බඳුන් පිරිසිදුකරන්න ගිහින් වද විඳින්න එපා

ගෙදර දොරේ විවිධ කාර්යයන් සඳහා විවිධ භාණ්‌ඩ සහ උපකරණ භාවිත කරනන්න අපි කාටත් අවශ්‍ය වෙනවා. මේ භාණ්‌ඩවල කල්පැවැත්ම, පෙනුම එක දිගට ම එකම මට්ටමින් තියාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒවා නිසියාකාරව නඩත්තු කළේ නැත්නම් ඉතාම ඉක්මණින් අව පැහැයට ලක් වෙනවා. අපිරිසිදු තත්වයට පත් වෙනවා. එක් එක් උපකරණ පිරිසිදු කරන ක්‍රම එකින් එකට වෙනස්.

සමහර උපකරණ දිනපතා පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. තවත් කොටසක්‌ සතිපතා පිරිසිදු කිරීම ප්‍රමාණවත්. තවත් සමහර උපකරණ මාසයකට වරක් හෝ මාස දෙක තුනකට වරක්‌ පිරිසිදු කළ යුතුමයි.

අපට දිනපතා ආහාර පිසීම, පිළියෙල කිරීම, සංග්‍රහ කිරීම ආදියට භාවිත කරන්නට සිදුවන භාණ්‌ඩ දිනපතා පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි.

නිරන්තරව අපිරිසිදු නොවන නමුත් භාවිතයට ගන්නා බේසම්, බාල්දි, පිත්තල බඳුන්, වීදුරු බඳුන් ආදීය සතිපතා පිරිසිදු කරන්න සිදුවෙනවා.ඒ වගේ ම විසිතුරු බඳුන්, මල් බඳුන් ආදී අලංකාරයට තබන බඳුන් මාසයකට හෝ දෙකකට වරක් බැගින් පිරිසිදු කළ යුතුයි.

භාණ්ඩ පිරිසිදු කිරීම්වල දී ඔබ එම භාණ්‌ඩය හොඳින් හඳුනාගත යුතුයි. ඒ කියන්නේ, එය සාදා තිබෙන ද්‍රව්‍ය හඳුනාගෙන ඒ අනුව පිරිසිදු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තෝරාගත යුතුයි.

  • ඇළුමිනියම් බඳුන්

සබන් හෝ සබන් කුඩු යොදා පිරිසිදු කළ හැකියි. තෙල් සහිත නම් උණු වතුර භාවිත කළ හැකියි. මෙම බඳුන් දුර්වර්ණ වී ඇත්නම් අර්තාපල් ලෙලි හෝ තක්‌කාලි ලෙලි සමඟ වතුර දමා තම්බාගන්න. ඇතිල්ලීමේදී කොහු බුරුසුවක්‌ භාවිත කළ හැකියි.

  • ඉනමල් බඳුන්

සබන් යොදා ස්‌පොන්ඡ් කැබැල්ලකින් අතුල්ලන්න. වඩාත් අපිරිසිදු වී ඇති විටෙක සබන් කුඩු යොදා ප්ලාස්‌ටික්‌ වූල්වලින් අතුල්ලා සෝදන්න.

  • වීදුරු භාණ්‌ඩ

සබන් කුඩු හෝ සබන් යොදා සෝදාගත හැකියි. පැල්ලම් ඇති විට හබරල පිතිවලින් මැදගන්න. රටහුණු කුඩු අතුල්ලා මැදීමෙන් ද පැල්ලම් ඉවත් වේ. විනාකිරි මිශ්‍ර ජලයෙන් අතුල්ලා සෝදා ගන්න. එයින් වීදුරු ඔප වැටේ.

  • පිත්තල භාණ්‌ඩ

සිහින්ව කුඩු කර හලාගත් ගඩොල් කුඩු, දෙහි හෝ බිලිං සමඟ ඇතිල්ලීමෙන් පිරිසිදු කරගත හැකියි. අලංකාරය සඳහා භාවිත කරන පිත්තල භාණ්‌ඩ මෙසේ පිරිසිදු කර ඔප දමන ද්‍රව්‍යයක්‌ තැවරූ රෙදි කඩකින් අතුල්ලා ඔප දමන්න.

  • ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ

සබන් මිශ්‍ර උණු දියේ සෝදන්න. තෙල් සහිත නම් උණු වතුර භාවිත කරන්න. ආහාර රොස්‌ වූ මැටි භාජන පිරිසිදු කිරීමට, දෙහි ලෙලි දමා තම්බාගෙන පසුව සෝදන්න. සේදූ පසු හොඳින් වේලාගෙන නැවත පාවිච්චියට ගන්න.

  • ලී භාණ්‌ඩ

එළවළු කපන ලෑලි, මේස දරණු, හැඳි වැනි ලී උපකරණ දිනපතා සබන් මිශ්‍ර වතුරින් අතුල්ලා සෝදන්න. වඩාත් අපිරිසිදු හෝ පැල්ලම් ගැසී ඇත්නම් දෙවුම් සෝඩා දමා කොහු බුරුසුවකින් අතුල්ලා සෝදන්න. විනාකිරිවලින් පොඟවාගත් රෙදි කැබැල්ලකින් ඇතිල්ලීමෙන් ද පැල්ලම් ඉවත් කර ගත හැකියි.

  • ෆයිරෙක්‌ස්‌

ජලයේ පෙඟෙන්න හැර, බේකිං සෝඩා දමා රෙදි කැබැල්ලකින් අතුල්ලා කිහිපවරක්‌ සෝදන්න.

  • රිදී භාණ්‌ඩ

සබන් දමා රෙදි කඩකින් අතුල්ලා උණු වතුරෙන් සෝදාගන්න. පැල්ලම් ගැසී ඇත්නම් හුණු ස්‌වල්පයක්‌ අතුල්ලා සෝදන්න. වෙළඳ පොළේ ඇති ඔප දැමීමට යොදාගන්නා දියර වර්ගයක් මේ සඳහා යොදාගන්න.

– නිරංජලා –

(නවලිය පුවත්ප‍ත ඇසුරින්)

Related Articles

Don't Miss


Latest Articles