කාව්‍යා වඩවඩාත් ඇය තුළ ගිලෙන්නට පටන් ගත්තේ තනිකම මිස වෙන ඔසුවක් තමාට නැතැයි සිතමිනි.කිකිණි සිනා විසිරවන්නට තැනක් නොතැනක් නොවූ ඈ සිනාව ඈ තුළම සිර කර ගත්තා ය.නවතම විලාසිතා ගැන විශාල උනන්දුවක් තිබූ ඇය ක්‍රමයෙන් අතට අසුවන ඇඳුමක් හඳින්නියක බවට පත් වූවා ය.කාලයකින් සැකසීමට අමතකව ගිය හිස කෙස් ද අපිළිවෙලට වැවී ඇති ඇහිබැම ද ඇය විසින් ඈ අතැර දැමීම ගැන සලකුණු විණ.
“අක්කේ..”
භාවනා කාව්‍යාගේ කාමරයට එබුණේ කාව්‍යා අතීත මතක මැද සැරිසරමින් සිටියදී ය.
“ඔයා මොනවද කරන්නේ?”
ඉන් අනතුරුව එසේ අසන්නට භාවනා වග බලා ගත්තා ය.කාව්‍යාගෙන් පිළිතුරු නැත.නිදහසේ හිඳින මොහොතකදී නංගී මෙතැනට පැමිණීම ද ඇයට හිසරදයකි.
“අක්කා, ඔයා ඔහොම තව කී කාලයක් ඉන්නද?”
භාවනා අසයි.නිහඬ ජීවිතයක් ගෙවන තමන් ගැන නංගිට ඇති ප්රශ්නය කුමක්දැයි අසන්නට තරම් ආවේගයක් කාව්‍යාට පහළ වේ.තනිකම ද වේදනාව ද උහුලා ගනිමින් අසීරුවෙන් ජීවත් වෙද්දී මේ අසන සමහර දේ ඇයට වේදනාවකි.
“මැරෙනකම් ඉතින් ඉන්නව.”
කාව්‍යාගේ හඬ පිරී ඇත්තේ නොරිස්සුමෙනි.
“ඔයා දුකෙන් ගොඩ එන්න ට්‍රයි කරන් නෑ.ඒකෙම ගිලෙනව.එතකොට ඔයාට සැනසීමක් ඇත්තෙම නෑ..”
කාව්‍යා ඒ කතාවට පිළිතුරු නොදී ඇඳේ අනෙක් පසට හැරුණා ය.තනිකම සහ වේදනාව ගැන නංගී දන්නේ මොනවාදැයි අසන්නට ඇයට සිතේ.තාත්තාගේ වියෝව පවා ඇය ඕනෑවට වඩා සිතට නොගත් බව කාව්‍යා අනතුරුව සිහි කළා ය.නමුත් ඇය තවමත් තාත්තා ගැන දිගු ෆේස්බුක් සටහන් තබයි.තාත්තා නැති ලෝකයේ අඳුර ගැන සිහි කරමින් ඇය ලියන හෘද සංවේදි සටහන් වලට ඇති ප්‍රතිචාර බොහෝ ය.නමුත් තාත්තා ගැන සිහි වෙද්දී තවමත් කඳුළු වැටෙන්නේ කාව්යාගේත් අම්මාගේත් ඇස්වලින් පමණි.
“මට මැරි කරන්න කලින් ඔයා ගැන හිතන්න ඕන අක්කා..”
භාවනා පැවසුවේ බැරෑරුම් හඬකිනි.
“නංගි, මට හොඳ රස්සාවක් තියනව.මමයි සෙනුරයි හදා ගත්තු ගෙයක් තියනව.මං ළඟ සල්ලිත් තියනව.මං ඔයාට බරක් නෙවෙයි.ඔයාට තියා අම්මටවත් මං බරක් නෙවෙයි.මං ටිකක් හිත හදා ගන්න පුලුවන් උනාට පස්සෙ සෙනුරලගෙ අම්මල ගාවට යන්න ඉන්නෙ.ඩිග්රි එකකටත් එක්ක.”
කාව්‍යා වේගයෙන් පැවසුවා ය.නංගි ඇයව බරක් කර ගැනීම කාව්‍යාට වේදනාවකි.එය කෝපයකින් ද අයිසින් වූ තරහක් බව කාව්‍යා සිතුවා ය.
“ඔයාට හැමදාම තනියම ඉන්න බෑනෙ?”
කාන්තාවන්ගේ ධෛර්යය සහ ඔවුන් සතු ශක්තිය ගැන නිරන්තරයෙන් ලියන නංගි මේ පවසන කතාව ගැන කෝපයක් දැනුණු කාව්‍යා ඉද්ද ගැසුවාක් මෙන් ඇඳ මත හිඳ ගත්තා ය.
“මට මං ඉන්නකම් තනියක් නෑ..”
භාවනා එය නොපිළිගත්තා ය.ඇය මෙතැනට ආවේ වැදගත් කතාවක් වෙනුවෙනි.ඒ කතාව ඉදිරියට ගෙන යන්නට ඇය සිතුවා ය.
“අපේ ඔෆිස් එකේ භාතිය අයියා ඉන්නෙ..”
භාතිය දික්කසාද වූ මිනිසෙකු බව කාව්‍යාට සිහි විණ.ඇය නැවතත් ඇඳට වැටී දෑස් පියා ගත්තේ නංගී පවසන කතාව නාසා හිඳින්නට සිතමිනි.
“එයාට ඔයා ගැන අදහසක් තියනව..”
භාතිය දික්කසාද වූයේ විත්තිය බවට පත් වීමෙනි.ඔහුගේ අනියම් ඇසුරක් අතටම අල්ලා ගත් බිරිඳ ඔහුව දික්කසාද කළ කතාව කාව්‍යා දැන සිටියා ය.
නංගි දැන් ඇයට යෝජනා කරන්නේ ඒ රැවටිලිකාරයා ය.
“නංගි,සෙනුර වගේ මනුස්සයෙක් එක්ක හිටිය මට භාතිය වගේ ගොම ගොඩවල් ප්‍රපෝස් කරන්න ඔයාට හයිය ඇති.ඒත් එහෙම මිනිස්සු එක්ක යන්න මට ඕන නෑ.කරුණාකරලා මට පාඩුවෙ ඉන්න දෙන්න..”
කාව්‍යා එසේ කියා පොරෝනයෙන් හිස වසා ගත්තා ය.ඒ ලෝකය ආරක්ෂිත බව ඇයට සිතිණ.
“දැන් ඉතිං එක එකාට ඔයාට ආදරේ හිතෙයි.ප්‍රපෝසල් එයි.ඒ උනාට ඔය එන උන්ගෙන් ආදරයක් තියන එකෙක් හොයා ගන්නවට වඩා ලේසි රත්නපුරේ ගිහින් මැණික් ගරනව..”
දුලාරි පැවසූ අන්දම සිහි කරමින් කාව්‍යා දෙනෙතට ආ කඳුලු පිසදා ගත්තා ය.
තනිකම සහ වැන්දඹුවීම සමාජ තත්ත්වය කෙසේ වුව ද කාන්තාවක දැඩි පීඩනයකට ඇද දමන හැඟීමක් නොවේදැයි ඈ සිතුවේ වේදනාවෙනි.
“අඬන්න එපා මැණික..”
සෙනුර ඉහ ඉද්දරට වී මුමුණන හඬ ඇයට ඇසේ.ලෝකය ඉතා විශාල බව හැඟෙන මොහොතක ඒ හඬ තමා නිවන අන්දම සිතමින් කාව්‍යා නින්දට වැටුණා ය.
“මං අක්කට ප්‍රපෝසල් එකක් ගෙනාව.එයා පුදුම විදියට කේන්ති ගත්තනෙ අම්මෙ..”
භාවනා අම්මා වෙත ගියේ එසේ කියමිනි.කාව්‍යා යළි විවාහයකට යොමු කළ යුතු බව මාලිකා ද සිතා හුන්නා ය.නමුත් මේ තරම් ඉක්මනින් නොවේ.කාව්‍යා රූමත් උගත් තරුණියක නිසා ඇයට කවුරුන් හෝ ආදරයෙන් ළං වෙන තුරු මඟ බැලීම සුදුසු යැයි මාලිකා සිතුවා ය.
“මේ හදිස්සියෙ ඕවා කියන්න එපා චූටි.අක්කට තව කල් ඕන..”
මාලිකා එසේ කියද්දී භාවනා අම්මා දෙස බැලුවේ ද නොරිස්සුමෙනි.
“මං භාතිය අයියා ගැන කිව්වෙ.එයා මෙයාට කැමති.මෙයා කොහෙද ඉතිං..”
මාලිකා ඒ කතාව අසා බාල දියණිය දෙස බැලුවේ නොරිස්සුමෙනි.
“භාතිය? ඒ මහ වල් මිනිහෙක්නෙ ළමයො.ඔයා සකුණ වගේ හොඳ කොල්ලෙක් බඳින්න හදනව.අක්කට භාතිය ප්‍රපෝස් කරනව.ඒ ළමය කේන්ති නොගත්තනන් තමා පුදුමෙ..”
අම්මා එසේ කියද්දී භාවනා හඬ නඟා හිනැහුණා ය.
“අර පොඩි කාලෙ අපි ඉගෙනගත්තු සිරිමත්ගෙ කවියෙන් මිනිස්සු මනින්නෙපා අම්මා.සකුණලා මහ හීතල මිනිස්සුනෙ.”
භාවනා සිතන පතන ආකාරය ගැන මාලිකාට ඇති වූයේ වේදනාවකි.ඇය දියණිය දෙස ඒ වේදනාබර මුහුණින්ම බලා සිටියා ය.