හතලිස් හයවන දිගහැරුම ,
එශාන්තගේ නිවසේ සාදය අතරතුර මා, මගේ මිතුරියන් දෙදෙනා සමග සිසිල් බීම පානය කරමින් සහ කතා බහ කරමින් අසුන් ගෙන සිටියෙමි. එවිට අසල සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සිංහල බසින් කතා කරනු මට ඇසුණි.මා නාසයේ මුදුවක් පැලඳ සිටි හෙයින් ඔවුන් සිතා ඇත්තේ අප තිදෙනාම ඉන්දියානු තරුණියන් කියාය.කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකා මා පෙන්වමින් ” කවුද මේ ” යැයි අනෙක් අයගෙන් අසන්නට විය.එවිට අනෙක් අය අපව එශාන්තගේ මිතුරියන් යැයි හඳුන්වා දුන් අතර ” ඉන්දියන් වගේ නේද ? ” යනුවෙන් ඔවුන් නැවතත් අසන්නට විය.ඒ කතාබහ ඇසුණු මට සිත යටින් සිනහ පහළ වන්නට විය.ඒ ,නාසයේ මුදුවක් පැළඳ සිටීම හේතුවෙන් සමහර ගුවන් ගමන් වල ගමන් කරන මගීන් පවා සිතන්නේ මා ඉන්දියානු තරුණියක් කියා නිසාය.
සිසිල් බීම පානය කර අවසන් කොට අප රාත්‍රී ආහාරය සඳහා පිටතට යාමට සූදානම් වූ අතර එශාන්තට සමූ දීම සඳහා අප ඔහු සිටි ස්ථානය වෙත ගියෙමු.එවිට එතනට ක්‍රිකට් ක්‍රීඩක හශාන් තිලකරත්න පැමිණ ,පසු දින පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණෙන ලෙස අප තිදෙනාට ආරාධනා කර එයට අවශ්‍ය ටිකට් පත් ඔහු සූදානම් කර දෙන බවත් පැවසීය. ඒ අවස්ථාවේ දී මා ඔහුට පැවසුවේ මා ක්‍රිකට් තරග නරඹා නැති බවත් ක්‍රිකට් පිළිබඳව එතරම් උනන්දුවක් නැති බවත්ය.නමුත් මගේ මිතුරියන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ම ඇලුම් කළ නිසා පසුදින පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ඔවුන් දෙදෙනා සමඟ පැමිණෙන්නම් යැයි මම හශාන් හට පැවසුවෙමි.එම නිසා එය නැරඹීමට අවශ්‍ය ටිකට් පත් සූදානම් කර දෙන ලෙස ද ඔහුට පවසා මා මගේ මිතුරියන් දෙදෙනා සමග ඔවුන්ට සමු දී සාදයෙන් නික්ම ආවෙමි.
පසුදින සාජා නගරයේ පැවති ක්‍රිකට් තරඟය නැරඹීම සදහා මම මගේ ආදරණීය මිතුරියන් දෙදෙනා වන ආර්තී සහ අංජලී සමඟ ගියෙමි.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කිසිඳු දෙයක් නොදැන සිටි මා ප්‍රේක්ෂකාගාරයේ අසුන්ගෙන තරගය නරඹන අතරතුර ක්‍රිකට් ලෝලීන් වූ මගේ මිතුරියන් දෙදෙනා ඉතා විනෝදයෙන් සිනාසෙමින් සහ අත්පොලසන් දෙමින් තරඟය නැරඹීය.තරගය අවසන් වූ විට අප සිටි ස්ථානයට පැමිණි හෂාන් තිලකරත්න අප සමග කතාබහ කර මගේ දුරකතන අංකය ද ඉල්ලා ගෙන ගියේය.
පසුදින ඔවුන්ට විවේක දිනයක් වූ අතර මට රාජකාරි යෙදී තිබුණු දිනයක් විය.එදින හශාන් මට දුරකථනයෙන් ඇමතූ අතර අප අතර බොහොම සුහද කතාබහක් සිදු විය. අප විසින් අප දෙදෙනාගේ තොරතුරු හුවමාරු කරගත් අතර ඔහු ඔහුගේ ජීවිතයේ පෞද්ගලික තොරතුරු බොහොමයක් පිළිබඳව ද පවසා ඊට පසු දින ඔවුන් නැවත ශ්‍රී ලංකාව බලා යන බවද පැවසීය.ඉතා ඉක්මනින් මා හා සුහද වූ හෂාන්ගේ සහ මගෙ හමුවීම ගැන සිතා බලන විට ,ජීවිතය යනු පුදුමාකාර හමුවීම් වල එකතුවක් යැයි වරෙක මට සිතේ.
දින කිහිපයකට පසු මට බැංකොක් බලා යන ගුවන් ගමන් වාරයක රාජකාරි යෙදී තිබුණි.මා රාජකාරි අවසන් කර අප නවාතැන් ගැනීමට නියමිතව තිබුණු හෝටලයට ගියෙමි.එහිදී මා අපට වෙන් කර තිබුණු කාමරයේ දොර හැර එයට ඇතුළු වී මගේ ගමන් මලු පසෙකින් තබනවාත් සමගම කාමරයේ වූ දුරකතනය නාද විය. හෝටලයේ දුරකථනය ඔස්සේ මා අමතන්නේ කවුදැයි යන කුතුහලයෙන් යුතුව මම එයට පිළිතුරු දුන්නෙමි.එවිට මා හට ශ්‍රී ලංකාවෙන් දුරකථන ඇමතුමක් ඇති බව හෝටලයේ සේවකයෙකු දැනුම් දුන්නේය.ශ්‍රී ලංකාවෙන් බැංකොක් වෙත මට දුරකථනයෙන් අමතන්නේ කවුදැයි සිතමින් ඇමතුම සම්බන්ධ කරන්න යැයි මම හෝටල් සේවකයාට පැවසුවෙමි. ඇමතුම සම්බන්ධ වූ විට ඇමතුමේ අනෙක් පස සිටි පුද්ගලයා ” කොහොමද , දැන් ද ආවේ ” යනුවෙන් මගෙන් ඇසුවේය. එකවරම නිරුත්තර වූ මා පසුව ” කවුද කතා කරන්නේ “යැයි ඇසුවෙමි. ” මම හශාන් ” යි ඔහු පැවසීය.එම අවස්ථාවේදී මා පුදුමයෙන් පුදුමයට පත් වූයෙමි.මා සිටින හෝටලයේ දුරකථන අංකය සොයා ගත්තේ කෙසේදැයි මා ඔහුගෙන් අසන විට ” අපිටත් එමිරේට්ස් වල වැඩ කරන යාළුවෝ ඉන්නවා ” යැයි ඔහු සිනාමුසුව පැවසීය.
මතු සම්බන්දයි