මගේ නමින් මා අමතන්නේ කෙසේ ද? ඔහු මාව දන්නේ කෙසේ ද?

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x