සැරිසරන්නී – 4

උදේ ම නයනා නැන්දලා රෝහලට ගියහ. ඈ ගියේ පොඩි අයියා ගේ මෝටර් බයිසිකලයෙහි ය. එදා උදේ පහට මුළු වත්තේ ම ගෙවල් වල අය අවදි වී විදුලි පහන් දල්වා ගෙන සිටියහ. හොඳ ආරංචියක් අසන්නට ලැබීම අප කාගේත් පැතුම වන්නට ඇත. 

පාන්දර අවදි වූ ගමන් මම ද දිය නා ගෙන වැඩට යන්නට සූදානම් වුණෙමි. 

“ඊයෙ දවසෙම ගෙදර ඉඳල මේ මහ පාන්දර නෑවනෙ ඇත්තට”

අම්මා පාන්දර ම ආවේශ වූවා ය. 

“ඇයි ඉතිං අර ඉන්නෙ කොල්ලෙක් එනකල් බලාගෙන. උන්දැට පේන්නනෙ ඔය නාල කරල සුවඳ වෙලා පේ වෙලා යන්නෙ”

නංගී අම්මා ට පොහොර වතුර එකතු කළා ය. ඒ කතාවට නම් සිතට වෙනදාට නැති තරම් කේන්තියක් ආවේ ය. සුනෙත් කියන්නේ මට හොඳම මිතුරා මිස පෙම්වතා නොවන බව කෙතෙක් කීවද නංගී තේරුම් ගන්නේ නැත. 

“මේ නංගි. මං කියල තියනව හොඳේ. ඔය කතාවනං කියන්න එන්න එපා හරිද…සුනෙත් කියන්නෙ මගෙ යාළුව. හොඳම යාළුව. ඇයි දෙයියනේ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි හොඳම යාළුවො වෙන්න බැරිද… කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආශ්‍රය කරනවනං ඒ කසාද බඳින්න බලා ගෙනම වෙන්න ඕනද…විකාර. ළිඳෙු ඉන්න ගෙම්බෙක් වගෙයි හිතන්නෙ. ඒ වුණාට ලෝයර් කෙනෙක් වෙන්නයි හිතන්නෙ. කට විතරක් තිබිල ලෝයර් කෙනෙක් වෙලා වැඩක් නෑ. ඔළුවත් තියෙන්න ඕනෙ. ඔළුව. පොල් ගෙඩියක් වගේ ඔළු ගෙඩියක් තිබිලත් වැඩක් නෑ. ඒක ඇතුළෙ අල ගෙඩියක් තරං මොළයක් නැත්තං”

“හප්පට…සිරි…මේ බලපල්ලකො. ලෝයර් කෙනෙක් වෙන්න තිබුණෙ මෙයානෙ”

නංගී දෑත් ඉණෙහි ගසා ගෙන කීවා ය. ආච්චා ත් අම්මා ත් සිනහව සඟවා ගෙන හිඳිනු මම දුටිමි.

“ඇත්තනෙ. මොකටද ඕන නැති කතා කියන්නෙ…අපේ පවුලෙ බටු ඇටිච්චියන්ටත් මගුල් විසේ ගහල තිබුණට සනූ එහෙම නෑ. මගුලක් කර ගන්න ඕනනං ඉස්කෝලෙං අස් වෙලත් දැං අවුරුදු තුන හතරක් වුණානෙ. ඔය කෙල්ල රස්සාවක් කර ගෙන සල්ලි ටිකක් පොතේ ඉතුරු කර ගෙන ලස්සනට ඉන්නෙ. සනූට බාල දෙන්නෙකුත් ඔය හෙට අනිද්දම බඳින්න ලෑස්ති වෙලා ඉද්දිත්”

ආච්චා මා වෙනුවෙන් ඉදිරිපත් වූවා ය. අම්මා ගේ ඇස් ආඩමබරයෙන් දිළිසෙනු මට පෙනිණ. නංගී යමක් කියන්නට කට ගත්තා ය. නමුත් මගේ බැල්ම දැක එය උපන් ගෙයි ම සිඳ දැමුවා ය.

මගේ කුසත් පපු කුහරත් අතරේ දැවීමක් ඇති වී තිබිණි. ඒ, වෙනදා ආච්චා මා ගැන වර්ණනාවක් කරත්දී නො දැනෙණ විදිහේ දැවුමකි. දත් ඇඳි දෙක ටකස් ගා එකට ගැටිණි. ඒ පාන්දර ම දිය නා ගත් නිසා සීතලට යයි සිතන්නට මට ඕනා විය. 

මා පෙත් මගෙහි ඇවිද ගියේත් කල්පනා ලෝකයක පා වෙමිනි. සුනෙත් ව ඇසුරු කරන්නට ගෙන අවුරුදු හතරකට නො දැනුණ විදිහේ හැඟීමක්, රවීන් ව දුටු එක දිනයක් මසිත් හි ජනිත කොට තිබේ. ඒ හැඟීම මිහිරි ය. ආගන්තුක වුණත් පුරුදුයි වාගේ ය. එය වූ කලී මේ කල්පයේ නම් හැබෑ කර ගත නො හැකි මිහිරියාවක් වන්නට පුළුවන. නමුත් ඒ දැනෙනා වූ තිගැස්ම මුසු රසය පළවා හරින්නට කිසි සේත් මට ඕන කමක් දැනෙන්නේ නැත. ඒ වෙනුවට මම එය තව තවත් හදවතින් වැළඳ ගමි. 

“ටික වේන්න නාලා කොණ්ඩේ කඩා ගෙන යනවද සුදු නංගෝ….”

එහඬින් මම තිගැස්සී හිස හැරවීමි. මා ළඟ නතර වූ ඇක්වා රියෙන් හිස පිටතට දමා ගෙන සිටියේ ලොකු අයියා ය.

“මොන මෝඩයෙක්ද මන්දා”

ලැජ්ජාශීලී සිනහවකින් එසේ කියන ගමන් මගේ ඇස් පැටළුණේ රවීන් ගේ ඇස් වල ය.

“හිතුවෙ කවුරු හරි කොල්ලෙක් කා එක නතර කරල ලිෆ්ට් එකක් දෙන්නයි හදන්නෙ කියල නේ….කොහොමද මේකි ගෙ මූණෙ තියෙන පෙම් පාට…සිරියලතා…”

“අනේ මේ…ලොකයියෙ ගුටි කන්න එපා හොඳේ”

“නගින්න නංගි. ඔය කොහෙං හරි හලං යන්න පුළුවන්”

“එපා අයියෙ. මං බස් එකේ යන්නං”

“ඇයි බස් එකේ කොල්ලෙක් එහෙම ඉන්නවද බල බල යන්න…”

“මොනා කියෝනවද මන්දා …පිස්සා…”

කියමින් මා රියෙහි පසුපස දොර හරිමින් ඊට ගොඩ වූයේ තරවටුවක් ද සිනහවක් ද මුසු වූ බැල්මකිනි. ඒ මා එවන් සංවෙදනයක් සහිත මොහොතකට මුහුණ දුන් ප්‍රථම වතාව බව ට මගේ මතක ඉතිහාසයෙහි සනිටුහන් වේ. ටික දුරක් යන විට, ලොකු අයියා ගේත් රවීන් ගේත් කතා බහ අතරේ ඔවුන් ට මා අමතක වූ සේ ය. ඉතින් මට නිදහසේ රවීන් ගේ කාන්දම් ඇස් දෙක දැක ගත හැකි ව්ය. ඒ ඉදිරි කැඩපත තුළිනි. නමුත් කිහ්ප වතාවක ම මා අහුට හසු වූයේ ය. එතකොට මම වහා ඉවත බලමි.

“ඒ කොටා”

ලොකු අයියා අතර මගක දී පසු පස හැරුණේ ය.

“කොහෙන්ද බහින්නෙ…මාත් මේ වෙන ගමනක් යන්නෙ….රවීනය ඔෆිස් යන ගමං”

“අයියෙ මට එකසිය හැත්ත හයක් ගන්න පුළුවන්නෙ…නුගේගොඩින් දාන්න”

“මචං නංගිව නුගේගොඩිං හලපං   රවීන්”

“ඇයි ඉතිං අපි නංගිව ඔෆිස් එක ළඟින් ඩ්‍රොප් කරමු. අපරාදෙනෙ ආයෙ බස් එකේ යන්නෙ”

රවීන් එසේ කීවේ කැඩපතින් මදෙස බලනා ගමන් ය.  ඒ ඇස් අතරේ මග හොයා ගත නො හැකි ලෙස මා අතරමං වන බවක් මට දැනිණ. දැඩි සීතලත් දත් ඇඳි කට කටස් ගා එකට ගැටීමත් නැවත ද සිදු විය. මගේ නියපොතු දම් පාට වී ගෙන ආවේ ය. මා සීතලකින් වෙව්ලන්නා සේ දැනෙන්නට ගති.

“මොකද බං…වෙව්ලනවද…”

ලොකු අයියා පිටුපස හැරී බලන ගමන් ඇසුවේ ය. මම ඔහු වෙතට මගේ අත් දෙක ම ඇඟිලි විදා පෑවෙමි. 

“මේ…සීතලට දම් පාට වෙලා”

“අඩේ…”

අයියා මගේ අතකින් අල්ලා ගෙන එය රවීන් වෙතටද පෑවේ ය.

“මේ බලපංකො බං. මේකි කටුස්සෙක් වගේ පාට මාරු කරල. ඔන්න ඔය ඒසී එක පොඩ්ඩක් ඕෆ් කරපං රවීනය. දන්නැද්ද…අපේ සිරියලතා ට ඔය ඒසී වල ඉඳල පුරුද්දක් නෑනෙ බං”

රවීන් වායුසමීකරණය ක්‍රියා විරහිත කළේ අඩ සිනහවකින් කැඩපතෙන් මදෙස බලමිනි. ඒ සිනහව තුළ තව තවත් මා අතරමං වන බවක් මට දැනිණ. ඒ සීතල සිතිවිලි ප්‍රවාහයෙන් මිදෙනු වස් මා කළේ ලොකු අයියා ගේ කොණ්ඩයෙන් ඇදීම ය. 

අන්තිමට ඔවුන් මා මල් සාප්පුව ළඟින් ම බැස්වූහ. අතැර යන්නට බැරි කාන්දම් බලයකින් මගේ ඇස් රවීන් ගේ ඇස් වල පැටලී තිබුණේ ය. මා මල් සාප්පුව තුළට ගියේ හැබෑ සිහියකින් නො විය යුතු ය. ඒ වසර ගණනාවක පුරුද්දට නිකං පා වී ගෙන මෙන් ගිය ගමනකි.

 “මොකද…”

සුනෙත් ඇස් කුඩා කොට ඇසුවේ ය.

“ඇයි…”

“ඇයි කියන්නෙ නිකං වෙන චක්‍රාවාටෙක ඉඳං ආව වගේනෙ ආවෙ”

“හ්ම්”

තව දුරටත් මා හිටියේ වෙනත් චක්‍රාවාටයක ය.

“හ්ම් කිව්වෙ…”

“වෙන චක්‍රාවාටෙක ඉඳං ආව වගේ තමයි”

කීවා නොව මට එහෙම කියවුණා ය කියා සිතමි.

“මොකද ආ…අද ඇඳේ අනිත් පැත්තෙන්ද නැගිට්ටෙ…”

සුනෙත් මගේ උරහිසක් මත්තෙන් අතක් තබා යන්තම් සෙලවූයේ ය. සැබවින් මා සිටි සීතල සිහින ලෝකයෙන් හැබෑ ලෝකයට එන්න ඇත්තේ ඒ වෙලාවේ ය. සුනෙත් ගේ මුහුණ දුටු මට දැනුණේ ඔහු තරමක් වැඩිපුර මා කී දේ හිතට ගෙන ඇති බවකි.

“ලොකු අයියත් එක්ක අනේ ආවෙ. මාව හොඳටම බයිට් කළා එන ගමං. ඒකයි මං එහෙම කිව්වෙ”

“ඒක මිසක්. මං ඒත් බැලුව බස් එකේදි කොල්ලෙක්වත් ඇහැ දාලද කියල”

නැවතත් හද බිත්ති වල නාය යාමකි. මම මල් දැමූ දැවැන්ත බකට් අතරේ උස් ස්ටූල් එකක හිඳ ගතිමි. මල් සාප්පුවේ මල් සැකසුම් වැඩට බැඳී මේ ගත වන්නේ සිව් වන වසර ය. දිගු නටුව සහිත රතු රෝස මලක් අතට ගෙන, කුමක් කරන්නද කියා අදහසක් නැතිව වාගේ මම එදෙස බලා ඉන්නට වීමි. සාමාන්‍යයෙන් මල් ටිකක් ලං කර ගනිත්දී සැරසිල්ලක් නිරායාසයෙන් මසිත් හි මැවේ. මල්සර ෆ්ලෝරා හි හිමිකරු මගේ නිර්මාණශීලීත්වය කෙරේ තබා ඇත්තේ දැඩි විශ්වාසයකි. විශේෂයෙන් ම මංගල උත්සව වල මල් සැරසිලි හා මනාලිය ගේ මල් කළඹ නිර්මාණය කිරීමේ කටයුතු පැවරෙන්නේ මට ම ය. මල්සර ෆ්ලෝරා යනු දැන් දැන් උත්සව අවස්ථා වලට වැඩි ම ඉල්ලුමක් ඇති මල් කරුවෙකි. අපේ මල් සැරසිලි දිවයින පුරා වේගයෙන් ප්‍රකට වෙමින් තිබේ.

“සනුකි ගෙ අත් ගුණේ අපිට වාසනාව ගෙනාව”

ඔහු ලෝභ නැතිව කියන ඒ කතාව, මා වෙනුවෙන් නිරන්තර ඉහළ දැමෙන වැටුපට වඩා මම අගයමි. 

බොහෝ විට උත්සව අවස්ථා ආවරණය කරන්නට පැවරෙනුයේ මට හා සුනෙත් ට ය. අප දෙදෙනා ඉඳිකටුව හා නූල ලෙස ආයතනය තුළ හැඳින්වේ. අපේ මිත්‍රත්වය දින දින වැඩි වෙන්නට හේතු වූයේ ඒ එක් ව වැඩ කරන්නට ලැබුණ අවස්ථාවයි. අනිත් අතට අපේ මිතුරුකම නිසා අවබෝධයක් ඇති ව අපට නිර්මාණයක් බිහි කළ හැකි විය.

“මොකද සනූ”

සුනෙත් ස්ටූල් එකක් ඇදගෙන නැවත මවෙත සමීප වූයේ ය. 

“අද මූඩ් එක වෙනස්. කල්පනා කරනව වැඩියි වගේ”

මම ලා සිනහවක් පෑවෙමි. කාලයක් සමීප මිතුරන් වූ නිසා අපට අපේ සුළු වෙනසක් වුව දැනේ. අප ඉදිරියේ කතා කරන්නට බැරි දෙයක් අපට නැති තරම ය. සැබවින් අපතර රහස් නැතිය කියා මම සිතමි. මීට පෙර කවදාවත් ඔහු ට කියා නැති විදිහේ කතාවක් අද මට ඔහු ට කියන්නට තියේ. නමුත් ඔහු වුව එය කෙසේ පිළිගනු ඇත් ද කියා මට සිතා ගත නො හැකි ය.

“ඊයෙ නිවාඩුවක් අරං මොකක් හරි අවුලක් දාං වගෙයි ගෙදර”

“හ්ම්. අවුලක්නං තමයි. ලොකු මාමා හොස්පිට්ල් ඇඩ්මිට් කළා. හාට් ඇටෑක් එකක් ඇවිත්”

“ඉතිං…”

“බයිපාස් එකකුත් කරල”

“ලීව් එකක් අරං දවල් ට ගිහිං බලල එමු එහෙනං”

“බලමුකො”

මා සුවෙන් තබන්නට කළ හැකි ඕනෑ ම දෙයක් කරන්නට සුනෙත් දෙවරක් සිතන්නේ නැත. නමුත් මගේ හිතේ හිර වී ඇති බරපතල කාරණාව ලොකු මාමා නොවේ. ලොකු අයියා ගේ මිතුරා ය. ඔහු විවාහකයෙක් ය යන කොටස සංස්කරණය කළ හැකි නම් මට මේ කතාව සුනෙත් ට කියන්නට බැරි කමක් ඇත්තේ ම නැත. නමුත් මෙවැන්නක් දැන ගත හොත් ඔහු මා ඉතිරි නො කරනු ඇත. නමුත් සුනෙත් ට නො කියන රහසක් හිතේ තබා ගත නො හැකිවා සේ මට දැනෙයි. අනිත් අතට කියන්නට ය කියා ඇත්තේ මොනවා ද?  රවීන් ගේ ඇස් කාන්දම් සේ මගේ ඇස් ආකර්ෂණය කර ගන්නා බව ද?

කිසිත් නො කියන්නට මම හිත තද කොට ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles