නිලැසි -05

“ඔයාට අපේ නංගි එක්ක ඩුවට් එකක් කරන්න කතා කරන්න යන්නෙ..”

නිම්නගෙන් ලද ආරංචිය පවසන්නට නිලැසි වහා එරන්දව ඇමතුවා ය.සතුටු වීම හෝ ස්තූති කිරීම වෙනුවට දුරකථනයෙන් ඇසුණේ උස් සිනා හඬකි.

“විහිළු නෙවෙයි මෝඩයෝ..ඇත්තටම.ඔයා ගැන අපේ නිම්න හරියට පැහැදිලා ඉන්නේ.ලස්සන හඬක් තියන ලස්සන කොල්ලෙක් කියලා..”

නිලැසි වඩා සුරතල් හඬකින් පවසන විට පවා සිනාව ගලා එන්නේ ඇයට සරදම් කරන සෙයියාවකිනි.

“අනේ අනේ බබී..”

ඔහු සිනාව අතර පවසයි.

“ඇයි අනේ…”

සුප්‍රකට ගීත රචකයෙකු අතින් ලියැවුණු ගීයකට නිම්න අතින් යෙදූ තනු නිර්මාණයක් සහිතව ඒ ගීතය සැකසෙමින් පවතී.එයට මෙතරම් සරදම් කරමින් හිනැහෙන්නට එරන්ද හිඳින්නේ මත් වීදැයි නිලැසි සිතුවා ය.රාත්‍රිය මත් බවින් පිරී ගියානම් ඔහු තවම ඒ සිහියෙන් සිටිනවා විය හැකි ය.

“රාජේන්ද්‍රගේ දුව වෙලා නිම්නගෙ නංගි වුණා කියලා මෙලෝ ජනප්‍රිය කමක් හදා ගන්න බැරි වුණු ඔයාගේ නංගිව මං ලව්වා ජනප්‍රිය කරවන්න පැටියෝ ඔය හදන්නේ..”

නිලැසි ඒ කතාව ඇත්තක් විය හැකිදැයි සිතුවා ය.සමාජ මාධ්‍ය තුළ නම් එරන්ද බොහෝ ජනප්‍රිය කොල්ලෙකි.නමුත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ආදරය ඉතා ඉහළින් ලැබෙන කථිකාචාර්යවරියක ලෙස නංගි හඳුන්වන්නට බැරිකමක් නැත.

“දිගැසිට ඇයි ඉතින් හොඳ ජනප්‍රිය ගායකයෙක් එක්ක සින්දුවක් කරන්න බැරි බබා.එතකොට ඒක ඒ මනුස්සයගෙ සින්දුව මිසක් දිගැසිගේ වෙන් නෑනෙ.මේ හදන්නෙ නිකං යූ ටියුබ් කවර්ස් කරන කොල්ලෙකුට අත දුන්නු පවුල වෙන්න නේද?”

නිම්න එවැනි මිනිසෙකු නොවන බව නිලැසිගේ ඇතුළාන්තය හොඳින් දැන සිටියා ය.ඔහු කිසිදිනක ජනප්‍රිය බව උද්දාමයට කාරණාවක් කර ගත්තෙකු නොවේ.තවකෙකු පරයා යන්නට ද නිම්නට ඇත්තේ අකමැත්තකි.සංගීත ලෝකයට පිවිසෙන්නට හිත ඇති කොලු ගැටවුන් මහ පාර මැද අසන ප්‍රශ්න පවා ඔහු ඉතසිතින් පිළි ගනියි.තම ශබ්දාගාරයට ඔවුන් කැඳවා බොහෝ උපදෙස් ලබා දේ.ඒ සියල්ල හොඳින් දන්නා නිලැසි මෙවෙලෙහි එරන්ද නිවැරදි බව සිතුවා ය.

ආදරය එපමණකට අන්ධ වීමකි.

නිලැසි දුරකථන ඇමතුම අවසන් කර ප්‍රබෝධමත් හදකින් පහළ මාලයට ආවා ය.නමුත් සන්තෝසය පුස්ස බින්දා සේ ය.තිසරු ද කෑම මේසයට වාඩිගෙන ඇත.

“මං මේ තිසරුට කිය කියා හිටියේ ලොකු පුතේ, ඔයාට ගෙදර චිත්‍ර අඳින්න අමාරු නම් හොඳ තැනක් හදලා දෙන්න කියලා..”

තිසරුගේ ඉඳි ආප්ප පිඟානට ව්‍යාංජන බෙදන අතර රසාදරී මහත්මිය පවසන්නී ය.තිසරු ඇස්වල ආදරය තවරන අතර නිලැසි දෙස බැලුවා ය.

“ඇත්තටම සොරි නිලැසි.මම ඒ ගැන නිකම්වත් හිතුවේ නෑ.අපි ලස්සන ලොකේෂන් එකක් හොයාගෙන පොඩි ආට් ගැලරි එකක් හදමු.මං හොඳ ආකියෙක් බලන්නම්..”

හිතූ හිතූ අන්දමට මුදල් විසි කරමින් තමන්ගේ ආදරය ලබා ගන්නට සිතෙන මේ කෝටිපති ව්‍යාපාරිකයාට හූ කියා හිනැහෙන්නට නිලැසිට සිතේ.ආදරය එතරම් මිලාධික නැත.එරන්ද ගෙල පාමුල තවරන හාදුවක ඇති වටිනාකම මේ මිනිසාගේ මිලාධික කතාන්දර වල ඇත්තේ නැත.

“බලමු..”

ඇය නොසැලකිලිමත් පිළිතුරක් දුන්නා ය.

“ඔයා දැන් යනවනෙ..”

පලා මැල්ලුමක් නැති කෑම මේසයක හිඳින අතරේ රසාදරී මහත්මිය නිලැසිට පලා බෙදුවා ය.

“පිස්සුද අම්මා..මං පස්සෙ යන්නේ.රශීට මොනවහරි හදන්නත් ඕන..”

උදෑසන අපහසුතා හන්දා පසෙකට වී පළතුරු යුෂ වීදුරුවක් තොල ගාමින් සිටි රශ්මිට සිනා නැඟිණ.ඊයේ නිවසට ආවාට නිලැසි ඈ කන්නට කැමති දෑ ගැනවත් නොවිමසුවා ය.නමුත් තිසරු ඉදිරියේ බිලි දෙන්නට තමන් ද හොඳ බිල්ලකි.

“ඔයා වැඩ ඉවර කරගෙන හෙමින් ගෙදර එන්නකො එහෙනං..”

තිසරුට තම බිරිඳ මහ ගෙදර රැඳීම ගැන කිසිම වරදක් නොපෙනෙයි.මුදල් උතුරා යන ජීවිතයක් ගෙවූව ද නිලැසිගෙන් එහා ලෝකයක් නැති ඔහුට තම බිරිඳට වෙනත් පෙම්වතෙකු ඇතැයි සිහිනයකින්වත් සිතෙන්නේ නැත.ආදරය සම්බන්ධයෙන් ඉතා අවංක මිනිසෙකු වන තිසරු අන් අයව මනින්නේ ද තම කෝණයෙනි.

“අර එරන්ද මල්ලිට ඔයාලගෙ වැඩේ කරන්න බෑලු..”

නිලැසි එරන්ද යන්නට ගිය වහා බෝම්බයක් අත හැරියා ය.දිගැසි සහ රශ්මි අතර බැල්මක් හුවමාරු වෙද්දී ප්‍රමාද වී කෑම මේසයට ආ නිම්න අක්කා දෙස බැලුවේ පුදුමයෙනි.

“ඇයි ඒ?”

ඔහු අසන්නේ සැබෑ පුදුමයකිනි.ඔහු සිතා සිටියේ තරුණයා මේ ගැන ප්‍රීතියෙන් ඔකඳ වන්නට ඇති බව ය.

“දක්ෂ ළමයි අල්ලන් උන්ගෙ මාර්ගෙන් ඔයාගෙ ජනප්‍රියකම වැඩි කරගන්නෙපා මල්ලා.ඒක කැතයි.මෙයා ගැන නම් කොහොමත් කතා කරන්න ඕන නෑනෙ..”

නිලැසි එසේ කියද්දී කටට ආ වචන සියල්ල ගිල ගත් දිගැසි නැඟී සිටියා ය.කටට එන වචන සියල්ල කියමින් බැන වදින්නට ඇයට නොහැකි ය.පළමු හේතුව අම්මා ඒවා දැන ගතහොත් හෘදයාබාධයකින් මෙපිට නතර නොවේ.අනිත් කාරණය රශ්මිගේ කුස ඔත් බිළිඳාට එවැනි විකාර අසන්නට දිය යුතු නොවේ.

“අනේ අම්මෝ අයියා..මට ඔය පොඩි පිරිමි ළමයෙක් හොයලා දෙන්න සින්දුවට.ඔය ජනප්‍රිය මිනිස්සු නැතුවට කමක් නෑ..”

දිගැසි නැඟී සිටියේ එසේ කියමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles