මතක දිගහැරුම 23 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසිතුන්වන දිගහැරුම,

විවිධාකාරවූ අත්දැකීම් ලබමින් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ මා , මගේ වැටුපෙන් මගේ ආදරණීය දෙමව්පියන් සහ නංගී වෙනුවෙන් කළ හැකි සියලුම යුතුකම් ඉටු කළෙමි. නිවසට අවශ්‍ය කිරිපිටි පැකැට්ටුවේ සිට සියලුම දෑ සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් සියලු දේවල් ද මා රාජකාරියේ යෙදුණු ගුවන් ගමන් වාරවලදී ගිය විවිධ රටවල්වලින් ගෙන ආවෙමි .මට හැකි අයුරින් ඉතාම සුවපහසු ජීවිතයක් ඔවුන්ට අත්කර දීම මගේ අරමුණ විය.

මහරගම නිවසේ අප පදිංචිව සිටියේ කුලියට ය . අප පාසල් යන කාලයේ අපටම කියා නිවසක් මිලදී ගැනීමට තාත්තාට උවමනා වූ අවස්ථාවේදී ඒ බව ආරංචි වී තාත්තාගේ ලඟම ඥාතීන් දෙපළක් දිනක් අප නිවසට පැමිණියහ. මහරගමින් නිවසක් මිලදී නොගන්නා ලෙසත්, ඔවුන් වෙසෙන රාජගිරිය වෙත පැමිණෙන ලෙසත්, එහි ඔවුන් සතුව ඇති ඉඩමක ණය පියවා එහි නිවසක් තනන ලෙසත් ඔවුන් තාත්තාට පැවසීය .තාත්තා ණය පියවූ පසු එම ඉඩම තාත්තා නමට ලියා දෙන බවත් ඔවුන් ඒ මොහොතේ පැවසූ බව මට මතකය. කිසිදු ලියවිල්ලක් වත් නොගෙන තාත්තා ඒ යෝජනාවට කැමැති වන විට එවැනි කතාබහක් ඇතිවූ බවට ලියවිල්ලක් හෝ තබා ගන්නා ලෙසත් , වෙන අයෙකුගේ ඉඩමක එසේ නිවෙස් ඉදිකල නොහැකි බවත් අම්මා පැවසුවද තාත්තා විශ්වාස කළේ කිසිදිනක තමන්ගේ ඥාතීන් තමන්ට අහිතක් නොකරන බවයි .

මගේ තාත්තා යනු අතිශය නිර්ලෝභී මනුෂ්‍යයෙකි. කෑගල්ලේ ඉඩම් තිබූ තාත්තා එකල කුඩා කල සිටම අප නිවසේ නැවතී සිටි නෑදෑ දරුවෙකුට ජීවත්වීම සඳහා මහගෙදර භාර දුන්නේය . අම්මා හඳුනන පවුලකින් එම ළමයාට විවාහ කටයුත්තක් ද පසු කාලෙක අම්මා විසින් කර දුන්නාය . විවාහයෙන් පසුව ද ඔවුන්ට ජීවත් වීම සඳහා මහගෙදර ඉඩ ලබාදුන් තාත්තා කිසිදිනක එහි අයිතිවාසිකම් කියන්නට ගියේ නැත .ඒවගේම ඇතැම් අවස්ථාවල නෑදෑ ළමුන්ගේ විවාහ කටයුතු වල දී ඔවුන්ට අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා තාත්තා ඔහු සතුව තිබූ ඉඩම් වල කොටස් විකුණා ගැනීම සඳහා ඔවුන්ට ලබා දුන්නේය. හැම දෙනාගේම අසීරු අවස්ථාවන්වලදී තාත්තා නොපැකිලව ඔවුන්ට උදව් ලබා දුන්නේ ඒ ආකාරයෙන්ය. දරුවන් වෙනුවෙන් කිසිම දෙයක් ඉතිරි කර ගන්නේ නැති දැයි ඇතැම් අවස්ථාවල අම්මා තාත්තාගෙන් විමසනු ද මට ඇසී ඇත .

” මට ඉන්නේ කෙල්ලො දෙන්නෙක්, එයාලා ලොකු වෙලා ඔය පැතිවල යන්නෙ නෑ “

තාත්තා විසින් අම්මාට පිළිතුරු දෙන්නේ එසේය.

සමහර නෑදෑ දරුවන්ව තාත්තා අප නිවසේ නතර කරගෙන ටියුෂන් පන්ති යවා ඉගෙනීම සඳහා ද උදව් කළ බව මට මතකය.අතිශය සංවේදී සහ හොඳ හිතකින් යුතු වූ තාත්තා හැකි සෑම විටකම අන් අයට උදව් කිරීම සඳහා ඉදිරිපත් වූයේය .

මහරගමින් නිවසක් මිලදී ගැනීමේ අදහස අතහැර අප රාජගිරියට පැමිණියේ ඉන් පසුවය . සම්පූර්ණයෙන් ඉදි නොකල නිවසට පදිංචියට ගිය පසුව තාත්තා ටිකෙන් ටික එම නිවසේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීමට පටන් ගත්තේය. අපගේ අවශ්‍යතා ද ඉටු කරමින් මුදල් ලැබෙන හැටියට තාත්තා එම නිවසේ වැඩ කටයුතු ටිකෙන් ටික සම්පූර්ණ කළේය .මා ජපානයේ අධ්‍යාපනය ලබා නැවත එනවිට තාත්තා නිවසේ බොහෝ කොටසක් සම්පූර්ණ කර තිබුණේය . කෙසේ හෝ ගුවන් සේවිකාවක ලෙස මා සේවයට බැඳුණු පසුව තාත්තා දැරූ බරින් කොටසක් මා වෙතට ගෙන නිවසේ ඉතිරි වැඩ කටයුතු සඳහා මා මගේ දායකත්වය ලබා දුන්නෙමි .නිවසට අවශ්‍ය කළ විදුලි උපකරණ ඇතුළු සියලු දෑ මා පිටරටින් ගෙන ආවෙමි .කලක් ගතවන විට මම තාත්තා සමග එකතු වී අප නිවසේ වැඩ කටයුතු අවසන් කළෙමි .

මා රාජගිරියේ ජීවත් වන නිසාත් , එය රැකියා ස්ථානයේ ප්‍රවාහන පහසුකම් සැලසෙන සීමාවෙන් බැහැර නිසාත් රැකියා ස්ථානයෙන් මට ප්‍රවාහන පහසුකම් ලැබුනේ නැත .එම නිසා අපව රැගෙන යාමට බස් රථය පැමිණෙන හෝටලයට යාම සඳහා මා විසින් පහසුකම් සලසා ගත යුතුව තිබුණි.එබැවින් ඒ වන විට මට වාහනයක අවශ්‍යතාවය තදින්ම දැනෙමින් තිබුණි . ඉතා හොඳ රැකියාවක නියැලෙමින් මා මුදල් උපයන නිසා මා වාහනයක් මිලදී ගත යුතු යැයි මට සිතුණි. ඉන්පසුව toyota sprinter වර්ගයේ කාර් රථයක් මා විසින් මිල දී ගතිමි .මගේ වයසේ වයසේ පසුවන බොහෝ තරුණ තරුණියන් දෙමව්පියන්ගෙන් යැපෙන සමයක මා උපයාගත් මුදලින් කාර් රථයක් මිලදී ගැනීම මට විශාල ජයග්‍රහණයක් විය . මා මහන්සියෙන් උපයාගත් මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් නිවස සෑදීමේ කටයුතුද කර වාහනයක් ද මිලදී ගැනීම සහ මා තනිවම ගොඩනැගීම ඇත්ත වශයෙන්ම තරුණියක වශයෙන් මට විශාල සතුටක් විය .

වරෙක මට ඉතාලියට යෑම සඳහා ගුවන් ගමන් වාරයක් යෙදී තිබුණි. මා ආපසු පැමිණීමට නියමිතව තිබුණේ තිබුණේ දින හතකින් ය.ඉතාලියේ සිටි දෙවන දිනයේදී මා අතිශය භයංකාර හීනයක් දුටුවෙමි .මගේ තාත්තාට පිළිකාවක් වැළඳී ඔහු මිය යනවා මම දුටුවෙමි .තාත්තාට අසීමිතව ආදරය කරන දියණියක වශයෙන් මා එම සිහිනය දැකීමෙන් අතිශය බියට පත්වීමි. දහඩිය දමාගෙන සහ කෑ ගසා ගෙන අවදි වූ මා සිටියේ දුටුව සිහිනය ගැන තිගැස්සීමෙකිනි. මා කුඩා කල, සොහොනක් අසලින් යන විට මට සිතෙන්නේ කවදා හෝ මගේ මව සහ පියා මෙලෙස මිය යාවි නේදැයි කියාය. මා ඔවුන් දෙදෙනාට දැඩි ලෙස ආදරය කරන නිසා මා එසේ බිය වීමි . සිහිනයෙන් බිය වූ මා වහාම නැඟිට විදුලි පහන් දල්වා ඇඳ මත වාඩි වුයෙමි . එවිට මා සමග කාමරයේ සිටි කැලුම් නැමැති මගේ මිතුරියද අවදි වූවාය . මා බිය පත්ව සිටින්නේ මන්දැයි ඇය මගෙන් විමසූ විට මම මා දුටු නපුරු සිහිනය ගැන ඇයට කීවෙමි . මා රාජකාරි සඳහා යන විට මෙන්ම රාජකාරි වලට ගොස් එන විට ද මා පසුපස මගේ ආරක්ෂාව පිණිස පැමිණෙන මගේ තාත්තාව මගේ සියලු මිතුරු මිතුරියන් හොඳින් හඳුනන නිසා සිහිනෙන් බිය වූ මගේ හැඟීම් හඳුනා ගැනීමට මගේ මිතුරියට අපහසු වූයේ නැත

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles