මතක දිගහැරුම 87 – අප්සාරි සිංහබාහු තිලකරත්න ප්

අසූ හත්වන දිගහැරුම ,

හම්බන්තොට බලා යන ගමන අතරතුරදී උඩවලව ප්‍රදේශය පසුකරන විට තේ පානය සඳහා අප ගමන මදකට නතර කළෙමු.ඒ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනත් රටක් සමග තරග වදින තරගාවලියක් උදෑසන කාලයේ රූපවාහිනියෙ විකාශනය වෙමින් තිබුණේ රටවල් අතර පවතින කාල පරාසයන්ට අනුවය.අප තේ පානය සඳහා නතර කළ ස්ථානයේ රූපවාහිනියක් තිබූ බැවින් අප මද වේලාවක් එම තරගය නරඹමින් තේ පානය කළෙමු .

තේ පානය අවසන් කර අප හම්බන්තොට බලා යාමට වාහනයට නැගුනෙමු.අපගේ සැලසුමට අනුව කෙලින්ම හම්බන්තොට බලා යාමට නියමිතව තිබුණත් , නැවත වාහනයට නැගුණු මොහොතේ පටන් හම්බන්තොට නොගොස් කෙලින්ම කතරගම බලා යාමට තදබල සිතුවිල්ලක් මගේ සිත තුළ ඇති විය.ඒ අනුව ඒ මොහොතේ දී හම්බන්තොට යාම වෙනුවට කතරගම බලා ගොස් , ඉන්පසු දිනක හම්බන්තොට බලා යමු යැයි මා හෂාන් හට යෝජනා කළෙමි.කතරගම නවාතැන බලා ගිය පසු එහි නිදහසේ කාලය ගත කරනවා මිස, නැවත ඉන් පිටතට ඒමට අකමැති වූ හෂාන් මගේ යෝජනාවට එකඟ වූයේ නැත.

” දා ගත්ත ගමන එකපාරම ගිහින් එමු .නානාත් බලාගෙන ඉන්නවා නේ අපි එනකන්.මට නම් බෑ අපේ තැනට ගියාට පස්සෙ ආපහු එන්න “

ඒ ආකාරයට හෂාන් විරුද්ධත්වය පළ කළ නිසා හම්බන්තොට බලා යාමට මා එකඟ වීමි.හම්බන්තොට දෙසට වාහනය හැරවීමට නියමිත නෝනාගම ප්‍රදේශය ආසන්න වෙද්දී නැවතත් මා හෂාන්ට තට්ටු කරමින් කතරගම යමු දැයි ඇසුවෙමි.මා එසේ ඇසුවාටත් වඩා එය මට නිරායාසයෙන්ම කියවුණා කීවොත් නිවැරදිය.

” අයියෝ ඔයත් එන්නෙ එකක් කියලා.ඒ උනාට කරන්නෙ තව එකක්.දැන් ඉතින් මම හෙට ආපහු එන්න එපැයි මේව ගන්න.ඔන්න එහෙනම් ඔයාම ඇවිල්ල මේවා අරගන්න “

කියමින් නෝක්කාඩුව මුසු හඬකින් පැවසූ හෂාන් කතරගම බලා යාමට එකඟ විය.ඉන් පසුව අප හම්බන්තොට ගමන පසු දිනකට කල් දමා කතරගම පිහිටි අපේ නවාතැන බලා පැමිණියෙමු.ගමන් මහන්සිය නිසාවෙන් විවේක ගැනීමට අපට අවශ්‍ය විය.මුළුතැන්ගෙයි සේවකයාට අප වෙනුවෙන් තේ සකස් කරන ලෙස පැවසූ හෂාන් අපගේ නවාතැනෙහි එක් ස්ථානයක ගසක් යට ඇති සුවපහසු බංකුවක ඇල විය.

මද වේලාවක් අප එසේ විවේකීව සිටින අතරතුර දිගින් දිගටම වාහන එහා මෙහා යන හඬ ද , වනජීවී නිලධාරීන්ගේ ජීප් රථ වල හඬ ද අපට ඇසුණි.

” සර් මුහුද ගොඩ ගලනවා “

ජීප් රථයක ගමන් ගත් වනජීවී නිලධාරියෙක් එසේ කියමින් ගියේය.එකවරම සිදුවන්නේ කුමක්දැයි අපට සිතාගත නොහැකි විය.ගාල්ල සහ මාතර අවට එක් ස්ථානයක මුහුදු රළ මහා මාර්ගයට එන සිදුවීම් අප දැක තිබූ බැවින් අප මුලින්ම සිතුවේ මෙයද එවැනි සිදුවීමක් කියාය.වාහන බැටරියකින් ක්‍රියා කරන රූපවාහිනියක් අපගේ නවාතැනෙහි තිබුණි.යම් දෙයක් සිදුවී ඇත්නම් එය කුමක්දැයි දැන ගැනීම සඳහා වහාම රූපවාහිනිය ක්‍රියාත්මක කරන ලෙස හෂාන් සේවකයෙකුට උපදෙස් දුන්නේය.ඒ වනවිටත් දිගින් දිගටම අප නවාතැන අසලින් වාහන බොහොමයක් නළා හඬ නඟමින් ගමන් ගනිමින් තිබුණි.

අප රටට සිදු වෙමින් තිබුණු සුනාමි ව්‍යසනය පිළිබඳව අපට හරියටම දැන ගැනීමට ලැබුණේ රූපවාහිනිය නැරඹීමෙන් අනතුරුව ය.කිසි දිනක අසා තිබූ හෝ දැක නොතිබූ සිදුවීම් පෙළක් ඒ වන විට රට පුරා මුහුදු බඩ ප්‍රදේශය ආශ්‍රිතව සිදුවෙමින් තිබුණි.අප නිවෙස් වලට දුරකථනයෙන් ඇමතීමට විශාල උත්සාහයක් ගත්තේ , හම්බන්තොට යන බව පවසමින් අප නිවසින් පිටත් වූ බැවිනි.ඒ වන විටත් දෙමව්පියන් බොහෝ සේ බියට පත්වී ඇති බව හැඟුනු නිසා අප දිගින් දිගටම ඔවුන් හට දුරකථනයෙන් ඇමතීමට උත්සාහ කළෙමු.ප්‍රවෘත්ති වල දැකගන්නට ලැබුණු ආකාරයට හම්බන්තොට ප්‍රදේශය ඒ වන විට විනාශ වී ඇතැයි අප උපකල්පනය කලෙමු .කෙසේ හෝ දුරකථන මාර්ග සියල්ල අවහිර වී තිබූ බැවින් දුරකතන ඇමතුම් ගැනීමට අප ගත් උත්සාහයන් සියල්ලම ව්‍යාර්ථ විය .අප දෙදෙනාට අවශ්‍ය වූයේ අප නිරුපද්‍රිතව සිටින බව නිවෙස් වලට දැනුම් දීමටය.

රට පුරා සිදුවෙමින් තිබූ මහා ව්‍යසනය පිළිබඳව ප්‍රවෘත්ති ඔස්සේ නරඹමින් අප කාලය ගත කළෙමු.මා දුරකතනය රැගෙන අපගේ නවාතැන වටා ඇවිදිමින් දුරකථන සංඥා තිබේ දැයි පරික්ෂා කරමින් නිවසට ඇමතුම් ගැනීමට උත්සාහ කරමින් සිටියෙමි.අපගේ නවාතැන හි තිබු එක් ගසක් යටට මා පැමිණෙන විටම මගේ දුරකතනය නාද විය.ඒ වනවිට දහවල් තුන පමණ වී තිබුණි.ඇමතුම පැමිණියේ රොෂාන් මහනාම ගෙනි.මා දුරකථන ඇමතුමට පිළිතුරු දුන් විට ඔහුට ඇති වූයේ විශාල සතුටකි .අප නිරුපද්‍රිතව කතරගම නවාතැනෙහි සිටින බව ඔහුට දැනුම් දුන් විට ඔහු සැනසුම් සුසුම් හෙළීය.දෙමව්පියන් අප පිළිබඳව බොහෝ බියට පත්වී හඬමින් සිටින බව ඔහු පැවසුවේය.මම සහ හෂාන් අතුරුදහන් වී ඇති බව ගුවන් විදුලියේ ප්‍රචාරය වූ බව යමෙක් පැවසූ බවද රොෂාන් මහනාම පැවසීය.සියලු දෙනාම දැන සිටියේ අප දෙදෙනා හම්බන්තොට බලා යාමට පිටත් වූ බව නිසා එසේ බියට පත්වී තිබුණි.අප දෙදෙනාට ප්‍රවේසම් වන ලෙස පවසා දුරකථන ඇමතුම අවසන් කළ රොෂාන් අයියා විසින්,අප දෙදෙනා නිරුපද්‍රිත ව සිටින බව නිවෙස් වලට දැනුම් දී තිබුණි.කෙසේ හෝ රාත්‍රිය වෙනතුරු උත්සාහ කර දුරකථනයට දුරකථන සංඥා ලැබුණු පසු මා දෙමවුපියන්ට දුරකථනයෙන් ඇමතුවෙමි.

හෂාන් සහ මම වැඩි වශයෙන් බියට පත් වී සිටියේ, අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හම්බන්තොට ප්‍රදේශයේ සිටින නානා පිළිබඳවය.ඇති වූ තත්වය හමුවේ ඒ වන විට ඔහුට කුමක් සිදුවී ඇතිදැයි අප දෙදෙනාටම සිතාගත නොහැකි විය.ඒ අතරතුර දී යාල වනෝද්‍යානය තුළට බස් රථවලින් ගමන් ගත් සංචාරකයන් බොහෝ දෙනකු සුනාමියෙන් අනතුරට පත් වී තිබුණි. මියගිය අයගේ මළ සිරුරු රැගෙන ගියේ අප නවාතැන ඉදිරිපිටින් ය.පරිසරයේ වෙනදා තිබූ නිස්කලංක බව වෙනුවට ඒ වන විට පැවතියේ ඉතා ඉතාම කලබලකාරී බවකි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles