මුතුබෙලි හදවත -23

විකුම් ට ඕන වුණේ ආදිත්‍යා සමග රණ්ඩුවක් ඇති කර ගන්නට නොවේ. ඇයට චාටු බස් කියා විවාහ මංගල උත්සවයට යාමට කැමති කරවා ගන්නට ය. නමුත් වෙන කිසි දා ක නොවූ සේ ඕ නො රිස්සුම් බවක් පෙන්වූවා ය. ශිරෝෂි සමගින් ඔහු ව දැකීමෙන් පස්සේ මින්දුල ව අනත් නිවසකට දැමීමට කැමති වීමට තරම් ඇය ඊර්ෂ්‍යා සහගත වනු ඇතැයි ඔහු සිතා සිටියේ ය.

ස්ත්‍රීන් අරබයා පුරුෂයන් තුළ වන වැරදි අදහස ඒ ය. සැමියා ට වෙනත් සබඳකමක් වන බව දැන ගත් කල, ඔහු ව ඇය වෙත හා ගෙදර ම රඳවා ගනු වස් ඇය ඕනෑ ම දෙයක් කරනු ඇතැයි ඔහු සිතයි. නමුත් ඒ දැනුවත් වීමත් සමග බොහොමයක් බිරින්දෑවරු සිය ස්වාමි පුරුෂයන් වෙතින්, හදවතින් ගවු ගණනක් දුරස් වන බව ඔවුහු නො දනිති.

ආදිත්‍යා ත් මින්දුල වෙනුවෙන් විකුම් සමගින් ගෙවූ යුග දිවිය අපේක්ෂා කළා ය. නමුත් ඊයේ දර්ශනය ඇගේ හිත තව දුරටත් ගලක් කරනා හේතුවක් වී තිබේ.

“ලෑස්ති වෙන්න වෙඩින් එකට යන්න. ම්…”

විකුම් ආදිත්‍යා ගේ කර වට අත දැමීමේ උත්සාහයක් ගත්තේ ය. ඇය සර්පයෙකු ගත වෙළුණා සේ ඒ අතින් මිදුණා ය.

“අත තියන්නෙපා මගෙ ඇඟට”

“මොකද මේ…”

විකුම් සිනහ වෙන උත්සාහයක් දැරුවේ ය. නමුත් ආදිත්‍යා ඔහු දැවී යන සේ රැව්වා ය.

“මට දැං ඔයා අප්පිරියයි”

“විකාර”

“මේ අසරණය නොවුණනං මං තව දවසක්වත් මේ වහල යට ඉන්නෑ”

“ඉතිං ඉන්න බැරිනං යනව. මං කාවවත් මෙහෙ බලෙං තියං ඉන්නෑ”

විකුම් කාමරයෙන් පිටත් ව යාමට දොර ළඟට ම ගොස් නැවත හැරී බැලුවේ ය.

“පිස්සු නටන්නැතුව ලෑස්ති වෙනව වෙඩින් එකට යන්න. මගෙ ප්ලෑන්ස් ඔක්කොම අවුල් කරන්න හදන්නෙපා”

ආදිත්‍යා මින්දුල ව පපුවට තුරුලු කර ගත්තා ය. ඇගේ හද ගැස්ම බෙහෙවින් වේගවත් වී තිබිණි.

දරුවෙක් කියන්නේ බන්ධනයකි. සිදුහත් බෝසතානන් ටත් ඒ බන්ධනය එලෙස ම විය. නමුත් එතුමාණෝ හිත දැඩි කර ගෙන, සසර ගමන නිමා කරනු වස් එම බන්ධනය බිඳ දමා ලූ සේක. ආදිත්‍යා ට එහෙව් දෙයක් කරන්නට තරම් තවමත් හිතේ හයියක් නැත. දරු සෙනෙහස පපුව මත්තේ තුරුලු කර ගෙන අම්මලා තව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් සසර සැරිසරනු ඇත. 

ආදිත්‍යා ක්ෂණික තීරණයකට නතු ව පිටතට යාමට සූදානම් වූවා ය. යන්නේ කොහේදැයි අරමුණක් නො විණි. නමුත් ඇයට අවැසි වූයේ මේ වහල යටින් නික්ම යාමට පමණකි. ඇගේ ඇස් වල තේරුම් ගත නො හැකි උමතු බවක් විය. කාටවත් කියන්නේ නැතිව ඕ දරුවා ඔක්කේ ගසා ගෙන ගෙන් නික්මුණා ය.

දුමාල් ගේ හද බිත්ති දෙදරා නාය යන්නට හැදුවේ ය. ඒ ඔක්කේ ගසා සිටිනා දරුවා ඔහු වී සිටි අතීතයක අඳුරු සෙවනැලි ඔහු ගේ මනසේ හොල්මන් කරන්නට විය. වහ වහා සූදානම් වූ ඔහු, ආදිත්‍යා සිහිනයකින් සේ ඇවිද යමින් සිටි මග රිය නතර කළේ ය.

“ඔයා යන්න. මට යන්න පුළුවන්”

ඇය මිමිණුවා ය.

“නගින්න ආදිත්‍යා. හොඳ ළමය වගේ කියන දේ අහල නගින්නකො”

ඈ රියට ගොඩ වූයේ හඬා ගෙන ය. ඒ මෙතෙක් ආයාසයෙන් හිර කර ගෙන උන් ඉකිළුමකි. පොඩි ළමයෙක් වාගේ ඇය හැඬුවා ය. ඒ විදිහට ඒ දුක පිට නොකළේ වී නම් ඇය උන්මන්තක වන්නට තිබිණි. නො එසේ වී නම් ළය දැදිරි ව මියෙන්නට තිබිණි.

දුමාල් මින්දුල ව සිය උකුලට ගත්තේ ය. ඉතින් ආදිත්‍යා නිදහසේ හැඬුවා ය. ඇතැම් විට හඬන්නට හේතුවක් ඇය ට නොතේරුණ තරම ය. නමුත් ඇය හැඬුවා ය. ටික දුරක් රිය පදවා ගෙන ගිය දුමාල්, සෙවනැති ඉඩ තිබෙන තැනක නතර වූයේ ය. 

“ආදි”

ඔහු ඇගේ හිස් මුදුණේ අත තබා කතා කළේ ය. ආදිත්‍යා සිය කඳුළු වලින් දිය වී ඇති දෑසින් ඔහු දෙස බැලුවා ය.

“අඬන්නෙපා කියල නං කියන්නෙපා. මට අඬන්න ඕනෙ දුමාල්. මට තව අඬන්න ඕන දෙයියනේ”

ඇය හිස අසුනට බර කර ගත්තා ය. මින්දුල ට සෙල්ලම් කරන්නට ස්ටියරින් වීලය ලැබී ඇති නිසාවෙන්, ඔහු සන්සුන් ව සිටියේ ය. දුමාල් මුදු ලෙස ආදිත්‍යා ගේ හිස පිරිමැද්දේ ය. ගෙල පාමුලට වන්නට පෝනි ටේලයක් දමා ඇති වරලින් මිදුන කියඹු වැල් ඇගේ කන් පෙති පිටුපස සැඟවූයේ ය. ආදිත්‍යා ඇස් පියා ගෙන සිටියා ය. මේ මුදු පිරිමැදුම් වල සුවය  ඇගේ හද පත්ලට ම දැනුණත්, ඇගේ ඇස් වලින් නො නවත්වා කඳුළු ගලා යන ලදී.

“මොකද වුණේ…ම්…”

දුමාල් එසේ විචාලේ තවත් ටික වෙලාවකට පස්සේ ය.

“මට තවත් මේ දේවල් විඳ ගන්න බෑ දුමාල්”

ඇය උගුර යටින් කොඳුරා ගත්තා ය.

“මට යන්න ඕනෙ. මට ඔළුව හැරිච්ච අතේ යන්න ඕන දුමාල්”

“යමු ඉතිං”

ඇය වහා නෙතු හැර බැලුවා ය. දුමාල් සිටියේ ඈ වෙතට හැරී ඒ මූණට එබී ගෙන ය. ඇගේ ඇස් පිල්ලමකින් විසි වූ පිනි කඳුළක් ඔහු ගේ තොල් පෙත්තක් මත පතිත විය. ඔහු ඒ සිය ඇඟිලි තුඩගින් ගත්තේ ය. 

“ඔයාට මාව ජෝක් එකක් වෙන්න ඇති”

ඇය ඉතාමත් මුදු හැඬුම්බර ස්වරයකින් කීවා ය.

“ආදිත්‍යා…කවදාවත් ම නෑ”

ඔහුටත් නො දැනී දුමාල් ඇගේ සවන් පෙත්තක් වැසී යන සේ කම්මඅල හිස අතරින් අල්ලා ගෙන තිබිණි. 

“මං ඔයාට ආදරෙයි. මගෙ අම්මට තරමට මං ඔයාට ආදරෙයි. මං මේ පොඩි එකාට ආදරෙයි. මේ ඉන්නෙ මං ආදි. මේ මගෙ පොඩි කාලෙ. ඔයාට ඔළුව හැරිච්ච අතේ යන්න ඕනනං අපි තුන් දෙනාම යං. මට ඔය දෙන්නා වැඩි නෑ. තේරුණාද…ම්…”

දුමාල් කතා කළේ කිසියම් ආවේශයකින් සේ ය. ආදිත්‍යා නෙතු පිය නො සලා ඔහු දෙස බලා සිටියා ය. මේ මොන බැඳීමක් ද කියා ඇය ට තේරෙන්නේ නැත. ඔහු හමු වූයේ අතර මගක දී හරි අහම්බෙනි. එහෙම වීත් විකුම් ට නො දැනෙන විදිහේ හැඟීමකින් ඔහු ඔවුන් දෙදෙනා ගැන සිතයි. ඇය ට ඈ අමතක කරන්න ට පුළුවන. නමුත් මින්දුල කියන අසරණ අහිංසක ප්‍රාණියා ට මේ අරුම පුදුම මිනිසා දක්වන්නා වූ සෙනෙහස ඇය ට අමතක කළ නො හැකි ය. මුළු ලෝකය ම අමතක කළ මේ දරුවා ට ඔහු විශේෂත්වයක් දුන්නේ ය. මින්දුල වුව තාත්තා අතට නොයන්නේ වී ද දුමාල් අතට යන්නට දැන් පුරුදු වී සිටී.  දුමාල් රඟපානවා කියා තර්ක කළ හැක. අසරණ වූ ගැහැනියක බොරු ආදරයක් පෙන්වා රවටා ගන්නට හදනවා කියා සිතිය හැක. නමුත් දරුවන් ට බොරු කළ නො හැකි ය. දරුවෝ ආදරය හඳුනති. ඉවෙන් මෙන් හඳුනති. 

දුමාල් ආදිත්‍යා ගේ කම්මුල් තෙතබරිත කළ කඳුළු පැල්ලම් මකා දැමුවේ ය. 

“හිනා වෙලා ඉන්න”

ඒ ඇස් මත්තේ වූයේ ආදරණීය තරවටුවකි. ආදිත්‍යා කිසිත් සිතා ගත නො හැකි ව තුෂ්ණිම්භූත බැල්මකින් බලා සිටියා ය. දුමාල් යළි රිය පණ ගන්වා ගත්තේ ය. ඔහු ගියේ වෙනදා පුරුදු උද්‍යානයට නොවේ. ආදිත්‍යා මෙතැනට එන එක ගැන විජයවික්‍රම ලා සැක කරන්නට පුළුවන් බවත් හඹා එන්නට පුළුවන් බවත් දුමාල් ට සිතී තිබේ. කවුරුන් එක්ක හෝ හැප්පෙන්නට බැරි කමක් ඔහු ට නැත. දුමාල් කියන්නේ බය කියා දෙයක් හඳුනන මිනිසෙකු නොවේ.  කුඩා කල ඔහු සොහොනක පවා ජීවත් වී ඇත්තේ ය. ඇල අයිනේ ඉඩං කෑල්ලක් අල්ලා ගන්නට පෙර, යන්නට එන්නට හෝ නතර වෙන්නට තැනක් නැතිව ඔහු ත් එල්ලා ගෙන තැන තැන ගිය ගීතා, සති කීහිපක් සොහොන් ගෙදර රෑ ගත කළා ය. 

“බය වෙන්න ඕන මැරිච්ච මිනිස්සුන්ට නෙවෙයි පුතේ. ජීවත් වෙලා ඉන්න අමනුස්ස මිනිස්සුන්ට”

මහ රෑ බයේ වෙව්ලමින් නො නිදා සිටි කුඩා දුමාල් තුරුලු කර ගෙන ගීතා එසේ කියනවා මේ දැන් මෙන් දුමාල් ට සිහිපත් කළ හැක. දැන් නම් ඔහු ගේ හිතේ වන්නේ යක්කුන්ටවත් බය නැති හැඟීමකි. ආදිත්‍යා හා මින්දුල වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන්නටත් ඕනෑ ම තත්වයකට මූණ දෙන්නටත් හැකි බව ට මහා පුරුෂ හැඟීමකි.

“පුතාට කොහෙද යන්න ඕන…අපි යමුද මාළු බලන්න..ආ…මාළු බලමුද…”

දුමාල් මින්දුල ගෙන් ඇසුවේ ය.

“මාළු බලමුද…”

ඔහු වහා ප්‍රතිචාර දැක්වුවේ ය. ආදිත්‍යා ට සිනහ නැගිණ. ඇය දුමාල් ගේ උකුලේ උන් මින්දුල ගේ කොපුලක් තදින් සිප ගත්තා ය. 

“ඔයාට පිං දුමාල්”

ඇය ට යළිත් හැඬෙන්නට ආවේ ය. දුමාල් ඇගේ උරහිස මත සිය වමත තබා ඈ සනසන ප්‍රතිචාරයක් දැක්වූයේ ය. ආදිත්‍යා ඒ අත වෙතට සිය කම්මුල පහත් කොට, කම්මුලත් උරහිසත් අතරේ දුමාල් ගේ වමත තද කොට ගත්තා ය.

ඈ කළේ කුමක් දැයි ඇය ට ම සිහිපත් වූයේ ඉනික්බිති ය. ආදිත්‍යා වහා ම හිස නගා, දෙනෙතු පියා ගෙන ද යටි තොල සපා ගෙන ද හිස අසුනට බර කර ගත්තා ය. පිටස්තර පිරිමියෙකු විෂයේ එසේ හැසිරෙන්නට පෙළඹුණේ ඇයි දැයි ඇය ඇගෙන් ම විමසමින් සිටියා ය. 

සිය යෞවනයේ දී හෝ ඇය ප්‍රේමයෙන් පිරිමියෙකු වෙත සමීප වී නොමැත. ඇගේ තරමක අහංකාරය ද අනවශ්‍ය ලැජ්ජාශීලය ද ඊට හේතු වූයේ ය. විවාහ සහතිකයක් අතැති ව ඈ ලං වූ පිරිමියා නිසාවෙන්, මේ ආගන්තුක යෞවනයා නිසා හදවත පුරවා ලූ හැඟීම තරම් දෙයක් ඇති වී නොමැති බව ඇය ට ඉර හඳ දිව්රා කිව හැක. ඔහු ඈ සමගින් පැවැත්වූයේ නාමික ලිංගික සම්බන්ධයක් පමණකි. ආදිත්‍යා එ් පිළිකුල දනවන සියල්ල අසීරුවෙන් ඉවසා දරා ගත්තේ නෛතික විවාහය තුළ ඔහු ගේ මන දොළ පුරා ලන්නට ඇය බැඳී සිටින බව සිහිපත් කරමිනි. 

ඒ කෙසේ වතුදු ඒ කිසිදු හේතුවක් මත විකුම් ට ද්‍රෝහී වන්නට හෝ වෙනත් පිරිමියෙකු ට සමීප වන්නට, සිහිනයෙන් හෝ ආදිත්‍යා සිතා තිබුණේ නැත. එහෙව් අවශ්‍යතාවයක් ඇය ට වූයේ ත් නැත. පිරිමින් කියන්නේ විකුම් වාගේ මිනිසුන්ට යයි ඈ මවා ගෙන සිටියා ය. ඔහු ගේ පියා ඇගේ ඒ සිතිවිල්ල තවත් පොළඹවා ලන හේතුවක් වූයේ ය. 

මේ මොහොත අහම්බයක් යයි සිතන්නට ඇය උත්සාහ කළා ය. මේ මොහොත දිව්‍යමය අහම්බයකි!

දුමාල් රිය පැදවූයේ ප්‍රීතියෙනි. ඔහු මින්දුල සමග නිරන්තර කතා බහ කළේ ය. නිතර දෙවේලේ හිස හරවා ආදි දෙස ද බැලුවේ ය. ඇය සිටිනා කල්පනා ලෝකය ඇය ට සුවයක් ගෙන දේවා යන පැතුම ඔහු වෙත විය.

ආදිත්‍යා ගේ දුරකතනය හැඬවිණි. ඇමතුම ආමන්තා ගෙනි.

“දුමාල් අයිය කිව්ව හවසට කොහෙ හරි යං කියල. මං ගෙදරට එන්නද මගට එන්නද…”

“නංගි මේ…”

“ඉක්මනට කියන්න. ෆෝන් එකේ බැට්‍රි ලෝ”

“නංගි අපි මේ…යන ගමං”

“යන ගමං කිව්වෙ…”

ආදිත්‍යා ලැජ්ජාවෙන් රතු වූවා ය.

“මේ…”

“කෝ දෙන්නකො”

දුමාල් ආදිත්‍යා අතින් දුරකතනය ගත්තේ ය.

“ආමන්තා..නංගි මේ පුතාව වෝටර් වර්ල්ඩ් එක්ක යන ගමං. ඔයාව පික් කරන්න පුළුවන්”

“අනේ මේ යන්න අනේ. මාව හලල දෙන්න යන්නනෙ ගියේ. කමක් නෑ කමක් නෑ ඉතිං. එහෙම යන්නකො. දැන් අපේ සපෝට් එක ඕන නෑනෙ”

ආදිත්‍යා තව තවත් රතු වෙමින් වීදුරු කවුළුවෙන් පිටත නෙතු යොමු කර ගත්තා ය.

“විහිළුවක් අයියෙ කළේ. එහෙනං අක්කවයි කොල්ලවයි පරිස්සමෙන් බලා ගන්න හොඳේ. කොහොමත් මං හවස අක්කලගෙ ගෙදර එනව”

එකෙනෙහි සම්බන්ධය බිඳ වැටිණ.  ආමන්තා ගේ දුරකතනය ක්‍රියා විරහිත වූයේ ය. ඈ එය විදුලි පේනුවට සම්බන්ධ කළේ සතුටු සිතකිනි. ඇයත් යනවාට වඩා ඔවුන් දෙදෙනා තනි ව හමු වී කතා කරන එක හොඳ යයි ආමන්තා සිතුවා ය. දුරකතනය යළි ක්‍රියාත්මක කළ ගමන් එය හැඬවුණේ විකුම් ගේ නම තිරය මත සටහන් තබමිනි. ආමන්තා එක වර පිළිතුරු දෙන්නට නො ගොස් මඳක් කල්පනා කළා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...

හිමගිරි අරණ -51

"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න." දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ...

(අ)හිමි සිහින -147

සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක...

විනාඩි දෙකෙන් තනියම සාරිය අදින පහසුම ක්‍රමයක්

සාමාන්‍යයෙන් ඔසරිය made up කරලා ඇන්දට අපි සාරියක් made up කරන්නේ නෑ.ඒත් උස අඩු කෙනෙකුට වගේම සාරිය අඳින්න ඒ තරම් අකමැති කෙනෙකුට...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content