“දඟම කාලේ නේද උදාරා දැන්..”
මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ හුරතලය මොහොතක් වින්දා ය.
“රසිකගෙ උදව් තියන හින්දා හොඳයි කවී..අනේ ඇත්තටම එයා ගෙදර ඉන්නවනම් කෙල්ලට මං ඕනත් නෑ..”
යෝජනාවකින් විවාහ වන්නට වූ පසු උදාරා තමන් ඇතුළු පාසල් මිතුරන් සියල්ල හැර දැමූ අන්දම කාව්‍යාට සිහි විණ.උදාරාට අතීතය අමතක කර දමන්නට සිතුණෙ එහෙම ය.නමුත් ඒ අතීතය සිහින් කටුවක් මෙන් හදවත පාරන තැන් නැතිවා නොවේ.
“අකලංක උනානම් ඔහොම උදව් කරන් නෑ ඉතිං..”
උදාරා සිනාවකින් එසේ කීවේ කාව්‍යා අත පළතුරු යුෂ වීදුරුවක් තබමිනි.
අකලංක පාසල් ප්‍රේමවන්තයෙකු කාලයේ පවා උදාරාට නීති සිය ගණනක් පනවමින් ඇගේ ජීවිතය රාමු කර තබන්නට ක්‍රියා කළ අන්දම කාව්‍යා සිහි කළා ය.සමහර බැඳීම් ලෙහී යන්නේ ඉරණම ලබා දෙන සොඳුරු ත්‍යාග ලෙසට ය.
“රසික අයිය හරි හොඳ මනුස්සයෙක්.ඒක සකුණත් කිව්වා..”
කාව්‍යා සකුණව සිහි කරද්දී ඔහු ගැන මොනවා හෝ කියන්නට උදාරාට සිත් වේ.නමුත් මේ කාලය නොවේ යැයි ඇය නැවත තීරණයකට ආවා ය.
“ඔයා ටිකක් ඔලුව හදා ගන්නකම් ඔෆිස් එකෙන් ලීව් ගත්තනම් හැමදාම මෙහෙ එන්නකො.සකුණට කියන්න ඇරලයි..”
උදාරා එසේ කියන්නේ හිස පසෙකට ඇල කරගෙන ය.කාව්‍යා බොහෝ දවසකට පසු උස්හඬින් හිනැහුණා ය.
“මාව නැනී කරගන්නනෙ හදන්නෙ ළමයා..”
විවාහයක් ගැන සිතන මිතුරියකට නම් “පුරුදු උනාම නරක් වෙලා තියෙයිදැයි” අසන්නට හැකි නමුත් කාව්‍යාට එවැනි සරදම් කළ නොහැකි බව දන්නා උදාරා බිළිඳිය හා හිනැහුණා ය.
“ඉතිං අපි ආසයිනෙ කවී නැන්දා එනවට..නේද පුතූ..”
ඒ සිඟිති සුකොමළය දෙස තත්පරයක් බලා සිටි කාව්‍යාගේ දෑස කඳුළු පටලයකින් වැසී ගියේ ය.
“උදාරා, සෙනුර ගියේ එයාගෙ බබාවත් අරගෙන..එයාවත් ඉතුරු උනානම් හිතුණා..”
එවැනි කතාවක් සිහිනයකින්වත් නොදැන සිටි උදාරා තම වෙව්ලන අතැගිලි පාලනය කර ගනිමින් උයමන පසෙක තැබුවා ය.අනෙක් පස හැරී කාව්‍යා දෙස බලන්නටවත් සිත එකඟ කර ගන්නට උදාරාට පහසු නොවී ය.
“ඒ ආරංචිය සෙනුරට කියන්න වුණෙත් නෑ.තාත්ති යන්න ගියා කියලා දැන ගත්තම බබත් ගිහින් තිබ්බා.සෙනුර අවුරුදු කීයක් මං එක්ක ඉඳලද යන්න ගියේ.බබා යන්තන් මාසෙන් මේ අම්මව අතෑරියා..”
වචන සොයාගත් උදාරා කාව්‍යා වෙත හැරුණා ය.නමුත් ඇයට කාව්‍යාට කිව යුතු දෑ තෝරා ගත නොහැකි ය.මේ බිළිඳු සිනාව දකින්නට පෙර ඉතා කෙටි කාලයක් තුළ හදවත ඉරා දමමින් කුඩා තාරකාවක් උදාරාගේ අහසින් ද නික්ම ගොස් තිබේ.ඒ බොඳ වූ සිහිනය සැබෑ වූවානම් යැයි උදාරා තවමත් දින ගණන් කර බලන්නේ රසිකට ද රහසිනි.ජීවිතයේ වඩා වටිනාම වස්තූන් එක්වරම අහිමි වූ වේදනාවෙන් පෙළෙන කාව්‍යා වැලඳ ගන්නට උදාරාට ඕනෑ විය.
“කවී..”
කාව්‍යා බිළිඳියගේ බෝනික්කෙකු තුරුලට ගන්නා ගමන් උදාරාට මන්දස්මිතයක් පළ කළා ය.
“හෙමින් සනීප වෙමුකො අපි..”
උදාරා එසේ කියද්දී භාවනාගෙන් නොලද සහෝදර ස්නේහයක උණුසුම කාව්‍යාට දැනිණ.අටේ පන්තියේ පොඩි කෙල්ලක සුදු ගවුමේ ඇඳුණු පැල්ලමකට බිය වී කඳුළු පෙරූ අතීතයක් ඇයට ඒ සමඟ සිහියට ආවේ ය.
“මං ඉන්නවනෙ.අම්මා එනකන් මං ඉන්නං සික් රූම් එකේ..”
මේ අතැගිලිවල තැවරී ඇත්තේ එදා උණුසුම ම ය.කාව්‍යා උදාරාගේ උරහිසකට වාරු වූවා ය.හොඳම සහෝදරිය ළඟ ඕනෑනම් අඬන්නට ද හැකි බව ඇයට සිතිණ.
“සනීප වෙලා වැඩියෙන්ම ආදරේ කෙනෙක්ව මැරි කරමු අපි.සෙනුර ඔයා ළඟට එයි..”
එවැන්නක් සිදු වන්නේනම් යැයි කාව්‍යා සිතුවා ය.සමහර මායාවන් විශ්වාස කිරීම හදවතට සහනයකි.
“සෙනුරට වඩා ආදරේ අය කොහෙන් හොයන්නද උදාරා..”
සිහිනය මියැදෙන්නට හරිමින් කාව්‍යා එසේ පැවසුවේ මොහොතක් හෝ සිහිනයක අතරමං වීම ගැන තමන්ටම දොස් නඟමිනි.
“සමහරවිට සෙනුරත් ඒ දේ වෙනකම් බලන් ඇති කවී..”
උදාරා ප්‍රවේසමෙන් වචන ගලපා ගත්තා ය.සකුණ භාවනා ප්‍රේමය අවසන් වෙමින් පවතින බවක් ඇය දන්නේ නැත.නමුත් එය සිදු නොවී මෙය සිදු වන්නේ නම් යැයි උදාරාට සිතෙද්දී ඇය ඒ වචන සඟවන්නට ද නොසිතුවා ය.
“මොනවද ඔයා කියන්නෙ මේ..”
උදාරා සඟවන කාරණාව ගැන කාව්‍යාට දැන ගන්නට සිතිණ.මේ ඇය සඟවමින් පවසන්නේ තමන්ට දැනෙන දෙයමදැයි අනියත තිගැස්මක් කාව්‍යාට හට ගත්තේ ය.