ලැප්ටොප් තිරය දිහා බලාගෙන කාර්යාලයේ කටයුත්තක නිරත වෙලා හිටිය සරනි පියවි ලෝකයට ආවේ දුරකථනයේ හඬට.මැසේජ් එකක්! නංගි එහා කාමරයට වෙලා මැසේන්ජර් පණිවිඩ එවීම ගැන හිනාවක් මතු වුණත් සරනි ෆෝන් එක අතට ගත්තා.කොරෝනා කාලය එක්ක ඔන්ලයින් බැඳීම් වර්ධනය වීම හින්දා ගේ ඇතුළෙත් වෙලාවකට ඔන්ලයින් පණිවිඩ හුවමාරු වීම සාමාන්‍ය දෙයක්.
“මං කාමරේට එන්නං?මගේ ලෙක්චර්ස් ඉවරයි.” නංගි එහෙම පණිවිඩ එවීමත් අම්මා “ඔයාලා කන්න පහළට එනවද?”කියලා වට්ස් ඇප් පණිවිඩ එවීමත් දැන් අතිශය සාමාන්‍ය සිදුවීමක්.
“ජනේලෙන් එළියේ බලන්නකෝ.” හිනා මුහුණු එක්ක නංගිගේ පණිවිඩය කියවපු සරනි ජනේලයෙන් එළියට මුහුණ දැම්මා.එහා ගෙදර කාව්‍යා මිදුලට වෙලා නටනවා.ඇඳුමේ ස්වභාවයත් නැටුමේ ස්වභාවයත් එක්ක ඒ ටික්ටොක් වීඩියෝ එකක් නිර්මාණය කිරීමක් කියලා සරනිට තේරුණා.
නංගිට හිනා මුහුණු ටිකකින් ප්‍රතිචාර දක්වලා ආයේ කාර්යාල වැඩට නාහේ ඔබා ගත්තු සරනිට කාව්‍යා ලොකු වුණු ඉක්මනක් කියලා කල්පනා වුණා.
“බික්කට් නෑ?”
කියලා අහගෙන දොරකඩට එබෙන පොඩි බටු ඇටේ මොන්ටිසෝරි නැටුම් නට නට පෙන්නුවේ අද ඊයේ වගේ.
“නංගිට හොඳ ෆෝන් එකක් ගන්න ඕන පුතේ.ඔන්ලයින් ක්ලාස් හැමදාම..”
එහා ගෙදර රමනි ආන්ටි එහෙම ඉල්ලීමක් කරගෙන ආවේ පාසල් නැවතිලා ඔන්ලයින් අධ්‍යාපනය පටන් ගත්තු අලුතමයි.ඒ දවස්වල සූම් ක්ලාස් පටන් ගන්න ඔන්න මෙන්න තියල කාව්‍යා දුවගෙන එන්නේ ඇප් එකේ මොකක්ම හරි ගැටලුවක් කියාගෙන.
“මේවා ඉක්මනින් පුරුදු වෙයි..”
නංගිත් සරනිත් කාව්‍යාට කිව්වා.ඒ වගේම ඊටපස්සේ කාව්‍යා දුරකථනය ඉක්මනින් අතට හුරු කරගත්තා.
“දැන් ළමයි ටක් ගාලා ටෙක්නොලොජි අල්ලා ගන්නව.ඒකත් මරු නේද?”
අක්කත් නංගිත් කතා වුණේ කාව්‍යාගේ පෙරලිය එක්ක.පුංචි සාය කෑල්ලක් ඇඳගෙන කාව්‍යා ටික්ටොක් නටනවා පේනකම් තාක්ෂණය කියන්නේ සුන්දර දෙයක් කියලා සරනිටත් හිතුණේ.
“මං ඊයේ රෑ වෙනකම් පාඩම් කරානෙ.ඒ වෙනකම්ම කාව්‍යාගේ කාමරේ ලයිට් තියෙනව දැක්කා.”
නංගි එහෙම කිව්වේ හවස තේ බොන ගමන්.
“ඔයාලා එච්චර මහන්සි නොවී කැම්පස් ගියාට පුතේ දැන් තියෙන්නේ ලොකු තරගයක්.අනික මට හිතා ගන්න බෑ ඔය ඔන්ලයින් වලින් ඉගෙන ගන්න වැඩේ හරියට වෙනවද කියලවත්..”
අම්මා රෑ කෑමට නූඩ්ල්ස් හදන්න එළවළු කපන ගමන් එහෙම කිව්වෙ බරපතල හඬකින්.
ඇත්ත!පන්ති කාමරයේ ඉගෙන ගන්නවා වගේ ඔන්ලයින් අධ්‍යාපනය සුන්දර නෑ.ටීචගෙන් බැනුමක් අහන්න හරි දඟ වැඩක් කරලා, හෝම්වර්ක් අමතක වුණාම යාලුවෙක්ගෙන් කොපියක් දාලා, උගන්නන අතරේ හොරෙන් පාන් කකා අපි ඉගෙන ගත්තු පාසල් කාලය දැන් දරුවන්ට අයිති නැති වීම ගැන සරනිට දැනෙන්නේ හැබෑම දුකක්.
“කාව්‍යා ඉන්නෙ ක්ලාසස් වලනම් හොඳයි.හැබැයි ඒ රෑ එකටත් මම බලනකොට ෆේස්බුක් ඔන්ලයින් පෙනුණා.මම ස්ටිකරයක් යැව්වම රිප්ලයිත් කරේ..”
නංගිගේ ඒ කතාව ඇහුණම සරනි පුදුම වුණා.කැරට් කපන එක පැත්තක තිබ්බ අම්මත් සරනි දිහාත් නංගි දිහාත් බැලුවේ මහා පුදුමයකින්.
“කාව්‍යා තාම නවය වසරෙනෙ.ඒ ළමයට ෆේස්බුක් මොකටද?”
ඔන්ලයින් ඉගෙන ගන්න ඒ හැටි අවශ්‍ය නොවෙන ඇප්ස් කිහිපයක්ම කාව්‍යාගේ ළමා කාලය වේගයෙන් ආක්‍රමණය කරන බව සරනිටත් තේරුණා.
“නංගි ෆෝන් එක එක්කමයි නේද ආන්ටි.”
මීටරේ දුර තියාගෙන රම්පේ ඉල්ලා ගන්න වැට ගාවට ආපු රමණි ආන්ටි අතට රම්පේ කරපිංචා එක්කම කාව්‍යාට පේර ගෙඩියකුත් තියන ගමන් සරනි ඇහුවේ පරිස්සමින්.
“ක්ලාස්නෙ දුවේ දවසම..”
රමනි ආන්ටි කියන්නේ උජාරුවට.
“පොඩ්ඩක් හෝදිසියෙනුත් ඉන්න ආන්ටි.පාඩම් අතපසු කරගෙන සෙල්ලමට වැටිලා වෙන්නත් පුලුවන්නෙ..”
සරනි එහෙම කියලා ආපහු හැරුණා.රමණි ආන්ටි ආපහු හැරුණේ මුහුණ කුණ්ඩ හට්ටියක් කරන්.
“ඒ වුණාට අක්කේ පුංචි කාලේ ඔය ළමයින්ට අපේ දූ සැලකුවේ තමන්ගෙම අක්කලට වගේ.අක්කටත් මතකනෙ.එහෙව් ළමයට පද හදන එක කොච්චර කැතයිද කියන්නකො..”
ටික වෙලාවකට පස්සේ මහ හයියෙන් සද්දයක් ඇහිලා සරනි පහළට එබිලා බැලුවා.රමණි ආන්ටි මේ බනින්නේ තමන්ට කියලා තේරුම් ගන්න එයාට එච්චර අපහසු වුණේ නෑ.
“වැරද්දක් ගැන කිව්වම වැරදි තැනකින් අල්ලා ගන්න මිනිස්සු හදන්න ආයේ නම් යන්න එපා ලොකූ..”
අම්මා සරනිගේ හිස පිරිමදින ගමන් කිව්වේ සරනි ඉන්නේ ඇත්තටම හිතේ අමාරුවෙන් කියලා තේරුණු හින්දා.
“කාව්‍යා මැඩම් ඔයාට හින්ට් ගහලා ෆේස්බුක් ස්ටේටස් දානව මේං..”
නංගි ඇවිත් පෙන්නපු පෝස්‍ට් එකෙ “පුරුදු වෙයං අනුන්ගෙ දේවල් හොයන් නැතුව ඉන්න..ඒක පට්ට..” කියලා තියෙනකොට සරනිට හිනාවක් උපන්නා.පුංචි කෙල්ල යන වේගය වැඩි වුණත් දැන් සිද්ධ වෙන්නේ බලාගෙන ඉන්න කියලා සරනි හිතුවේ හිතේ අමාරුවෙන්.
ඇඳිරි නීතිය දිගු වුණාට සරනිගේ කාර්යබහුල බව අඩු වුණේ නැහැ.ඔෆිස් එකේ වැඩක හිරවෙලා ඉන්නකොට නංගි කාමරේට කඩා වැදුණේ අවසර ගන්නෙත් නැතුව.
“අයියෝ අක්කා මේ බලන්න..”
නංගි ෆේස්බුක් තිරයේ ඉහළ පහළ යමින් පෙන්නන දේ දිහා සරනි බලාගෙන හිටියේ කම්පිත වෙලා.
“මේ ළමයා කරපු විකාර ටික්ටොක් එකක් නේද මේ වයිරල් යන්නෙ..”
කාව්‍යා කරපු ටික්ටොක් වීඩියෝ එකක ඇඟේ යට ඇඳුම් පෙනෙන හැටි උලුප්පා දක්වමින් ලියවිලා තියෙන අප්‍රසන්න කතා වගේම කාව්‍යාගේ මුහුණ යොදාගෙන හැදෙන මඩ පෝස්ට් දිහා සරනි බලාගෙන හිටියේ හිරිවැටුණු මනසකින්.
“මේක මෙහෙම වෙයි කියල මම හිතුව අක්කේ.මීට වඩා විනාසයක් නොවී මෙහෙම නතර වුණා මදැයි..”
නංගි එහෙම කිව්වේ දිග හුස්මක් ගන්න ගමන්.
සරනි කවුළුවෙන් පහළ බැලුවේ හිතේ අමාරුවෙන්.ජනේලයෙන් ඈත බලාගෙන හිස් බැල්මකින් කල්පනා කරන කාව්‍යා දැක්කම සරනිට ඇති වුණේ වේදනාවක්.”බික්කට් නෑ?” අහපු පුංචි කෙල්ලට බික්කට් නෑ කියලා කිව්වම හයියෙන් අඬන හැටි සරනිට මතක් වුණා.
ඒ කාලේ වගේම කාව්‍යාව වඩාගෙන නළවන්න පුලුවන් වුණානම්!!