මතක දිගහැරුම 90 -අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූවන දිගහැරුම ,

වනජීවී නිලධාරියා වැව සෑදීමට යන වියදම් පිළිබඳව මා හා සාකච්ඡා කළේය .ඔවුන් සතුව බැකෝ යන්ත්‍ර තිබූ නිසා ඒවාට අවශ්‍ය ඉන්ධන පමණක් සපයන ලෙස ඔහු ඉල්ලා සිටියේය.ඊට අමතරව වැව සෑදීමට අවශ්‍ය වන අනෙකුත් වියදම් සහ මිනිස් ශ්‍රමය ආදී සියල්ල ඇස්තමේන්තු ගත කර ඔහු අපට දැනුම් දුන් පසුව හෂාන් අදාළ වියදම් වලට සරිලන චෙක්පතක් සූදානම් කර අඩවි බාර නිලධාරියා වෙත බාර දුන්නේය.එවිට එම නිලධාරියා පැවසුවේ ඊට පසුදිනම ඔවුන් වැඩ ආරම්භ කරන බවයි.අපට හැකි ආකාරයෙන් එවැනි කටයුත්තකට දායක වීමට ලැබීම විශාල භාග්‍යයක් මෙන්ම පුණ්‍ය කර්මයක් ලෙස ද මා සිතන අතර තමන්ගේ හැඟීම් ප්‍රකාශ කළ නොහැකි සත්වයන් වෙනුවෙන් මිනිසුන් වශයෙන් අපට ද වගකීමක් ඇති බවද මා සිතමි.

සිඳීගොස් අතහැර දමා තිබූ වැවක ඔවුන් වැඩ කටයුතු ආරම්භ කර තිබුණු අතර වැව තවත් විශාල කිරීමට සහ අලුත්වැඩියා කටයුතු කිරීමටද ඔවුන් කටයුතු කර තිබුණි .ඒ දිනවල අප ද ගත කළේ අපගේ කතරගම නවාතැනෙහි. සෑම දිනකම අප සිටින ස්ථානය පසුකරගෙන යන වනජීවී නිලධාරීන් වැව සෑදීමේ කටයුත්ත පිළිබඳව අලුත්ම තොරතුරු අප හට පවසයි.දිනක් වන ජීවි නිලධාරියෙක් නගරයට යන අතර තුර අප නවාතැන අසල වාහනය නවත්වා අප වෙත පැමිණ ,

” මම ආවේ සුබ පණිවිඩයක් කියන්න.අපි හරිම වාසනාවන්තයි.අපි වැව හාරලා තියෙන්නේ හරිම හොඳ තැනක.අපි මේක හාරගෙන යනකොට රජ කාලේ පරණ සොරොව්වක් මතුවුණා .මේ නියං කාලෙත් දැන් වතුර එනවා “

යනුවෙන් පැවසීය.එම ප්‍රදේශය පුරාම අතීතයේ දී විවිධ රාජධානි පිහිටා තිබී ඇත.එකල නිර්මාණය කළ සොරොව්වක් එසේ මතු වීම පිළිබඳව හෂාන් මෙන්ම මමද මම ද විශාල වශයෙන් සතුටට පත් වුණෙමු.පසුදින හවස් වරුවේ එම වැව බැලීම සඳහා යාමට ද ඔහු යෝජනා කළේය.

පොරොන්දු වූ පරිදි පසුදින සවස් වරුවේ පැමිණි වනජීවී නිලධාරියා ඔවුන්ගේ වාහනයට අප දෙදෙනාව නංවා ගත්තේය.ඉන්පසුව අප පරිත්‍යාග කළ මුදලින් ඉදි කෙරෙන වැව දෙසට වාහනය ධාවනය කළේය .

” හෂාන් මහත්තයා දැන් වැවට වතුර උනලා වතුර පිරෙනවා.ඊයේ අපි දැක්කා වැවේ ඇතා බැහැලා ඉන්නවා.දැන් සත්තු ටික ටික ඇදෙනවා වතුර බොන්න.ඕගොල්ලො කර ගත්තේ ලොකු පිනක්.කතා කරගන්න බැරි අහිංසක සත්තු වෙනුවෙන් වතුර බොන්න තැනක් හදපු එක කොච්චර දෙයක්ද ? “

වනජීවී නිලධාරියා මහත් සතුටින් යුතුව එසේ පවසන විට හෂාන්ගේ සහ මගේ සිත් වල ඇති වුණ සතුට මේ තරම් යැයි කියා නිමකල නොහැක.කතා බහ අතරතුර අප වැව වෙත ලඟා වුනෙමු.අප එම ස්ථානයට ළඟා වන විට වැවෙන් වතුර පානය කළ දිවියෙක් ,වැවට යන පාර ඔස්සේ නැවත පැමිණෙමින් සිටියේය.බොහෝ අවස්ථාවන්වල දී මා සතුව කැමරාව තිබුණු බැවින් අප වනජීවි නිළධාරියා සමග පැමිනෙන අවස්ථාවේදීද වැවේ පින්තූර ලබා ගැනීම සඳහා මා කැමරාව රැගෙන ආවෙමි.වැවෙන් වතුර පානය කර පැමිණෙමින් සිටි දිවියා දුටු විගසම මම එම දිවියාගේ ඡායාරූප කිහිපයක් ද ලබා ගත්තෙමි.එම ඡායාරූප අදටත් මා සතුව ඇත. කෙසේ හෝ එම දර්ශනයෙන් හෂාන් මෙන්ම මම ද පුදුමාකාර සතුටක් අත් වින්දෙමු.ජලයෙන් පිරී තිබුණු වැවට විවිධ සතුන් සහ පක්ෂීන් වර්ග පැමිණෙමින් සිටි අතර අප සිදු කර ගත්තේ මොන තරම් පුණ්‍යකර්මයක් දැයි අපට වැටහිණි.

එම වැව අසල ” හෂාන් වැව ” ලෙස නාම පුවරුවක් සවි කරමු යැයි වනජීවී නිලධාරීන් යෝජනා කළහ.

” කිසිම විදිහකින් අපේ නමක් මේකෙ ගහන්න එපා. ප්‍රසිද්ධ වෙන්නවත් වෙන කිසිම දෙයකටවත් අපි මේක කළේ නැහැ. වතුර ටිකක් හොයාගන්නවත් නැති මේ කාලේ මේ අහිංසක සතුන්ට පොඩි හරි සහනයක් දෙන්නයි අපි මේක කලේ “

යනුවෙන් හෂාන් පැවසීය.

” නෑ නෑ හෂාන් සර්.මිනිස්සු මේවා දකින්න ඕනේ.එතකොට තමයි මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නේ .ඔයාලා වගේ අය මේ කැලේට ඇවිල්ලා සතුන්ට වතුර බොන්න තැනක් හදපු එක මිනිස්සු දැනගන්න ඕනේ.එතකොට අනික් අනිත් අයත් මේ වගේ දේවල් කරන්න පෙළඹෙයි “

වනජීවි නිලධාරියා එසේ පැවසුවත් හෂාන්ගේ නම සහිත නාම පුවරුවක් සවි කිරීමට වනජීවි නිලධාරියා කළ යෝජනාවට ඔහු දැඩි ලෙස විරුද්ධ විය.නමුත් අදටත් සංචාරකයන් එම වැව අසලින් යන විට , මග පෙන්වන්නන් විසින් එම වැව ඔවුන්ට හඳුන්වා දෙන්නේ “හෂාන් වැව ” ලෙසය.

අප සමඟ ඉතාම හිතවත් අඩවි නිලධාරීන් අප සමඟ කතාබහ කිරීමට අපගේ නවාතැනට පැමිණෙති.දිනක් එසේ කතාබහ කරමින් සිටින අතරතුර එක් අඩවි නිලධාරියෙක් මෙසේ පැවසීය .

” ඔය දෙන්නා පුදුම උදව්වක් අපිට කළේ .ගොඩක් අය කරන්නේ නැති දෙයක් ඕගොල්ලො කළා.ඒකට අපි ඔයාලා දෙන්නට කළගුණ සලකන්න ඕනේ.මම ඔය දෙන්නව තැනකට යවනවා. හැබැයි මම කියන විදිහටම ඒ ගමනට සූදානම් වෙන්න ඕනේ .මේ ගමනට හොඳට හයිය හත්තිය තියෙන පිරිමි ටිකකුත් යන්න ඕනේ .ඒ වගේම මේ ගමනට ටෙන්ට් එහෙමත් ඕනේ .කැලේ ඇතුලට යන්න ඕන නිසා උස වාහන තමයි යන්න ඕනේ.මේ තැන බොහොම හාස්කම් තියෙන ඓතිහාසික තැනක්.අතලොස්සක් ඇරෙන්න මේ තැන ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ .විශේෂයෙන්ම වනජීවී එකේ අවසරයක් නැතුව ඔතනට යන්නත් බැහැ.ඔය දෙන්න එතැනට ගිහින් යමක් ප්‍රාර්ථනා කළොත් ඒක ඒ විදියටම සිද්ධ වෙයි “

එම ස්ථානයට යාමට පෙර අඩුම වශයෙන් තියෙන දාහතරක කාලයක්වත් පේ විය යුතු බව පැවසීය.නමුත් ඇත්ත වශයෙන්ම පේවිය යුතු කාලය මාස තුනක් පමණ බවත් , වර්ෂා කාලයට පෙර අපව එහි යැවිය යුතු බැවින් අප දින දාහතරක් වත් පේවිය යුතු බව ඔහු විස්තර කළේය.ඔහු එසේ විස්තර කළේ ඓතිහාසික ස්ථානයක් වූ කැබලිත්ත පිළිබඳවය .

” ගමන හරි දුෂ්කරයි.පාරේ ගස් වැටිලා තියෙනවා.එතනට හරිහැටි පාරක් වත් නැහැ. කොහොමහරි මේ සති දෙක උම්බලකඩ කෑල්ලක්වත් නොකා පේ වෙන්න.අවශ්‍ය වතාවත් කරන්න මම ඔයාලට හොද කපු මහත්තයෙකුත් ලෑස්ති කරලා දෙන්නම්.මම අපේ නිලධාරීන් දෙන්නෙකුත් දෙන්නම් .මොකද පාර දුෂ්කර නිසා පාර වැරදෙන්න පුළුවන් වගේම මග දිගට අලිත් ඉන්නවා.උදලු , පොරෝ , වාහනේ එරුනොත් වාහනය අදින්න පුළුවන් ලොකු කඹ , විශේෂයෙන්ම කැලේ ඇතුළට ගිහින් උයාගෙන කන්න බොන්න දවස් දෙකකට විතර අවශ්‍ය සියලුම කළමනා අරගෙන එන්න “

යනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන් ඔහු ගමනට අවශ්‍ය වන සියලුම දෑ අඩංගු ලයිස්තුවක් අප වෙත ලබා දුන්නේය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles