කාව්‍යා සිටියේ අනන්තාපරිමාණ තාරකා පිපුණු අහසට නෙත් අලවාගෙන ය.ඒ සෑම තරුවකටම කතාවක් ඇති බව ඇයට සිතේ.අහසේ වඩා දීප්තිමත් තරුව කාව්‍යා දෙස බලා සිටින වගක් ඇයට හැඟේ.මේ නපුරු ලෝකයෙන් මිදී ඒ තරු අතර සැඟව ගන්නට තිබුණානම් හොඳ බව සිතමින් සිටි කාව්‍යාගේ සිතුවිලි විසිර ගියේ ගේට්ටුව අසල සිටින කුඩා පිරිස දුටු බැවිනි.ඔවුන් ගේට්ටුව විවර කරගෙන නිවස දෙසට පැමිණෙන අන්දම ඇය සඳැල්ලට වී බලා හුන්නේ වියළී ගිය හදවතකිනි.
“සර්ප්‍රායිස්…”
නංගී මහ හඬින් කෑගසන හඬ ඇසිණ.අනතුරුව උස් හඬින් නැගෙන සිනා හඬ ද කතාබහ ද අතර උපන් දින සුබ පැතුම් ගී ගයන හඬ ද ඇසේ.කාව්‍යා ඒවා අසමින් කාමරයට පැමිණ යහනත ගුලි වූවා ය.
“ලොකු පුතේ.ලොකූ…”
අම්මා කාමරයේ දොරට ගසන හඬ ඇසෙන්නේ ඉනික්බිතිව ය.කාව්‍යා දොර හැර හිස එළියට දැමුවේ කම්මැලිකමිනි.අම්මා රෑ ඇඳුමට උඩින් බතික් ගවුමක් හැඳ හිසකෙස් අතින් සකසමින් සිටින්නී ය.ඇය නින්දකින් අවදිව ඇති හැඩ ය.කෑම බීම උතුරා ගියද පහත මාලයට යාමට නොකැමැත්තෙන් මෙන් ලියෝ ද ද ඈ පසුපස වැටීගෙන ය.
“නංගිගෙ යාළුවෝ ඇවිල්ලා පුතේ.බර්ත්ඩේ එක සමරනව..”
කාව්‍යා මඳ සිනාවක් හෙළුවා ය.අම්මාගේ මුහුණ කරදරකාරී ය.ලියෝ වලිගය වනමින් කාව්‍යාගේ කාමරයට රිංගන අවසරය පතයි.නමුත් කාව්‍යාට දොර හරින්නට සිත් නොවේ.
“අපිට මේ කරදර සිද්ධ වෙලා මාස පහ හයක්වත් නෑනෙ.මේ ළමයි මෙතන පාටි දාන්න තියාගත්තා..නංගිට ඔය පාටිය හවස කොහෙහරි දාගන්න තිබ්බනෙ.”
අම්මා කියවන්නේ ඒ කරදර හැඟීමෙනි.කාව්‍යා නැවතත් වියළි සිනාවක් නැගුවා ය.නංගී ඒවා ගැන නොතකන බව අම්මා ද නොදන්නවා නොවන බව කාව්‍යා දනියි.නමුත් අම්මා මේ කියවන්නේ සිතට නැගෙන ආවේගය ය.
“ඒ ළමයි දැකල නංගි සර්ප්‍රයිස් වුණා වගේ දඟලනව.ඒකට මොකද මං ලොක් කරපු ගේට්ටුවත් රෑ මැද්දෙ ගිහින් ඇරලා තිබ්බා.අනිත් එක රෑට රෑ වෙනකොට බාගෙට ඇඳගෙන ඉන්න ළමයා අද ලාවට මේකප් එකකුත් දාගෙනද මන්ද හිටියේ..”
කාව්‍යාට බොහෝ කලකට පසු සිනාවක් ඉපදිණ.
“එයාලා ෆේස්බුක් ලයිව් දෙන්න ඇති අම්මෙ.එතකොට ඉතිං නංගිට ගෙදරට අඳින ස්කිනි කෑලියි කලිසං කොටයි ඇඳන් ඉන්න බෑනෙ..කොහොමත් එයා ලියන ඒව කියවන්න එහෙම සෑහෙන ෆලෝවර්ස්ලා ගොඩක් නංගිට ඉන්නවනෙ.”
ඇය එසේ කියා කාමරයට රිංගා ගන්නට සිතුවා ය.
“එයාලා ඕනෑ පාටියක් දාගන්නැතැයි කියල මමත් මේ උඩ කාමරේක නිදාගන්න ආවේ පුතේ.මට ඔය සද්ද අස්සෙ නින්ද යන්නෑ.ඔයත් පහළට යන්නෑනෙ..”
කාව්‍යා හිස සැලුවේ නැතැයි කියන්නට ය.අම්මා යන්නට හැරී සුසුමක් හෙළා යමක් සිහි කළා ය.
“ඒක නෙවෙයි ලොකු පුතේ,සකුණ පාටියට ඇවිල්ල නෑනෙ.නංගි දැන් ඕකට ඒ ළමයට සුමාන ගාණක් රණ්ඩු කරයි.එකාතකට ඒකත් ඉවරද කවුද දන්නේ..තව සුමානෙකින් විතර තව කොල්ලෙක් මට අම්මා ගාගෙන මතුවෙයි.මං බඩෙන් ඉපැද්දුවෙ දරුවො දෙන්නයි.නංගි හින්දා කොල්ලො දුසිං ගාණකගෙන් ලෝබ නැතුව අම්ම කියලා නම් අහගත්තා මම.”
අම්මාගේ හඬ කරදරකාරී බවින් ද කළකිරීමෙන් ද පිරී ඇත.කාව්‍යා කිසිත් නොකියා හිනැහුණා ය.අම්මා යන්නේ හදවත හැඟීම්වලින් පුරවාගෙන බව ඇයට වැටහේ.ඇය ඒ ගැන ඕනෑවට වඩා සිතන්නට නොගියා ය.
“පහළට යන්නේ නෑ?”
විදුලි පහන නිවා යහනට වැටුණු කාව්‍යාට සෙනුරගේ හඬ ඇසේ.ඇය නැතැයි කියන්නට හිස වැනුවා ය.ඔහු හිසකෙස් අතරින් ඇඟිලිතුඩු යවමින් හිස මෘදුව පිරිමදින්නේ කිසිත් නොකියා ය.
“චුට්ටක් රට සාමාන්‍ය වෙන්න ගත්තා විතරයි.පාටි පටන් ගත්තානෙ මේ ළමයි..”
කාව්‍යා කියන්නේ නෙතු පියවෙන්නට එද්දී ය.සෙනුර මුදුව හිනැහෙන හඬ ඇයට ඇසේ.
“එක එක්කෙනා එක එක විදියනෙ මැණික.එයාලට ඉතින් පාටි,ට්‍රිප් එහෙම නැතුව බෑනෙ..ඒ නිසා එයාලා එයාලගෙ සතුට හොයා ගත්තාවෙ.”
සෙනුර එසේ කියද්දී කාව්‍යා අඳුර හා හිනැහුණා ය.වසංගතය පහව නොගිය ලෝකයක වෙනදා මෙන් රිසි ලෙස හැසිරෙන්නට නොහැකි බව නංගිට තේරුම් කරන්නට කාව්‍යාගේ කැමැත්තක් කොහොමටත් නැත.ඇය ඒවා වටහා ගන්නේ හරහට වග කාව්‍යා දන්නී ය.වසංගතය ලෝකය ආක්‍රමණය කරන්නට පෙර සිත මොනතරම් සැහැල්ලුවක සහ සන්තෝසයක දැවටී තිබුණාදැයි කාව්‍යා සිතුවා ය.ඒ ලෝකය ඉතිරිව තිබුණානම් පහත මාලයට ගොස් නංගිගේ සාදයට එක්වන්නට පවා තිබිණ.නමුත් වසංගතය ජීවිත මත හමා යන්නේ මාරුතයක වේගයෙනි.
පහත මාලයෙන් ගී හඬ සහ උස් සිනා හඬ ඇසේ.කාව්‍යා ඒ ගී අසමින් නිදන්නට සිතුවා ය.සඳැල්ලේ ඇති විදුලි පහනෙන් කාමරයට ගලා එන මන්දාලෝකය එල්ල වී ඇත්තේ කාමරයේ එල්ලා ඇති එකම එක සේයාරුවට ය.එහි රෝසපැහැ ගවොමක් ඇඳගත් කාව්‍යාට ප්‍රේමණීය බැල්මක් හෙළන සෙනුර ලෝකයේ හිඳින හොඳම ආදරවන්තයා නොවේදැයි ඇය සිතුවා ය.
“සෙනූ, ආයේ ඔලුව රිදෙනවා..”
කාව්‍යා මිමිණී ය.සෙනුර මුදු සරින් හිස පිරිමදින වග ඇයට දැනේ.මේ ආදරයේ කිමිදෙමින් නැහැවෙද්දී පහත මාලයේ සාදයෙන් ඇසෙන හඬ මධ්‍යයේ වුවද නිදන්නට කාව්‍යාට හැකි ය.ඈ තද නින්දකට වැටුණා ය.