“මේ මගේ අල්මාරියේ යතුර..”
අත්තම්මා චමුදි අතට යතුරක් දෙන ගමන් කිව්වා.චමුදි ඒ යතුර ගන්න බයකින් වගේම ලැජ්ජාවකින් ඇඹරෙනකොට අම්මා එතනට ආවේ සන්සුන් හිනා කටක් පුරවාගෙන.
“මොකක්ද පුංචි අම්මේ ඔය?”
අම්මා චමෝදි අතේ තිබුණු යතුර දිහා විමසිල්ලෙන් බලන ගමන් ආත්තම්මාගෙන් ඇහුවේ කරුණාවෙන්.
“මගේ අල්මාරියේ යතුර නිලූකෝ.මං නැති දවසක ඒකේ තියන රත්තරන් බඩු ටික චමුදි දුව ගත්තාවේ.දෑවැද්දට අරන් යන්න.”
තාම උසස්පෙළ පන්තියේ ඉන්න චමුදි අතින් අල්මාරියේ යතුර ගත්තු අම්මා ඒක ආපහු ආත්තම්මාට දුන්නා.
“ඔන්න ඕක සංජීවනී නංගිට දෙන්න පුංචම්මෙ.ඔයාව බලා ගන්නේ එයානෙ.”
ඒත් ආත්තම්මා බැරි අමාරුවෙන් කියවිල්ල පටන් ගත්තා.සංජීවනී නැන්දගේ ලොකුකම වැඩි බවත් එයා එක්ක මේ ගෙදර වාසය අමාරු බවත් කියනකොට අම්මා නම් කළේ හිනාවෙලා අහගෙන ඉන්න එක විතරයි.
“එහෙනම් අම්මා ලොකු මල්ලිලගෙ දිහා යන්න.වජිරා නංගි හොඳයිනෙ.”
වජිරා නැන්දගේ වැරදි කියන්න තවත් වෙලාවක් ගත වෙනකොට අත්තම්මට මහන්සි වෙන්න හොඳ නැති බව කියලා අම්මා චමුදිත් එක්ක එළියට ආවා.
සංජීවනි නැන්දා ඉස්කෝලේ ඇරිලා ආව ගමන් සාරිය පිටින්ම කුස්සියේ වැඩ.
දවල් දවසේ ආත්තම්මාව බලා ගන්න රෝජා තේ හදලා කේක් කපලා ගේ ඇතුළට ගියේ නැන්දටයි අම්මටයි කතා කරන්න ඉඩ දීලා වගේ.
“ඩොක්ටලා මොකද කියන්නේ නංගි?”
අම්මා අහනකොට සංජීවනි නැන්දා අත්තම්මාගේ වෛද්‍ය වාර්තාව එහෙමම දිගාරින්න පටන් ගත්තා.ගර්භාෂයේ පිළිකාවක් තියන අත්තම්මාගේ ජීවිතේ තවම ඒ හැටි දුරක් නැති පාටයි.
“දූ, හොඳට ඉස්කෝලෙ වැඩ කරනව නේද?”
සංජීවනී නැන්දා අහනකොට චමුදි හිනා වුණේ ලැජ්ජාවෙන්.පන්ති බාර ගුරුතුමී කියන හැටියට නම් චමුදිට පළමුවැනි වතාවෙම වෛද්‍ය පීඨයට යන එක ඒ තරම් ලොකු හීනයක් වෙන එකක් නෑ කියලා අම්මා කිව්වේ ආඩම්බරේකටත් වඩා සැනසීමකින්.
“චමෝ ඉතිං ඉගෙන ගන්න දක්ෂයිනෙ.අපේ නාලක නම් කියන්නේ දූට ඔය තියෙන්නෙ අක්කගෙ ආරේ කියලා.අක්කා ඒ කාලේ පුදුම දක්ෂයිලු.ඉස්කෝලෙ ගමන නැවතුණු එකනම් අපරාදයක් අක්කෙ..”
සංජීවනි නැන්දා එහෙම කියලා තේ උගුරක් බිව්වා.අම්මා හිනා වුණේ අත්තම්මාගේ කාමරේ දොර රෙද්ද දිහා බලාගෙන.
“මං ඉතින් මල්ලිලාට ඉගැන්නුවනෙ නංගි.ඒ මදැයි..”
නාලක මාමාත් නාරද මාමාත් ඉහළ රැකියා කරන එක ගැන අම්මා ඇත්තටම සතුටු වෙන බව චමුදි දන්නවා.චමුදි හොඳ ළකුණු එක්ක රිපෝට් කාඩ් එක්ක උස්සාගෙන ආවම “මාමලා වගේ හොඳට ඉගෙන ගන්නෝනෙ” කියලා අම්මා කියන්නේ සන්තෝසෙන්.
“නංගිට මේ දවස්වල මහන්සි වෙන්න පුලුවන්ද? එක්කො මං පුංචි අම්මා අරන් යන්නද?”
සංජීවනී නැන්දාගේ පිරුණු කුස දිහා බලාගෙන අම්මා අහනකොට නැන්දා හිනා වුණේ ලෙන්ගතුකමට.
“ටෙස්ට් වගේකුත් කරන්න තියන හින්දා වජිරා අක්කලා ඇවිල්ලා එක්ක යයි අක්කේ.ඔයාටත් බිස්නස් වැඩ එක්ක මේවා අමාරුයි.හැබැයි ඉතිං අම්මා ආපහු කොළඹ ඉඳන් එන්නේ වජිරා අක්කට බැනගෙන..”
අත්තම්මා මෙච්චර වෙලා අම්මා එක්ක සංජීවනි නැන්දාටයි වජිරා නැන්දාටයි දෙන්නටම බැන්න බව මතක් වෙලා චමුදිට හීනියට හිනාවක් ඉපදුණා.
“මොකද කෙල්ල හිනා වෙන්නේ?දැන්ම තියා කොල්ලො එහෙම හොයා ගන්නව නෙවෙයි.නැන්දම්මලාගෙ හැටි ඔහොමයි.”
සංජීවනී නැන්දා එහෙම කියලා හිනා වෙනකොට කාමරේ ඇතුළෙන් අත්‍තම්මාගේ කෙඳිරිය හරි සැරේට ඇහෙන්න ගත්තා.
ආපහු එනවා කියන පොරොන්දුවෙන් අත්තම්මාගෙන් සමු ගනිද්දී අත්තම්මා අඬන්න ගත්තේ ආයේ දකින්න ලැබෙයිද නොදන්න බව කියමින්.විකාර කතා නොකියා ඉක්මනින් සනීප වෙන්න කියලා අම්මා තරවටුවක හඬකින් කිව්වට අම්මාගේ ඇස් දෙකේ තිබුණේ ඒ කතාව විශ්වාස කරන අන්දමේ බයක් කියලා චමුදිටත් නොතේරුණා නෙවෙයි.අත්තම්මා ආයේ වදෙන් පොරෙන් අල්මාරියේ යතුර චමුදි අතට දුන්නා.අම්මා ඒක අරන් එළියට ඇවිත් යතුර සංජීවනි නැන්දාට දුන්නේ අත්තම්මාට නොකියා යතුර අරන් තියන්න කියන ගමන්.
“ඕක චමෝටම දෙන්න අක්කේ.අම්මගෙ කිසි දෙයක් මංවත් වජිරා අක්කවත් ගන්නවට අම්මා කැමති නෑ.චමෝ ගත්තාවේ..”
ඒත් අම්මා ඒ යතුර බාර ගත්තේ නෑ.
එදා හැන්දෑවේ තාත්තා ඔෆිස් ඇරිලා ආවම අත්තම්මාගේ විස්තර අහන්න පටන් ගත්තා.කාබනික රසායනය පොත පැත්තකින් තියලා චමුදිත් සාලෙට ආවේ කතාවට හවුල් වෙන්න හිතාගෙන.
“එක්කන් ඇවිල්ල පුලුවන් හැටියට බලාගන්න ඕන හිතෙනවනම් එක්කන් එන්න නිලූ.අම්මා නැතුව ඔයාව බලාගත්තු මනුස්සයනෙ..”
තාත්තා එහෙම කියන්නේ කරුණාව පිරුණු කටහඬකින්.තමන්ගේ ජීවිතේ තමන්ට ලැබුණු ලොකුම සම්පත තාත්තා කියලා අම්මා කියන්නේ නිකමට නෙවෙයි කියලා චමුදිට හිතුණා.
“මල් පැල බිස්නස් එක්ක මට පුංචි අම්මට සාත්තු කරන්න බෑ ජයන්ත.සංජීවනි නංගියි වැඩට ඉන්න ළමයයි එයාව බලාගන්නවනෙ..”
අම්මා එහෙම කියද්දී චමුදිට අල්මාරියේ යතුර ගැන මතක් වුණා.චමුදිගේ ඕපාදූපය අහන් ඉඳලා තාත්තාට හිනාවක් මතු වුණා.
“අම්මා කසාද බඳිනකොටනම් අත්තම්මා ඔය රත්තරං බඩු ගැන මොකුත් කිව්වේ නෑ..”
තාත්තා හිනා වෙනකොට අම්මා නම් ඒ හිනාවට එකතු වුණේ නැහැ.
“මට ඇරුණු දොරවල් වහලා දාලා දැන් ඔය අල්මාරියක යතුරක් දුන්නට මොකටද ජයන්ත..”
අම්මා එහෙම කියනකොට තාත්තා අම්මා දිහා බැලුවේ අනුකම්පාවෙන්ද ආදරයෙන්ද කියලා චමුදිට හිතා ගන්න බැරි වුණා.ඒත් අම්මා කියන දොර මොකක්ද කියලා චමුදි දන්නවා.
අම්මාගේ අම්මා නැති වුණාට පස්සේ සීයා තාත්තා ආයේම විවාහ කරගෙන තියෙන්නේ ඔය ලෙඩ ඇඳේ ඉන්න අත්තම්මාව.ආපු කාලේ වෙනසක් නොපෙන්නුවට අත්තම්මා ගැබ් ගන්නකොට අම්මා ඉඳලා තියෙන්නේ දහයේ පන්තියේ.කවදාහරි ටීච කෙනෙක් වෙන්න හිතාගෙන ආසාවෙන් ඉස්කෝලේ ගිය,පන්තියේ පළමුවැනියා වුණු අම්මාට නාරද මාමා බලා ගන්න ගෙදර නතර වෙන්න සිද්ධ වුණු හැටි කියද්දී තාමත් අම්මාගේ ඇස් රතු වෙනවා.
මල් පැලත්, පළතුරු පැලත් වවමින් හොඳ ප්ලාන්ට් නර්සරි එකක් පවත්වාගෙන යන අම්මා ටීච කෙනෙක් වුණානම් කොහොම ඉඳීවිද කියලා චමුදිට නොහිතෙනවා නෙවෙයි.ඒත් චමුදි ඒ ගැන හිතන්න කැමති නෑ.
“ඔයා ඕවා ගැන හිතලා අර මැරෙන්න ඉන්න මනුස්සයා එක්ක තරහින් ඉන්න එපා නිලූ.ඔයා උගත් නැත්නම් දූ මෙච්චර හොඳට ඉගෙන ගන් නෑ.එක්සෑම් ලියලා යන්තන් ආණ්ඩුවෙ රස්සාවක් කරාට මං ඒ හැටි දක්ෂ මනුස්සයෙක් නෙවෙයිනෙ.දෝණිට පිහිටලා තියෙන්නෙ ඔයාගෙ මොලේ..”
තාත්තා කියන්නේ අම්මාගේ හිත හදන්න හිතාගෙනම නොවෙන බව චමුදි දන්නවා.
“එයාලා දොරවල් වැහුවට අම්මා අම්මගෙම කියලා ලස්සන ලෝකෙකට දොර ඇර ගත්තනෙ අම්මා.අම්මා හොඳ බිස්නස්ලේඩි කෙනෙක්.අම්මට ලස්සන පවුලක් තියනව.ඒ මැදැයි.”
චමුදිත් පුලුවන් විදියට අම්මාගේ හිත හදලා කාමරේට ආවා.ආත්තම්මා යතුර අතේ තියාගෙන තමන් දිහා බලාගෙන හිටිය බැල්ම පසුතැවීමට හුරු එකක් කියලා චමුදිට හිතුණා.
“ඒ යතුර නොගත්ත එකමයි හොඳ..”
කාබනික රසායනය පොතේ අකුරුවලට එහෙම කියලා තමන්ගේ ජීවිතේ යතුර හොයා ගන්න හිතාගෙන චමුදි පාඩම් කරන්න පටන් ගත්තා.