“මන්දි ඉන්නෙ දුකෙන් ආච්චම්මා..”
මිත්තණියගේ නිවසට ගොඩ වූ හැටියේම ඇඳ බදා ගත් මන්දාරාට එසේ බොහෝ වෙලාවක් ඉන්නට ඉඩ දුන් තේජන පැවසුවේ ළතැවිල්ලේ ය.
“මිනිහෙක්ට ආයේ බඳින්න බැරිකමක් නෑනෙ දරුවෝ..”
සිරිමා බමුණුසිංහ කියන්නේ හැත්තෑපස් වයසැති වියපත් ගැහැනියකට බලන්නට බැරි තරම් විසල් කෝණයකිනි.තේජන ගැස්සී ගියේ ඒ වචන ඇසූ පසුව ය.
“මං ඇත්තටම හිතාගෙන හිටියේ ආච්චම්මා හුඟක් කේන්තියෙන් ඇති කියලා.”
ඔහු ඇත්තම කීවේ ය.
“පුතා, ඔයාගෙ අම්මට පුලුවන් මන්දිව බඳින්න එපා කියන්න.ලංකාට පුලුවන් මෙවන්ගෙ ආදර සම්බන්දයක් නවත්තන්න.ඔයාල මේ තාම කිරිකජු කොල්ලො..ඒත් රහල් කියන්නේ අවුරුදු පනස්පහක මිනිහෙක්.මේ රටේ වැදගත් මනුස්සයෙක්.මං අම්මා උනයි කියල කොස්ස අතට අරන් ඒ මිනිහගෙ තීරණ වළක්වන්න මට බෑ..”
සිරිමා එසේ කියමින් උපැස් යුවල ඔසරි පොටකින් පිස දැම්මා ය.
“ලොකු නැන්දි,බාප්පා එහෙම මොනව කියයිද ආච්චම්මා..”
තේජන අසන්නේ අවසාන තුරුම්පුවක් සොයමිනි.
“යශෝධරාවත් බිම්සරවත් රහල්ගේ තීරණයකට හරස් වෙන් නෑ පුතා.මගෙ දරුවෝ හැමතිස්සෙම පරිස්සං අනිත් කෙනාගෙ පෞද්ගලිකත්වයට අත නොපාන්න..”
සිරිමා, ඈත දිනයක ලංකාවේ උසස්ම බාලිකාවක විදුහල්පතිනිය වී හුන් තේජස් හඬින්ම පවසන්නී ය.රහල් තම විෂය උගන්වන අතර ජීවිතය සම්බන්ධයෙන් පවසන සමහර කාරණාවලදී නිතරම පැවසුවේ ද අනෙකාගේ පෞද්ගලිකත්වයට අත නොගැසීම බව තේජන සිහි කළේ ය.
“ආච්චම්මා,මං ඇත්තටම ඇත්තක් කියන්නං..”
තේජන සිරිමාගේ මුහුණට එබී ගත්තේ ය.ඔහු මේ බොහෝ කාලයක් සිතූ කාරණයකි.
“රහල් සරුත් නිතරම කියන දෙයක් ඕක.අනිත් කෙනාට ප්‍රයිවෙට් ස්පේස් එකක් තියනව කියනෙක.ඒ වගේම සර් හිතන පතන සමහර දේවල් හරි ඉහළයි කියල මං ඉස්සර ඉඳලම හිතනව.ඒව එන්න ඇත්තෙ ආච්චම්මගෙන්.ඒත් ආච්චම්මා මන්දි එහෙම නෑනෙ.එයාට මගෙ ෆේස්බුක් පාස්වර්ඩ් පවා ඕන..ආච්චම්මා දන් නෑ ෆෝන් එක වේටින් උනත් ස්ක්‍රීන් ෂොට් ගහල කෝල් කරපු කෙනා පෙන්නන්න ඕන.දැන් වුණත් ඔය දුකයි කේන්තියයි තියෙන්නෙ සර්ගෙයි හිමංගිගෙයි පර්සනල් ලයිෆ් එක හිතලනෙ ආච්චම්මා.ඒ නැතුව එයාටයි මෙවන්ටයි ඉන්න තිබ්බ ගේ නැති වුණා කියලවත් හිතනව නෙවෙයි ඔය..”
සිරිමා තරුණයාට සවන් දී නිහඬ සිනාවක් නැඟුවා ය.
“ගහේ කටු උල් කරන්න ඕන නෑනෙ පුතා.මෙවන්ට අවුරුදු දහයේ ඉඳන් රහල් හිටියේ වෙනම ගෙදරක.මන්දාරායි මෙවනුයි ඒ ගෙදරට ආවා ගියාට රහල් හිටියෙ ලංකාගෙන් සෙපරේට් වෙලා.රහල්ට ඩිවෝස් එක අරන් ආයේ බඳින්න මතක් වුණේ මෙවන්ට අවුරුදු විස්සක් වුණාම වුණු එක අහකින් තියමු..දැන් අවුරුදු දහයක් තිස්සෙ රහල් ඉන්නෙ ලංකාගෙන් වෙන් වෙලා.ඔන්න ඔය පෞද්ගලිකත්වෙට අත දැමිල්ල තමයි හේතුව..”
අවශ්‍ය කාරණාවක් සම්බන්ධයෙන් වුවද ලංකා මායාදුන්නට ඇමතුමක් දුන් විට ඇය වත්ත හතර මායිමම විමසන කපටි ආකාරය කියමින් අම්මා උදහස් වන අන්දම තේජන සිහි කළේ ය.
“අනේ ඔච්චර කාන්තා විමුක්තිය ගැන නටන ගෑනි..මගෙන් අහනවනෙ ලොකු පුතාලට තාම බබාලා නැත්තෙ ඇයි කියල..”
අම්මා දිනක් අපුලෙන් පැවසූ අන්දම තේජනට සිහිව ඒ.
“කූජනගෙ පෞද්ගලික දේවල් අපිට වැඩක් නෑ කියන්න..”
තාත්තා එපමණක් පවසා අම්මාගේ කෝපය නිවා දැම්මේ ය.මන්දාරා හොඳ දැරියක වූ නමුත් රහල් වැදගත් මිනිසෙකු වූ නමුත් ලංකාගේ ඕපාදූප සෙවීමේ ගතිය තමන් ප්‍රකෝප කරන බව කියමින් අම්මා නිතරම පැමිණිලි කරන අන්දම තේජනගේ සිතිවිලි කැළඹී ය.
“ලංකා ආන්‍ටිගෙ වැරදි නිසාද ආච්චම්මා මේවා මෙහෙම වුණෙ..”
ඔහු අනතුරුව සිරිමාගෙන් විමසී ය.
“මේ ගේ සාගරේ වගේ තිබ්බට පුතා මං රහල්ටවත් යශෝධරාටවත් බිම්සරටවත් කසාදවලින් පස්සෙ මෙහෙ නවතින්න දුන්නෙ නෑ.එයාලට දරුවො ලැබුණමත් මං කිව්වේ උදව් කරන්නං හැබැයි හැමදේම තනියම පුරුදු වෙන්න කියල.පවුලක් කියන්නෙ ඒකට.ඔයාලා මැරි කරනකොට රහල් ගෙයක් හදලා දෙයි.ඒ නොදුන්නත් රෙන්ට් එකට හරි ගෙයක් ගන්න ඕන.පවුලක් හැදෙන්නෙ එහෙම..”
ඒ තේජන විමසූ ප්‍රශ්නයට පිළිතුර නොවේ.ඔහු තවදුරටත් පිළිතුර දිගු වන තුරු බලා සිටියේ ය.
“ඒ පවුල් තුනම එහෙම වෙනම හිටියා.බිම්සරගෙ ඕස්ට්‍රේලියන් වයිෆ් මොනතරම් හොඳද..යශෝධරාගෙ නුවර මහත්තයා එයාට මොනතරම් ආදරේද රහල්ට ලංකාව එපා වුණේ ඇයි ඔය සේරම මම දන්නෙ එයාලා කියන කාරණා දිහා මං දුරින් ඉඳලා ගත්තු තීන්දු තීරණවලින්.මං කවදාවත් ඒ පවුල් අස්සෙ රිංගන්න උත්සාහ කරේ නෑ.ලංකා හරිද රහල් ලංකාට ඕන විදියට හැඩ නොගැහුණාද මං දන් නෑ.කොහොම වුණත් මන්දිට තියෙන්නෙ ලංකාගෙ ගතිගුණ. හැබැයි අපේ යශෝධරාගෙ තියන හොඳ හිතත් නොසෑහෙන්න ඇවිල්ල තියනවා..”
සිරිමා වැනි සන්සුන් ගැහැනියක ඇසුරේ ගෙවී යන පැයක දෙකක කාලය පවා මහ පොතක් කියවන තරමේ වෙලාවකැයි තේජනට හැඟෙයි.ඔහු සිරිමාට වශී වූවාක් මෙන් ඇය කියන සියල්ල අසුලා ගනිමින් සිටියේ ය.
“ලොකු නැන්දිගෙ අක්කලටත් බාලයි හිමංගි.ආච්චම්මා හිතනවද එයාට මේ පවුලෙ ලොකු ලේලි වෙන්න පුලුවන් කියල..”
ඔහු ඇසුවේ අවසාන ප්‍රශ්නය ය.සිරිමා සාන්තදාන්තව හිනැහුණා ය.
“පුතා, ඒක තමයි මං ඔයාට මෙච්චර වෙලා කිව්වෙ.බමුණුසිංහ පරම්පරාවටම ඒ ගෑනු ළමය සෑහෙන්න ඕන නෑ.එයා රහල්ට සෑහුණාම ඇති.නෑකම් නම් ඕන හැටියකට එයාලා කියන්නෙ නැතැයි.නැන්දි කියනවද නංගි කියනවද කියන එක විනූලා තීරණේ කරයි..”
මන්දාරා සැබෑවටම මෙහි පැමිණියේ හිමංගි පිටු දකින්නැයි මිත්තණියගෙන් අයැදීමට බව තේජන දැන සිටියේ ය.ලෝකය දෙස වඩා පුළුල්ව බලන්නට පුරුදු සිරිමා එය කෙසේවත් කරන්නේ නැත.ඔහුට තම පෙම්වතිය ගැන ඇති වූයේ දුකකි.ඇයට මේ ලෝකයෙන් ඉතිරිව හිඳින්නේ තමන් පමණකැයි ඔහු කල්පනා කළේ ය.මෙවන් කියන්නේ රහල්ගේ කපාපු පළුවකට ය.රහල් විවාහ උත්සවයක් ගන්නේ නම් චාල්ස් කුමාරයාගේ විවාහයේ දෙවැනි මනමාලයන් වූ හැරී සහ විලියම් මෙන්ම මලක් කමිස සාක්කුවේ ගසාගෙන දෙවැනි මනමාලයාට ඇඳ ගැනීම මෙවන්ට පහසු ය.ඔහු තාත්තා සහ නව බිරිඳ මධු සමයට පවා ඇරලවා පැමිණෙන බව තේජනට සහතික ය.ලංකා සහ මන්දාරා වාසය කරන නිවසට ඉඳහිටක ගොඩ වී තාත්තා ඇසුරේම හිඳින මෙවන් හිමංගි පිටු නොදකින බව මන්දාරාට ද විශ්වාස ය.
“ජයන්ති කෝල් කරා.අලුත් මනමාලි ගෙදර පදිංචියට ඇවිල්ලා..”
මන්දාරා සාලයට කඩා වැදුණේ කුණාටුවක පරිද්දෙනි.ඇගේ කම්මුල් මත අලුත් කඳුලු ගලා යමින් තිබිණ.
“ඒ රහල්ගෙ වයිෆ් පුතා.ඒ ගෑනි ඉන්න ඕන රහල්ගෙ ගෙදර.”
සිරිමා පැවසුවේ මහ කන්දක් තරමේ සන්සුන්ව ය.නමුත් මන්දාරාගේ ඉකිය මහා හැඬුමකට පරිවර්තනය විණ.
“ආච්චම්මගෙ මනුස්සකං මට වැඩක් නෑ.මට දැන් මේ ලෝකෙ කවුරුත් නෑ..”
ඇය හඬන්නේ විලාප ගසමිනි.මන්දාරාට ලංකා සමඟ ද කුමක් හෝ තරහක් ඇති බව වසර කිහිපයක් තිස්සේ තේජනට නොවැටහුණා නොවේ.නමුත් ඇය එය හෙළි කිරීමට දැක්වූ අකමැත්ත නිසා තේජන එය ලුහුබැඳ තිබුණේම නැත.
පැටළුණු නූල් බෝලය ලිහා නොගන්නා තෙක් තමන්ද මකුළු දැලකට අසු වූ කෘමියෙකු පරිද්දෙන් අසරණ වන බව තේජන සිතුවේ ය.