මා හද තුළ ඔබ 37

යමක් සිදු වී ඇති බව ඩිලන් රණසිංහ ට ඉවෙන් වාගේ දැනිණ. නො එසේ වී නම් සමනල් මෙසේ හැසිරෙන්නට විදිහක් නැත. ඔහු සමගින් සුහද ඇසුරකට නෑවිත් හිටියා මිස පුත්‍රයා මින් පෙර කිසි දාක මේ විදිහට මූණට කඩා පැන නැති බව ඩිලන් ට සිහි කර ගත හැක. සමනල් පියා ව ප්‍රශ්න කළ ළමයෙකු නොවේ. ඔහු ගේ හිත රිදවූ ළමයෙකු නොවේ. හදිසියේ ම ඔහු ගේ හිතට ඇතුළු වූ විෂබීජය කුමක් ද එය ඇතුළු වූයේ කෙසේ ද යන යන භයංකර පැනය ඩිලන් සසල කරවී ය.

“අම්ම කෝ කියල අහන්නෙ…ඔයා දන්නැති අලුත් දෙයක් නෙවෙයින ඒක…එයා එයාගෙ පුතාවත් දාල වෙන මිනිහෙක් එක්ක ගියේ ඔයා පොඩි කාලෙ…ඔයාට මං ඒක කියල තියනවනෙ”

වචන ගොත නො ගසා ස්ථාවර බවක් පවත්ව ගන්නට ඩිලන් දැඩි පරිශ්‍රමයක් දැරුවේ ය. නමුත් ඔහු අන්තයට ම අසරණ කරවමින් සමනල් කඩා පැන්නේ ය.

“ඇති. ඔය බොරුව දැන් ඇති”

ඩිලන් මේ මොනවා සිදු වෙන්නට යනවා ද යන දෙගිඩියාව තුළ ගැස්සී ගියේ ය.

“මොකද සමනල් මේ…හිටපු ගමං මොන යකෙක් වැහිලද…”

“මට දැනගන්න ඕනෙ මගෙ අම්ම කෝ කියල විතරයි. එයාට මොකද වුණේ…එයාට මොනාද කළේ…එයා කොහෙද ඉන්නෙ…”

“එයා කොහේ ඉන්නවද කියල මං දන්නෙ කොහොමද…එයාට මොකද වුණේ කියල ඉතිං එයාම තමයි දන්නෙ. සැප සම්පත් ලැබෙනකොට ගෑනුන්ට හැදෙනවනෙ එක තැනක ඉන්න බැරි අසනීපයක්. අන්න ඒක හැදිල තමුන්ගෙ අම්ම නන්නත්තාරෙ ගියා. එච්චරයි ඔය ගැන මට කියන්න තියෙන්නෙ”

“එච්චරයිනං කියන්න තියෙන්නෙ…කියන්නැති ටික මං හොයාගන්නං”

සමනල් වෙව්ලමින් සිටියේ ය. ඔහු ගේ දත් දෙපෙළ එකට හැපිණ. අත මිට මෙළවී තදින් කෝපය පාලනය කරගත්තේ ය. බෑගේජ් එක ඇදගෙන ඔහු කාමරයෙන් පිට වූයේ ඩිලන් ගේ සිරුරේ ගෑවෙමින් නො ගෑවෙමිනි. ඩිලන් නිරායාසයෙන් අයිනකට වූයේ ය. සමනල් වහ වහා ගෙයින් පිට වී ගොස් බැගේජය ඩිකියෙහි පටවා රියට නැගී ගත්තේ ය. ඩිලන් තැති ගෙන බලා සිටියදී සමනල් ගේ රිය රෝලර් ගේට්ටු කවුළුව අතරින් රිංගා නික්ම ගියේ ය. ඩිලන් පුටුවක් මතට වැටිණ.

“මොකද වුණේ…”

ගයාත්‍රි ඔහු ගේ උරහිසකට අතක් තබා කතා කළා ය.

“බැගේජ් එකකුත් අරං ගියේ…ට්‍රිප් එකක් යන්නද…”

“මං හිතන්නෙ සමනල් ගෙදරින් ගියා”

“ගෙදරිං ගියා…”

“උදාරි කෝ කියල ඇහුව. මොකක් හරි සමනල්ගෙ ඔළුවට වැටිල තියනව”

“ඩිලන්…එහෙනං ඉන්මනට එයාව නතර කරන්න වෙයි”

ගයාත්‍රි ට ඇසිල්ලකින් දහදිය දැමුවේ ය. ඉසිහින් උණුහුම් දිය දහරා ලෙස ඒ දහදිය පහරවල් සිරුර දිග ගලා යනවා ඇයට දැනිණ.

නිදුක් රැකියාවට ගොස් ඇති බව සමනල් ට සිහි වූයේ මඳ දුරක් ගිය ඉක්බිති ය. දවස ගත කරන්නට මාර්ගයක් තිබිය යුතු නිසා ඔහු කාර්යාලයට ගියේ ය. සමනල් දින කිහිපයක් එහි නො පැමිණීමත්, තඹරු ද අසනීප නිවාඩු ගෙන තිබීමත් ගැන සේවකයන් අතරේ කසු කුසුවක් සිහින් ව පැතිරී නො තිබුණා නොවේ. නමුත් යමක් ස්ථිර කර ගන්න තරම් සාක්ෂි ඔවුන් සතු වූයේ නැත. ඒ අතරේ අද පමා වී සමනල් කාර්යාලීය නොවන සැහැල්ලු ඇඳුම් වලින් එහි පැමිණ තිබීමත් ඔවුන්ට කට කතා හදන්නට හේතුවක් වූයේ ය.

අම්මා ගැන තොරතුරක් ලද හැක්කේ කාගෙන් ද? එසේ සිතිය හැකි කිසිවෙකු ගැන ඉඟියක් හෝ ලද නො හැකි ය. දිවාකර පැවසූ ලෙස උදාරි ට සිටි එක ම සමීප මිතුරා ඔහු ය. ඇය ගැන හැම දේ ම දැන සිටිනා ඔහු, ඇයට කුමක් සිදු වූයේ ද කියා දන්නේ නැත. කොහේ හෝ ගියා නම් සිය මිතුරාට හෝ ඇය ඒ බවක් නො කියා ගියේ ඇයි? මේ සියල්ල තුළ යම්කිසි අභිරහසක් තිබිය නො හැකි ද?

දවාලේ මිතුරෙකු ගේ මාර්ගයෙන් ඇනෙක්ස් එකක් සොයා ගන්නට සමනල් සමත් විය. ජීවිතය මෙහෙව් තැනකින් පටන් ගන්නට සිදු වේ යයි ඔහු සිතා තිබුණේ නැත. හැන්දෑවේ නිදුක් සමගින් ගොස් ඇඳක් ද අත්‍යවශ්‍ය වෙනත් ගෘහ උපකරණ කිහිපයක් ද මිල දී ගෙන ඔහු එහි පදිංචි වූයේ ය.

“මන්නං කියන්නෙ උඹ කලබල වුණා වැඩී. එක පාරටම ගෙදරින් යන්නැතුව ගේ ඇතුළෙ ඉඳගෙන කරන දෙයක් කරන්න තිබුණෙ. අනිත් එක කවුරුහරි කෙනෙක් කියපු දෙයක් සීයට සීයක් හරි තොරතුරක් කියල කියන්නත් බෑනෙ”

නිදුක් උත්සාහ කළේ ඇවිලී තිබෙනා ගින්නට දිය පොදක් ඉස එය මඳකින් හෝ නිවා දමන්නට ය.

“මට හිත හදාගෙන තවත් ඒ ගෙදර ඉන්න බෑ බං. දිවාකර අංකල් කියපු විදිහට අම්ම එච්චර මට ආදරේ කළානං එයා අද තවවෙනකල් මට කතා කරන්නැතුව ඉන්නව කියන එක හිතන්න පුළුවන් දෙයක්ද…අංකල් මට බොරු කියන්න ඕනද…එහෙම කරන්න ඒ සිනිස්සුන්ට හේතුවක් නෑනෙ. අංකල් කියපු විදිහට තාත්තගෙයි ගයාත්‍රි ආන්ටිගෙයි අෆෙයා එක තිබිල තියෙන්නෙ අම්ම අතුරුදහන් වෙන්න කලින්. එතකොට ඒ සම්බන්දෙයි අම්මගෙ අතුරුදහන් වීමයි අතරෙ මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඕනයි කියල මට හිතෙන එක මගෙ අවුලක්ද…”

“උඹ කියන්නෙ අම්මගෙ ජීවිතේට අනතුරක් කරල ඇති කියලද…එහෙම කරල තිබුණ වුනත්…ආයෙ උඹ ඕක ඇද්දයි කියල උඹට කරන්න පුළුවන් දෙයක් නෑ සමනල්”

සමනල් අතැඟිලි වලින් මුව වසා ගත්තේ ය. ඇස් කෙවෙනි රතු වී හැඬුම්බර වන්නට ගත වූයේ නිමේශයකි.

“අම්ම ජීවත් වෙනව වෙන්න බැරිද නිදුක්…ඒ කියන්නෙ…ආයෙ කවදාකවත් මට මගෙ අම්මව දකින්න ලැබෙන එකක් නැද්ද…”

“ජීවත් වෙනවනං…ඔය කියන විදිහට අම්ම උඹට ආදරේ කළානං එයා කොහොමහරි චාන්ස් එකක් අරං උඹට කතා නොකර ඉඳී කියල හිතන්න පුළුවන්ද…ඒක ප්‍රැක්ටිකල් නෑ සමනල්. අම්ම කෙනෙකුට එහෙම ඉන්න අමාරුයි. අංකල් කිටන තරමට උඹගෙ අම්ම රටෙං පැන්නෙත් නැතුව හිටියෙ උඹ වෙනුවෙන්නං…”

“ඒ කියන්නෙ අම්ම ජීවතුන් අතර ඉන්න විදිහක් ඇත්තෙම නැද්ද…”

“කොමන් සෙන්ස් වල හැටියටනං…එහෙම වෙන්න බෑ බං”

මිතුරා ගේ අදහස ප්‍රතික්ශේප කරන්නට තරම් ප්‍රමාණවත් සාක්ෂි සමනල්  ට ඇත්තේ නැත. නිදුක් පවසනා පරිදි අම්මා මිය ගොස් නොව එසේ නම් ඝාතනය කොට තිබේ. එය සිදු කොට ඇත්තේ ඩිලන් රණසිංහ නොහොත් ඇගේ ස්වාමි පුරුෂයා ය. ඒ ඔහු ගේ අනියම් සම්බන්ධය යථාර්ථයක් බවට පත් කරගනු වස් ය. අකාලයේ ජීවිතයෙන් සමු ගන්නට සිදු වූ අම්මා වෙනුවෙන් එදා රාත්‍රියේ සමනල් කඳුළු සැළුවේ ය. දුක් වූයේ ය. වේදනා වින්දේ ය. මුළු රාත්‍රිය ම අවදියෙන් හිඳ අළුයම් යාමයේ යන්තම් නින්දක් ලැබුවත් උදේ පාන්දරින් ම නෙතු ඇහැරිණි. ගතේ සිතේ කෙඩෙත්තු යන්නට දිය නා ගෙන තේ එකක්වත් නැතිව හිස් බඩ ම සූදානම් වී ඔහු මත්තෙගොඩ ආවේ ය.

 පන්සල ඉදිරියේ නැවතී තිබෙනා රිය තඹරු දුරට ම හැඳින්නා ය. එය හැඳිනගත් ගමන් ඇගේ ගමන් වේගය බාල විය. මල්ලී උදයෙන් ම නික්ම ගියේ හොඳ වෙලාවට ය යන්න ඇගේ සිතෙහි උපන් ප්‍රථම සිතිවිල්ලයි. යුවතිය දුටු සමනල් ගේ විඩාපත් දෑස් මත්තට සිනහවක් ආවේ ය. ඔහු රිය දොර හැරගෙන ඉන් බැස, පදික වේදිකාව පැත්තට විත් රියට හේත්තු වූයේ ය.

“ඔයා අද ඔෆිස් යනව කියපු නිසයි මෙතන්ට ආවෙ”

සමනල් නිදහසට කාරණා කීවේ ය.

“උදේම ඔයාව දැකල ගියානං හොඳයි කියල හිතුණ”

ඒ මන්දහාසය වඩාත් දුක්බර ය.

“මං කෙහොමත් ඔෆිස් එනවනෙ ඉතිං…”

“ඒත් මං එන එකක් නෑ”

“ඇයි…”

“මට ටිකක් හිතන්න ඕනෙ තඹරු. මගෙ ඔළුව අවුල් වෙලා”

ඔහු ගෙදරින් පිටත් වී ඇනෙක්ස් එකක් නිවහන කොට ගත් බව සමනල් තඹරු ට කීවේ ඇය රියට ගොඩ වූ ඉක්බිති ය. සිය පියාව ව්‍යාපාරික වශයෙන් බිඳ වට්ටන්නට ඩිලන් යෙදූ කපටි උපාය ගැන දැන ගත් වෙලේ ඇයට දැනුණා වූ පීඩනයට වඩා වැඩි පීඩනයක්, සිය මව ඔහු ව දමා යන්නට නො සිටි බව දැන ගත් විට සමනල් ට දැනිය හැකි බව සිතා ගන්නට බැරි කමක් තඹරු ට නැත. පිටතින් සිටිනා අය කලබල වෙන්නට එපා කීවා ට ඒ දැනෙන්නා වූ පීඩනය සමහන් කර ගන්නට පහසු නැති බව ඇය හැබැහින් අත්වින්දා ය. ඒ හින්දා සමනල් ට අමුතුවෙන් උපදෙස් දිය යුතු බවක් ඇයට සිතුණේ නැත.

“ඉතින් ඔයා මොකද්ද කරන්න යන්නෙ…”

“හිත නිරවුල් වෙනකල් අද කොහේ හරි ඇවිදිනව”

“ඊළඟට…”

“අඩු ගානෙ ඊළඟට මොකද්ද කරන්න ඕන කියල පැහැදිලිව හිතන් පුළුවන් ගාණටවත් මං කූල්ඩවුන් වෙන්න ඕන. මේ ප්‍රෙශර් එකත් එක්ක නැත්තං මං මොනා කරයිද කියන්න බෑ. සමහර වෙලාවට මට හිතෙනව පොලිස් කම්ප්ලේන් එකක් දාන්න…අම්මගෙ අතුරුදහන් වීම ගැන තාත්තව සැකයි කියල”

“අ…නේ…”

තඹරු තිගැස්සී ගියා ය.

“ඒක තමයි. මගෙ ඔළුව විකාර වෙලා. ඔයා ඔෆිස් යනවනෙ. මං ඔළුව හැරුණ අතේ ගිහින් ආයෙ එන්නං”

“එහෙනං මාත් එන්නං ඔළුව හැරුණු අතේ යන්න. ගිහින් හවස් වෙනකොට එමු”

ඉක්මන් බැල්මක් ඇය වෙතට හෙළුවා මිස තීරණාත්මක වෙන්නට සමනල් ට ඒ මොහොත නොවී ය. මඳ දුරක් කල්පනාවේ ගිලී ගිය තඹරු, හදිසියේ සිහි වී රන්මුතු ට ඇමතුමක් ගත්තා ය.

“මං අද ඔෆිස් යන්නෑ අම්මි”

රන්මුතු ගේ හදවත සැලී ගියේ ය.

“එහෙනං ඔයා ගියේ ඔෆිස් යනව කියල…”

“ඔව්. ඒත් සමනල් හම්බුණා. එයා ටිකක් අවුලෙන් ඉන්නෙ. රිලැක්ස් වෙනකල් ඩ්‍රයිව් කරනව කියනව. මං ටිකක් එයත් එක්ක ඉඳල එන්නං අම්මි”

රන්මුතු වචනයක්වත් කීවේ නැත. තඹරු ඇයට නොකියා ම එහෙම දෙයක් කරනු වෙනුවට ඈ දැනුවත් කොට තිබියදී හරස් කැපිය නො හැකි ය. නමුත් ඇය කල්පනාබර වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles