සචින් සමීර ලියනගේ…පුංචි තිරයට නම් ටිකක් ආගන්තුකයි. නමුත් වෙළඳ දැන්වීම් රූප රචනා කලාවට සචින් ආගන්තුක නැහැ. මේ දිනවල සිරස නනාලිකාවේ විකාශනය වන “කියා දෙන්න ආදරේ තරම් “ඔස්සේ ‘නිර්වාන්’ගේ චරිතයෙන් ඔබ අතරට එන සචින්ගේ සැබෑ ජීවිතය ගැන අපි මඳකට දොඩමළු වුණා….
කොහොමද සචින් ජීවිතේ…?
ජීවිතේ හොඳයි. මේ දවස්‌වල “කියා දෙන්න ආදරේ තරම් ” එක්ක හරිම පරිස්සමට ජීවිතේ ගෙවනවා.
අපි දැන් ඔයාට සචින් කියන්නද…? නිර්වාන් කියන්නද….?
මගේ නම සචින් සමීර ලියනගේ. නමුත් අද වෙද්දි බොහෝ දෙනා මාව හඳුන්වන්නේ ‘නිර්වාන් ‘කියලයි. සමහර මගේ යාලුවෝ පවා දැන් නිර්වාන් කියලයි කියන්නේ. මඟතොටේදී දැක්කත් බොහෝ දෙනා කතා කරන්නේ නිර්වාන් කියලයි. ඒ ගැන සතුටුයි. හැබැයි නමනම් සචින් ලියනගේ.
නිර්වාන් සචින්ව වෙනස්ම තැනක යම්තාක් දුරකට හෝ ඔසවා තබාවියැයි සිතුවාද…?
අනේ නැහැ. කොහෙත්ම නැහැ. වෙළඳ දැන්වීම් , රූප රචනා කීපයකට සම්බන්ධ වෙලා හිටියත් මේ තරම් දුරක් එන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ. මීට පෙර මම ‘අහස් මාලිඟා ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඇත්තටම මේක මට වෙනස්ම අත්දැකීමක්. මට හිතාගන්න බැහැ…නිර්වාන් මාව මේ තරම් දුරකට මේ ටික කාලයේදී අරගෙන ආවේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහතාට ස්තුති කරන්නම ඕනේ. ඒ වගේම අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මහතා ඇතුළු සියලුම කාර්මික අංශයේ අයටත් , සියළුම රංගන කණ්ඩායමටත් ස්තූති කරන්නම ඕනේ. ‘කියා දෙන්න ආදරේ තරම් ‘මුලු සෙට් එකම හරි එකමුතුයි. ඒ එකමුතුකම නිසාම මේක ඉතා සාර්ථක නිර්මාණයක් වුණා.
සචින්ට මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ලෙස රඟපාන්න ලැබුණේ මේ රටේ ප්‍රවීණ, ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් සමඟයි. ඒ ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්…?
අද මම මේ රඟපාන්නේ මම මේ ක්ෂේත්‍රයට එන්නට පෙර සිටම මම ප්‍රිය කරපු,මම ගෞරවය කරන චරිත එක්කයි .මේ ටෙලි නාට්‍යයට මාව තෝරා ගත්තට පස්සේ මම ඔවුන්ගේ රංගනයන් පිළිබඳව ගෙදරදී අධ්‍යනය කලා. මොවුන් කල ඇතැම් නිර්මාණ ආයෙත් බැලුවා. ඇත්තටම මුල් දවස් කීපයේදී මේ ප්‍රවීණයන්, ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් එක්ක රඟපාන්න මම ටිකක් බය වුණා. නමුත් රංඟනයට ආධුනික වුණු මාව තමන්ගේම කෙනෙක් ලෙස සලකා ඒ හැමෝගෙන්ම මට පුදුමාකාර සහයෝගයක් ලැබුණා. අදටත් එහෙමමයි. තාමත් මම රංඟනයට ආධුනිකයි. මේ සම්බන්ධයෙන් මට තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. මට වැඩිපුරම රඟපාන්න තියෙන්නේ ශලනි අක්කා එක්කයි. ඇගෙන්ද මම බොහෝ දේ ඉගෙන ගන්නවා.
සචින් කුඩා කාලයේදී කැමැත්තෙන් හිටියේ නළුවෙක් වෙන්නද…?
නැහැනේ…මම ක්‍රිකට් සෙල්ලම් කරපු කෙනෙක්. මම ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලේ. පාසලේදී මම ක්‍රිකට් සෙල්ලම් කලා. වසර කීපයක්ම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පවා දැරුවා. ක්‍රිකට් ක්‍රීඩා සමාජයක පවා සෙල්ලම් කලා. හොඳම පන්දු යවන්නා වුණා. ක්‍රිකට් නිසා විදෙස් සංචාර කීපයකටම සහභාගි වුණා. ඒ නිසාම කවදාහරි දවසක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන හීනය තමයි මට තිබුණේ. කාලයක්ම ගෙදරට වඩා ක්‍රීඩා පිටියේ තමයි හිටියේ. නමුත් ඒ හැම දෙයක්ම වෙනස් වුණා.
සචින්ගේ ජීවිතේ ඒ හැරවුම වුනේ කොතනින්ද….?
මම සාමන්‍ය පෙළ විභාගය කර අවසාන් වුණාට පස්සේ මගේ තාත්තා මිය ගියා . එතකොට මගේ වයස අවුරුදු දාසයයි. මම පවුලේ එකම පිරිමි ළමයා. මට අක්කලා තුන්දෙනෙක් ඉන්නවා. එයින් එක් අක්කා කෙනෙකුත් මිය ගියා.මගේ තාත්තා සේවය කලේ කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේයි. තාත්තා නැතිවීමත් සමඟ පවුලේ එකම පිරිමි දරුවා වුණු මට ලොකු වගකීමක් දැනුණා. ටික දවසක් මේ සම්බන්ධයෙන් මම බොහෝ දේවල් හිතුවා. “තව ඉගෙන ගන්නවාද…? රස්සාවක් කරනවාද….? කියල හිතපු මගේ හිත අවසානයේදි ලබා දුන් තීරණයට අනුව මම රස්සාවක් කරන්න හිතා ගත්තා.
මුලින්ම කරපු රස්සාව රංඟනය නෙමෙයි නේද…?
නැහැ. හිතනා තරම් රස්සාවල් හොයන එක ලේසි වුණේ නෑ. මුලින්ම මම වරායේ රස්සාවක් කලා. ඒකත් ලේසි වුනේ නැහැ. ඊට පස්සේ තවත් රස්සාවල් කීපයක්ම කලා.ඒ හැම රැකියාවල්වලින්ම මම විවිධ අත්දැකීම් ලබා ගත්තා. විවිධ අභියෝග වලට මුහුණ දුන්නා.
රැකියාවල් කීපයකින්ම අත්දැකීම් ලබපු සචින්ගේ ජීවිතේට අලුත් මාවතක් එක්කල කළා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද….?
අපේ අක්කලාගේ ගෙදර ගිය දවසක එයාගේ ගෙදරට අල්ලපු ගෙදර හිටපු රසාංග අයියා (රසාංග ද සිල්වා )එක්ක එයාගේ ගීතයක් බාර දෙන්න එක්තරා මාධ්‍ය නාලිකාවකට ගියා. එතනදී මුණ ගැහුණු සුජිත් රාජපක්ෂ අයියා “මල්ලී…මියුසික් වීඩියෝවක පොඩි කොටසකට ඉන්න කැමතිද…?”කියලා මගෙන් ඇහුවා. ඒ වෙද්දි මම කිලෝ අනූඅටක් විතර මහතයි. මම මේ මියුසික් වීඩියෝව ගැන රසාංග අයියටත් කිව්වා. එයත් “මල්ලී ඔයා යන්න…”කියලා කිව්වා. ඒකෙදී චමීර ලියනගේ ,ටීනා ෂනෙල්, තමයි ප්‍රධාන රූප රචනයට දායක වුනේ. මේකෙදි මම දුෂ්ඨයාගේ කොටසට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ මුල්ම රූප රචනය වුණේ. ඊට පස්සේ රූප රචනා වගේම වෙළඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ඕනෑම දෙයක් කරද්දී බාධාවල් , අභියෝග ඇතිවෙනවා. සචින්ගේ මේ ගමනේදීත් එවැනි බාධාවල් අභියෝග ඇති…?
අනන්තවත් තියෙනවා. ඒවා අපි කාටත් ලැබෙන දේවල්. “ලෝකේ ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි”.එකවගේ මිනිස්සු ලෝකේ නැහැනේ. මගේ ජීවිතයටත් බොහෝ අභියෝග ආවා. හැබැයි ඒ අභියෝග වලට මම මුහුණ දුන්නා. අදටත් එහෙමමයි. මම කවදාවත් කාවවත් කපලා මේ තැනට ආවේ නැහැ. අදටත් මම රංගනයේදී කුහුඹුවෙක්. තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මගේ පවුලේ කවුරුත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. අපි හිටපු පවුල් පරිසරයත් එක්ක ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙක එක ප්‍රශ්නයක් නෙමෙයි. ජීවිතේ පසුතැවිලි වන තැන් තිබුණා. මට තාම මතකයි මම සහභාගි වුණු එක්තරා නිරූපණ උළෙලකදී හිටපු එක්තරා නිරූපණ ශිල්පියෙක් මගේ ඇඟ දැකලා “ඔයාට මේ ක්ෂේත්‍රය ගැලපෙන්නේ නැහැ. ඔයා වෙන රස්සාවක් කරන්න…”කියලා කිව්වා. එදා එක මොහොතකින් මම පුදුම විදියට කලකිරුණා.නමුත් ටික වේලාවකින් “නෑ…මම මෙතනින් අලුතින් නැඟිටිනවා…”කියලා හිතලා මගේ ඇඟ හදාගත්තා. හරියටම අවුරුද්දකට පස්සේ මම ප්‍රධාන චරිතය ලෙසින් සම්බන්ධ වුණු වෙළඳ දැන්වීමකදී මාව කළකිරෙව්ව ඒ නිරූපණ ශිල්පියාට ලැබිලා තිබුණේ අනුව චරිතයක්. හැබැයි එයාට මාව මතක තිබුණෙත් නැහැ. ඒ තරමටම මම පෙනුමෙන් වෙනස් වෙලයි හිටියේ. එදා ඒ නිරූපණ ශිල්පියා “අපරාදේ…ඔයා මොඩ්ලින් කරන්නයි තිබුණේ…”කියලා කිව්වා. ජීවිතේ මම වින්ද කට්ට කියන්න තවම කාලය නෙවෙයි.
නිර්වාන් නම් ආදරය කරනවා. සචින්ගේ ආදරය ගැනත් කියමු…?
මේ වනවිටනම් සැබෑ ජීවිතයේ මම පෙම්වතෙක් නෙමෙයි. පාසැල් කාලයේදී වැඩිපුරම හිටියේ ක්‍රීඩා පිටියේ නිසා දූවිලි ,කුණු , ගෑවුණු යුනිෆෝම් එක පිටින් මම බාලිකා පාසැල් ලඟින් ගියේ නැහැ. ඒ නිසා මුල් කාලයේදී ප්‍රේමයක් තිබුණේ නැහැ. සාමාන්‍ය පෙල කරලා ඉවර වුණාට පස්සේ තමයි මුල්ම ආදරය හිතට දැණුණේ. දැන් නම් පෙම්වතෙක් නෙමෙයි.
-දිශානි ජයමාලි කරුණාරත්න –