සුළි සුළඟක සුසුමක් 25 වන කොටස

සූරියකන්ද මාර්ගය දිගේ යත්දී දකිත හැකි සුන්දරත්වය, පසු ගිය වතාවේ දී ට වඩා මේ වතාවේ දී මට විඳිත හැකි විය. කිසිත් වෙනස් වී තිබුණා නොවේ. නමුත් එදා ට වඩා අද මගේ හිත නිදහස් වග මට දැනේ. එදා මේ රියේ අද මා හිඳ ඉන්නා තැන හිටියේ මල්ෂා ය. ඇගේ සිහිනය ඈ රිසි පරිදි හැබෑ කර ගන්නට ඉඩ දිය යුතු ය යන පරාර්ථකාමී චේතනාවෙන් මම ඇයට සංකල්ප ළඟ අසුන දී පසුපසට ගියෙමි. අනුන් ගැන හිතන එක සැනසීමක් බව ඇත්ත ය. නමුත් ඒ පරාර්ථ චර්යාවේ නියම සැනසීම ලද හැක්කේ එය සම්පූර්ණයෙන් ම ආත්මාර්ථයෙන් තොර නම් පමණකි. මා මල්ෂාව සංකල්ප ට සමීප කරවන්නට හැදුවේත් ආත්මාර්ථකාමී හැඟීමකිනැයි පිළි ගත යුතු ව තිබේ. මට ඕනෑ වූයේ මා ඇයට වරදක් නො කරන බව මගේ ම හෘදය සාක්ෂියට හඟවන්නට ය. නමුත් හෘදය සාක්ෂිය පතා සිටින දෙයක් අන් සන්තක කරන්නට යාමේදී ඇති වන්නේ ගැටුමකි. එය අපේ මුව මත සිනහවක් රැඳවූවත් හිතේ සැනසිල්ල අහිමි කරයි.

“මොකද…”

මගේ කල්පනා ලෝකය අතරින් සංකල්ප ගේ හඬ ඇසුණේ ය. ඔහු දෙස බලා සිනහවක් පානා ගමන් මම වමතේ ඇඟිලි විදා එය පිටතට දිගු කළෙමි.

“තනියම හිනා වෙන්නෙ….”

සංකල්ප ප්‍රශ්නය ට අඩු වැඩිය එකතු කළේ ය. සීතල කටු තුඩු සේ අතේ සම මත ඇනිණි. නමුත් එය දැනවූයේ මිහිරකි.

“හුඟාක් දුක හිතුණ වෙලාවක මේ පාර දිගේ ගියානං ඒ දුක අමතකම කරල දාන්න පුළුවන් වෙයි නේ…”

ඔහුත්, ඈත නිල් කඳුත් එක ම දර්ශන තලයක තබා මම බලා සිටියෙමි.

“හ්ම්”

නිල් කඳු පසුබිම් කර ගෙන වඩාත් ළඟින් මට ඔහු පෙනුණේ ය. ජීවිත කාලයක් තිස්සේ හද නිධානයෙහි තබා සුරකින ලද බොහෝ කතා වල සාරාශ කොටස්, ඒ ඇස් අයිනේ වන ඉසිහින් රේඛා වල හැංගී තිබේ! මට සංකල්ප ගේ කොපුලක් මතින් මගේ අත තබන්නට සිතුණේ ය. මහපටැඟිල්ලෙන් ඒ ඇස් මුල වන අතීත ශෝක රේඛාවන් පිස දමන්නට සිතිණි. නමුත් පිරිමින් විෂයේ කවදටත් මා කුළෑටි ය.

“අම්ම නැති වුණාට පස්සෙ තාත්තා බැඳපු කෙනා…මොන හේතුවක් නිසා මට වෛර කළාද කියල මං දන්නෑ. ඒ ගෑනිට මාව පේන්න බෑ. ඕන එකටයි එපා එකටයි හැම එකටම මට කෑ ගහනව. මං ගණං ගන්නෙ නැති වුණහම තාත්තා ගෙ ඔළුව කනව. ටික ටික ලොකු වෙනකොට තාත්තා පව් කියල මට හිතෙන්න ගත්තා. මුලිං තාත්තාවත් මට පේන්න බැරුව ගියා කුඩම්ම කෙනෙක් ගෙනාපු නිසා. කොහොම වුණත් ඒ කාලෙ හැමදාමත් බරක් වගේ හිත උඩ පැටවිලා තිබිච්ච හැඟීමක් එක්ක මං ෆුට් බයික් එකෙං මේ පාරෙ සෑහෙන දුර ගිහිං එනව. හති දාගෙන බයිසිකලේ පාගල…ඈත ලස්සනට පේන තැනක නතර වෙලා බිම ඉඳං බලං ඉන්නව. එතකොට මේ තද නිල් පාට අහසට ඔක්කෝම දුක උරා ගන්නව වගේ…මං ගෙදර එන්නෙ හිස් වෙලා”

“අනේ”

මට කියවිණ. මුල් ම වතාවට සංකල්ප ගැන ස්නේහයකින් පපුව පිරී යනවා දැනිණ. ඔහු ට වද දුන් කුඩම්මා ගැන කියා ගන්නට නො තේරෙන කේනිතියක් හිතේ ඉහිර යනවා දැනිණ.

“පස්සෙ මට හිතුණා තාත්තට වෛර කරන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියල. ඒත් තරුණ මිනිහෙක්නෙ. ජීවත් වෙන්න ගෑනියෙක් ඕන ඇතිනෙ. පස්සෙ පස්සෙ මං ගෙදර රැඳෙන එක සෑහෙන්න අඩු කළා. යාළුවොත් එක්ක රස්තියාදු ගහල හරි අනං මනං පන්ති වලට ගිහිං හරි කාලෙ ගෙවාගෙන රෑ වෙලා ගෙදර ඇවිත් නිදියනව. ඒ ලෙවල් ඉවර වුණාට පස්සෙ තාත්තා මට මේ ගේ දීලා ඒගොල්ලො ටවුන් එකේ වෙන ගෙයක් අරං ගියා”

“ඔයාට හුඟක් තනිකම දැනෙන්න ඇති”

කීවා නොව මට කියවිණ.

“නෑ”

අත් දෙක කලවා මතට බර කොට මම මඳක් ඉදිරියට නැඹුරු වී සංකල්ප දෙස බැලුවෙමි. ඔහු ගේ තැඹිලි පාට තොල් මැද්දේ මන්දහාසයක් විය.

“හිතේ එක පැත්තක අම්ම ගැන මතකය තිබුණා…”

ඔහු මඳක් හිස හරවා මවෙතට තත්පර දෙක තුනක බැල්මක් හෙළුවේ ය. ඒ වූ කලී පුදුම බැල්මකි. ඒ වගේ ආදරයක් ඊට පෙර පිරිමි දෑසක දුටුවා කියා මතකයක් මට නැත්තේ ය. ඒ බල්ම මගේ ස්ත්‍රී ළය බර කළ බව මට දැනිණ.

“හිතේ අනිත් පැත්තෙ ඔයා හිටිය”

උගුරෙන් පහළට අයිස් බෝලයක් ගිලා බැස්සේ ය. මගේ මුළු සිරුරම සීතල වී ඇති බවක් මට දැනිණ. ඒ නිරුත්තර නිමේෂයකි. මට යමක් කියන්නට ඕන වුණේ ය. මම ඊට උත්සාහ ද කළෙමි. නමුත් මා සමත් වූයේ නැත. දෙතොල් කට කට ගා වෙව්ළුවේ ය. අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගත් මම සංකල්ප ගේ ඩෙනිම් කලිසමක් හැඳි කකුලේ කලවය මතින් මගේ දහදිය දැමූ අත්ල තැබුවෙමි. යළිත් වරක් මදෙස බැලූ හෙතෙම වමත මගේ උරහිස වටා යවා මා ඔහු වෙතට ලං කර ගෙන හිස් මුදුන සිප ගත්තේ ය.

මට කතා කරන්නට පුළුවන් වූයේ නැත. ඉනික්බිති මට කතා කරන්නට ඕන වුණේත් නැත. ඒ ගල් ගැහීමට මම රිසි වීමි. කොහොමටත් මා කියන්නේ හැඟීම් ගැන කතා කළ හැකි කෙල්ලක නොවේ.

මඳ වෙලාවකට පසු වංගුවක් ගනිත්දී ඔහු මගේ උරයෙන් සිය අත ගෙන සුක්කානම අල්ලා ගත්තේ ය. ඒ වංගුවෙන් ඈත එපිට පෙනුණේ දිව්‍ය ලෝකයක් කියා හිතෙන තරමට මම ඒ මොහොත ලස්සනට දුටිමි. වංගුව නිම වූ ගමන්, සිය කකුල මත වූ මගේ දහදිය බින්දු නැගුණ අත අල්ලා ගත් සංකල්ප එය දෙතොල් මත තබා සිප ගත්තේ ය. යළිත් හිස් මුදුන සිම්බේ ය. ඒ මුළු කාලය පුරා ම මම ඔහු ට අයිති ඒ හීනය තුළට වී සිටියෙමි. ඒ මොහොත ඔහු ගේ ය. එය නිර්මාණය කළේ ඔහු ය. ඒ වෙනුවෙන් පෙරුම් පිරුවේ ඔහු ය. ඒ නිසාවෙන් ඒ හෝරාව මුළුමනින් ම අයිති ඔහු ට ය. නමුත් මම ඒ තුලට වී අත්‍යන්ත වූ සැනසිල්ලක් අත් වින්දෙමි.

මගේ ජංගම දුරකතනය හැඬවුණේ ය. තිරයෙහි සනිටුහන් ව තිබුණේ ප්‍රියංවදා අක්කා කියා ය. මම නෙතු විදා සංකල්ප දෙස බැලුවෙමි. ඔහු අයිනට කොට රිය නතර කළේ ය.

“හෙලෝ. කියන්න අක්ක”

මගේ කටහඬ වෙව්ලා යන්නට ඇත.

“කියන්න අක්ක තමයි. උදේ අයිය කෝල් කරද්දි ආන්සර් කළේ නෑ නේද…”

“මං…ගන්න හිටියෙ අක්ක. මං එවෙලෙ වොෂ් රූම් එකේ හිටියෙ..”

“අම්ම හොස්පිටලයිස් කළා”

“අම්ම…අනේ ඇයි ඒ..අම්මට මොකද අක්කෙ…”

“සර්වන්ට් බ්‍රෙක්ෆස්ට් රෙඩී කියන්න යද්දි අම්ම ඇඳ උඩ උඩුබැල්ලට වැටිල ඉඳල”

“මං එනව අක්කෙ. මං දැංම එනව”

මා දුරකතන සම්බන්ධය බිඳ දැමූයේ ඇතුළාන්තයෙන් ම නැගී ආ ඉකියකිනි.

“අපි කොළඹ යං. මෙහෙමම…”

එසේ කියමින් සංකල්ප රිය හරවා ගත්තේ ය. එහෙමම නීලා ට කතා කොට පණිවිඩය කීවේ ය. මා හිටියේ කුමක් කරන්නද කියා පැහැදිලි කර ගත හැකි මානසිකත්වයක නොවේ. මගේ මනස අක්‍රිය බවක් මට දැනිණ. හිත ළඟ හොල්මන් කරන්නට වූයේ අප්පච්චි රෝහල් ගත කර උන් දවස් ය. අප්පච්චි ට වූ දේ අම්මා ටත් වේවිද කියන බය මා යට කර ගන්නා උත්සාහයක් දැරුවේ ය.

“අම්ම සනීප වෙයි. බය වෙන්න එපා. දැං හොස්පිට්ල් එකේනෙ ඉන්නෙ…”

මා අස්වසන්නට සංකල්ප කීවේ ය.

“මට බයයි සංකල්ප. මට අප්පච්චි මතක් වෙනව. අම්මට කරදරයක් වුණොත්…අනේ මට බයයි සංකල්ප”

“ළමයො..එහෙම හිතන්න එපා උත්තරා. අපි පොසිටිව් විදිහට හිතමුකො. අම්මට කරදරයක් වෙයි කියල හිතනවට වඩා නරකද කරදරයක් වෙන එකක් නෑ කියල හිතන එක…අම්මට මුකුත් වෙන්නෙ නෑ උත්තරා”

රෝහලට යන්නට අපට ඒ හැටි වෙලාවක් ගියේ නැත. අම්මා ගිලන් යහන මත සුවෙන් සිටියා ය.

“අම්…ම…”

මම ඈ දැඩි ව වැළඳ ගෙන විනාඩි කිහිපයක් ගත කළෙමි.

“මං බය වුණා”

“දැං බය වෙන්න එපා. ඔයාට කතා කළා කිව්වහම මං වැඩියත් බය වුණා. කළබලේට ඩ්‍රයිව් කරල වෙන කරදරයක් කර ගනී කියල”

“සංකල්ප එක්කං ආව”

“අනේ කොච්චර දෙයක්ද පුතේ. ඒක මේ වෙලාවෙ ලොකුම ලොකු උදව්වක්”

අම්මා සංකල්ප ට කෘතඥ වූයේ මූණිච්චාවට නොව හදවතින් ම ය. මම ඔහු දෙස බැලුවෙමි. මගේ ඇස් වල ආදරය තියෙනවා මුල් ම වතාවට මට දැනිණ.

“මං එහෙනං යන්නද උත්තරා”

මම ඔහුත් එක්ක පසු ගමන් ගියෙමි. අප දෙදෙනා ම හිටියේ නුහුරු බරක් දරා ගෙන වාගේ ය. පාළු කොරිඩෝරයේ අපේ ම පිය ගැටෙන හඬ පවා පපුව දෙදරවූයේ ය.

“මං ඉක්මනට එනව”

ඔහු විදුලි සෝපානය එන තුරු රැඳුණු තත්පරයේ දී එසේ කියමින් මම ඒ අත්ල මගේ ඇඟිලි වලින් යන්තම් ඇල්ලුවෙමි. සංකල්ප මගේ මුහුණ මත සිය දෙනෙතු අතුරා ගෙන මොහොතක් හිටියේ ය. ඔහු ගෙන් මිදෙන්නට බැරිවා වගේ ආගන්තුක සිතිවිල්ලක් මගේ ළය බර කරමින් තිබිණි. විදුලි සෝපානය විත් නතර වී, ඔහු ට ඇරයුම් කරමින් දොර විවර විය. ඔහු ගේ අත්ල මගේ ඇඟිලි වලින් තද වන්නට ඇත. වට පිට නො බලා ම සංකල්ප මගේ නළල මත සිය දෙතොල් තැබුවේ ය.

“පරිස්සමෙං ඩ්‍රයිව් කරන්න. ගෙදර ගිහිං මට කෝල් එකක් දෙන්න”

විවාහක බිරිඳක ගේ ආදරය හා වගකීම පිරුණු හඬක් මගේ උගුරෙන් පිට විණි. ඒ කිසි සේත් එෆ් එම් නිවේදිකාවගේ දඟකාර කටකාර හඬ නම් නොවිණි.

සංකල්ප සෝපානය තුළට ගියේ ය. දොර වැහිණි. හදවත කඩා වැටුණා සේ මට දැනිණ. මා අම්මා හිඳින කුටියට ආවේ වෙස් මූණක් පැළඳ ගෙන ය.

එතකොට ම වාගේ අයියා ආවේ ය. සංකල්ප පිටත් වී සිටි එක හොඳ යයි මට සිතිණ.

“ඔයා නිසා තමයි මෙයත් ලෙඩ වෙන්නෙ”

අයියා කෙළින් ම මට චෝදනා කළේ ය.

“දැං ඔය පිස්සු නැටුව ඇති. මැරි කරන්න ලෑස්ති වෙනව අර ඩොක්ටව”

“අයියෙ. මං පොඩි ළමයෙක් නෙවෙයි වැඩිහිටියෙක්. මට අයිතියක් තියෙනව මං මැරි කරනවද නැද්ද ඒ කවුද කියල තීරණේ කරන්න. ප්ලීස්…අපි දැං ඔය කතාව නවත්තමු. අම්මා මේ අසනීප වෙලා හොස්පිට්ල් එකේනෙ ඉන්නෙ”

මා කතා කළේ කේන්තියකින් නොවේ. නමුත් ස්වරයෙහි ඍජු බවක් විය. ඔහු කර බා ගත්තේ ය.

“ඇත්තටම අම්ම මං නිසා ද ලෙඩ වුණේ…”

අයියා ගිය පසු මම අම්මා ළඟ හිඳ ඇසුවෙමි. ඇය මගේ අතක් පිරිමැද්දා ය.

“අනේ නෑ පුතේ. ෂුගර් බැහැල. පහුගිය ටිකේම මට හරි කෑමක් වැටුණෙ නෑ. ෂුගර් වලට බෙහෙතුත් බොනවනෙ”

“ඉතිං අම්ම නොකා හිටියෙ මං නිසාද..”

“කොහොමත් ඔයා ඉක්මනට පිළිවෙලක් වෙන්න ඕන උත්තරා. අද හොස්පිට්ල් එකේදි සිහිය ආවහම මට මුලින් ම හිතිච්ච දේ තමයි ඒක”

“අම්..ම..”

“අප්පච්චි වගේම මාත් හදිසියෙවත් ජීවිතේ අත්ඇරල ගියොත්…මැරිලත් මට ඒ හිත් බරෙන් මිදෙන්න බැරි වෙයි”

“මොනාද අම්ම කියන්නෙ…”

“ජීවිතේ එහෙම තමයි. අප්පච්චි නැති වුණත් මට ඕගොල්ලො හිටියා. ඒක නිසා මට තනියක් නෑ. පවුල කියන දේ තමයි පුතේ මේ ලෝකෙ වටිනම දේ. දැං අයියල අක්කල වෙනම පවුල් වෙලා. ඔයාටත් ඔයාගෙම කියල පවුලක් ඕනෙ. අපිට හැමදාම තනියම ඉන්න බෑ උත්තරා. ඉන්න බෑම නෙවෙයි පුළුවන්. ඒත් එතන සතුටක් රැකවරණයක් නෑ. දැං බලන්න…මං අසනීපයි කියල දැන ගත්ත වෙලේ සංකල්ප ඔයාව එක්කං ආව. ඒ වගේ අපිට තව කවුරු හරි ඕන වෙන වෙලාවල් එනව. හැමදාම අපි ළඟට වෙලා තනිය මකන්න පිට අයට බෑ. ඒකයි අපිටම කියල පවුලක් ඕන වෙන්නෙ. මට හිතේ සැනසීමෙන් මැරෙන්න ඕන උත්තරා..කවදහරි ඔයා තනි වෙන්නෑ කියල දැනගෙන මැරෙන්න ඕනෙ”

අම්මා ගේ ඒ වචන වෙනදාට වඩා මගේ හිතේ වැදී නතර වූයේ ය. රාත්‍රියේ අම්මා එක්ක රෝහල් කුටියේ නතර වූයේ මා ය. මතු මහලේ කුටිය සීතලෙන් මිදී තිබිණි. අම්මා නිදන්නට වූ පසු, විසල් වීදුරු ජනේලය ළඟට පුටුවක් ඇද ගත් මම සංකල්ප ට ඇමතුමක් ගත්තෙමි.

“කෑවද ඔයා…”

ඔහු මුලින් ම ඇසුවේ එයයි.

“තාම නෑ”

අම්මා අවදි වේ යයි බියෙන් මම මිමිණුවෙමි.

“කන්න උත්තරා. මං හිතන්නෙ දවල්ටත් ඔයා කාල නැතුව ඇති. අම්මා ට ලොකු අමාරාවක් නෑනෙ”

“කන්නං”

ඝණාන්දකාර ආකාශ තලාව ම එතැනට හොඳින් පෙනේ. මළානික තරු වලින් අහස අතුරු සිදුරු නැතිව වැසී ගොස් ඇත්තේ ය. මින් පෙර කිසි දාක අත් විඳ නැති විදිහේ පාළුවක් මගේ හදට ඉඳිකටු තුඩු අනිමින් තිබිණි. මට ඕනෑ වූයේ රත්නපුරය බලා ඉගිළෙන්නට ය.

“පාළුද…”

මා හද සසල කර ගෙන සංකල්ප කොඳුළේ ය. මම ඇස් දෙක පියවා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content