හෘද සාක්ෂිය

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය…’

වැලිකඩ බන්ධනාගාර විශාල ගේට්ටුවෙන් එලියට ආ තාරකා  මීලඟට කල යුත්තේ කුමක්දැයි කල්පනා කලා. ඇය කීපවරක්ම එම වැකිය කියෙව්වා. ඇයගේ මුහුණට ආ සිනහවේ තිබුණේ මඳ සමච්චල්කමකී.
 
“හැමෝම මනුස්සයෝනම් මෙහෙම වුණේ කොහොමද…?”

අවුරුදු හතරක් තිස්සේ තාරකා එයට පිළිතුරක් හෙව්වත් එයට පිළිතුරක් ඇයට ලැබුණේ නැහැ.
තාරකා අසළ තිබූ කමිනිකේෂන් එකකින් දුරකථන ඇමතුමක් ලබා ගත්තා. දෙවරක්ම එම ඇමතුම වෙනත් ඇමතුම් හා සම්බන්ධ වුණත් අවසානයේදී තාරකාට හුරු කටහඬ ඇයට ඇසුණා.

“හෂිනි…මම තාරකා…”

තා…ර…කා…. මොන….මේ…මේ…තාරා…?”

“ඔව්…

“දෙයියනේ…කොහේද  තාරා ඉන්නේ…?”

“මම නිදහස් වුණා… යන්න තැනක් නෑ හෂී…”

“අනේ තාරා කොහේවත් යන්න එපා. ඔතනින් පිටකොටුවට බස් එකේ ගිහින් එතනින් කළුතර බස් එකක නැගල කළුතර ටවුමෙන් බහින්න. මම ඔයාව ගන්න ටවුමට එන්නම්. අනේ…ප්ලීස් කෙල්ලේ…කොහේවත් යන්න එපා. අතේ සල්ලි තියෙනවාද…?”

“ඔව්..මම එන එක කරදරයක්ද හෂී…”

“අනේ…නෑ කෙල්ලේ . ඉක්මනට එන්න. මම බලාගෙන ඉන්නවා. ..”

තාරකා ඇමතුම විසන්ධි කර මුදල් ගෙවා කමිනිකේෂන් එකෙන් එළියට ආවා. අවුරුදු හතරක්…සිර මැඳුරේ තනිවුණ තාරකාට පොදු සමාව කාලයක් ලැබීමෙන් නිදහස ලැබුණා. ඒ වසර හතර තුලදී සිර මැඳුරේදී ඇය කල අත්කම්වලින් ඇයට මුදල් ලැබුණා. ඇය පිටකොටුවට ගොස් කළුතර යාමට බස් රියට නැගීමට පෙර වතුර බෝතලයක්ද මිලදී ගත්තා. බස් රථයේ අසුනක වාඩි වූ තාරකා දෑස් පියා ගත්තේ හිතට දැනුණ මොකක්දෝ වෙහෙසකර තත්වයක් හේතුවෙන්.

*     *     *     *      *     *     *      *

“තාරකා…අද ඔයා ඔෆිස් යන්නේ නැද්ද…?”

ඇඳේ හාන්සි වී සිටි තාරකාගෙන් කමනී ඇසුවේ කලබලයෙන්.

“යනවා…ටිකක් පරක්කු වෙලා. අද ඔෆිස් එකේ මීටින් එකක්. මම කෙලින්ම ඒකට යන්නේ… ඇයි කමනී…?”

“නෑ…මේ..මේ…මුකුත් නෑ. මගේ් යාලුවෙක් එනවා කිව්වා. ඒකයි…”

“කවුද…?මොකෝ බෝයි එනවා කිව්වද…මම ඉන්න එක අවුල් වගේද. ..?”

“අනේ මේ එහෙම එකක් නෑ…”

තාරකා නුවර කෙල්ලක්. රස්සාවකට තාරකා කොළඹ එනවට ගෙදරින් කැමැත්තක් තිබුණේ නැහැ. නුවර නගරයේ ඉහළ පෙලේ ව්‍යාපාරයක් කරගෙන ගිය තාරකා පවුලේ එකම ගැහැණු දරුවා වුණා. වැඩිමහල් සහෝදරයන්  දෙදෙනෙක් ඉන්න පවුලේ එකම දියණිය රස්සාවක් කරනවට තාරකා ගේ අප්පච්චි කැමති වුණේ නැහැ. නමුත් තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්න උත්සාහ දරපු තාරකාට කොළඹට යන්න අවසරය ලැබුණේ අම්මාගේ මැදිහත් වීමෙනුයි.
“අම්මයි දූයි ඕන එකක්. හැබැයි ඔය කොළඹ රටේ මොකක්හරි දෙයකට පැටලිලා මට එහෙම කියනවා නෙමෙයි…”

එදා අප්පච්චි තාරකාට කොළඹට එන්න අවසරය දීලා කිව්වේ එහෙමයි. තාරකා කොළඹ පැමිණ ගල්කිස්ස ප්‍රදේශයේ කුඩා ඇනෙක්සියක් කුලියට ගත්තා. එහි ඇයත් සමඟ තවත් තරුණියක් නවාතැන් ගත්තා. ඇය කමනී. තාරකා පෞද්ගලික ආයතනයක සේවය කල අතර කමනී සේවය කරන ආයතනය  සම්බන්ධයෙන් කිසිවක් කියා තිබුණේ නැහැ. නමුත් කමනීට මුදල් අඟහිඟකම්ද තිබුණේ නැහැ. අනවශ්‍ය දේවල් හාරාඅවුස්සමින් තාරකා මේ කිසිවක්  ඇසුවේත් නැහැ.

“මේ මගේ යාලුවෙක් මහිල්. එයාගේ බෑග් එකක් මගේ ලඟ තිබුණා. ඒක ගෙනියන්නයි මහිල් ආවේ…”

දිනක් රාජකාරිය අවසාන් වී ඇනෙක්සියට ආ තාරකාට හැඩිදැඩි පෙනුමැති, පෝනිටේලයක් දා ගත් පිරිමියෙකුව කමනී හදුන්වා දුන්නා. මහිල් කොයිම මොහොතකදීවත් තාරකාට මුහුණ දුන්නේ නැහැ. එදායින්
පසුව තවත් දින දෙකක් මහිල්ව තාරකාට මුණගැහුණත් ඒ කිසිම මොහොතක මහිල් තාරකා සමඟ කතාකලේ නැහැ.

“මහීල්…හරි හොඳ කොල්ලෙක්. අපේ යාලුවෝ සෙට් එක සුමානයක ට්‍රිප් එකක් යනවා. මම මේ දවස් ටිකේ එන්නේ නෑ. ඔයාට බයක් නැහැනේ…”

දිනක් කමනී කිව් දේ තාරකා එතරම් ගණන් ගත්තේ නැහැ. ඇයට තනිවම ඉන්නට බයක් දැනුණේ නැහැ. කමනීගේ ඇතැම් හැසිරීම් නිසා ඇය ගැන පැහැදීමක් තාරකාට තිබුණේ නැහැ.

*    *     *     *     *     *     *     *      *

තාරකා දෑස් ඇර වටපිට බැලුවා .ගල්කිස්ස…ඇයට හුරු පුරුදු වටපිටාව. අවුරුදු හතරකට පස්සෙත් ඒ විදිහමයි. ගල්කිස්ස උසාවිය…ඇය පසුකරගෙන ගියා. කිසිමදාක අමතක නොවන තැන… කාත් කවුරුවත් නැතිව අසරණ වුණු ඇය වැරදිකාරියක සේ නිල් පැහැති බන්ධනාගාර බස්රථයට ගොඩ වූයේ ඒ උසාවි භූමියේදීමයි. කිසිදාක උසාවියකට  ගොඩ නොවුණු ඇයට අවසානයේදී ඉතිරි වූයේ මකා දැමිය නොහැකි පැල්ලමක් පමණි. ඇස් වලට ආ කදුළු කම්මුල් දිගේ ගලාගෙන යද්දී ඇය නැවතත් ඒ වෙහෙසකර දෑස් පියා ගත්තා.

“දොර අරින්න…අපි පොලිසියෙන්….”
මැදියම් රෑ දොරට තඩි බෑ අය එසේ කියද්දි තාරකා තද නින්දකයි හිටියේ. දෑස් ඇර මේ හීනයක්දැයි කල්පනා කලා.

“දොර අරින්න. පැනල යන්න හදන්න එපා. අපි ගේ වටලලයි ඉන්නේ. කලබල කලොත් වෙඩි තියනවා….”

තාරකාට හිතාගන්නවත් බැරි වුණා. ඇය හවුස්කෝටයද ඇඟලා ඉක්මනින් දොර ඇරියා. ඒ සැනින් පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ම කාමරයට කඩා වැදුණා.

“කලබල කරන්න ලෑස්ති වෙන්න එපා…”

එසේ කී කාන්තා පොලිස් නිලධාරිනියක් තාරකාව පසෙකට කලා. එක මොහොතකින් ඇනෙක්සිය උඩුයටිකුරු වුණා. ඇඳන් යට,මේසය යට, අල්මාරියේ පමණක් නොව නාන කාමරේද සියල්ලම ඇද දැම්මා. මොහොතකින් ඇඳ යටට රිංගූ පොලිස් නිලධාරියෙකු එයින් එළියට ආවේ පාර්සලයක්ද අතැතිවයි.

“මේ තියෙන්නේ බඩු…තව හොයන්න…මෙයාව අත්අඩංගුවට ගන්න…”

තාරකාට මතක එපමණයි.

*     *     *     *     *     *     *     *     *     *

“මිස්…කළුතර…බහින්න…”

කොන්දොස්තරගේ හඬින් තාරකා දෑස් ඇරියා. කලබලකාරී කළුතර නඟරය.තාරකා බසයෙන් බැස කමිනිකේෂන් එකක් ඇත්දැයි වටපිට බැලුවා.

“අනේ…තාරා…”

ඈත සිටම ඒ හුරු පුරුදු හඬ ඇයට ඇසුණා. වටපිට බැලූ ඇයට ඒ ලෙංගතු රැව දැක ගන්නට ලැබුණා.

“හෂී….ඔයා ටවුමටත් ඇවිත්. දැන්ද ආවේ…මම නිසා ඔයාට කරදරයි නේද….?”

අවුරුදු ගානකට පසුව තමන්ගේම කියන කෙනෙක්ගේ උණුහුම,රැකවරණය, ආදරය, දෙනෝදාහක් මිනිසුන් ඉදිරියේ හෂිනිව වැළද ගනිද්දී තාරකාට හිතුණා. ඒ ඇස් වලින් ගලාගෙන ගිය කදුළු හෂිනිගේ උරහිස් තෙත් කලා.

“යමු….අඬන්න එපා ඔයාගේ කෝල් එක ආපු වෙලාවේ ඉදන් මට දකිනකම් ඉවසීමක් තිබුණේ නැහැ. ඒ නිසයි එන වෙලාව හිතලම මම බස් හෝල්ට් එකට වෙලා හිටියේ. අපි ගෙදර යමු…”

හෂිනි තාරකාගේ අතින් අල්ලා තම කුඩා මෝටර් රථය වෙතට ගෙන ගියා.

*   *    *    *     *     *    *     *    *     *

“එදා මාව පොලිසියට ගෙනත් රිමාන්ඩ් කලා. ඒ බෑග් එක ඇතුලේ තිබිල තියෙන්නේ මත්කුඩු. මම ඒ කිසිම දෙයක් ගැන දන්නේ නෑ. කාලයක ඉදන් කමනී කරල තියෙන්නේ ඒ බිස්නස් එක. අර බෝයි තමයි ඒකට කමනීට උදව් කරල තියෙන්නේ….”

“ඔයා ඒ දෙන්නා ගැන පොලිසියට කිව්වේ නැද්ද…?”

“කිව්වා. ඒත් වැඩක් වුණේ නෑ. කමනී ඉන්නේ කොහේද ගෙවල් කොහේද කියලා මම දැනගෙන හිටියේ නෑ. අඩුම තරමින් එයාගේ සම්පූර්ණ නමවත් මම දැන ගෙන හිටියේ නෑ. ඒ නිසා මම කියන දේවල් පොලිසිය තියා මගේ අප්පච්චිවත් විශ්වාස කලේ නෑ. තමන්ගේම අය මාව විශ්වාස නොකරද්දී තව මොන කතාද හෂී….”

“ඒ කාලේ මම කොච්චර නම් ඇන්ටිට කෝල් ගත්තද ඔයා ගැන අහන්න. ඒ එක වතාවක්වත් අංකල් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ….”

“අම්මා පව්. අප්පච්චිටයි අයියල දෙන්නටයි හොරෙන් අම්මා දවසක් වැලිකඩ ආවා. එදා අම්මා මාව දැකලා හොදටම ඇඩුවා. ආයෙත් එන්නේ නැහැ කියලා මම අම්මගෙන් පොරොන්දු කර ගත්තා. ඊට පස්සේ කවදාවත් අම්මා ආයෙත් ආවේ නැහැ.”

“පව්….”

හෂිනිට කියවුණා.

“අවුරුදු හතරක් කියන්නේ කොයිතරම් කාලයක්ද හෂී. මම මොනතරම් හීන බලාපොරොත්තු තියාගෙන හිටියද…?කවදාවත් කරපු නැති වරදකින් මගේ ජීවිතේ විනාශ වුණා. මම එදා උසාවියේ ඉදිද්දී කීදෙනෙක් මගේ දිහා පිළිකුලෙන් බැලුවාද…?ඔයා දන්නවද එක අම්මා කෙනෙක් “මගේ කොල්ලව විනාස කරපු හැතිරි…”කියලා මගේ මූණට කෙළ ගැහුවා. ඒ අම්මගේ වරදක් නෑ හෂී…ඒ වගේ අම්මලා කී දෙනෙක් මට සාප කරන්න ඇත්ද…?”

තාරකා ඇස් වල කදුළු පුරෝගෙන ඒ හිතේ ඇති දුක කිව්වා.

“ඒත්….කිසිම වරදක් නොකරපු ඔයා අවුරුදු හතරක් නොකරපු වරදට දුක් වින්දා. අපි දැන් ඔය හැම දෙයක්ම අමතක කරමු තාරා…”

“ඉතින්…කෝ පැටියා…”

තාරකා ඇස්වල තිබුණු කදුළු අතින් පිහදා හෂිනිගෙන් ඇසුවා.

“දෝණි නිදි. දැන් එයාට අවුරුදු පහයි. දුවට අවුරුදු තුනේදී වසන්ත වෙන කසාදයක් කර ගත්තා තාරා… දැන් මායි දුවයි තනිවෙලා…”

“අනේ….”

“ඔයා විඳපු වේදනාවල් හැටියට මට මොනවද උනේ තාරා . නොකරපු වරදවල් වලට අපි වන්දි ගෙව්වා. මට දැන් ඔයා ලොකු හයියක් තාරා . ඔයා කොහේවත් යන්න එපා. මම පොඩි ගාමන්ට් එකක් කරනවා. අපි මේ ගාමන්ට් එක තව දියුණු කර ගමු…”

“ඔයාට පින්. යන්න තැනක් නැති මට පිහිට වුණාට….”

“දැන් ගිහින් වොෂ් එකක් දාගන්න. මම ඇදුම් දෙන්නම්. හවසට ගිහින් ඇදුම් ටිකක් ගමු. අතීතය අමතක කරමු. අද ඉඳන් අලුතින් ජීවිතයක් පටන් ගමු. මේ දැන් ඉඳන් ඔයා අලුත් කෙනෙක්….”

“ඔයාට පින් හෂී. මම හරි අසරණයි. නොකරපු වරදට අවුරුදු හතරක් මාව වැරදිකාරියක් කලා. නීතිය වගේම කවුරු මාව වැරදිකාරියක් කලත් මගේ හෘද සාක්ෂිය මම නිවැරදි කාරියක් කියල දන්නවා. මට ඒ හොදටෝම ඇති.

තාරා කිව්වේ හිතට දැණුණු ලොකු  සැනසීමකින්…

More Stories

Don't Miss


Latest Articles