“සකුණ කියනව පුතේ වෙඩින් එක ටිකක් පරක්කු කරමු කියල.”
මාලිකා ළතැවිල්ලේ එසේ පැවසුවේ කාව්‍යාට ය.ඇය ඒ අසා තිගැස්සුණා ය.හදිසියේ නංගිගේ විවාහය කල් දමන්නට හේතුවක් ඇයට සිතා ගන්නට නොහැක.
“ඇයි අම්මේ ඒ.”
ඇය ඇසුවේ කුහුලෙනි.සකුණ එවගක් තමන්ට නිකමටවත් නොපැවසූ බව ද කාව්‍යා සිහි කළා ය.
“මන්දා පුතේ.සකුණගේ අම්මා කේන්දර බලලත් තිබ්බ.ඒවගෙත් කිසිම ගැලපීමක් නෑ කියල ඒ නංගිත් ටිකක් පස්ස ගහනව මේක..”
කාව්‍යා අම්මා දෙස බැලුවේ උපේක්ෂා සහගත බැල්මකි.අම්මාට අමතක හෝ අමතක වූවා සේ හිඳින කාරණාවක් සිහි කරන්නට ඇයට සිත් විය.
“අම්මා,සෙනුරගෙයි මගෙයි කේන්දර රන් රස වගේ කියලනෙ කිව්වේ.වාසනාවන්ත පවුල් ජීවිතයක් කිව්වෙ..”
කාව්‍යාට රිදෙන තැනකට මේ කතාව රැගෙන එන්නට අම්මාට සිතක් නොවේ. ඇය වහා ඒදමින් හුන් ව්‍යාංජනයට ඇස් යොමා ගත්තා ය.
“ඕවනම් මොනවද පුතේ.තාත්තටත් ලොතරැයියක් ඇදෙනව කියලත් ඔය කපිල මහත්තය කේන්දර බලල කිව්වනෙ.අන්තිමට අපේක්ෂා එකට තමා ලොතරැයිය ඇදුණෙ.මට ඕවා නම් විස්වාස නෑ.ඒත් සකුණගෙ අම්මා ඒවා ගැන හිතනවනම් මට බල කරන්නත් බෑනෙ.”
අම්මා ජීවිතය තුළ අප්‍රමාණ වේදනා උහුලා ගත් ගැහැනියකි.ඇය නංගිගේ විවාහය ගැන සිතා සැනසිල්ලේ හිඳින්නට ඇතැයි කාව්‍යා සිතුවේ වේදනාවෙන් ය.සකුණ එය කල් දැමීම අම්මාට කිසිසේත්ම සතුටක් නොවන බව කාව්‍යාට වැටහේ.
“මොකක්ද අම්මේ කියන්නෙ.මොකක්ද ඒ කේන්දර කතාව?”
භාවනා මුළුතැන්ගෙයට ආවා නොව කඩා වැදුණායැයි කාව්‍යාට සිතිණ.ඇය කිසිත් නොකියා පොල් ගාන්නට වූවා ය.
“සකුණගෙ අම්ම තමයි අද දවල් කිව්වෙ චූටි.අනේ මන්දා ඉතින් අපි තව ටිකක් බලමුකො..”
අම්මා එසේ කීවද කාව්‍යා වෙතට භාවනාගේ කෝපදීප්ත දෑස යොමු විය.
“සකුණ වෙඩින් එක පරක්කු කරන්න හේතුව මෙයා.වෙන මොකක්වත් නෙවේ.”
කාව්‍යා නැගණිය දෙස බැලුවේ විමතියෙනි;ශෝකයෙනි.භාවනා කොහොමටත් ඇගේ සියලු දුක් සංකා අක්කාගේ හිස මත පටවන බව කාව්‍යා නොදන්නවා නොවේ.මහත් ආදරයකින් එකිනෙකා සමඟ බැඳී හිඳින අක්කලා නංගිලා සිටිය ද තමන්ගේ නැගණිය එසේ නොවන බව කාව්‍යා හොඳින්ම දන්නා කරුණකි.
“අක්ක මොනව කරන්නද ළමයො.ඔයා ඕක සකුණ එක්ක කතා කරගන්න.මනුස්සයෙක්ව බලෙන් බඳින්න බෑනෙ.”
අම්මා පැවසුවේ තදිනි.නමුත් භාවනා දෙතොල් තද කරගෙන අමුතු සිනාවක් පෑවා ය.
“මෙයා තාම රිකවර් වෙලා නෑය, මෙයා තාම මැරිච්ච මනුස්සය ගැන හිතද්දි අපි මඟුල් කන එක හරි නෑය කියලයි සකුණගෙ ඔලුවෙ තියෙන්නෙ අම්මා.ඇත්තටම මේක පුදුම වදයක්.වෙන ගෑනියෙක් නම් අගේට තව අෆෙයා එකකට යන කාලෙ.මෙයා මේක වුණේ මෙයාට විතරයි වගේ ඩ්‍රාමා ක්වීන් වෙලා නටනව.ලෝකේ කීදාහක් ගෑනුන්ට කොරෝනා හින්දා මනුස්සයා නැති වෙන්න ඇද්ද.ඒ මේ මෙයාට විතරක්ම වෙච්ච අපරාදයක් වගේනෙ නටන්නෙ..”
ඒ හිත් පිත් නැති කතාව අසා හිඳිද්දී තමන්ට හඬන්නට ඕනෑ වග කාව්‍යාට දැනිණ.නමුත් එකම කඳුලක්වත් පිටතට නොපැමිණෙද්දී ඇය ගලක් සේ ඔහේ බලා සිටියා ය.
“මොකක්ද චූටි ඔය කතා කරන කැත.අනික සෙනුර පුතා හන්දා අක්කට වගේම සකුණටත් හිත හදා ගන්න අමාරුයි.ඒ ළමයි අවුරුදු විසි ගාණක් තිස්සෙ යාළුවො. අක්කට වඩා සකුණ ඇඬුවා සෙනුර නැති වුණාම..”
මාලිකා සැර වූව ද භාවනා ඇගේ කතාව නවතන තැනක සිටියේ නැත.
“මෙයාගෙ මේ මූසල ඇඬියාව හරි සාපයක් අම්මෙ.මෙයා නෙවෙයි අපිත් විනාස වෙනව ඕකෙන්..”
භාවනාට තද අතුල් පහරක් එල්ල කරන්නට තරම් ආවේගයක් මාලිකාට ඇති වේ.බොහෝ ළතෙත් ආදරයකින් කාව්‍යා දරා ගත යුතු මොහොතක ඇයට මෙතරම් අපහාස කිරීම මොනතරම් අසෝබනදැයි ඇය සිතුවේ හද වාන් දමන ශෝකයකිනි.
“සකුණට මෙයා ගැන මෙච්චර දුක නම් මෙයා බැඳ ගන්න කියන්න අම්මෙ.මොන විකාරයක් ද මේ.මට නම් කොල්ලො ඕනතරම් හොයා ගන්න පුලුවන්.”
භාවනා එසේ කියා මුළුතැන්ගෙයින් නික්ම ගියේ ආවේගයෙනි.
“ඕවා ගණන් ගන්නෙපා මගෙ පුතෙ.නංගි කවදාවත්ම අනුන්ගෙ වේදනාවක් දන්න මනුස්සයෙක් නෙවෙයි..”
හුන් තැනම ගල් ගැසී ඔහේ සිටි කාව්‍යා අම්මාගේ ස්පර්ශයෙන් පිබිදිණ.ඇය ගාන්නට ගත් පොල් බෑය නැවත හිරමණ තලයේ තැබුවේ අම්මා කපමින් සිටි එළවළු වෙත නෙත් අලවමිනි.
“අම්මා,ඔයා ඔය මල් ගෝවද හදන්නෙ..”
මෙතරම් හද සසල වන කාරණා අසා සිටීමෙන් පසුව ද වගක් නැතුව ව්‍යාංජන ගැන විමසන දියණිය ගැන මාලිකාට ඇති වූයේ බියකි.අනතුරුව සිදුවන දෑ ඇයට සක්සුදක් සේ පැහැදිලි ය
“අම්මා,මට ගෙනියන්නත් එක්ක පොඩ්ඩක් වැඩියෙන් හදන්න.සෙනුර හරිම ආසයිනෙ.”
එසේ කියා කාව්‍යා දුරකථනය ගෙන සෙනුරට ඇමතුමක් ගන්නා ආකාරය මාලිකා බලා සිටියේ කඳුළු වැල් ගලා යද්දී ය.
“ෆෝන් එක නම් ඔෆ් අම්මා.කමක් නෑ..අපි හෙමින් උයමු.මං රෑ වෙන්න කලින් ටැක්සියක් ගන්නම්..”
කම්පනය හන්දාම අවසිහියෙන් දොඩවන දියණිය තවත් දරා හිඳීම මාලිකාට පහසු නොවී ය.ඈ දියණිය වැලඳ උස් හඬින් වැලපෙන්නට ගත්තා ය.
“අනේ මගෙ රත්තරං පුතේ.අපි ඩොක්ට ගාවට යං..ඕක තියල ලෑස්ති වෙන්න.”
නිවස තුළට පැමිණෙමින් හුන් සකුණට ඒ හඬ හොඳින් ඇසිණ.ඔහු කලබලයෙන් මුළුතැන්ගෙයට පිවිසෙන්නට සැරසුණේ එනිසා ය.දෑත් ඉඟෙහි ගසා ගත් භාවනා ඔහුගේ මඟ හරස් කළේ ය.