මීදුම් මාරුත – අවසන් කොටස

“අම්මලා ආයේ යන්නේ කවද්ද?”

කාලයකට පසු දකින්නට ලැබුණු හේමචන්ද්‍ර යුවළගෙන් කාව්‍යා විමසූයේ වෙනුර ඔවුන්ව තනිව මව්රට තුළ නොතබන බව දන්නා හෙයිනි.පද්මිනී හේමචන්ද්‍ර මහත්මිය කාව්‍යා දෙස බලා හුන්නේ ආදරය උතුරා යන බැල්මකිනි.ඇයට කාව්‍යා තවම ඇගේ දියණිය ය.බොහෝ දේ වෙනස් වූ පසු ද ඒ ඇගේ බාල දියණිය ය.

“මාසයක් දෙකක් ඉඳලා යනවා පුතේ.අයියගෙ බබාලාත් මඟින් මඟට කතා කරනවනෙ.එරන්දිටත් දැන් මං නැතුව මොකුත්ම කරන්න බෑ..”

සෙනුර යන්නට ගිය පසු වෙනුරගේ කුඩා දරු දෙදෙනා නොසිටින්නට හේමචන්ද්‍ර මහත්මියට ද ජීවිතය බොහෝ අසීරු වන්නට තිබූ බව කාව්‍යා දන්නී ය.දැන් ඈ අතීතය මතකයක් කර තබා ගනිමින් ඒ දරුවන්ට බැඳී ඇත.එරන්දිගේ දුහිතෘ සෙනෙහස ද ජීවිතය ගොඩ නගා ගන්නට හේමචන්ද්‍ර යුවලට මහත් රුකුලක් වූ බව කාව්‍යා සිහි කරන්නේ ආදරයෙනි.

“ඒ වුණාට මං එයාලටත් ඕනවට වඩා ආදරේ කරන්න කැමති නෑ පුතේ.දවසක් හරි ඈත් වුණා කියන්නේ ඊටපස්සේ පපුව පැලෙන දුකයි..”

දරු සෙනෙහස ගැන සෙනුරගේ අම්මා කියන එවදන් දැන් කාව්‍යා විශ්වාස කරයි.
වියෝ වේදනාව ලොව ඇති ඉහළම වේදනාව බව සිතා සිටි ඇය ඒ වේදනාව පරදන වේදනාව ඇති බව තේරුම් ගෙන තවම දෙවසරකි.දැන් ඇගේ ලෝකය තැනෙන්නේ ඒ අලුත් ආදරය වටා ය.කාව්‍යා සෙනුරගේ අම්මාගේ වචන ඇසෙද්දී හාත්පස බැලුවේ එනිසා ය.

“කෝ සකුණ, පුතා..”

හේමචන්ද්‍ර මහතාගේ කතා අසමින් ඕස්ට්‍රේලියානු වීදි දිග ඇවිද යමින් සිටි සකුණ ඒ කතාවෙන් කලබල වූයේ ය.කුඩා සෙනුජ සිටියේ ඔහු පෙනෙන මානයේ ය.නමුත් දැන් ඔහු පෙනෙන්නට නැත.කාව්‍යා කලබලයෙන් නිවස පුරා සරන්නට වූ අතර අහම්බයකින් නැඟුණු සිතුවිල්ලකින් හේමචන්ද්‍ර නිවසේ කාමරයකට එබී බැලුවා ය.

“පුතා..ඔය මොකද කරන්නේ? එන්න මෙහෙට.”

දෙහැවිරිදි දරුවෙකුට බිඳක්වත් ඇල්මක් නොසිතෙන පැරණි සටහන් පොත් තොගයක් කොහෙන්දෝ සොයා ගත් සෙනුජ ඒවා මැද සිට හිනැහෙන්නේ රටක් රාජ්‍යයක් ලැබුණු පරිදි ය.සකුණ ඔහු ප්‍රවේසමෙන් ඔසවා ගත්තේ ය.කුඩා පුතු එයට විරුද්ධ වූයේ දෙකකුල් වනමින් කෑගසන අතර ය.නමුත් සකුණ ඔහු කාමරයෙන් පිටතට රැගෙන ආවේ ය.

“දූවිලිනෙ පැටියෝ.හෙම්බිරිස්සාව හැදෙයිනෙ පුතේ ඔයාට..කෝ එන්න..”

කාව්‍යා ඔහුට අත පෑව ද ඔහු විරෝධය දක්වමින් හේමචන්ද්‍ර මහත්මිය අතට පැන ගත්තේ ය.අනතුරුව ඇගේ ගෙල බදා ගත්තේ ය.හේමචන්ද්‍ර මහත්මිය හිස පිරිමදිද්දී කුඩා පුතු ඇගේ උරහිසෙහි හිස ගසාගෙන හිඳින්නේ මේ අත්තම්මාව හොඳින් දන්නා පරිද්දෙනි.කාව්‍යාගේ අම්මාටත් සකුණගේ අම්මාටත් සෙනුජගෙන් තොර මොහොතක් ඇත්තේම නැත.ඉතින් තවත් අත්තම්මා කෙනෙකු ලැබීම ඔහුට අලුත් සතුටක් ලබා දී ඇතැයි කාව්‍යා සිතුවා ය.

“චුට්ටක් ඇත්නම් සෙම හැදෙනව අම්මේ.මට හරී බයයි ඉතින්.දැන් ඔය ලෙඩවලට බය වෙන්න ඕන නෑ.ඉස්සර තරම් ඒක දරුණු නෑ කිව්වට කවුද අම්මේ දන්නේ.ඒකෙ තියන වේදනාව අපි දන්නවනෙ..”

අවුරුදු හය හතකට පෙර පැතිර ගිය වසංගතය දැන් අතීතයක්ම පමණක් වන්නේ ලෝකයට ය.ඒ රෝගය තවදුරටත් මාරාන්තික නොවන බව කියන්නේ වෛද්‍යවරුන් ය.නමුත් කාව්‍යා සමීපතමයන්ට කිවිසුමක් ගිය ද සසැලේ.ලෝකයම වේදනා සයුරක ගිල්වා බොහෝ දෙනෙකුට බොහෝ දෑ අහිමි කර දැමූ වෛරසය දැන් බලරහිතව ගොස් හමාර ය.නමුත් ඒ අසීරු වසර කිහිපය පුරා මිනිසුන්ට හිමි වූ දෑට වඩා ඇත්තේ අහිමි වූ දේ බව කාව්‍යා නිරතුරුවම සිතන්නී ය.

“නංගි ආවේ නැද්ද පුතේ ළඟදි..”

හේමචන්ද්‍ර මහතා කතාවේ මාතෘකාව වෙනස් කර දැමී ය.වසංගතයේ වේදනාව ගැන දැන් කාව්‍යා සිතිය යුතු නොවේ.චාම් මංගලෝත්සවයකට පසු ඈ සකුණගේ බිරිඳ වූ දා තමන් විඳි සැනසීම මොහොතකටවත් බිඳී යනවාට අකමැති හේමචන්ද්‍ර මහත්මිය ද භාවනා ගැන තතු අසමින් කතාව වෙනස් කර දැමුවා ය.භාවනා විවාහයෙන් ඉනික්බිති භාතිය සමඟ මැද පෙරදිග රටකට නික්ම ගිය පසු ඈ කතාබහ කරන්නේ ද අඩුවෙන් බව පැවසුවේ සකුණ ය.භාවනා තවම අක්කා සමඟ හිතවන්තකමක් නැති තරම් ය.

“බැඳීම් කියන්නෙ අපි සංසාරෙන් අරන් එන දේවල් පුතේ.සමහර වෙලාවට එක අම්මගෙ බඩෙන් උපන්න සහෝදරයො අතරත් බැඳීමක් නෑ.සමහර යාළුකම් ඊට වඩා ප්‍රබලයි.භාවනාට පුතාල ගැන බැඳීමක් නැත්නම් ඒවා ගැන හිතලා දුක් වෙන්නත් එපා..මං කෝල් කරන වාරයක් ගානේ මාලිකා නංගි කියනව සකුණ අම්මට වගේම එයාටත් සලකන හැටි.ඉතින් අම්මත් භාවනා ගැන හිතලා දුක් වෙන්නේ නෑ.”

හේමචන්ද්‍ර මහත්මිය පැවසී ය.බොහෝ වෙලාවක් හේමචන්ද්‍ර නිවසේ ගත කළ කාව්‍යාත් සකුණත් ඔවුන්ගෙන් සමු ගත්තේ කුඩා සෙනුජගේ අකමැත්තෙනි.ඔහුට ඕනෑ වූයේ අත්තම්මාත් සීයාත් සමඟ තව රැඳෙන්නට ය.නැවත ඕස්ට්‍රේලියාවට යන්නට පෙර ඔවුන් දකින්නට එන පොරොන්දුව දී එන්නට කාව්‍යා වග බලා ගත්තේ ද එනිසාම ය.

“සකුණ..මට පොඩි දෙයක් කියන්න තියනව..”

හේමචන්ද්‍ර නිවස පසු වූ වහා කාව්‍යා සකුණට පැවසී ය.සකුණ ඈ දෙස බලන්නේ පුරුදු ආදරයෙනි.ඈ කියන්නට යන දෙය ඔහු දනියි.ඒ ඔහු කොහොමටත් දන්නා දෙයකි.

“පුතා ඇයි ඒ සෙනුරගෙ කාමරේටම රිංගා ගත්තෙ සකුණ.දකින දකින දේවල් පුංචි අය අදිනව කියන්න එපා හොඳේ.ගේ ඇතුළේ අදින්න ඕන තරම් දේවල් තියනවනෙ..අම්මලවත් නොයන සකුණගෙ කාමරේට රිංගගෙන මෙයා මොකද කරේ.හැඩි කරලත් නෑනෙ.දැක්කානෙ ඔයා වඩා ගන්නකොටත් මේවා පුතාගෙ කියකිය අඬපු තරම.කොහොමටත් මෙයා කිසිම කරදරයක් කරන ළමයෙක් නෙවේනෙ වෙනදට.අද අර ගෙවල්වල ගියාම සේරම අදින ජාතියේ බබෙක්ගෙ පාට් එක කරා.”

හේමචන්ද්‍ර යුවලගෙන් සමුගත් ශෝකයෙන් කාව්‍යාගේ උකුල මත ගුලි වූ සෙනුජගේ හිස පිරිමදිමින් කාව්‍යා පවසන්නේ පැටලිලි හඬකිනි.ඇගේ පුතු හිතුවක්කාරයෙකු නොවේ.ඇගේ මතකයේ හිඳින ප්‍රාථමික පන්තිවල හුන් දඟ සකුණ පුතු වෙතින් මතු නොවන තරම් ය.කුඩා සෙනුජ සතු පිළිවෙළ ද නිහඬ බවද කාව්‍යාට සිහි කරන්නේ සකුණගේ ළමා කාලය නොවේ.

“පුතා සෙනුරගෙ දේවල් බදා ගන්නෙ අදක ඊයෙක ඉඳන් නෙවේනෙ කවී..ඒක එයාගෙ පුරුද්දනෙ..අපේ ගෙදර ඔයාලගෙ ගෙදර තියන දේවල්වලින් පවා එයා අදින්නෙම සෙනුරගෙ බඩුනෙ.”

සකුණ පවසන්නේ අතිශය සාමාන්‍ය හඬකිනි.නමුත් කාව්‍යා සසැලේ.

“ඔයාට මතකද?

සකුණ අසන්නේ දිගු කතාවක් කියන්නට සැරසෙමිනි.

“ඉස්සර සෙනුරලගෙ අම්මලා පුතා බලන්න වීඩියෝ කෝල්ස් ගන්නව.මොකුත්ම නොතේරෙන කාලෙත් එයා ඇස් කරකෝ කරකෝ අහන් ඉන්නව.පස්සෙ පස්සෙ කෝල් එක ඉවර වුණාම හරියට ඇඬුවා නේද? මට ඕක ගැන ඉව වැටුණේ ඒ කාලෙමයි.මම ඔයාව කලබල කරේ නෑ ඉතින්.”

කාව්‍යාගේ හදවත හිරි වැටී යයි.ඈට දුර අතීතයක දුටු සිහිනයක් සිහිව එයි.මීදුම් මාරුතයකට අතරමං වී ඇවිදිමින් හිඳියදී ආපසු හැරෙන්නැයි කියන්නට සිහිනයට ආ සෙනුරගේ බලාපොරොත්තුවෙන් බබළන දෑස් ඈ සිහි කළා ය.

“ආපහු යන්න මැණිකේ..මම එන්නම් ඊටපස්සෙ..”

ඔහු මිමිණුවේ එහෙම ය.කාව්‍යා නින්දට වැටී සිටින කුඩා සෙනුජගේ හිස සිප ගන්නා අතරතුර ඔහුගේ අතක් සිප ගත්තේ ය.

“පුතාගෙයි සෙනුරගෙයි දෙන්නගෙම බෙල්ලෙ බර්ත් මාක් එකක් තියනව.මට හිතුණු කිසිදෙයක් ඔයාට නොකීවෙ ඔයා ඕව විශ්වාස කරයිද නොදන්න නිසා..”

කාව්‍යා එසේ කියා නෙත ඉනු ලා කඳුලක් පිස ගත්තා ය.

“එයාට එන්න මීටවඩා හොඳ තැනක් කොහොමටත් නෑ කවී..අම්මටයි තාත්තටයි ඇරෙන්න එයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කළෙත් අපි දෙන්නටනෙ.”

සකුණ එසේ කියන අතර මාර්ග තදබදයේ රථය නවතා ගත්තේ ය.තව යා යුතු මඟ දුර ය.තදබදය සහ හිරිහැර අතරින් මේ මවත් පුතුත් රැගෙන බොහෝ දුර යා යුතු බව ඔහු දනියි.කුඩා සෙනුජට මේ දැනෙන දේ කාලය විසින් අමතක කරන බව සකුණ දැන සිටියේ ය.නමුත් ඔහු ආදරය පිරී ගිය නිවසක සෙනුජ වී උස්මහත් විය යුතු ය.ඒ තරුණයා තමන් දැන සිටි හොඳම මිනිසෙකුගේ ප්‍රතිමූර්තියක් වූවාට කම් නැතැයි සකුණ සිතී ය.

“ඔයා ඇහුවේ මං ඕවා විශ්වාස කරනවද කියලා..ආදරේ ගැනයි බැඳීම් ගැනයි මං කවද්ද කවී අවිශ්වාස කළේ!”

සමාප්තයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles