උස් මිටිකම්

මිෂෙල් අලුතෙන්ම ගත්ත ලිප්ස්ටික් එක අතට අරගෙන දෙතුන් පාරක්ම තොල් වල ආලේප කලා.රැකියාවට යන්න උදේ පාන්දරම ඇහැරෙන මිෂෙල් හැමදාම ලෑස්ති වෙන්න පැය දෙකකට වඩා ගත කළා

” අර ළමයා එනවද එක්කගෙන යන්න ?”

මිෂෙල් ලෑස්ති වෙන අතරේ කාමරේට ආවේ ඇගේ අම්මාවුන ශාන්ති.

” ඔව් අම්මේ.භානුක දැන් එයි “

” නරකද එයාලගේ ගෙදර අයත් එක්ක ඉක්මනින් කතා කරලා මේක පිළිවෙලක් කර ගත්ත නං ? “

” බලමුකෝ අම්මෙ. අපිට තව වයස තියෙනවනේ “

මිෂෙල් ආයෙ ආයෙත් කොන්ඩෙ පීරමින් හැඩ බැලුවා.ඇඳුම් පැළඳුම් සහ මේකප් වලට මිෂෙල් ගේ වැටුපෙන් භාගයකටත් වඩා වියදම් වුනේ ඇය විවිධ විලාසිතා වලට ආස කරපු නිසයි

” මේ බ්ලව්ස් එක ලස්සනද භානුක ? “

භානුකගේ මෝටර් රථයට නැග්ග ගමන්ම මිෂෙල් අහපු පලවෙනි ප්‍රශ්නය ඒක

” ලස්සනයි ඉතින්. ඔයා කොහොමත් ලස්සන ඇඳුම් හොයලා ගන්නවනේ “

” ඔෆිස් එකේ අනිත් ගෑණු ඉරිසියාවේ පැලෙයි අනේ. එයාලා ඉතින් ඔහේ එනවනේ.ලස්සන කෙල්ලෙක් දැක්කම කුටු කුටු ගානවා “

” හැම ඔෆිස් එකක්ම ඔය වගේ තමයි මිෂෙල් .ඔයා ඕවා ගණන් ගන්න එපා “

භානුක එහෙම කිව්වේ මිෂෙල් ගේ කථාව එතරම් ම ගණන් නොගෙන. ඉතා රූමත් තරුණියක් වුන මිෂෙල් හැම වෙලාවෙම හිතුවේ අනෙක් අය ඇයට ඉරිසියා කරනව කියලයි.

” මිෂෙල් ඔෆිස් එන්නෙ යන්නෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ද ?”

මිෂෙල් ඔෆිස් එකට ඇවිත් ටික වෙලාවකින් ඔෆිස් එකට ආව සුභානි ඇහුවා

” ඔව් සුභානි.ඇයි ? “

” නෑ.නිකන්.මම එද්දි දැක්කා “

තමන් භානුක එක්ක ආව එක සුභානි දැක්කා කියන කතාව මිෂෙල් ට ගෙනාවේ සතුටක්

” මම කාර් එකෙන් බැහැලා එනවා දැක්කම ගෑනිට ඉරිසියා හිතෙන්න ඇති නේද භානුක? එයා එන්නෙ බස් එකේනේ .අපරාදේ ඔයාවත් දකින්න තිබ්බේ “

භානුකට දුරකථන ඇමතුමක් ගත්ත මිෂෙල් , මොහොතකට කලින් වුණ සිදුවීම ඔහුටත් කිව්වා.

” එයා නිකන් දැක්ක නිසා අහන්න ඇති මිෂෙල්. අපි උනත් අහනවනේ යාලුවෙක්ව දැක්කම “

මිෂෙල්ගේ හැසිරීම වෙලාවකට භානුකගේ හිතේත් අපැහැදීමක් ඇති කළා. පුරුදු විදිහටම එදා හවසත් භානුක මිෂෙල් ව ගන්න ඇගේ කාර්යාලය ළඟට ගියා.මිෂෙල් වාහනයට නැග්ගේ නොරිස්සුම් සහගත මුහුණක් මවා ගෙන කේන්තියෙන්

” මොකද මිෂෙල් තරහෙන් වගේ ? “

භානුක ඇහුවේ මිෂෙල්ගේ අතේ තිබුන අත්බෑගය පිටුපස ආසනයට දමන ගමන්

” හිඟන ගෑනු කෙනෙක් මගේ පස්සෙන් ආවා අනේ.මට අප්පිරියාවේ බැහැ එයාගේ ඇඳුම් වල තිබුණ ජරාව දැකලා.සල්ලි නෑ කියද්දිත් මෙතනට වෙනකන්ම පස්සෙන් ආවා “

” ඒ මිනිස්සු ඉතින් දවසම ඉන්නේ පාරේ නේ ළමයො.මොකෝ අපි වගේ ඒසී කාමර වලට වෙලා ඉන්නවා යෑ දවසම ? “

භානුක එහෙම කිව්වත් සෑහෙන වෙලාවක් යනතුරු ම මිෂෙල්ගේ මුහුණේ තිබුන නොරිස්සුම පහව ගියේ නැහැ. මිෂෙල් ගෙදර ආවෙ භානුක එක්කවත් වැඩිය කතා නොකරමයි.

” බේබි. ආ තේ එක “

මිෂෙල් නිවසට ගොඩ වෙලා විනාඩි කීපයකින් නිවසේ අත් උදව්වට ඉන්න කාන්තාව මේරි, මිෂෙල්ට තේ හදාගෙන ආවා

” උඹට කොච්චරවත් කියනවා නේද මගේ තේ කෝප්පේ අල්ලන්න එපා කියලා.එන්න කියපන් අම්මට “

මිෂෙල්ගේ කෑගැහීමට මේරි තිගැස්සුනා.මූණ බිමට පාත් කරගෙන මේරි කාමරයෙන් නික්මුනා

” මිෂෙල් ? උඹට මොන යකෙක් වැහිලද මට උදව්වට ඉන්න අර අහිංසක ගෑනිට කෑගැහුවෙ? ඒකි ගෙදර ගියොත් මම කුස්සියෙ වැඩට ගන්නෙ උඹව “

ශාන්ති කතා කලේ තරමක් තදින්.මිෂෙල් උස් මිටි කම් බලලා මිනිස්සුන්ට සලකන විදිය ඇය නොදන්නවා නෙමෙයි

” ඉතින් අම්මා මොකටද ඒ ගෑනි අතේ මගේ තේ ඒක එව්වේ ? හරියට නානවද දන්නෙත් නෑ .ඊයා “

මිෂෙල්ගෙ මූණ ඇඹුල් වෙලා තිබුන හැටි දැකලා ශාන්තිට තවත් තරහ ගියා.

” අනෙ මන්දා මේ ළමයට කාගෙ ගති ගුණ ඇවිල්ලද කියලා. මනුස්සයෙකුට සලකන්න වත් දන්නෑනෙ හරියට “

මිෂෙල් රාත්‍රී ආහාරය නොගෙනම නින්දට වැටුනා.භානුකගේ ඇමතුම් පවා ඇය මග හැරියා.එක දිගට සිදුවුන සිදුවීම් දෙකක් නිසා ඇය හිටියේ කෝපයෙන්

” අම්මාත් එක්ක රන්ඩු කරන්න තරම් ඔයාට ඕකේ මොනවද තිබුනේ මිෂෙල් ?”

භානුකවත් තමන්ගෙ පැත්ත ගනියි කියලා හිතාගෙන පහුවදා භානුක ආව ගමන් මිෂෙල් හැමදේම ඔහුට කිව්වා

” මම ආස නැහැ අනේ ඔය දැලිකුණු පෙරාගෙන ඉන්න ගෑනුන්ට “

” හැම මනුස්සයෙකුටම එක වගේ සලකන්න පුරුදු වෙන්න මිෂෙල්.මිනිස්සුන්ව අප්පිරිය කරන්න එපා.අද මෙහෙම හොඳ රස්සාවල් කරාට කවුද දන්නේ කවද හරි අපට හිඟාකන්න වෙයිද කියලා ? “

” ඔයාට පිස්සුද අනේ? අපි එච්චර පව් කරලා නැහැ “

කාර්යාලයේ පිරිසිදු කරන ගැහැණියව , තේ පිලිගන්වන ගැහැනියව පවා මිෂෙල් පිළිකුල් කරා.

” මිෂෙල් හෙට උදේට මට ඔයාව ගන්න එන්න වෙන්නෙ නැහැ. මට අපේ තාත්තගේ වැඩකට යන්න තියෙනවා.මමත් ඔෆිස් යද්දි දවල් වෙයි.ඔයා හෙට ත්‍රීවිල් එකක් අරගෙන ඔෆිස් යන්න “

රාත්‍රියේදී මිෂෙල්ට දුරකථන ඇමතුමක් ගත්ත භානුක එහෙම කිව්වේ හදිස්සියේම ඔහුට වැඩක් යෙදුන නිසායි

” අනේ භානුක මම කොහොමද ත්‍රීවිල් වල යන්නේ ? මම ත්‍රීවිල් එකෙන් ගිහින් බහිනවා දැක්කොත් ඔෆිස් එකේ මිනිස්සු මට හිනාවෙයි “

” ඇයි ඔයාලගෙ ඔෆිස් එකේ අය ත්‍රීවිල් වල යන්නේ නැද්ද? “

භානුක ඇහුවෙ තරහෙන්

” නෑ ඉතින් මම වෙනදට යන්නේ එන්නේ කාර් එකේ නේ “

” හදිස්සියේ හරි මට අසනීපයක් වෙලා එන්න බැරි උනත් ඔයා යන්නේ කොහොමද එතකොට ? “

” එතකොට මම නිවාඩුවක් දානවා “

” අනේ මිෂෙල් විකාරයක් නම් වෙන්න එපා.හරි ඔයා එහෙනම් හෙට ෂෝට් ලීව් එකක් දාන්න. මම තාත්තාගේ වැඩේ ඉවරවෙලා ඇවිත් ඔයාව එක්කගෙන යන්නම් “

මිෂෙල් ගේ වදෙන් බේරෙන්න බැරිම තැන භානුක එහෙම කිව්වා.පහුවදා උදේ පොරොන්දු උන වෙලාවට භානුකට එන්න බැරි වුණා.ඔහු ආවේ ගොඩාක් ප්‍රමාද වෙලා.අත්‍යවශ්‍යම රැස්වීමක් සඳහා සහභාගී වෙන්න හිටපු මිෂෙල් ,භානුක එද්දී හිටිය ගොඩක් කේන්තියෙන්

” මොකක්ද භානුක, ඔයාට කියපු වෙලාවට එන්න බැරිද ? බලන්නකෝ ඔෆිස් එකේ මිනිස්සු මීටින් එක තියන්න මම එනකම් බලාගෙන ඉන්නවා “

කලබලෙන් වාහනයට ගොඩ වුනු මිෂෙල් , මුලින්ම කළේ භානුකට චෝදනා කරන එක

” මම තමුසෙගෙ ඩ්‍රයිවර් නෙමෙයිනේ කියන කියන වෙලාවට එන්න.පරක්කු වෙනවා නම් අර මම කියපු විදිහට යන්න තිබුනනෙ.සේරටම වඩා ලොකු කම ඉහට ගහලානේ “

කවදාවත් නැතුව භානුක සැරෙන් කතා කරපු නිසා මිෂෙල් එහෙමම නිහඬ වුණා.තමන්ට පරක්කු වෙන බව මිෂෙල් භානුකට නොකියා කිව්වේ වරින්වර අත් ඔරලෝසුව දිහා බලමින්.ඒක දැක්ක භානුක රථයේ වේගය වැඩි කළා.මිෂෙල්ගේ කාර්යාලයට ආසන්නයේදී වම්පසින් තිබුණු අතුරු පාරකින් පාරට දාපු ලොරියක භානුකගේ රථය වේගයෙන් ගැටුනා

පියවි සිහිය ලබන කොට මිෂෙල් හිටියේ රෝහල් කාමරයක් තුළ.මිෂෙල් ගේ අම්මාත් ,මේරිත් හැඬූ කඳුළින් පසෙක ඉන්නවා මිෂෙල් යන්තමින් දැක්කා

” අම්මේ.. භානුක කෝ “

මිෂෙල් යන්තමින් මිමිණුවේ ගොඩාක් ගොඩක් අමාරුවෙන්. ඇගේ අත් පා වගේම මුළු මුහුණමත් වෙළුම් පටිවලින් ඔතලා තිබුණේ.

” ඉන්නවා පුතේ.එයාට වැඩි අමාරුවක් නැහැ.ඔයාට තමයි අමාරු. ඔයාගේ පැත්තෙන් නේ වාහනේ හැප්පිලා තිබුණේ “

සිදුවුනු සිදුවීම මතක් කරන්න මිෂෙල් උත්සාහ කලත් ඒ ගැන මිෂෙල් ට හරි මතකයක් තිබුනේ නැහැ.

” ඔයාගේ මූණ හොඳටම තුවාල වෙලා පුතේ.වැඩිය කතා කරන්න එපා.බෙහෙත් දාලා තියෙන්නේ “

අම්මාගෙ වචන පෙළ මිෂෙල්ට ගෙනාවේ කියාගන්න බැරි දුකක්. තමන් ලස්සනට තියාගෙන හිටපු මුලු මුහුණේම තියන වෙලුම් පටි නාන කාමරයේ කණ්නාඩියෙන් දැක්කාම මිෂෙල් කෑගහලා ඇඬුවා.තමන්ගෙ රූපය නිසා මීට කලින් කාර්‍යාලයේ අය අතර පවා කතාබහට ලක්වුනත් මින් පස්සෙ එහෙම වෙන එකක් නෑ කියලා දැනෙද්දි මිෂෙල්ගේ හැඬුම් දෙගුණ තෙගුණ උනා

” මං අනිත් මිනිස්සුන්ව පිළිකුල් කලා වගේ දැන් ඒ අයත් මාව පිළිකුල් කරයිද මේරි “

අම්මා වගේම ආදරෙන් තමන්ට සුප් පොවන මේරිගෙන් ,මිෂෙල් එහෙම ඇහුවේ හීන් හඬින්.

More Stories

Don't Miss


Latest Articles