දුර්වලයන්

” අද අර කුමාරිහාමි ගෙදර නැද්ද අම්මේ ? “

පවිත්‍රා ගෙට ගොඩ වුණේම එහෙම අහන ගමන්. පවිත්‍රා මේ මහ ගෙදරට එන්නේ මාස හතරකින් විතර

” නංගි උදේ ඔෆිස් එකට ගියා. හදිස්සි වැඩක් කියලා “

දමයන්ති උත්තර දුන්නේ හදිසියේම ගෙදර එනවා කියලා දැනුම් දීපු ලොකු දුවටත් එක්ක දවල් ආහාරය පිළියෙල කරන ගමන්

” මේ සෙනසුරාදා මොන වැඩද ? ෂුවර් එකටම අරූ එක්ක රෝන්දේ යන්න ඇති “

පවිත්‍රා මුහුණේ තැවරුනු දාඩිය බිංදු පිහදැම්මා

” අද නංගිගෙ යාලුවා අසනීප වෙලා.එයා වෙනුවට ඔය ගියේ “

දමයන්ති පවිත්‍රාට ඇත්තම කිව්වේ ඒ උත්තරේ දුන්නේ නැත්තම් කතාව දික් ගැහෙන බව දන්න නිසාම යි

” දැන් එතකොට එයාගෙ ඔය පලහිලව්ව එකලාසයක් වෙන පාටක් නැද්ද ? “

” එහෙම ඉතින් ආවට ගියාට ඕවා පිළිවෙලක් කරගන්න බැහැනේ ළමයෝ “

” මොකද බැරි අම්මේ ? මමයි ශාන්තයි පිළිවෙලක් උනේ ? “

” නංගිට ඕන එහෙම නෙමෙයි “

දමයන්ති කිව්වේ තේ හදන්න වතුර කේතලේ ලිපේ තියෙන ගමන්

” එයාගෙ තියෙන මහන්තත්තකම නේ.මේකප් ටික උලාගෙන එලියට බහිනකොට හිතාගෙන ඇත්තේ රූප රාජිනියක් කියලා. ඔක්කොම මහලොකුවට කරන්න තමයි ඕනේ.ඇති දේකුත් නෑ “

” එයා හිතාගෙන ඉන්නේ සල්ලි ඉතුරු කරල ගෙයක් අරගෙනම බඳින්න. බැන්දට පස්සේ වගකීම් වැඩි නිසා හම්බකරන හැම සතේම ලෝන් වලට යට කරන්න එයා කැමති නැහැලු “

වැඩිමල් දියණියගේ නිමක් නැති උපහාසාත්මක කතා අහගෙන ඉන්න බැරි තැනම දමයන්ති කිව්වා

” ඕව ඉතින් කවද කෙරෙන වැඩද අම්මේ? අපි ගේ හදන්න ගත්ත ලෝන් එක පාස් වුණේ නැහැ wedding එකට ලෝන් එක ගත්ත නිසා. මම නම් හිතන්නෑ තව අවුරුද්දකට දෙකකට වත් අපිට ගෙයක් හදන්න පුළුවන් වෙයි කියලා . අපිට එහෙම වෙච්චි කොට සචිත්‍රා කොහොමද ඕවා කරන්නේ “

පවිත්‍රා එහෙම කිව්වත් අනවශ්‍ය ලෙස වියදම් කරලා ගත්ත විවාහ මංගල්‍ය උත්සවය ගැන ඇය කවදාවත් පසුතැවුනේ නැහැ.

” නංගී ඔයයි කියන්නේ දෙන්නෙක් නේ .ඔයා වැඩ කරන විදිහට නෙමෙයි නංගි වැඩ කරන්නේ. ඒ නිසා එයා කරන පිළිවෙලට එයාට කරගෙන යන්න දෙමු පවිත්‍රා. “

එහෙම කියපු දමයන්ති තේ එක හදලා පවිත්‍රා අතට දුන්නා.

” ඔයා දැන් හදිසියේම මෙහෙ ආපු කාරණාව කිව්වේ නැහැනේ ළමයෝ ? “

” තව ටිකෙන් මට ඒකත් අමතක වෙනවා. මම ආවේ අම්මගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන යන්න”

” ඒ පාර මොකද ? “

” සුසන්තගෙ බයික් එක කැඩිලා. ඒක හදන්න ටිකක් ලොකු ගානක් ඕනේ. මේ වෙලාවේ අපේ ළඟ එහෙම ඉතුරු කරපු සල්ලියක් නැහැ. බයික් එක හදාගන්නෙ නැතුවත් බැහැනෙ අම්මේ “

” හෙට දිහාට එන්නකො එහෙනම් මම බැංකුවෙන් අරගෙන දෙන්නම්. හැබැයි ඉතින් මං ළඟත් එහෙම ලොකු ගානක් නැහැ “

දමයන්ති සල්ලි නොදී ඉන්නේ නැහැ කියලා පවිත්‍රා දැනගෙන හිටියා.ඇය මහ ගෙදරින් එළියට බැස්සේ ප්‍රශ්නය විසඳුණු බව හිතලා සැනසීමෙන්

” අක්කා හිතාගෙන ඇත්තෙ මමත් එයා වගේ ඉක්මනට කසාද බැදලා දුක් විදින්න ඕනේ කියලා වෙන්න ඇති ,පව් ඉතින් එයාට හිතෙන විදියනේ “

පවිත්‍රාගේ සමහර හැසිරීම් දිහා සචිත්‍රා බැලුවේ අනුකම්පාවෙන්. වැඩිදුර ඉගෙන ගන්න උනන්දුවක් නොදක්වපු පවිත්‍රා , තමන්ගේ නංගි ගෙවන ජීවිතය දිහා බැලුවේ තරමක අකමැත්තෙන්.හැබැයි ඇයත් ඒ ජීවිතයට ආස කළා

” අක්කා බඳින්න ඉස්සර ඔය ආස කරන එක එක දේවල් අරගන්න මගෙන් එහෙම හරියට සල්ලි ඉල්ල ගත්තානේ.දැන් ඒවා කරන්න බැරුව ඇති සුසන්ත එක්ක “

” ඒකට ඉතින් මම පලි නැහැ නේ අම්මේ. මේ මම ඉන්න විදිය.ඒක මට හොඳ නං එයා ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැනේ .අනේ මන්දා එයත් මගේ දේවල් හොය හොය ඉන්නවා මිසක් එයාට දෙයක් කරගන්නේ නැහැ “

තමන් ගෙදර නැති වෙලාවට අක්කා ඇවිත් අම්මට කියන දේවල් සමහර වෙලාවට තමන්ගේ මූණටම කිව්වත් සචිත්‍රා ඒ හැමදේම ඉවසුවා.

” මට කියන ඕන දෙයක් මම ඉවසනවා. හැබැයි අක්කා හර්ෂ ගැන කිසිම ගරු සරුවක් නැතිව කතා කරන එකට මම නම් කැමති නැහැ අම්මේ “

සචිත්‍රා කතා කළේ බැරෑරුම් හඬින්.කිසිම හේතුවක් නිසා තවත් කෙනෙක්ව පහත් කරලා කතා කරන්න හෝ අපහාස කරන්න අකමැති ඇයට අක්කගෙ ඒ හැසිරීම ගැන තිබුණේ අප්‍රසන්න හැඟීමක්

” ඇයි එයා යාලු වෙලා ඉන්නේ විලියම් කුමාරයා එක්ක කියලද එයා හිතාගෙන ඉන්නේ ? “

ඊළඟ දවසේත් ආව පවිත්‍රා එහෙම කිව්වේ සමච්චලයට හිනාවෙමින්

” ඔයාට ඒ ළමයව මුණගැහිලා වත් නැහැනේ පවිත්‍රා . ඒ නිසා නිකරුනේ අපහාස කරන එක ඇත්තටම වැරදියි තමයි “

දමයන්තිගේ හඬ තරමක් දැඩි වෙලා තිබුණා

” හහ්.. අම්මටත් වෙන්න ඉන්න බෑණා ලොකු වෙලා ද කොහෙද “

” ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි පවිත්‍රා. ඔයා හිතන පතන විදිය ටිකක් වෙනස් කර ගන්න බලන්න. සුසන්ත වුණත් ඕව ගැන මොනවා හිතනවද දන්නේ නැහැ “

අත් දෙකටම බඩුමලු ගත්ත සචිත්‍රා ගෙට ගොඩ උනේ ඒ වෙලාවේ

” අනේ ළමයෝ ඔයාට මාළු ටිකක් ගේන්න කියන්න හිටිය මට අමතක උනා නේ “

” මම ගෙනාවා අම්මේ. හොඳ පලා ටිකකුත් හම්බුනා. අපිට වැඩිනම් අක්කාටත් දෙන්න ගෙනියන්න “

කුස්සියේ කෑම මේසෙ වාඩි වෙලා ඉන්න පවිත්‍රා දිහා බලන ගමන් සචිත්‍රා අත් බෑගය පැත්තකින් තිබ්බා.

” අනේ මට නම් එපා.අපේ වත්තේ ඕවා තියෙනවා. අපි ඉතින් හැම එකටම කඩේ දුවන්නෙ නැහැනේ “

පවිත්‍රා කිව්වේ උජාරුවෙන්.ඇගේ මේ නොනවත්වාම වචන වලින් පහර දීම ගැන දමයන්ති ට දැනුනේ කේන්තියක්

” මටත් ගෙදරට වෙලා වගාවක් කරගෙන ඉන්න තිබුණා අක්කේ රස්සාවක් කරන්නෙ නැත්තං . කොහෙද ඉතිං අනේ මට තියෙන පිස්සුවට කසාද බඳින එකත් පස්සට දාලා මම ඉගෙන ගත්තනේ. දැන් ඉතිං රස්සාවක් කරන්නම එපැයි “

නිහඬව ඉන්න බැරිම තැන සචිත්‍රා එහෙම කිව්වෙ දමයන්ති දිහාත් බලන ගමන් .තවදුරටත් නිහඬව ඉන්න එක මෝඩ කමක් කියලයි ඇයට හිතුනේ.දුර්වලයි කියලා හිතාගෙන හිටපු සචිත්‍රාගෙ කටින් ඒ වගේ වචන පෙළක් පිටවෙනකොට පවිත්‍රා ඇය දිහා බැලුවේ පුදුමයෙන් මහත් වුණ දෑස් වලින්

” අනිත් ලොකුම දේ තමයි අක්කේ , තාත්තා නැති වුණ දවසේ ඉඳලා අපිට උගන්වන්න මහන්සි වෙච්ච අම්මා අම්මව බලාගන්න එක. මම කැමැති නෑ කසාද බැඳලා ගිහින් මාස තුන හතරකට සැරයක් ගෙට ගොඩවෙලා අම්මගේ තියෙන දේවලුත් කඩා වඩාගෙන යන්න. මට ඕන හෙමින් සැරේ හැමදේම ප්ලෑන් කරගෙන අම්මා වත් බලාගෙන හර්ෂ එක්ක සතුටින් ජීවත් වෙන්න . ඒකට තමයි මම මේ මහන්සි වෙන්නේ “

හිතේ තිබුන දේවල් කියලා ඉවර කරපු සචිත්‍රා මේසය උඩ තිබුණ අත් බෑගයත් අරගෙන කාමරයට ගියා. ඇත්තටම දුර්වල නංගි නෙමෙයි තමන්මයි කියලා පවිත්‍රාට හිතුනේ ඒ වෙලාවේයි

More Stories

Don't Miss


Latest Articles