මීදුම් මාරුත -28

ඔයා දන්නවද? මට හිතෙනව ඔයාට ඒ තරම්ම ආදරේ කෙනෙක් ඉන්නව කියල..”

කාව්‍යා දෙස බලමින් උදාරා පැවසුවේ ප්‍රවේසමිනි.මේ නව යෞවනියන් කාලයේ එකිනෙකා ගැන උනන්දු වූ යෞවනයන් ගැන සරදම් කළ අන්දමේ පහසු අවස්ථාවක් නොවේ.දස වසරකටත් වැඩි ආදර කතාවක් අතිශය ඛේදනීයව අහිම් වූ දුකකින් කාව්‍යා ඔත්පලව හිඳින්නී ය.ඒ ඈත දවසේ තමන්ගේ ඒක පාර්ශවික ප්‍රේමය අහිමි වූ වේදනාව සකුණ විඳගත් අන්දම දැන සිටියේ උදාරා ය.ඔහු කාව්‍යා අහිමි වූ දුක දරා ගත්තේ ය.ඉනික්බිතිව සෑම යුවතියකගෙන්ම කාව්‍යා සොයන්නට උත්සුක විණ.ඔහු ප්‍රේමය අතින් අසාර්ථක වන්නට හේතු වූයේ ඒ කාරණාව වග උදාරා දන්නී ය.

“කවී, ඇයි දන්නවද සකුණ භාවනාට ආදරේ කරේ?”

ඇය වඩා හොඳ ප්‍රවේශයක් ගත්තා ය.

“නංගියි සකුණයි අපේ වෙඩින් එක කාලේ හුඟක් ක්ලෝස් වුණා උදාරා.මං හිතන්නේ එයාලට හිතෙන්න ඇති ගැළපෙනව කියලා..”

උදාරා සිහින් සරින් හිනැහුණා ය.කාව්‍යා සමඟ මේ කතාව බෙදා ගන්නට දැන් කාලය පැමිණ ඇතැයි ඈ සිතන්නී ය.

“සකුණගෙ හිතේ තිබ්බ රූපේ, එයාට මඟ ඇරුණු රූපේ, එයා යාළුකම වෙනුවෙන් අත් ඇරපු රූපේ භාවනාට සමානයි කවී..ගතිගුණත් එහෙමම වෙයි හිතුව එක තමයි එයාට වැරදුණේ..”

උදාරා එසේ කියා බොන්නට දෙයක් සකසන්නට මුළුතැන්ගෙයට වැදුණා ය.ඇගේ බ්ලෙන්ඩරයේ හඬ තරමටම කාව්‍යාගේ හිස පෙරළි කරන්නට පටන් ගෙන තිබිණ.මේ ඈ දන්නා කාරණාවකි.නමුත් මතු නොවිය යුතු කාරණාවක් බව ඈ සිතුවා ය.සකුණගේ ජීවිතය තමන්ගේ ජීවිතය හා පටලා ගන්නට ඇයට රුචි නොවේ.වෙනකෙකුට දෙන්නට ආදරයක් ඉතිරිව නැතැයි සිතීම නම් පසෙක තබන්නට නොහැකි නොවේ.සකුණ කියන්නේ ආදරය කරන්නට වටිනා තරුණයෙකි.නමුත් තමන්ගේ මිතුරාගේ වැන්දඹු බිරිඳ බාර ගන්නට තරම් ඔහු සංවේදී නොවිය යුතු බව ඈ සිතුවා ය.

“ඔයාට විකාර කවී.ඒ ඔයාව බාර ගන්නව නෙවෙයි.ඔයාට ආදරේ කරනවා.සකුණ ඔයාට තිබ්බ ආදරේ අමතක කරලා එයාවත් අමතක කරලා දාලා හිටියේ සෙනුර වෙනුවෙන්.දැන් සෙනුර නෑනේ.සකුණ දැන් ඔයාට ළං වුණාට කිසිම වරදක් නෑ..”

උදාරා සකුණගේ තීරණයේ නිවැරදි බව දුටුවේ එහෙම ය.නමුත් කාව්‍යා එය නොපිළිගත්තා ය.

“දැන් මට මාවත් අමතකයි උදාරා.එහෙව් එකේ මට සකුණව මතක තියාගෙන එයාට මඟ ඇරුණු අතීතෙ හොයල දෙන්න බැරි වෙයි..”

උදාරා එයට පිළිවදන් නොදුන්නා ය.නමුත් ඈ විශ්වාස කරන කාරණාවක් තිබේ.සකුණ මේ වතාවේ පරදින්නට හේතුවක් නැත.

“තරිඳුගෙ වෙඩින් එකට යන්න ඇඳුමක් ගත්තද කවී?”

කාව්‍යාට එදින රාත්‍රියේ ඇමතුමක් දුන් මොහොතක සකුණ විමසී ය.තම රූපය ගැන බොහෝ උනන්දු වූ ඇය දැන් හිස පීරන්නටත් අමතක කරන බව සකුණ දනියි.ඇයව යම්තරමකට හෝ රූපය ගැන හිතන්නට පොළඹවන්නේ ඇගේ සිසු දරුවන් ය.

“තියන එකක් අඳිනව සකුණ..”

කාව්‍යාගේ ඒ ඇල්මැරුණු ස්වරයට සකුණ අකමැති ය.ඔහු කිසිත් නොපවසා හිඳිද්දී කාව්‍යා වාක්‍යය සම්පූර්ණ කළා ය.

“ගොඩක් ඇඳුම් තියනවනෙ සකුණ.අපරාදේ අලුත් ඇඳුම් ගන්නේ..”

නමුත් සකුණ ඇයට නොපරදී.උදාරා ද කැටුව ගැළපෙන ඇඳුමක් තෝරා ගන්නැයි ඔහු සිහි කළේ ය.සාප්පු සවාරියේ යන්නට උදාරා නොකැමති වනු ඇතැයි පැවසූ කාව්‍යා අන්තර්ජාලය හරහා ඇඳුමක් මිලට ගන්නට කැමැත්ත පළ කළා ය.සකුණ ඉන්පසු පැවසුවේ කාව්‍යා කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයකි.

එහෙනම් උදාරට මගෙ වෙඩින් එකට ලස්සන ඇඳුමක් ගන්න කියමු..”

ඔහු භාවනා හා විවාහයට කැමැත්ත පළ කර ඇත්දැයි කාව්‍යාට සැකයක් ඇති විණ.

“ඔයා මැරි කරන්නේ නෑනෙ ඉතින් ළඟදි.”

කාව්‍යා එසේ පවසද්දී සකුණගේ සිනා හඬ දුරකථනයෙන් ගලා ආවේ ය.ඔහු එතරම් සුන්දර ලෙස හිනැහෙන්නේ ඇයිදැයි කාව්‍යා සිතුවා ය.

“ඔයා දන්නවද වැඩක්..මං සෙනුරගෙ අම්මට කතා කරා..”

එය එතරම් අමුතු ආරංචියක් නොවේ.ඔහු කොහොමටත් නිතරම තමන්ට අමතන බවත් සැපදුක විමසන බවත් සෙනුරගේ අම්මා කාව්‍යාට නිතරම පවසන කතාවකි.සකුණ තවමත් ඇගේ දරුවෙකු වීම සෙනුරගේ අම්මා සැනසීමට ලක් කරන්නක් බව කාව්‍යා දැන සිටියා ය.නමුත් විවාහයක් ගැන පවසා ඉන්පසු සෙනුරගේ අම්මා සිහි කිරීම සම්බන්ධයෙන් කාව්‍යාට මතු වූයේ කුකුසකි.

“මං මැරි කරන්න අදහසක් තියනව කියල මං සෙනුරගෙ අම්මට කිව්ව..”

ඔහු කියන්නේ වචන සඟවමිනි.ඒ සඟවන කතාව දැන ගන්නට කාව්‍යාට ඕනෑ ය.

“ඉස්සරලත් ඔයාලගෙ ඔක්කොම හොර වැඩ ටික දන්නෙනම් අම්මා තමා ඉතින්..”

මේ කතාව සම්බන්ධයෙන් හදට දැනෙන බරැති හැඟීම සමනය කරගන්නට කාව්‍යා විහිළුවක් කළා ය.නමුත් මේ සරදම තමන් ද සම්බන්ධ කාරණාවකට බව ඇයට නොසිතුණා නොවේ.

“හොර වැඩක් නෙවේ කවී..ඒක ටිකක් බර වැඩක්.ඒ නිසා මං සෙනුරගේ අම්මට කතා කළේ..”

සකුණ එසේ කියා නිහඬව තත්පර කිහිපයක්ම ගෙවී ය.රාත්‍රිය නිශ්චල ය.පොද වැස්සක හඬ කාව්‍යාට ඇසේ.එය කුණාටුවක ඇරඹුම ද වස්සානයේ ඇරඹුම ද ඇයට නොතේරේ.ඇය සීතල ගෙබිම මත හිඳ ගත්තා ය.ඇගේ සුළු වෙනසකට ද තිගැස්සෙන ලියෝ තම තෙත හොම්බ කාව්‍යාගේ සීතලව ගිය පා ඇඟිලි මත තබා නෙත් පියා ගත්තේ ය.කාව්‍යා ලියෝගේ හිස පිරිමදිමින් සකුණව අසා හුන්නේ ය.

“ඔයා අහගෙනද ඉන්නේ කාව්‍යා?”

ඔහු අසයි.ඈ වදනකුදු නොදෙඩුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles