“සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?”
උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත් සකුණ විශ්ව විද්‍යාලයේ උගත් කාලයේ ප්‍රේමයක් හන්දා බොහෝ දුක් ගත් ආකාරය ඇය සිහි කළා ය.
“තියෙන වැඩ ගොඩ එක්ක ඔයාට කෝල් එකක් දෙන්න තියෙන්නෙ පොඩි වෙලාවයි.ඒ වෙලාවත් දැන් සකුණයව නළවන්න වෙලා.”
එදවස සෙනුර හිනැහෙමින් එසේ කී අන්දම කාව්‍යාට අමතකව නොයයි.
“ඔයා මට වඩා ආදරේ ඉතින් සකුණටනෙ..”
එසේ කියද්දී සෙනුර උස් හඬින් හිනැහුණු අන්දම ද කාව්‍යා සිහි කළා ය.සුන්දර මිත්‍රත්වයකින් පිරී තිබූ ඒ කාලය මොනතරම් සුන්දරදැයි ඇයට සිතේ.
“සකුණට කොහොමටත් භාවනා නංගිව ගැලපෙන් නෑ කවී..”
උදාරා එසේ කියද්දී කාව්‍යා අතීතයෙන් මිදුණා ය.ඇය උදාරා දෙස බැලුවේ ළතැවිල්ලෙනි.
“ඔයාට සකුණ කිව්වද බ්‍රේකප් කියල.මං හිතන්නෙ එයාල පොඩ්ඩක් තරහ වෙලා විතරයි.”
කාව්‍යා එසේ අසද්දී උදාරා කළේ හිනැහීම ය.
“භාවනා ෆේස්බුක් ලියල තිබ්බෙ.නොගැළපෙන සම්බන්ධතා එක්ක ඉස්සරහට යන්න අමාරුයි.ගෑනියෙක්ගේ හැඟීම් තේරුම් ගන්නෙ නැති මිනිහෙක් එක්ක ජිවිතේ ඊටත් අමාරුයි.ඒ නිසා තවදුරටත් එයා ආදරවන්තියක් නෙවේය කියල.”
නංගි සැබෑවටම ආදරය කළා නම් එවැනි දෑ ප්‍රසිද්ධ අවකාශයේ ලියා තබාවිදැයි සිතමින් කාව්‍යා ළතැවුණා ය.නමුත් එවැනි දේ ඇයට තේරුම් කරන්නට යාම හිල් කළයකට වතුර පිරවීමක් බව කාව්‍යා දන්නී ය.
“අනේ මන්දා උදාරා..”
කියන්නට කිසිත් සිහි නොවූ හන්දා කාව්‍යා එසේ පවසමින් කල්පනාවට වැටුණා ය.නංගි කෝපයෙන් හිඳින්නේ විවාහය කල් ගිය හන්දා බවත් අම්මා සමඟ ගැටුමක් ඇති කරගත් ඇය නිවස අතැර යන්නට ගිය බවත් ඈ අනතුරුව උදාරාට හෙළි කළා ය.
“සේරම වෙන්නෙ මං හින්ද කියලත් හිතෙනව.”
කාව්‍යා සන්තාපයෙන් එසේ කියද්දී උදාරා එයට එරෙහි වූවා ය.
“සකුණ එහෙම කියන්නත් සාධාරණ හේතු තියනවනෙ කවී.මඟුල් ගෙයක් කියන්නෙ උපරිම සන්තෝසෙන් ඉන්න ඕන තැනක්.ඒක ඇත්තටම සන්තෝසෙන් ගෙවන්න ඔයාලට තව කාලයක් යනවනෙ.අනික සකුණට භාවනා ගැන තේරුම් ගන්න කාලය ඕන නම් ඒකට ඉඩ දෙන්න ඕන.කසාදයක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයිනෙ..”
නමුත් නංගි ඒ සියල්ල තමන්ගේ කාලකන්නිකම පිට තබන බව කාව්‍යා උදාරාට නොපැවසුවා ය.ඇය බිළිඳිය වෙත ගියේ රිදුණු හදවතට සැනසිල්ලක් සොයමිනි.
“මං ටිකකින් යන්නං හොඳේ..”
උදාරාට පහසු වන්නට කුඩා දියණිය සෝදා නිදි කරවූ කාව්‍යා මිතුරියට එසේ පැවසුවේ හවස් යාමයේ ය.
“සකුණ එනවනෙ දැන්..”
උදාරා එසේ කියද්දී කාව්‍යා පුදුමයට පත් බැල්මක් හෙළුවා ය.සකුණ එන බවක් ඇය නොදන්නී ය.
“සකුණ එනව කිව්වද?”
කාව්‍යා එසේ අසද්දී උදාරා දඟකාර බැල්මක් හෙළුවා ය.
“නැත්තං..ඔයාව තනියම ටැක්සිවල යවන්න එහෙම එපා කිව්වා..”
සකුණත් උදාරාත් තමන් වෙනුවෙන් ඕනෑවටත් වඩා වෙහෙසෙන බව සිතද්දී කාව්‍යාට සැනසීමක් සහ ශෝකයක් එක්වරම දැනිණ.තමන් තනිව නැතැයි දැනෙන හැඟීම තමා වඩාත් සුවපත් කරවන බව ඇයට නොදැනුණා නොවේ. ඇගේ දොතොලතර සටහන් වූ සැනසීමක අඩ සිනාව උදාරාට ද ගෙන ආවේ සන්තෝසයකි.
“ඔයාල මං ගැන හරියට මහන්සි වෙනව සකුණ..”
ආපසු යන අතරමඟ කාව්‍යා සකුණට ද පැවසුවා ය.හදවතට දැනෙන සැබෑ හැඟීම් විස්තර කරන්නට තව කාලය ඇති බව සිතු සකුණ සරදමක යෙදෙන්නට සිතුවේ ය.
“ඩ්‍රයිව් කරන එක ඒ හැටි මහන්සියක් යැ.එහෙම හිතෙනව නම් ඉතින් ඔයා ඩ්‍රයිව් කරන්න.”
කාව්‍යා හිනැහුණා ය.ඒ සිනාව වේගයෙන් ඇදී මැකී යන එකක් වීම ඉක්මනින් නවතන්නට හැකි නම් යැයි සකුණ සිතුවේ ය.නමුත් කාව්‍යා තවමත් අතීත වේදනා අතර ගිලී හිඳින්නියකි.ඈ තමන්ට සෙනුරගේ ස්ථානය දෙන්නට තවම පැකිළෙන බව ඔහු දනියි.
“සේරම අමතක වෙන්න කියල මට සෙනුරලගෙ අම්මල ගාවට යන්න හිතෙනව සකුණ.නංගිත් ඉන්නෙ කේන්තියෙන්.ඩිග්‍රි එකට ඇප්ලයි කරල එහෙට යන්නම හිතෙනව.අනේ මන්දා..”
අනවශ්‍ය තැනක රියෙහි තිරිංග ක්‍රියාත්මක විය.කාව්‍යා සකුණ දෙස බැලුවේ විමතියෙනි.ඔහු ඇය දෙස ඉක්මන් බැල්මක් හෙළා ඉවත බලා ගත්තේ ය. ඒ බැල්ම ඔහු අතින් ඈත දවසක ඇඳුණු අන්දම කාව්‍යාට විදුලියක වේගයෙන් සිහියට ආවේ ය.
ඒ ඈ සෙනුර කෙරෙහි ප්‍රේමයකින් පසුවන බවට මිතුරියන් සරදම් කළ පාසල් සමය ය.එදින ද ඔහුගේ දෑසේ ඇදුණු මේ බැල්මේ අදහස බලාපොරොත්තු කඩවීමදැයි කාව්‍යා සිතුවේ හදවත වේගයෙන් ගැහෙද්දී ය.
“මං නිකං හිතට ආවට කිව්වෙ..”
කාව්‍යා මිමිණුවේ ඒ හන්දාම ය.එහෙත් ඒ නිදහසට කාරණා කියන්නට හිතුණු හේතුව ඇයටම පැහැදිලි නොවූවා ය.
“මං යන්නං අම්මෙ..”
නිවසේ ගේට්ටුව අසලින් කාව්‍යා බස්සවා සකුණ මාලිකාට සමු දෙන්නට හැදුවේ ය.
“ගෙට එන්න පුතා.රෑට කාලාම යං..”
මාලිකා එසේ කීව ද සකුණට ගේට්ටුවෙන් ඇතුළු වන්නටවත් සිතුණේ නැත.ඔහු මේ ගෙදර බාල දියණිය සමඟ ඇති කරගෙන තිබූ ප්‍රේමය නවතා තවම දින තුනහතරකි.වෙනත් අම්මා කෙනෙකු නම් තමන්ට බැන වදිමින් මෙතනින් යාම් ඒම් කරන්නට පවා තහනම් කරන්නට තිබිණ.මාලිකා එසේ නොකරන්නේ භාවනා ගැන තේරුම් ගත් හන්දා බව සකුණ සිතී ය.
“භාවනා එක්ක සම්බන්දෙ නැවතුණා කියලා පුතා මෙහෙ ආගන්තුක තැනක් කරගන්න එපා.ඔයාලා පුංචි කාලේ ඉඳන් මෙහෙ යන්නෙ එන්නෙ කසාද කරගන්න නෙවෙයිනෙ.ඒ කාලේ ඉඳන් ඔයාව,අපේ සෙනුර පුතාව,උදාරාව,හිරුණිව තව කීදෙනෙක් මං මගේ දරුවො වගේ බලා කියා ගත්තද..භාවනා හින්දා ඒ තිබුණු තමන්ගෙකම් නැති කරගන්න එපා..”
මාලිකා එසේ කියද්දී සකුණට දැනුණේ දුකකි.ඔහු මවගෙන් සහ දියණියගෙන් සමුගත්තේ අලුත් වූ වේදනාවකිනි.