(අ)හිමි සිහින -222

සුධාරකත් මමත් ආදරය නිසා මිසක් වෙන කිසිවක් නිසා ළංවී නොසිටි බව මගේ දෙමව්පියන්ට තේරුම්ගියේ ඔහු ගිලන්ව සිටි මාස අට පුරාවට මා ඔහු බේරාගන්නට ඔහුට නිසි ප්‍රතිකාර ලබාදෙන්නට ගත් උත්සාහයන් දැකීමෙන් වන්නට ඇති.කුසට අහරක් හිතට නිවනක් නැතිව රැයක් දවාලක් නැතිව මා කල සටන දෙස ඔවුන් මුවින් වචනයක් හෝ නොකියා බලා සිටියා.එසේම මගේ ඒ පරිශ්‍රමයට ඔවුන්ට හැකි පමණ ඔවුන් උදව් උපකාර කළේ මගේ කුඩා දියණිය රැකබලාගැනීමේ වගකීම ඉටුකරමින්.

ඒ වනවිට සුධාරකගේ දේහය චිතකයේ දැවී හලුවී අවසාන වන්නට ඇති. මළ කඳ කොහේ තිබුණත් මගේ සිංහයා ජීවමානව සිටියේ මා සමග මෙතැනයි.මේ ඔහුගේ නිවසයි.යම්කිසි මනෝකායක් හෝ ඇත්නම් එය තිබෙන්නේ ද මෙතැනයි.ඔහු මේ නිවසට කල ආදරය මම හොඳින් දන්නවා.ඔහු බිත්ති කැඩේවි යැයි ඛයෙන් ඇණයක් වත් ගසනවාට කැමති වූයේ නෑ.

“බිත්ති වලට ඇණ ගහන්න හොඳ නෑ මැණිකේ.ඩ්‍රිල් කරලා රෝල් ප්ලග් දාන්න ” යැයි ඔහු නිතර කීවා.අඩුපාඩු රැසක් සහිත වූ එහි ජීවත් වන්නට සුදුසු මට්ටමට සකසාගන්නට මා විය පැහැදම් කළා.සුධාරකට එයට මුදල් තිබුණේ නැහැ.ඔහු මේ නිවස තැනීමට ආයතන කිහිපයකින් ගත් ණයවර අටකින් හිරවී සිටියා.එනිසාම ඔහුගේ මාසික වේතනයෙන් අතට ඉතිරි වූයේත් දහ දොලොස්දාහක් පමණයි.ඒ මුදල් පවා දිල්හානි මෙරටින් පලායනතුරුම ඇය විසින් ලබාගත්තා.සුධාරක ඇයට ඔහුගේ බැංකු කාඩ්පත් වල ඩුප්ලිකේට් කාඩ්පත් ලබාදී තිබී ඇත්තේ මුල් කාලයේ සිටමයි.යුධ පෙරමුණේම සිටි නිසා නිතර නිවසට යාමට ඒමට නොහැකිවීමත් දරුවන්ගේ වැඩකටයුතු සඳහාත් එසේ ඇයට ඒවා ඔහු විසින් ලබා දී තිබුණා. ඒ මුදල් වලට සිද්ධ වුණු දෙයක් පවා සුධාරක දැන සිටියේ නැහැ. ඔහූ මා ළඟට ජීවිතයක් ඉල්ලාගෙන එනවිට ඉතා අන්ත අසරණ තත්වයකට වැටී සිටියා.

පිරිමියෙක් කාන්තාවක් ළඟට එන්නේ අගහිඟකම් කියාගෙන සහ බිරිඳගේ ආදරයක් නැතැයි කියාගෙන නම් ඒ ඔහුගේ කපටිකම නිසා කියලා අපිට පුරෝකථනය කරන්න පුලුවන්.වෙනත් පිරිමි ගැන මා දන්නේ නැහැ.ඒත් සුධාරක එහෙම කෙනෙක් නොවෙයි.ඔහු ඉතා විනයගරුක විශ්වාසවන්ත මිනිසෙක්.සුධාරකගේ අහිංසක කම නිසාම වෙන්නට ඇති දිල්හානි ඔය තරම් හානියක් කරනතුරුම ඒ ගැන නොදැන ඉන්නට ඇත්තේ කියලා මට තවමත් හිතෙනවා.නමුත් මමත් ඒ ගැන සොයා නොබැලීම ගැන ඔහුට අනන්ත දොස් පවරා තිබෙනවා

“කවුද මැණිකේ දන්නේ මම යුද්ධයක් කරන අතරේ මම හිතුවේ මේ මනුස්සයා පවුලේ දියුණුව ගැන වැඩකරාවි කියලා නේ” යැයි කියන්නට ඔහු පුරුදු වී සිටියා

සුධාරක කියන්නේ ප්‍රේම සබඳතා පසුපස ගිය මිනිසෙකු නොවෙයි. මිශ්‍ර පාසැලකට ගිය ඔහු කෙරෙහි එහි සමකාලීන සහෝදර සහෝදරියන් ගේ සිත් තුල ඇති අසීමිත ගෞරවය ඔහු ඒ කාලයේ උපයාගෙන තිබුණා.රාජකාරියේ සිටින අය තුළ ඇති ආදර ගෞරවයත් ඔහු උපයාගත්තේ නිකැලැල් චරිතයක් පවත්වාගෙන ගිය නිසයි.ඔහු කිසිදා කුසට අහරක් නැතත් කිසි කෙනෙකුගෙන් ණයට ඉල්ලුවේ නැහැ.කුමන ඕපාදූප පළ වුණත් මම නොතැවෙන්නේ ඒ නිසා.ඔහු ගැන වඩා හොඳින් දන්නා තැනැත්තිය වන්නේ මමයි.

සුධාරකගේ ආර්ථිකය හීනවී තිබූ නිසාම මම ඔහුගේ සියලු ඕනෑ එපාකම් සොයාබලා සිදු කළේ අප්‍රමාණ ආදරයෙන්.අද එය මට ගෙනෙන මානසික සතුට මෙතෙකැයි කියන්නට බැහැ.ඔහුට ඇඳුමක් පැලඳුමක් ගෙන දුන්නත් මා මට මිලට ගත හැකි උපරිම තත්වයේ ඉස්තරම් දේ ඔහු වෙනුවෙන් මිලදී ගත්තා.ඔහු ලස්සනට හැඳ පැලඳ යන අන්දම බලා අපමණ සතුටු වුණා.ඇත්තටම මට ඉතිරි වුණේද ඒ මතක සටහන් විතරමයි.

සුධාරක මේ නිවසට අපි පදිංචියට ආ පසු මගෙන් කීප වරක් ඉල්ලූ දෙයක් තිබුණා.

“මැණිකේ මට හරි ආසයි මේ ගෙදර බණක් කියලා දානයක් දෙන්න.අපි ඒක කරමුකෝ මැණිකේ”

එම නිවස බොහෝ අඩුපාඩු සහිත වූවක් නිසා මට ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය කරන්නට සිදු වුණා.සුධාරක කොළඹ සිටි අවුරුදු දෙක පුරාම නොයෙක් දෙනා ගෙදරට ආ ගිය හෙයින් මට ගෙදර නඩත්තුවටත් පිළිවෙලට පිරිසිදුවට තබා ගන්නත් සංග්‍රහ කටයුතු වලටත් බොහෝ වියදම් කරන්නට සිදු වුණා.ඒ අතරට සුධාරකගේත් මගේත් දියණියගේත් සියලු වියදම් තනිවම දැරූ මට හදිස්සියේ දාන මාන දීම ගැන හදිසි වීමට එතරම් උනන්දුවක් තිබුණේ නැහැ.

“මහත්තයෝ මේ ගෙදර මෙහෙම දාන දෙන්න බෑ.අඩුපාඩු හදලා පේන්ට් කරලා අපි බණක් කියලා දානයක් දෙමු”

මම එදා ඔහුට එහෙම කිව්වා.

ඔව්!! මම එලෙස ඔහුට පොරොන්දු වූ ලෙසම බණක් කියා දානයක් දුන්නා.ඒත් මා එසේ ලබා දුන්නේ ඔහුගේම හත්දවසේ තුන්මාසේ හා අවුරුද්දේ බණ සහ දානයයි.

ඒ කතාවත් ඔබට කියන්නටම ඕනෑ බව මට හිතෙනවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles