රහල් බමුණුසිංහ සිටියේ රාජකාරි අතර කාර්යබහුලව ය.ව්‍යාපාරික කටයුතු වලට හොඳ කාර්ය මණ්ඩලයක් හිඳීම ඔහුට සහනයක් විණි.ලංකා ඒවාට සහයෝගය දෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේ විවාහ වූ අලුත පමණි.
මෙවන් සහ මන්දාරා කුඩා කාලයේදීම වෙනම ජීවත් වෙන්නට පටන් ගත් රහල්ගේ ව්‍යාපාර වලට අත ගසන්නට ලංකා පැමිණියේම නැත.නමුත් ඇය එහි ආදායම් ගැන විමසිලිමත් වූවා ය.
මන්දාරා ව්‍යාපාර කළමනාකරණය හැදෑරුව ද ව්‍යාපාරයන්ට යොමු වේදැයි රහල්ට විශ්වාසයක් තිබුණේ නැත.මෙවන් ගී ගයමින් සැහැල්ලුවෙන් හිඳින දරුවෙක් වුවත් බුද්ධිමත් බව රහල් දනියි.මේවාට යොමු වන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටින්නේ නම් මෙවන් අනිවාර්යයෙන් ආයතනයට එන බවත් කර්මාන්ත ශාලා වෙත පවා යන බවත් රහල් සිතී ය.තේජන කියන්නේ ද ව්‍යාපාරික ඥානයක් ඇති තරුණයෙකි.තේජනටත් මෙවන්ටත් මේවාට හවුල් වන්නැයි කියන්නට රහල්ට අදහසක් පහළ විණ.
එහෙත් දැන් තවත් කෙනෙක් ඇත.හිමංගි ද තවම අධ්‍යාපනය හදාරන්නියක වුව ද ඇය ශූර ව්‍යාපාරික බුද්ධියක් ඇත්තියක බව රහල් අවබෝධ කරගෙන සිටියේ ය.ඥානය තිබුණා හෝ නැතා ඇය දැන් මේවාගේ හිමිකාරියකි.ඇය ද මේවා කළමනාකරණය සඳහා කැඳවිය යුතු බව රහල් සිතී ය.
“තාත්තා..මං ලොබි එකේ ඉන්නෙ.ඇතුළට එන්නද?”
මෙවන්ගේ ඇමතුම ආවේ ඒ මොහොතේ ය.ඔහු හදිසියේ පැමිණි කාරණාව ගැන කුකුසක් රහල්ට ඇති විණ.
“මට තාත්තා එක්ක ටිකක් කතා කරන්න ඕන..තාත්තා බිසීද?”
මෙවන් අසයි.ඔහු කතා කරන්නට යන්නේ හිමංගි ගැන බව රහල් සිතුවේ ය.
හිමංගි සමඟ සම්බන්ධතාවයක් ඇති බව පුතුට හෙළි කරද්දී ඔහු ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති කර නොගත් අන්දම රහල්ට මතක ය.
“පුතා, හිමංගිට මාත් එක්ක රිලේෂන්ශිප් එකක් විතරක් තියෙන එක එයාට කරන අසාධාරණයක් කියලා මං හිතනවා.මං එයාව මැරි කරන්න තීරණය කළා..”
මෙවන්ගේ කැමැත්ත අකමැත්ත නොවිමසා තම තීරණය පමණක් හෙළි කරන්නට රහල් ක්‍රියා කළේ විවාහ ගිවිස ගත් දා ය.තම තීරණයකට අත නොපෙවීමට තරම් මෙවන් යහපත් බව රහල් විශ්වාස කළේ ය.
නමුත් දැන් ඔහු පැමිණ ඇත්තේ ඒ තීරණය ප්‍රශ්න කරන්නටදැයි රහල්ට සැකයක් ඇති විණ.
“තාත්තා,මං මට හිතෙන දෙයක් මේ කියන්නෙ.අපිට ජයන්තිට වෙන තැනක් ඇරේන්ජ් කරන්න බැරිද? නැත්නම් අපි එයාට සල්ලි දීලා ආපහු ගමට යැව්වොත්?”
මෙවන් අසන්නේ බැරෑරුම් හඬකිනි.තාත්තා මේ කතාවට පිළිතුරුද බලාපොරොත්තු බව ඔහු අනතුරුව තේරුම් ගත්තේ ය.
“මේකයි තාත්තා.හිමංගි අක්කා දැන් අපේ ෆැමිලි මෙම්බර් කෙනෙක්.ජයන්ති අපේ ගෙදර හෙල්පර්.ඒත් ජයන්ති හිමංගි අක්කට සලකන්නෙ එයාගෙ නැන්දම්මා ගාණට.අක්කිටයි අම්මටයි විතරක් නෙවෙයි ආච්චම්මට පවා විනාඩි පහෙන් පහට ජයන්ති බ්‍රේකින් නිව්ස් දෙනව.ඒ වැඩේ හරිම අවුල්..”
හිමංගිට අවශ්‍ය සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම නොව විවාහයක් බව තේරුම් ගත් මොහොතේ රහල් විවාහයට පසුබට වූයේ නැත.හිමංගි සමග අලුත් ජීවිතයක් ඇරඹීම ඔහුට ද නැවුම් අත්දැකීමක් විය.නමුත් ලාබාල යුවතියක් විවාපත් වීමෙන් පසු ඇයට ස්වාමියාගෙන් ඉටුවිය යුතු යුතුකම් පවතින බව රහල්ට සිහි වූයේද නැත. ඒ නිවස ඇයට අලුත් පරිසරයකි.එහි ගැහැට සිදු කරන්නට කෙනෙක් නැති බව සිතීමම තමන් කළ වරදක් බව සිතද්දී රහල්ට දැනුණේ වේදනාවකි.බොහෝ අඳුරු මතක ඇති හිමංගිට අතීතය නැවත නැවත සිදුවීමට ඉඩ හරින්නේනම් තමන් අසාර්ථක මිනිසෙකු බව සිතා රහල් කල්පනාවට වැටුණේ ය.
“අනිත් එක මමයි හිමංගි අක්කයි කතා කරන තැන්වල එයා ඔත්තු බලනව.මට නරක කතා හැදෙන්න පුලුවන් කියල කිව්වට පස්සෙ මට හරි අප්සට්..කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කර කර ඉඳලා විනාඩි පහකට පස්සෙ උන්ට සෙක්ස් කරන්න හිතෙයි කියල හිතන මිනිස්සු මොනතරම් අවුල් වුණු ඔලු තිය්න මිනිස්සු ද තාත්තා..”
මෙවන් කියන්නේ කලකිරීමෙනි.ගෘහ සේවිකාවට සීමා පනින්නට ඉඩ නොදිය යුතු බව රහල් සිතුවේ ය.
“ඇත්තටම මං ගෙදර ඉන්න එක අප්සට් නම් තාත්තා මට ආච්චම්මා ගාවට ගියෑකි අක්කා වගේ..”
තාත්තා දෙවැනි විවාහයක් කර ගැනීම දරුවාට නිවෙස අතැර යන්නට හේතුවක් කරන්නට රහල්ට නුවුමනා ය.ඔහු මෙවන්ගේ කතාව අතක් නගා නැවැත්වූයේ ය.
“ලොකූ අම්මා ගාවට ගිහින් තියෙන්නෙ ඇයි? ලංකා එක්ක රණ්ඩු වෙලාද?”
මෙවන් එයට හිනැහුණේ ය.
“අම්මා බොරදියේ මාලු බාන්න ඇති තාත්තේ..තේජන අයියත් කියන්නෙ අක්කට තරහ තාත්තා එක්ක නෙවෙයි හිමංගි අක්කා එක්ක කියලා..”
රහල් දෙබැම උස්සා හිනැහුණේ ය.
“හිමංගි මැරි කරා කියලා මං ඔයාලගෙ තාත්තා කියන දේ වෙනස් වෙන් නෑනෙ පුතා..”
එය එසේ නොවන බව මෙවන්ට ද විශ්වාසයක් තිබිණ.ඔහුට අවශ්‍ය වූයේ හිමංගිට නිවස තුළ සැනසීමෙන් ජීවත් වීමට ඉඩ සලසා දීම ය.ජයන්ති එයට ප්‍රබල බාධාවක් බව වැටහුණු වහා ඔහු රහල් හමුවට ආවේ එනිසා ය.
“ඔයා ආච්චම්මා ගාවට යන්න එපා.මං මේ ප්ලෑන් කරන්නෙ ඔයාවයි තේජනවයි මේ වැඩවලට හවුල් කරගන්න..”
රහල් එසේ කියද්දී මෙවන් සිනාසෙමින් හිස කැසුවේ ය.
“තාත්තා, අයියා නම් ඉතින් බිස්නස් මැනේජ්මන්ට් දන්නව.මං මොකුත් දන්නෑනෙ..”
තාත්තා පුතුගේ වචන හඳුනා ගත්තේ ය.
“හරි හරි බං! මං මියුසික් වැඩවලට ඩිස්ටර්බ් කරන් නෑ..ඒවත් කරගෙන මේකත් කරනව ඉතින්”
සංගීත විෂයටම වෙහෙසෙමින් අනිත් විෂයන් අමතකම කළ කාලයේ පාසල් රැස්වීම් වලදී ගුරුවරුන් තමන්ට චෝදනා නගන අන්දම මෙවන්ට සිහි විණ.
“මිස්ට බමුණුසිංහ මෙයාට අවවාද කරන්න වෙයි.මියුසික් රූම් එකේ මිසක් මිනිහා පන්තියෙ නෑ..”
එවැනි කතාවක් පන්තිබාර ගුරුතුමිය කියද්දී කෝපයට පත්වීම ඕනෑම තාත්තා කෙනෙකුගේ සිරිත වුවත් රහල් එසේ කළේ නැත.
“මියුසීෂියන් කෙනෙක් වෙන්න හීන දකින මිනිහෙක්ව බලහත්කාරෙන් ඩොක්ට කෙනෙක් කරන්න බෑ මිස්.ඔන්න ඔහෙ ආස දෙයක් කරපුවාවෙ.”
කීර්තිමත් සරසවි ආචාර්යවරයෙකු සමඟ තර්කයට නොයා පන්තිබාර ගුරුතුමිය මුව වසාගත් අන්දම මෙවන් සිහි කළේ සිනාවකිනි.නමුත් ඒ සිනාවට ආයුෂ වූයේ නැත.සුළිසුළඟක් සේ කලින් නොදන්වාම රහල්ගේ කාර්යාල කාමරයට කඩා වැදුණේ ලංකා ය.
“දැන් ඔයා මෙතන ඉන්නවද ඩේ කෙයා ඇවිල්ල වගේ.කොල්ලෙක් එක්ක නෝන මහත්තයව ගෙදර තියන්න තාත්තට බය ඇතිනෙ..”
ඇය අනවසරයෙන්ම පුටුවකට වැටුණේ එසේ කියමිනි.
“චිහ් අම්මා.මොනවද මේ ජයන්තිගෙ පන්නේ කතා කියන්නෙ.මං ආවේ තාත්තා එන්න කියපු නිසා..”
මෙවන් අප්‍රසාදයෙන් පැවසී ය.
“මං යනවා තාත්තා.ඔයා ඉන්වයිට් කරපු විදියටම මං හෙට ඉඳන් ඔෆිස් එන්නං..දැන් මං මිස්ට අබේසිංහ මීට් වෙලා යන්නම්කෝ.”
තාත්තා කළ ආරාධනාවට මෙවන් ස්වේච්ඡාවෙන්ම දිනයක් ද එකතු කළේ ය. ඒ අම්මාට ඇසෙන්නට ය.
“ඔයා පස්සෙ යන්න පුතේ.දැන් ඉන්න.මට මේ කතාව කරන්න ඕන ඔයත් මෙතන තියාගෙන..”
ලංකා පැවසුවේ අධිකාරී හඬකිනි.